ආනන්ද හිමියන් යාපනයට වැඩමවීම

0
478

ආවා කල්ලි නායකයා පොලිසියට කොටුවී ඇත. වික්‌ටර් නිශා නමැති මේ දාමරිකයා අත්අඩංගුවට ගැනීම පොලිසියේ ජයග්‍රහණයක්‌ වන අතරම යාපනයේ වැසියන්ට ද සැනසුම් සුසුම් හෙළිය හැකි තත්ත්වයකි. ආවා කල්ලිය පොලිස්‌ නිලධාරීන්ට ප්‍රහාර එල්ල කිරීමට ප්‍රථම ප්‍රදේශය පුරා භීෂණය පතුරවා තිබිණි. එයින් බැට කෑවේ දෙමළ වැසියන්ය. ආවා කල්ලිය යාපනයේ භීෂණය පැතිරවීම ජාතික සංහිඳියාවට ද බලවත් ප්‍රශ්නයක්‌ විය. පොලිස්‌ නිලධාරීන්ට පිහියෙන් කොටන, වෙඩි තබන කල්ලියක්‌ සැරිසරද්දී යහපාලන ආණ්‌aඩුවේ සංහිඳියා වැඩසටහන් ද පස්‌සට විසිවිය.

කවරක්‌ නමුත් සැබෑ සංහිඳියාව වෙනුවෙන් නියම ආදර්ශයක්‌ ලබාදුන් උතුම් පුද්ගලයකු වෙනුවෙන් නිසි උපහාර දැක්‌වීම ගැන ඊයේ පුවත්පත් වලින් අපට දැකගැනීමට හැකිවිය. එසේ උපහාරයට ලක්‌වූයේ යාපනය මහාධිකරණ විනිසුරු මානික්‌කවාසගර් ඉලංෙච්නියන් මහතාය. අම්පාර, බුද්ධංගල වන සෙනසුනේ බුද්ධංගල ආනන්ද හිමියෝ පෙරේදා පෙරවරුවේ යාපනය මහාධිකරණ සංකීර්ණයට වැඩමකර මහාධිකරණ විනිසුරුවරයා දැක්‌වූ උතුම් මනුෂ්‍ය ගුණාංග සිහිකරමින් එතුමාට සෙත්පැතූහ. මෙය අතිශය විරල අවස්‌ථාවකි. මහාධිකරණ විනිසුරුවරයාගේ ආරක්‌ෂකයා ලෙස කටයුතු කළ පොලිස්‌ සැරයන් හේමචන්ද්‍ර මහතා මියගිය අවස්‌ථාවේ දමිළ ජාතිකයකු ලෙස ඉලංෙච්නියන් මහතා ක්‍රියා කළ ආකාරය මඟින් ජාතික සංහිඳියාවට ඉතා වැදගත් පණිවුඩයක්‌ ලබාදුන් බව ආනන්ද හිමියෝ මෙහිදී ප්‍රකාශ කර සිටියහ. ගිහි කාලයේ ශ්‍රී ලංකා යුද හමුදාවේ මේජර් ජෙනරාල්වරයකු ලෙස කටයුතු කළ උන්වහන්සේ සැබෑ සංහිඳියාව ඇති කළ යුත්තේ කෙසේ ද යන්න හොඳින් දැන සිටිති. උන්වහන්සේ යාපනයට වැඩම කිරීම මඟින් මෙරට සිංහල බෞද්ධ ජනතාව මහාධිකරණ විනිසුරුවරයාගේ ක්‍රියාකලාපය කෙතරම් අගය කරන්නේ ද යන්න පිළිබඳව නිසි පණිවුඩයක්‌ ලැබිණි. අනෙකාගේ දුක, වේදනාව වෙනුවෙන් නැඟෙන කඳුළු සුසුමට ජාති භේදයක්‌ නැත. මහාධිකරණ විනිසුරුවරයෙක්‌ වුවත් ඉලංෙච්නියන් මහතා වඩාත් හැඟීම්බර විය. සිය සිංහල ආරක්‌ෂකයාගේ වැන්දඹු බිරිඳ ඉදිරියේ වැඳ සමාව ඉල්ලමින් හෙතෙම ජාතියට වඩා වැදගත් පණිවුඩයක්‌ දුන් බව පැහැදිලිය.

එයට උපහාර පිදීමට බුද්ධංගල ආනන්ද හිමියන් යාපනයට වැඩමවීම සැබැවින්ම අගය කළ යුතුය. එය සිංහල බෞද්ධයන් වෙනුවෙන්ම කෘතවේදීත්වය පළ කිරීමකි. මෙම කෘතවේදීත්වය පළ කිරීමේ අවස්‌ථාව වෙනුවෙන් යාපනය ආඥපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්‌ටිආරච්චි මහතා ද සහභාගි විය.

සංහිඳියාව බලහත්කාරයෙන් ඇති කළ නොහැකිය. තුවක්‌කුවෙන් හෝ පිහියෙන් කිසි විටක සමානාත්මතාව ඇති කළ නොහැකිය. පාසල් පාඩම් පොත්වලට විවිධ ජාතීන් ගැන පාඩම් ඇතුළත් කරමින් හෝ සංහිඳියාව ඇති කිරීමට උත්සාහ කිරීම මෝඩකමකි. එය සිදුකළ යුත්තේ ප්‍රායෝගිකවය. එක්‌ ජාතියක්‌ පමණක්‌ උලුප්පමින් තවත් ජාතියක්‌ තලා පෙළමින් හෝ කිසි දිනක ජාතීන් අතර සහයෝගීතාව යථාර්ථයක්‌ කළ නොහැක. අනෙකාගේ දුක, කඳුළ දැනෙන යහපත් සංවේදී මිනිසුන් සිටින සමාජයක්‌ ඇති කිරීමෙන් පමණක්‌ සැබෑ සංහිඳියාව ඇති කළ හැක. යාපනය මහාධිකරණ විනිසුරුවරයා ද එවන් සංවේදී මිනිසෙකි. ලංකා සමාජයේම උපහාරය ඔහුට හිමිවිය යුතුය. සංහිඳියාව වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යාංශය පාසල් දරුවන්ට පාඩම් මාලා සකසන්නේ නම් ඒ සඳහා ඉලංෙච්නියන් මහතාගේ කතාව ද ඇතුළත් කළ යුතුය.

(2017/08/10 දිවයින පුවත්පතෙන් උපුටා ගන්නා ලදී)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here