එක්‌සත් ජාතීන්ගේ “අත්තනෝමතික”වැඩ

0
263

අවුරුද්දක්‌ ගෙවී යන්නට එසේත් නැත්නම් 2017 වර්ෂය අවසන් වන්නට තව ඇත්තේ හරියටම සතියකි. පසුගිය අවුරුද්දේ හොඳයි කියන්නට තරම් වැඩි දෙයක්‌ අහන්නට දකින්නට තිබුණේ නැති නිසා ඉදිරි දින කිහිපයේදීත් “හොඳම දේ” ගැන කිසිවෙකුත් බලාපොරොත්තු තබා ගැනීම සුදුසු නැතැයි අපි විශ්වාස කරමු. කෙසේ හෝ පසුගිය අවුරුද්දේ නරකම කාලය ලබා තිබුණේ රණවිරුවන්ටය. 2009 අවුරුද්දේ යුද්ධය අවසන් වූ පසු (හරියටම කීවොත් රණවිරුවන් මේ රට නිදහස්‌ කර ගැනීමෙන් පසු) රටට, ජනතාවට අත්වූ නිදහස, රටේ ජනතාව අත්විඳින ප්‍රීතිය ඒ තරමින්ම හෝ ඊටත් වඩා වැඩියෙන් හිමිවිය යුතු පිරිස වන්නේ රණවිරුවන් බව කීවොත් කිසිවෙකුත් විරුද්ධ වන්නේ නැත. එහෙත් රණවිරුවන්ට ඒ කියන නිදහස හෝ ප්‍රීතිය භුක්‌ති විඳින්නට හැකිවූයේ නැත. මේ රටේම සිටින ෆෙඩරල් වලිප්පුව වැළඳුණු, රට බෙදීමේ වුවමනාව ඇති පිරිසක්‌ ජාත්‍යන්තරය සමඟ එක්‌ව රණවිරුවන් ජාත්‍යන්තර යුද අධිකරණයට මතු නොව විදුලි පුටුවට ගෙන යන්නටද වලිකෑහ. ඒ නිසාම කොටින්ගෙන් රට බේරාගන්නට කළ යුද්ධයට වැඩි යුද්ධයක්‌ ඒ ෆෙඩරල් කොටි සමඟ කරන්නට රණවිරුවන්ට සිදුව තිබිණි. ඒ අතරවාරයේ තමන් නිදහස්‌ කරගත් රටේම හිරකාරයන් වන්නටද රණවිරුවන්ට සිදුව තිබේ.

පසුගිය දවස්‌වල එක්‌සත් ජාතීන්ගේ නියෝජිත පිරිසක්‌ මේ රටට පැමිණියහ. මේ පිරිස හැඳින්වූයේ “අත්තනෝමතික රඳවා ගැනීම් පිළිබඳ එක්‌සත් ජාතීන්ගේ ක්‍රියාකාරී කමිටුව” ලෙසය. අත්තනෝමතික රඳවා ගැනීම් සඳහා පැමිණි පිරිස මෙහි සිsටි දින කිහිපයේම කළේ අත්තනෝමතික වැඩය. බලු නොවටිනා වැඩය. මේ පිරිස මෙරටට පැමිණි පසු ඔවුන් හමුවීමට සූදානමින් සිටි පිරිස අතරේ පැහැර ගැනීමකට සැකපිට අත්අඩංගුවට ගෙන සිටින නාවික හමුදා බුද්ධි අංශයේ නිලධාරියකුව සිටි කොමදෝරු ඩී. කේ. පී. දසනායක හා කොමදෝරු සුමිත් රණසිංහගේ බිරින්දෑවරු සහ දරුවෝද සිටියහ. මේ නාවික හමුදා නිලධාරීන් අත්අඩංගුවට ගෙන මේ වන විට මාස ගණනාවක්‌ ඉක්‌ම ගොස්‌ තිබියදීත් තවමත් ඔවුනට විරුද්ධව චෝදනා ගොනුකර නැත. ඒ අනුව බලන කල එක්‌සත් ජාතීන්ගේ නියෝජිත කමිටුව නාමකරණය කරන අත්තනෝමතික රඳවා ගැනීමට ඒ පිරිසද ඇතුළත්ය. එම නාවික නිලධාරීන්ගේ දරුවන් එම නියෝජිත පිරිස හමුවට ගියේ ඒ ආකාරයේ චිත්‍රයක්‌ රටේ ජනතාව තුළ ඇතිවී තිබුණු නිසාය. එහෙත් මේ අපූරු නියෝජිත කණ්‌ඩායම එය ප්‍රතික්‌ෂේප කළේ තමන්ගේ න්‍යාය පත්‍රයට එය ඇතුළත්ව නැති බව පවසමිනි.

ඇත්ත, ඒ නියෝජිත පිරිසත් බෙදුම්වාදයට ආවඩන මේ රටේ මහත්වරුන්ටත් තමන්ගේ න්‍යාය පත්‍රයට කොමදෝරු ඩී. කේ. පී. දසනායක නොව කිසිදු රණවිරුවකු ඇතුළත් නැත. ඇත්තෙන්ම සාමය වෙනුවෙන්, සංහිඳියාව වෙනුවෙන් පෙනී සිටිනවාය කියන මේ උදවිය කරන්නේ අමු අමුවේම එය විනාශ කරන අන්දමට වැඩ කිරීමය.

එක්‌සත් ජාතීන්ගේ නියෝජිත පිරිස අතර සිටි එක්‌සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත බෙන් එමර්සන්, ඩී. කේ. පී. දසනායක සිරගත වීම ගැන සතුට ප්‍රකාශ කර තිබිණි.

මේ සිරගතව සිටින්නේ ජාතියේ වීර කාව්‍යය ලියෑවෙන විට එහි අනිවාර්ය චරිත බවට පත්වන රණවිරුවන්ය. ජාත්‍යන්තරය සතුටු වන්නේ ඒ ගැනය. අලුත් අවුරුද්ද ලබන විට ජාතියක්‌ ලෙස අප කම්පා විය යුත්තේ එබැවිනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here