ඒ, කකියන ලේ….. රාජ්‍යතාන්ත්‍රිකභාවය සමග එය පටලවා ගත යුතු නැහැ…

0
748

ලන්ඩනයේදි සිංහ කොඩිය පෙන්වූ බ්‍රිගේඩියර් ගැන මේජර් ජනරාල් කමල් ගුණරත්න කියන කතාව

* මම ඔතැන හිටියා නම් කරන්නෙත් ඔය දේමයි…

සාකච්ඡා කළේ
මනෝඡ් අබයදීර

 

ලන්ඩන්හිදී ඇතිවූ සිද්ධිය තවමත් අවසන් විනිශ්චය සඳහා ගොස්‌ නැත. බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු එහිදී හැසිරුණු ආකාරය සහ එම සිද්ධිය පිළිබඳ විචාරාත්මක අදහසක්‌ දැන ගැනීම සඳහා අප යොමු වූයේ, දෙමළ වර්ගවාදී ත්‍රස්‌තවාදයට එරෙහිව සටනේ ප්‍රමුඛ නියමුවකු වූ, මේජර් ජෙනරාල් කමල් ගුණරත්න වෙතය. වසර දෙකකට ආසන්න කාලයක්‌ තානාපති අත්දැකීම් ද සහිත ඔහු දිවයින ඉරිදා සංග්‍රහය සමඟ ඒ පිළිබඳව කතිකා කළේ මේ ලෙසිනි.

ප්‍රශ්නය – සංග්‍රාම භුමිය කියන්නේ සතුරා සහ අනතුර පමණක්‌ පෙනිය යුතු ඉසව්වක්‌ වුවත් එහි මිතුරන් සහ සගයන් ද සිටිනවා. ශ්‍රී ලංකා යුද හමුදාව වසර තිහක්‌ පුරා අනවරතව සංග්‍රාමයේ නිරතවූ පිරිසක්‌… ලන්ඩන් සිද්ධියට සම්බන්ධවූ, බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු, සංග්‍රාම භූමියේදී ඔබට හමුවූ, ඔබ දැන හඳුනන චරිතයක්‌ ද…?

පිළිතුර – ඔව්… මේ නිලධාරියා මම හොඳින්ම හඳුනන කෙනෙක්‌… ඔහු මගේ යටතේ කාලයක්‌ සේවය කළ නිලධාරියෙක්‌. මම ගුවන් සංක්‍රමණික බළසේනාවේ සේනාධිපති ලෙස සේවය කරන කොට එහි එක බළඇණියක්‌ තමයි පස්‌ වැනි ගැමුණු හේවා බළඇණිය. එම බළඇණියේ දෙවැනි අණ දෙන නිලධාරියා ලෙස සේවය කළේ, ප්‍රියංක ප්‍රනාන්දු. ඒ වෙනකොට ගුවන් සේවා බළඇණිය පිහිටා තිබුණේ, මුහමාලේ. මුහමාලේ කියන්නේ, ඒ කාලයේ ලංකාවේ තිබුණු දරුණුම ස්‌ථානය. එතැන අතිරේක භට පිරිස්‌ විදිහට තමයි ගුවන් සංක්‍රමණික බළසේනාව තිබුණේ… ප්‍රියංක ප්‍රනාන්දු එවකට මේජර්වරයෙක්‌… ඔහු බොහොම විනයගරුක, ඒ වගේම අතිශයෙන්ම වෘත්තිමය තැනක හිටපු නිලධාරියෙක්‌… ඒක එදත් එහෙමයි. පසු කාලයක ඔහු කර්නල් ආදී තනතුරු දැරුවා… ඒ කාලයේත් ඔහු එහෙමයි. නිලධාරියෙක්‌ විදිහට බොහොම හොඳ චරිතයක්‌… හමුදා නිලධාරියෙක්‌ ලෙස ඕනෑම තැනකට යවන්න පුළුවන්, හොඳ උසක්‌ තියෙන, මනා දේහයක්‌ තියෙන නිල ඇඳුම ඇන්දහම බොහොම ප්‍රතාපවත් ගතියක්‌ තියෙන නිලධාරියෙක්‌…

ප්‍රශ්නය – බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්‌ කාර්යාලයේ, ආරක්‌ෂක උපදේශක ලෙස සේවය කරන බ්‍රිගේඩියර් ප්‍රනාන්දු, හමුදා සේවයක නිරතවෙන චරිතයක්‌ පමණක්‌ නොවේ. එහිදී ඔහු රාජකාරි කටයුතු සිදු කරන්නේ රාජ්‍යතාන්ත්‍රිකයකු ලෙසයි. එදා ඔහු හැසිරුණු ආකාරය රාජ්‍යතාන්ත්‍රික ද කියන ප්‍රශ්නය තියෙනවා…

පිළිතුර – හුදු රාජ්‍යතාන්ත්‍රිකභාවයෙන් පමණක්‌ මේ දෙස බලනවා නම් එතැන ගැටලුවක්‌ තියෙන්න පුළුවන්. මේ තත්ත්වය මම හොඳින්ම දන්නවා. මමත් හමුදා සේවයේ සිටියදීම, බ්‍රසීලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නියෝජ්‍ය තානාපති ලෙස වසර දෙකක්‌ සේවය කළා. එතැනදී මාව හමුදාවේ සිටින විටම විදේශ සේවයට අනුයුක්‌ත කළා. ඒ වගේ තනතුරකදී අපි හැසිරෙන්න ඕනේ විලාසය, කතා කරන්න ඕන විලාසය, මුළුමනින්ම වෙනස්‌. මම හොදටම දන්නවා, ප්‍රියංක ප්‍රනාන්දු කියන්නේ, ඒ ආකාරයට හැසිරෙන්න පුළුවන් දක්‌ෂ නිලධාරියෙක්‌ කියලා. අපි රාජ්‍යතාන්ත්‍රික නොවෙයි, රාජකීය තත්ත්වයට පත් වුණත්, මව්බිමට තියෙන ආදරේ අපේ ඇඟේ තියෙන්න ඕනේ. අපේ ලේ වල දුවන්නේ ඒ රටට තියෙන ආදරය, ජාතියට තියෙන ආදරය. විශේෂයෙන්ම යුද හමුදාවේ සටන්කාමි රෙජිමේන්තුවක හිටපු නිලධාරියෙක්‌ගේ ඒ ලේ තියෙනවා. අදටත් මගේ ඇඟේ රටට තියෙන ආදරේ, ජාතියට තියෙන ආදරේ එහෙම්ම තියෙනවා. ඒ කැක්‌කුම තියෙනවා. අදටත් මම ඉස්‌සරහට ඇවිල්ලා කතා කරන්නේ, ඒ කැක්‌කුම නිසා. රට පාලනය කරන අය රට විනාශ කරනවා නම් ඒ ගැන අපිට කතා කරන්න සිද්ධ වෙනවා. ඒ ඡන්දය ඉල්ලන නෙමෙයි. රටට ජාතියට ව්‍යසනයක්‌ වෙනවා නම්, ඒ ලේ කකියනවා. මෙතැනදී මට කියන්න තියෙන්නේ, ඔය තමයි කකියන ලේ කියලා…

kamal1අපේ රටේ නිදහස්‌ උත්සවය කියන්නේ, ජනාධිපතිතුමා බොහෝම ආඩම්බරයෙන් ත්‍රිවිධ හමුදා උත්තමාචාරය පිළිගන්න දවස. ත්‍රිවිධ හමුදා නිලධාරීන් සහ සෙබළුන් ද එදාට බොහොම ආඩම්බරයෙන් පපුව ඉස්‌සරහට දාලා, දකුණට හැරීමක්‌ සමග ජනාධිපතිතුමාට ආචාර දක්‌වමින් යනවා. නිදහස්‌ දවසේ, එය සමරන්න නිල ඇඳුමක්‌ ඇඳගත්ත වෙලාවට අපිට, රට ගැන ජාතිය ගැන ආඩම්බරයක්‌ වෙනත් අවස්‌ථා වලටත් වඩා ඇතිවෙනවා. රටේ මුර දේවතාවුන් විදිහට අපේ රට ජාතිය ආරක්‌ෂා කිරීමට තිබෙන භූමිකාව අපේ හදවතේ හැම මොහොතකම තියෙනවා. එක්‌ වරක්‌ සොල්දාදුවකු වුණා කියන්නේ හැම විටම සොල්දාදුවෙක්‌ කියලා කියමනක්‌ තියෙනවා. මම හිතන්නේ ඒ අවස්‌ථාවේ බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දුටත් ඒ හැඟීම එන්න ඇති. රාජ්‍යතාන්ත්‍රිකභාවය දිහා බලන්න ඉස්‌සෙල්ලා මේ පසුබිම අපි තේරුම් ගන්න ඕනේ.

ප්‍රශ්නය – මෙවැනි අවස්‌ථාවක අත්‍යාවශ්‍යයෙන්ම තිබිය යුතු ඉවසීම සහ දරා ගැනීම බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු තුළ නොතිබුණු බවට සමහරුන් චෝදනා කරනවා…

පිළිතුර – ඒ වගේම ඕනෑම කෙනෙක්‌ගේ ඉවසීමේ සීමාවක්‌ තියෙනවා. කාව හරි අපි බිත්තියට තල්ලු කරගෙන ගියහම, එයා හිරවෙන මොහොතක්‌ එනවා. ඒ වෙලාවට ඔහු මරණය හෝ ප්‍රතිප්‍රහාරය තෝරා ගන්නවා. අන්න ඒ වගේ අවස්‌ථාවක්‌ තමයි මේක. ඒ ඉවසීම හොඳින්ම ප්‍රගුණ කරපු කණ්‌ඩායමක්‌ තමයි ශ්‍රී ලංකා යුද හමුදාව කියන්නේ. වර්තමාන අගමැතිතුමා මීට කලින් අගමැති වෙලා ඉන්න කොට, 2002 තිබ්බ සාම කාලයේදී, අපිට වෙච්ච අපහාස, අපව උපහාසයට ලක්‌ වෙච්ච තරම කියන්න මට වචන නැහැ. ඒ වගේ අපහාස, උපහාස මේ රටේ වෙනත් කවුරුවත් විඳලා නැහැ. අපි හමුදාවට බැඳුනේ රට ආරක්‌ෂා කරන්න. අපිට නිල ඇඳුමක්‌ දුන්නේ, අපිට අවි පුහුණුව දුන්නේ රට ආරක්‌ෂා කරන්න. අපිට අවියක්‌ දීලා, ඒකට පතුරම් දුන්නේ මේ රට ආරක්‌ෂා කරන්න. ඒ රට ආරක්‌ෂා කරන්න දුන්න පුහුණුවෙන් පස්‌සේ, ඒ සඳහා දුන්න නිල ඇඳුම ඇඳගෙන, ඒ තුවක්‌කුව, පතුරම් දාලා අතේ තියාගෙන, අපේ සෙබළු, අපේ කඳවුරට වෙලා ඉන්න කොට එල්ටීටීඊය මොකද කළේ…? ඒ අය සාමය කියලා කරපු දේ තමයි, සරම් ඇඳගෙන ගමේ මිනිස්‌සුත් උසිගන්නා ගෙන අපේ කඳවුරු ඉස්‌සරහට එන එක. ඒ ඇවිල්ලා, ලෝකයේ තියෙන හොඳම කුණුහරුප ටික කියලා, අපිට බණිනවා. අපි ඒ සියල්ලම අහගෙන ඉන්නවා. එහෙම බැණලා, බැණලා, ඇඳගෙන ඉන්න සරම උස්‌සලා, ඉස්‌සරහ පැත්ත පෙන්නලා, ඊට පස්‌සේ අනිත් පැත්ත හැරිලා පිටිපස්‌ස පැත්තත් පෙන්නලා, කුණුහරුපයෙන් කෑගගහ උඩ පනින කොට, ඒක ඉවසගෙන හිටපු හමුදාවක්‌ අපි. එහෙම කරද්දී තුවක්‌කුවක්‌ අතේ තියාගෙන, ඉන්න පුළුවන් ලෝකයේ එකම හමුදාවත් අපි. ඔය බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු කියන්නෙත් එහෙම අවස්‌ථාවලට මුහුණ දුන්න චරිතයක්‌ බව මම දන්නවා. ඔය රාජ්‍යතාන්ත්‍රික ඉවසීම කියන එකට වඩා හොඳට, ඒ වගේ අවස්‌ථාවලදී අපි හැසිරිලා තියෙනවා.

ඒ සාම කාලයේදී ඔය මාර්ග බාධකවල අපේ සෙබළු ඉන්දැද්දී එකපාරටම ඇවිල්ලා කියනවා ඔය මාර්ග බාධකය අයින් කරගනීයව්’ කියලා. අපේ සෙබළු බැහැයි කියපුවහම අර වැලි කොට්‌ට ඇදලා, පෙරළලා, ටකරන් වලින් හදාගෙන තියෙන අට්‌ටාල කඩලා දාලා, අර වගේම කුණුහරුප කියලා, සරම් උස්‌සලා පෙන්නලා, හූ කිය කිය යනවා. එහෙම ඉවසපු අපිට අලුතෙන් ඉවසීම ඉගෙන ගන්න දෙයක්‌ නැහැ. රාජ්‍යතාන්ත්‍රික තත්ත්වය කියන්නේ සෝවාන් වුණා හෝ රහත් වුණා කියන එක නෙමෙයි. ඉවසන්න පුළුවන් සීමාවක්‌ තියෙනවා.

ප්‍රශ්නය – සිද්ධිය වූ දිනයේ පැවැත්වුණේ ලන්ඩනයේ පිහිටි ශ්‍රී ලංකා මහ කොමසාරිස්‌ කාර්යාලය විසින් පවත්වන ලද නිදහස්‌ උත්සවය. එවැනි අවස්‌ථාවක පැවැත්වෙන විරෝධතාවයක්‌ සඳහා එසේ ප්‍රතිචාර දැක්‌වීමෙන් ලෝකයට ශ්‍රී ලංකාව පිළිබඳව ඇතිවෙන හැඟීම සතුටුදායක නැති බවට සමහරු මත පළ කරලා තිබ්බා…

පිළිතුර – නිදහස්‌ දවසේ හමුදාවට තියෙන ආඩම්බරය ගැන මම කලින් කිව්වා. එදා දවසේ නිදහස්‌ උත්සවය මහ කොමසාරිස්‌ කාර්යාලයේ පැවැත්වුණු නිසා තමයි, ප්‍රියංක ප්‍රනාන්දු, හමුදා උත්සව ඇඳුමෙන් සැරසී සිටියේ. එදා වගේ දවසක, තමන් මේ රටේ ජනතාවට ලබා දුන්න නිදහසට එරෙහිව “අපේ නායකයා ප්‍රභාකරන්… අපේ රට ඊළම” කියලා කෑගහනකොට, මේ රටට තමන්ගේ ජීවිතය කැප කරලා නිදහස අරන් දුන්න, රණවිරුවකුට ඉවසන්න පුළුවන් ද…? මේ නිදහස අපේ හමුදාව අරන් දුන්නේ මේ රටේ සියලු ජනතාවට… කවුරු හරි ඒක බාල්දු කරලා කතා කරන කොට, ඒ බාල්දු කරන කෙනා සිංහල ද දෙමළ ද මුස්‌ලිම් ද කියලා, බලන්නේ නැතුව ප්‍රතිචාර දැක්‌වීමට මම කියන්නේ ‘කකියන ලේ’ කියලා. ඒ වෙලාවේ මහ කොමසාරිස්‌ කාර්යාලයේ නිලධාරීන් එළියට ඇවිල්ලා හිටියා. එතකොට ප්‍රියංක ප්‍රනාන්දුත් එළියට ඇවිල්ලා හිටියා. මේ වගේ තත්ත්වයක්‌ මම නියෝජ්‍ය තානාපති වෙලා ඉන්න කොට ඇතිවෙලා, මගේ තානාපති එළියට ආවා නම් මමත් ඇතුළට වෙලා ඉන්නේ නැහැ. ඒ අපේ හැටි. අපිව පුහුණු කරලා තියෙන හැටි. මම මේ ගැන හොඳ උදාහරණයක්‌ කියන්නම්. මහින්ද රාජපක්‌ෂ මහත්තයා, ජනාධිපති කාලයේ එංගලන්තයට යන කොට ඒ, ඔහුගේ ආරක්‌ෂාවට ගියේ මේජර් ජෙනරාල් චාගි ගාල්ලගේ. ඒ යන කොට දෙමළ ඩයස්‌පෝරාව චාගි ගාල්ලගේට නඩුවක්‌ දාලා, ඔහුව අත්අඩංගුවට ගන්න ලැහැස්‌ති වෙලා හිටියේ. ඒ සඳහා ක්‍රියාකරගෙන යන කොට, ඒක ආරංචි වෙලා ජනාධිපතිතුමා ‘චාගි … ඔයා, හමුදාවේ ළමයි හයදෙනාවත් අරගෙන යන්න’ කියලා චාගි ගාල්ලගේට කිව්වා. එතකොට මේජර් ජෙනරාල් චාගි ගාල්ලගේ කිව්වේ මොකක්‌ද…? ‘මම ආවේ සර්ගේ ආරක්‌ෂාවට… ඔහොම නෙමෙයි ඔයිට වැඩි දෙයක්‌ වුණත්, මම සර්ව දාලා යන්නේ නෑ… සර් මට යන්න අණ කළත් මම යන්නේ නැහැ…’ කියලා චාගි කිව්වා. මම මේ කතා කරන්නේ තානාන්තර බලාගෙන, කටයුතු කරන හමුදා නිලධාරීන් ගැන නෙමෙයි… අන්න ඒ වගේ නියම හමුදා නිලධාරියෙක්‌… ප්‍රියංක ප්‍රනාන්දු, ඒ වෙලාවේ නිල ඇඳුමෙන් ආපු එක, මම හිතන්නේ නොකළ යුත්තක්‌ කියලයි. හැබැයි මම වුණත් ඒ වෙලාවේ, මගේ ඉහළ නිලධාරියෙක්‌ එළියට ආවා නම් එළියට එනවා. එවැනි මොහොතක බය ගුල්ලෙක්‌ වගේ ඇතුළට වෙලා ඉන්න බැහැ. ඒක තමයි ප්‍රියංක ප්‍රනාන්දුත් ඒ මොහොතේ කරන්න ඇත්තේ…

ප්‍රශ්නය – සිද්ධියේ එක්‌තරා අවස්‌ථාවක, බ්‍රිගේඩියර්වරයා තමන්ගේ කමිස අතේ රඳවා ඇති සිංහ ධජය, උද්ඝෝෂකයන්ට පෙන්වනවා. එහි ඡායාරූපය රටේ අතිශයින්ම ප්‍රචලිත වී තිබෙනවා. මේ ගැන ඔබේ අදහස සඳහන් කළහොත්…

පිළිතුර – මට ඒ මොහොතේ ලොකු ආඩම්බරයක්‌ ඇතිවුණා. අපේ නිලධාරියෙක්‌ මේ ත්‍රස්‌තවාදය පතුරුවනවා නෙමෙයි… තමන්ගේ රටේ සංකේතය ලෝකයට පෙන්වනවා.

ප්‍රශ්නය – ඒ වගේම තවත් අවස්‌ථාවකදී පිට පිට තුන් වතාවක්‌ම ඔහු විසින්, බෙල්ල වටා ඇගිලි දෙකක්‌ යවමින් යම් සංකේතාත්මක දෙයක්‌ විරෝධතාකරුවන්ට පෙන්වනවා. ඒ අවස්‌ථාවත් ඔබ දකින්න ඇති නේද…?

පිළිතුර – ඉවසීමේ සීමාව ඉක්‌මවා ගියහම, මිනිස්‌සු එක්‌ එක්‌ සංඥා දක්‌වනවා. එවැනි සංඥාවක්‌ ඔහු දැක්‌වූයේ, තමන්ගේ රටට, ජාතියට විරුද්ධව හඬක්‌ නගපු අවස්‌ථාවක… එයට ඔහු ප්‍රතිචාර දැක්‌වූයේ ගුටි බැට හුවමාරු කරගැනීමෙන් නොවෙයි. මේ හමුදා නිලධාරීන්, සෙබළු කරපු කැපකිරීම අසීමිතයි. ඔවුන් මේ රටට උදා කර දුන්න ජයග්‍රහණය සුළුපටු නැහැ. එවැනි ජයග්‍රහණයක්‌ බාල්දු කරන කොට, සද්ද නැතුව ඉන්න පුළුවන්ද…? මන්දා මට නම් ඉන්න බැහැ… අපේ ඇඟේ දුවන්නේ රටට ආදරේ ලේ… ජාතියට ආදරේ ලේ… මෙවැනි අවස්‌ථාවකදී ඒ ලේ කකියනවා… මේ මුළු ඉතිහාසය පුරාම අපේ රටේ හිටපු කෘර මිනිසාගේ නම කියලා “අපේ නායකයා…” කියලා කෑගහන කොට, ඒක ඉවසන්න පුළුවන් සීමාවක්‌ තියෙනවා…

ප්‍රශ්නය – මුල් අවස්‌ථාවේදී, මේ නිලධාරියාගේ වැඩ තහනම් වුණත්, පසුව ජනාධිපතිවරයාගේ මැදිහත්වීමෙන් එම තහනම වැලකී ගියා…

පිළිතුර – ඒ ගැන අපි හිතන්න ඕනේ මේ පාලකයන්ගේ ඉතිහාසයත් සමග… අතුරුදන්වූවන්ගේ කාර්යාලය පිහිටුවීමේ පනත සහ බලහත්කාරයෙන් අතුරුදන් කිරීමේ පනත මේ පාලකයන් ගෙනහල්ලා තියන්නේ අපිට ආදරේට නෙමෙයිනේ… අපේ විශ්‍රාම කාලයේදී අපිට ගෙදරට වෙලා, උණු වතුර නාලා, හාන්සි පුටු වල වාඩිවෙලා, කකුල් දෙක උඩ තියාගෙන ඉන්න නෙමෙයිනේ, ඒ පනත් දෙක ගෙනාවේ… අපිව කොහේට හරි දක්‌කන්න බලාගෙනනේ… අපි රට ජාතිය බේරා ගැනීම ලොකු වරදක්‌ විදිහටනේ ඒ අය හිතන්නේ… ඒගොල්ලෝ මේ රටේ ජීවත් වෙච්ච නැති මිනිස්‌සු වගේ හිතලනේ මේ වගේ පනත් ගෙනාවේ… මෙහෙ යුද්ධයක්‌ තිබුණේ නැහැ වගේනේ ඒ අය ඉන්නේ… මේ සිද්ධියේ මුල් අවස්‌ථාවේදී, විදේශ අමාත්‍යාංශය විසින් ඒ නිලධාරියාගේ වැඩ තහනම් කළා. එම අවස්‌ථාවේදී ඒ ආරංචිය රට පුරා පමණක්‌ නෙමෙයි, ලෝකය පුරා සිටින රටට ආදරේ කරන ශ්‍රී ලාංකිකයන් අතර පැතිරී ගියා. ඒකෙන් මේ රට රත් වුණා… ඇත්තට වුණේ මොකද කියන එක, අපේ මිනිස්‌සු වීඩියෝවෙන් දැක්‌කා. ඒ සමඟම සමාජය රත් වුණා… ඒක විශාල බලවේගයක්‌ වුණා… කවදාවත් ප්‍රියංක ප්‍රනාන්දුව දැකපු නැති, අහපු නැති මිනිස්‌සුන්ට ඔහු වීරයෙක්‌ වුණා.

ඒ එක්‌කම මේ අවස්‌ථාව වෙන කොට රටේ ඡන්ද උණුසුමක්‌ ඇතිවෙලා තිබුණා. ප්‍රියංකගේ වැඩ තහනම් කරපු එකට සමාජ මාධ්‍ය මගින් දැඩි විවේචනයක්‌ එල්ල වෙන කොට, දේශපාලනඥයෝ උපක්‍රමයක්‌ විදිහට ඔහුගේ වැඩ තහනම ඉවත් කර ගත්තා කියන එකයි මගේ හැඟීම. යුද හමුදා බුද්ධි අංශයේ කර්නල් ශම්මි කුමාරරත්න සහ මාණ්‌ඩලික සැරයන් ප්‍රියන්ත යන දෙදෙනා නඩු නැතුව වසර දෙකක්‌ සිර ගත කරලා ඉද්දි, නිහඬව හිටපු අපේ ජනාධිපතිතුමා, ඒ වගේම කර්නල් ශම්මි කුමාරරත්න සහ මාණ්‌ඩලික සැරයන් ප්‍රියන්ත යන දෙදෙනා රහස්‌ පොලිසියේ පැදුරු දාලා, මාස තුනක්‌ බිම නිදාගන්න කොට සද්ද නැතුව හිටපු අපේ ජනාධිපතිතුමා, නාවික හමුදාවේ කොමදෝරු ඩී. පී. කේ. දසනායක සහ කමාන්ඩර් සුමිත් රණසිංහ ඇතුළු රණවිරුවන් පස්‌ දෙනෙක්‌ මාස දහයක්‌ හිරේ දාගෙන ඉන්න කොට සද්ද නැතුව හිටිය ජනාධිපතිතුමා, රතුපස්‌වල සිද්ධියට අත්අඩංගුවට ගත්ත පනස්‌ අට සේනාංකයේ පතාක යෝධයෙක්‌ වෙච්ච බ්‍රිගේඩියර් දේශප්‍රිය ගුණවර්ධන අත්අඩංගුවට අරගෙන ඉන්න කොට කතා නොකරපු ජනාධිපතිතුමා, රහස්‌ පොලිසියෙන් හැම තිස්‌සෙම අපේ බුද්ධි නිලධාරීන්ගෙන් ප්‍රශ්න කරනකොට වචනයක්‌වත් කතා කරන ජනාධිපතිතුමා, එක පාරට මෙතැනදී ප්‍රියංක ප්‍රනාන්දු ගැන හිත උණු වෙච්ච එක ඡන්දය වෙලාව නිසා වෙච්ච දෙයක්‌ කියන එකයි මගේ හැඟීම. එසේ ඡන්ද වෙලාව හෝ නිසා මෙවැනි දෙයක්‌ වුණා නම් හෝ නැතිනම් අවංකවම උණු දෙයක්‌ නම් ඒ කරපු දේ මම අගය කරනවා. ඒ ගැන මම ජනාධිපතිතුමාට ගෞරව කරනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here