ඇත්තටම ආණ්‌ඩුව විදුලි පුටුවේ වයර් ගැලෙව්වාද?

0
780

-සමන් ගමගේ –

ආණ්‌ඩුවට අනුව නම් දැන් අපට විදේශීය වශයෙන් කිසිදු බලපෑමක්‌ නැත. අපේ රණවිරුවන්ට එරෙහි මානව හිමිකම් චෝදනා එල්ල කරමින් ප්‍රභාකරන්ගේ ත්‍රස්‌තවාදය වැනසීම හමුවේ ඔවුන්ව ජාත්‍යන්තර අධිකරණ ක්‍රියාවලියක්‌ වෙත රැගෙන යැමට කටයුතු නොකෙරෙන බව ආණ්‌ඩුව කියන්නේය.

යහපාලනයේ සංහිඳියා සහ සහජීවන ක්‍රියාවලිය මෙයට ප්‍රබල හේතුවක්‌ වී තිබෙන බවද රජයේ අදහස වී ඇත. ආණ්‌ඩුවේ මුහුකුරා ගිය විදේශ ප්‍රතිපත්තිය තුළින් දැන් තමන් රට පමණක්‌ නොව සියල්ල දණ්‌ඩනයෙන් ගලවාගෙන සිටින බව රජය සමාජයට දෙන පණිවිඩය වී ඇත.

එහෙත් යථාර්ථය පවතින්නේ මේ කියන කතා තුළද? සැබවින්ම යුද්ධය මෙහෙයවූ දේශපාලන නායකත්වය සේම සෙන්පතියන් ඇතුළු සමස්‌ත රණවිරුවෝ දැන් යුද අපරාධ යන ජාත්‍යන්තර අසත්‍යය හමුවේ සුරක්‍ෂිත වී සිටිතිද?

ඕනෑම අයකුට “මහින්ද විදුලි පුටුවට යන එක අපි නැවත්තුවා.. දැන් රට සුරක්‍ෂිතයි.. අපි ජාත්‍යන්තරය දින්නා..” ආදී වශයෙන් දේශපාලන බයිලා කියන්නට හැකිය. එහෙත් පෙනනේනට ඇති පරිදි නම් යකා තවමත් ඇත්තටම කළුය. රජය සමාජගත කරන කතා තුළ යථාර්ථය ගෑවිලාවත් නැති සේය.

ඇත්ත එය නොවන්නේ නම් ජිනීවා පදය හා යමින් යහපාලනය කරළියට පැමිණි විගස ආණ්‌ඩුව “අපි රණවිරුවා සුරක්‍ෂිත කළේය” යෑයි කියන අතරේ අතුරුදන් වූවන්ගේ කාර්යාල පනත වැනි නව පනත් සම්මත කරගනු ලැබුවේ කුමකටද? ඇතැම්විට එසේ කොන්ද කඩාගත් කල සියල්ල විසඳෙනු ඇතැයි මෙහිදී යහපාලනයේ ඇතැම් දේශපාලනඥයන්ගේ ටිකිරි මොළවලට කල්පනා වූවාද විය හැකිය.

එහෙත් තමන්ට වදින කල ත්‍රස්‌තවාදය පරාජය කළ යුතු යෑයි කියන ජාත්‍යන්තර බලවේග එදා ප්‍රභාකරන්ගේ ත්‍රස්‌තවාදයට ආසිරි පතමින් සිට ශ්‍රී ලංකා හමුදා එල්ටීටිඊය වැනසූ මොහොතේ පටන් “මෙන්න මුන් යුද අපරාද කළා”යෑයි කියමින් රටට සහ රජයේ හමුදාවන්ට චෝදනා කරනු ලැබුවේ “ටිකිරි ළියා” රංගනයකට අනුව නම් නොවීය.

ඒ තුළ එක්‌ පැත්තකින් තිබුණේ තමන්ට අවනත නොවී යුද විජයග්‍රහණය වෙත ගිය ශ්‍රී ලාංකීය දේශපාලන නායකත්වය සමඟ ඇතිවූ විරසකය ය. අනෙක්‌ පසින් තිබුණේ මේ බිම බෙදා වෙන්කිරීම තුළින් තමන්ගේ ගෝලීය අරමුණු ජයගන්නට දැරූ උත්සාහය ව්‍යර්ථ වීමේ වියරුවය. එහෙයින් තමන්ට එරෙහිවූ මෙරට දේශපාලන වටපිටාව වෙනස්‌ කරනු තුරුම ඔවුහු දරුණු ලෙස එකී චෝදනා ජාත්‍යන්තර වශයෙන් ජිනීවා හරාහා අපට එරෙහිව එල්ල කළහ.

යහපාලනයත් සමඟ පැවති දේශපාලන වටපිටාව වෙනස්‌ වූ නිසා ඔවුන් එසේ ශ්‍රී ලංකා හමුදාවන්ට නඟන ලද චෝදනාවනහි දැඩිබව යම් තරමකට සමනය වූ බව සත්‍යයකි. එසේ වූයේ අපට ඇති ආදරයකට නොව, ප්‍රභාකරන් යොදා ඔවුන් ජයගන්නට ගිය අරමුණ මෙරට දේශපාලනටයේ වර්තමානයට අනුව දෙමළ බෙදුම්වාදය තුළින් වෙනත් වටයකින් ජයකණුව කරා ගෙන යන්නට හැකි බව අපට එරෙහි වූ ජාත්‍යන්තරය කල්පනා කළ බැවිනි.

අද “අපි ජාත්‍යන්තර දිනා ගත්තෙමුයි” යන ආණ්‌ඩුවේ උදාන වාක්‍යය තුළ තිබෙන්නේ මේ සත්‍යය. එසේ නොමැතිව කිසිසේත්ම ජාත්‍යන්තරයෙන් අපට එල්ල කෙරුණු චෝදනා අතහැර දැමීමක්‌ නොවන්නේය. එය වඩාත් තහවුරු වන්නේ යහපාලනය විසින්ම ඇති කරන ලද අතුරුදන් වූවන් පිළිබඳ කාර්යාල පනත දෙස බැලීමේදීය.

මේ පනතට අනුව එකී කාර්යාලයට නිලධාරීන් පත්කරන්නේ ව්‍යවස්‌ථාදායක සභාව මගිනි. විපක්‍ෂ නායක සම්බන්ධන් සහ අගමැති රනිල් වික්‍රමසිංහ යන මහත්වරු එම සභාවෙහි ආධිපත්‍යය දරති.

විපක්‍ෂ නායක සම්බන්ධන් සිටිනුයේ දෙමළ බෙදුම්වාදය තුළ බව පැහැදිලි කරුණකි. එතකොට එක්‌සත් ජාතික පක්‍ෂයේ වර්තමාන සමස්‌ත ක්‍රියාදාමය පවතින්නේ කොතැනකද?

එම කාර්යාලයට සාක්‍ෂි ආඥ පනතට පටහැනි සාක්‍ෂිද වීඩියෝ තාක්‍ෂණය මගින් ගනු ලබන සාක්‍ෂිද ලබාගත හැකිය. තමන්ට අවශ්‍ය යෑයි හැඟෙන ඕනෑම යුද, දේශපාලන නායකයෙක්‌ට විරුද්ධව චෝදනා ගොනුකොට අදාළ සාක්‍ෂි මත වරදකරු කළ හැකිය.

සාක්‍ෂි දෙන්නන්ගේ අනන්‍යතාවය වසර 20 ක්‌ යනතුරු හෙළි නොකරන අතර චූදිතයාට සාක්‍ෂිකරුගෙන් හරස්‌ ප්‍රශ්න ඇසිය නොහැක. යමෙකුට යම් චෝදනාවක්‌ එල්ල වුවහොත් හේa හමුදාවේ සිටීනම් පරීක්‍ෂණ අවසන් වනතුරු, හමුදාවෙන් ඉවත් කරනු ලබන්නේය.

යම් ලෙසකින් මෙකී අතුරුදන් වූවන්ගේ කාර්යාලය මගින් යමෙක්‌ වරදකරු කොට ඒa බව එක්‌සත් ජාතීන්ගේ ආරක්‍ෂක මණ්‌ඩලයට දන්වා යෑව්වහොත් එය ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවේ බහුතරයකින් සම්මත වූ පනතකට අනුව ස්‌ථාපිත කාර්යාලයකින් කරන ලද “සාධාරණ” පරීක්‍ෂණයකින් ගත් තීන්දුවක්‌ වන බැවින් එම අදෘළ තැනත්තා ඕනෑම රටකදී අත්අඩංගුවට ගැනීමේ හැකියාවද ඇත.

මේ වන විට “බලහත්කාරයෙන් අතුරුදන් කිරීමේ පනත” ද යහපාලනය මගින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර අවසන්ව ඇත. ඊට අදාළ ජාත්‍යන්තර ප්‍රඥප්තියටද රජය ඉකුත් කාලයේ අත්සන් කරනු ලැබීය. මෙකී පනතත් සම්මත වුවහොත් යම් වරදකට සෙබළෙක්‌ වරදකරු වන විට එම සෙබළා සේවය කළ ආයතනයේ ප්‍රධානියාද, එම වරද කිරීමට ඉඩදීම සම්බන්ධයෙන් වරදකරුවේ.

එසේ නම් මේ කියෑවෙන්නේ යුද්ධයට නායකත්වය දුන් දේශපාලන සහ හමුදා නායකත්වය දංගෙඩියට යෑවීමේ මාවත විවර කෙරෙමින් තිබෙන බව නොවේද? මෙම පනතට අනුව යම් රටකින් ඔවුන්ට විරුද්ධව නඩු පැවරුවහොත් ඒ රටට අදාළ පුද්ගලයා පිටුවහල් කිරීමට ශ්‍රී ලංකාවට සිදු වනු ඇත.

අපි යුද්ධයේදී කරනු ලැබුවේ සමූල ඝාතනයක්‌ නොවන්නේය. ප්‍රභාකරන්ගේ ප්‍රාණ ඇපයේ සිටි ලක්‍ෂ ගණනක්‌ වූ දෙමළ වැසියන්ගේ ජීවිත බේරා ගනිමින් එහිදී සිදු කෙරුණේ ත්‍රස්‌තවාදයකට එරෙහිව සිදු කළ ලොව ප්‍රථම මානුෂීය මෙහෙයුම විය. එහෙත් අද දෙමළ බෙදුම් වාදීන් එය හඳුවන්නේ ජාති සංහාරයක්‌ ලෙසිනි.

එකී ජාති සංහාරය හෙවත් වර්ග සංහාරය යන්න මේ වන විට ජිනීවා මානව හිමිකම් කවුන්සලය දක්‌වාම රැගෙන යන්නට දෙමළ බෙදුම්වාදීන් කටයුතු කර ඇත. ඉතාම සියුම් ලෙස සියල්ල සිදුවෙමින් තිබෙන්නේ ක්‍රමානුකූලවය.

ඒ අතරේ මෙරට අධිකරණ ක්‍රියාවලිය තුළ අද ජාත්‍යන්තරය කියන ඊනියා යුද අපරාධ සම්බන්ධයෙන් විමර්ශන කිරීමට සුදුසු තත්ත්වයක්‌ නැති බවත් මීට පෙර ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් විමර්ශනයට පත් කළ එක්‌සත් ජාතීන්ගේ විමර්ශන මණ්‌ඩල වාර්තාව මගින්ද එය තහවුරු කර ඇති බව එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් ප්‍රධානී සෙයිද් අල් හුසේන් සඳහන් කරන්නේය.

මෙයින් කියෑවෙන්නේ කුමක්‌ද? දෙමළ බෙදුම් වාදීන් ශ්‍රී ලංකා හමුදාවන්ට එරෙහිව වර්ග සංහාර චෝදනාවක්‌ නගද්දී මෙරට යුද අපරාධ හා මානව හිමිකම් පිළිබඳ සොයා බැලීමට ජාත්‍යන්තර අධිකරණ ක්‍රියාවලියක්‌ වුවමනා වන්නේ යෑයි කීම නොවේද?

මේ සිදුවෙමින් තිබෙන්නේ අතුරුදන් වූවන්ගේ කාර්යාල පනත සම්මත කර බලහත්කාරයෙන් අතුරුදන් වූවන් පිළිබඳ එක්‌සත් ජාතීන්ගේ ජාත්‍යන්තර ප්‍රඥප්තියටද අත්සන් තබමින් දේශීය ක්‍රියාවලියක්‌ තුළ සිරවුණු ආණ්‌ඩුව එක්‌සත් ජාතීන්ගේ ඊනියා යුද අපරාධ චෝදනා හමුවේ රණවිරුවා විත්තිකරුවකු කිරීමට කටයුතු කර තිබියදී ඒ විත්තිකරුවා පිළිබඳ නඩු ඇසීමට ශ්‍රී ලංකා අධිකරණයට සුදුසුකම් නැතැයි කියමින් ජාත්‍යන්තර ක්‍රියාදාමයක්‌ අවශ්‍ය බව එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම මගින් තරයේ අවධාරණය කිරීමක්‌ නොවේද?

එහෙත් ජිනීවා අනුව යමින් ජාත්‍යන්තරය දිනා ගන්නට මානුසීය මෙහෙයුම සිදු කළ රණවිරුවා විත්තිකරුවකුයෑයි පිළිගනිමින් එක්‌සත් ජාතීන් ඉදිරියේ අත එසැවූ යහපාලනය අද මේ පිළිබඳ කිසිදු හඬක්‌ නගන්නේ නැත. ජනීවා වෙතින් එන කතාවලට ආණ්‌ඩුවේ ප්‍රතිචාරය ගොලුවත රැකීම බවට පත්ව ඇත.

එසේ ප්‍රතිචාර දැක්‌වීම වෙනුවට සිදුවෙමින් තිබෙන්නේ සීඅයිඩීයේ විමර්ශන හරහා යම් යම් සිද්ධින් ගෙන රණවිරුවන් මිනී මරුවන් ලෙස සිරගත කිරීමය. ඉතින් ආණ්‌ඩුවේ මේ හැසිරීම තුළ ජාත්‍යන්තරය දිනා ගන්නට හැකිය. එහෙත් ඒ ජයග්‍රහණය රටට ලැබෙන්නක්‌ නොව ඒකත් ආණ්‌ඩුවටම ය.

ඇමරිකාව ප්‍රධාන බටහිර කඳවුරට අයත් ජාත්‍යන්තරයට අවැසි වන්නේද තමන්ට ගෝලීය වශයෙන් වැදගත් වන්නා වූ භූමියක එවන් සුවච කීකරු පාලනයක්‌ තිබෙන දැකීමය. යදු විජයග්‍රහණය ලද දේශපාලනය වෙනස්‌ කෙරෙමින් රට තුළ බිහිවූ යහපානය අද ජාත්‍යන්තරය දිනා ගත්තේයෑයි කියන කතාවේ සැබෑ අරුත ඇත්තේ එතැනය.

රජයේ මෙකී නිහඬ බව හමුවේ දැන් එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලය වෙතින් එන කුමන්ත්‍රණයට මුහුණ දීමට සිදුව ඇත්තේ රටට සහ රණවිරුවාට ගරු කරන දේශප්‍රේමී කඳවුරටය. අද එයට උර දී සිටින්නේ ගෝලීය ශ්‍රී ලංකා සංසදය සහ රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර, නීතිවේදී දර්ශන් වීරසේකර ඇතුළු ලක්‌ මවගේ සුජාත පුතුන් පිරිසකි.

ගියවර එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සල සැසියේදී “රණවිරුන්ගේ විත්ති වාචකය” යනුවෙන් වාර්තාවක්‌ ඉදිරිපත් කරමින් ශ්‍රී ලංකා හමුදාවන් යුද අපරාධ සිදු නොකළ බවත් සැබෑ යුද අපරාධකරුවන් වන්නේ එල්ටීටීඊ ත්‍රස්‌තවාදීන් බවත් එක්‌සත් ජාතීන්ට පෙන්වා දෙන්නට ඔවුන් කටයුතු කළේය.

මෙවරද ඔවුන් එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලය වෙතින් එන චෝදනාවන්ට පිළිතුරු දීමට සූදානම්ව සිටින්නේය. එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් ප්‍රධානී සෙයිද් අල් හුසේන් මෙරට අධිකරණ ක්‍රියාවලිය අසමත් එකකැයි කියද්දී රජය මුනිවත රැක්‌කද එය එස්‌ නොවන බවත් ශ්‍රී ලංකා අධිකරණ පද්ධතිය යනු ස්‌වාධීන සහ ඉතාම ඉහළ සමත්කමක්‌ ඇති එකකැයි හුසේන්ට පෙන්වා දීමට ඔවුන් දැනටමත් අවශ්‍ය පියවර ගෙන ඇත.

ඒ වෙනුවෙන් ඉතිහාසයේ ප්‍රථම වතාවට මෙවර එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසිවාරයට සමගාමිව යමින් ශ්‍රී ලංකාවේ නිවැරදිභාවය ලෝකයට කීම සඳහා සමාන්තර සැසියක්‌ පැවත්වීමටද ගෝබල් ශ්‍රී ලංකා සංසදය ඇතුළු අද්මිරාල් සරත් වීරසේකර සහ නීතිවේදී දර්ශන් වීරසේකර ඇතුළු පිරිස පියවරගෙන ඇත.

පවතින සැබෑ තත්ත්වය මෙය නම් යහපාලනය අද තමන් ජාත්‍යන්තරය දිනා ගනිමින් විදුලි පුටුවේ වයර් ගලවා යුද විජයග්‍රහණයේ දේශපාලන රාමුව සහ රටට සාමය දිනා දුන් රණවිරුවා සුරක්‍ෂිත කළේ යෑයි කියන්නේ කෙසේද? ඒ තුළ තිබෙන්නේ සහජීවනය සහ සංහිඳයාව තුළින් බෙදුම්වාදයේ ගොදුරක්‌ වී කරවටක්‌ ගිලී සිටින යහපාලනය සමස්‌තයට මුසාබස්‌ කීමක්‌ නොවේද?

[දිවයින : 2017-06-14]

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here