ආණ්ඩුක්‍රම වෙනසක් ඉල්ලීමට මානව හිමිකම් කොමසාරිස්ට බලයක් නැති බව දැනුම් දුන්නා

0
400

 

සපුමල් ජයසේන

ලංකාවේ සිදුවූ බව කියන යුද අපරාධ සෙවීමට දෙමුහුන් අධිකරණයක් හෝ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වෙනසක් ඉල්ලා සිටීමට මානව හිමිකම් කොමසාරිස්ට බලයක් නැතැයි තමන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සභාපතිවරයාට දැන්වූ බව රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා පවසයි.

සරත් වීරසේකර මහතා මේ බව කියා සිටියේ ශ්‍රී ලාංකික ගෝලීය සංසදය විසින් රාජගිරිය කොස්වත්තේ පිහිටි ජාතික සංවිධාන කාර්යාලයේ පවත්වන ලද මාධ්‍ය හමුවකදීය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හෙතෙම මෙසේද පැවැසීය.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් ලංකාවේ ආණ්ඩුවට බලපෑම් කරනව අපේ රටේ සිදුවූ බව කියන යුද අපරාධ පිළිබඳ සොයා බැලීමට සහ ඒ ගැන නීතිය ක්‍රියාත්මක කරන්න විදේශීය විනිසුරුවන්ගෙන් සමන්විත දෙමුහුන් අධිකරණයක් පිහිටුවන්න කියලා.

ඒ වගේම එයා කියනවා අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවත් වෙනස් කරන්නලු. මානව හිමිකම් කොමසාරිස්ට මේ දේවල් කරන්න කියලා අපට බලකරන්න බැහැ. මම මේ ගැන මානව හිමිකම් කවුන්සිලයේ සභාපතිවරයාට පැමිණිලි කළා. මම හිතන්නේ ඒ ගැන අවධානය යොමුවෙලා තිබෙනවා.

පසුගිය මාසයේ 20 වැනිදා ජිනීවා නුවර පැවැත්වුණු එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසිවාරයට සහභාගි වෙන්න මට අවස්ථාවක් ලැබුණා. එම සැසිවාරයට දෙමළ ඩයස්පෝරාවට සම්බන්ධ රාජ්‍ය නොවන සංවිධාන ගණනාවක් සහභාගි වෙලා සිටියා.

ඒ හැමෝම කියා සිටියේ තවමත් උතුරේ සිටින සිංහල හමුදාව විසින් දෙමළ කාන්තාවන් පැහැරගෙන ගොස් දූෂණය කරනවා කියලයි. මනෝරි මුත්තෙට්ටුවේගම, ඉමල්කා ප්‍රනාන්දු ආදී අය කිව්වෙත් හමුදාව උතුරේ සිවිල් ජනතාවට හිරිහැර කරනවා කියලයි. මේ අය සල්ලිවලට රට පාවා දෙනවා.

මානව හිමිකම් කවුන්සිලයේදී ලංකාවට එරෙහිව ගෙනෙන යෝජනාවලට අද කවුරුවත් විරුද්ධ වෙන්නේ නැහැ. ලංකාවට එරෙහිව ගෙනෙන යෝජනාවලට පක්‍ෂව අද ලංකාවත් අත උස්සනවා. ඒ වගේම දෙමළ ඩයස්පෝරාවට සම්බන්ධ රාජ්‍ය නොවන සංවිධානවලින් හමුදාවට එරෙහිව බොරු චෝදනා එල්ල වෙද්දී අපේ රටේ විදේශ ඇමැති නිහඬව සිටියා. ලංකාවේ ජිනීවා නිත්‍ය නියෝජිතයා නිහඬව සිටියා.

රටේ ජනතාවගේ මුදල් වියදම් කරලා මේ අය එතනට ගිහින් මොනවද කරන්නේ ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ සම සභාපතිවරුන් වන සුනිල් චන්ද්‍රකුමාර, වසන්ත කීර්ති රත්න, එරික් මාකවිටගේ, එම සංසදයේ භාණ්ඩාගාරික තිලක් දිසානායක සහ එහි ව්‍යාපෘති නිලධාරි අජන්ත ප්‍රේමරත්න යන මහත්වරුද මෙහිදී අදහස් දැක්වූහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here