කතාව ඇත්ත නම් අද රට තිබෙන්නෙ භයානක තැනක – ජනාධිපති නීතිඥ මනෝහර ද සිල්වා

0
1063

* අය වැය සම්මත කළේ අල්ලස්‌ දීලා…

* දෙමළ සන්ධාන මන්ත්‍රීගෙන් චෝදනාවක්‌

බැඳුම්කර වංචාව වළක්‌වා ගැනීමට ආණ්‌ඩුව කිසිදු පියවරක්‌ ගෙන නැතැයි පවසමින් ආණ්‌ඩුවේ යහපාලන කෙරුවාව රටට හෙළි කළ ජනාධිපති කොමිසමේ වාර්තාව නිකුත් වී ඒ උණුසුම නිවෙන්නටත් පෙර අයවැය දිනවන්න ආණ්‌ඩුව දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන්ට අල්ලස්‌ දුන්නා යෑයි එම සන්ධානයේ හිටපු මන්ත්‍රී ශිවශක්‌ති ආනන්දන් කළ ප්‍රකාශය පසුගිය දිනවල විද්යුත් හා මුද්‍රිත මාධ්‍ය ඔස්‌සේ පළ වුණා. ශිවශක්‌ති ආනන්දන් ආණ්‌ඩුවට එල්ල කරන එම චෝදනාව ගැන වහාම විමර්ශනයක්‌ සිදුකළ යුතු බව පවසන ජනාධිපති නීතිඥ මනෝහර ද සිල්වා යම්හෙයකින් එහි සත්‍යතාවක්‌ ඇතැයි හෙළි වුවහොත් මන්ත්‍රීවරුන් 16 දෙනෙකුගේ පමණක්‌ සහයෝගය ඇති දෙමළ ජාතික සන්ධානයට පාර්ලිමේන්තුවේ විපක්‌ෂ නායක ධුරය ලැබීම ගැනත් ඔවුන් ආණ්‌ඩුව වෙනුවෙන් කරන ප්‍රකාශ පිළිබඳවත් විශාල සැකයක්‌ මතුවන බවද පෙන්වා දෙයි.

දූෂිත දේශපාලකයන් නිසා අපේ රට දියුණු කිරීමට නොහැකි බව ජනාධිපතිතුමා පසුගියදා ප්‍රකාශ කළා. එතුමාත් ඇතුළුව මේ වන විට විධායක ජනාධිපතිවරුන් රැසක්‌ම අපේ රට පාලනය කළත් ජනාධිපතිතුමා කියන මේ දූෂිත දේශපාලකයින්ට දඬුවම් ලබා දීමට හෝ ඔවුන්ගෙන් රටට සිදුවන හානිය වළක්‌වාගැනීමට තවම කිසිවෙක්‌ කිසිදු පියවරක්‌ අරගෙන නෑ?

දූෂිතයන්ට දඬුවම් දීම අවශ්‍යයි. ප්‍රධාන වශයෙන්ම සිදුකළ යුත්තේ දඬුවම් දීමටත් වඩා වංචා දූෂණ කරන දේශපාලකයන්ගේ එම වැරදි යළි යළිත් සිදුනොවන්නට අවශ්‍ය පරිපාලන ව්‍යහය සකස්‌ කිරීමයි. උදාහරණයක්‌ හැටියට අපේ රාජ්‍ය සම්පත් ටෙන්ඩර් කැඳවන්නෙ නැතිව විකුණන්න පුළුවන්. හම්බන්තොට වරාය විකිණීම තුළ විශාල දූෂණ සිදුවෙලා තිබෙනව. ඒ විකිණීම සිදුකළේ ටෙන්ඩර් කැඳවල නෙමෙයි. අමාත්‍යාංශයකට හරි දෙපාර්තමේන්තුවකට හරි මේසයක්‌, පුටුවක්‌, කොම්පියුටරයක්‌ ගන්න කොට ටෙන්ඩර් කැඳවන අපේ රටේ වරායක්‌ ටෙන්ඩර් කැඳවල ඉහළම ලන්සු තබන්නාට නොදී ටෙන්ඩර් කැඳවන්නෙ නැතිවම විකුණනව. එවැනි තීරණයක්‌ අරගෙන ඒ හරහා විශාල දූෂණයක්‌ කළ පුද්ගලයාට දඬුවම් දීමෙන් පමණක්‌ ඉදිරියටත් එවැනි දූෂණයක්‌ සිදුවීම වැළකෙන්නෙ නෑ. එවැනි දූෂණ වළක්‌වන්න පුළුවන් වෙන්නේ මේ විදිහට ගිවිසුම් අත්සන් කරල රාජ්‍ය දේපළ විකිණීම තහනම් කිරීමෙන් පමණයි. රාජ්‍ය සම්පත් විකුණනවා නම් අඩුතරමින් පාර්ලිමේන්තුවේ අනුමැතිය හෝ ලබාගත යුතුයි කියල නීතියක්‌ අපේ රටේ නෑ. මේවා මේ අත්‍යාවශ්‍ය ඖෂධයක්‌ කඩිනමින් ගෙන්වනවා වගේ හදිසි වැඩ නෙමෙයි. ටෙන්ඩර් කැඳවන්නෙ වත් නැතිව මේ විදිහට රාජ්‍ය දේපළ විකුණන්න හැකිවීම දේශපාලකයින්ට දූෂණ කරන්න ඉඩ ලබාදීමක්‌. දූෂිතයන්ට දඬුවම් දීම අවශ්‍යයි. ඊටත් වඩා ඔවුන්ට දූෂණ වංචා සිදුකිරීමට තිබෙන ඉඩ ප්‍රස්‌ථා නැතිකිරීම අවශ්‍යයි. වංචා දූෂණ කරන්නට ඉඩ ප්‍රස්‌ථා ඉතිරි කරල වංචනිකයෝ දූෂිතයෝ නිසා රට දියුණු කරන්න බෑ කීමේ තේරුමක්‌ නෑ.

පසුගිය මහින්ද රාජපක්‌ෂ ආණ්‌ඩුව මහා මාර්ග ඉදිකිරීමේදී මහා පරිමාණ දූෂණ සිදුකළ බව වර්තමාන ආණ්‌ඩුව කරන අය එදා විපක්‌ෂයේ සිටිමින් චෝදනා කළා. දැන් ඒ අය ඇවිත් කරන්නෙත් ඒකමනෙ. ඒ අයත් ටෙන්ඩර් කැඳවන්නෙ නැතිව රාජ්‍ය දේපළ විකුණමින් හිතවතුන් සතුටු කරමින් දූෂිතයන්ට දඬුවම් දෙන කතාව මෝස්‌තරයක්‌ බවට පත්කරගෙන තිබෙනවා. රට දියුණු කරන්න නම් කළ යුත්තේ නෛතික හා පරිපාලන ව්‍යහය සකස්‌ කිරීමයි.

දූෂිතයන්ට දඬුවම් කරන කතාව කියන්නේ ජනතාව ගොනාට අන්දන්නයි. දූෂණ නතර කරන්න බෑ. කළ හැක්‌කේ එය අවම කිරීම පමණයි. එය කළ හැක්‌කේත් දූෂිතයන්ට දඬුවම් දීමෙන් නෙමෙයි. දඬුවමක්‌ දෙන්නෙ දූෂණයක්‌ වංචාවක්‌ කළාට පස්‌සෙ. එම නිසා අවශ්‍යවන්නේ දූෂණ වංචා සිදුකිරීමට නොහැකි වන පරිදි පරිපාලන ව්‍යහය සකස්‌ කිරීමයි.

මහබැංකුවේ සිදුවූ බැඳුම්කර වංචාව ගැන සොයා බැලීමට පත් කළ ජනාධිපති කොමිසමේ වාර්තාවෙනුත් එම වංචාව වැළැක්‌වීමට පියවර නොගැනීම පිළිබඳ සඳහන් කර තිබෙනවා?

දූෂණ වංචා වළක්‌වා ගැනීමට හැකි වන පරිපාලන ව්‍යහය සකස්‌ කිරීමේ අවශ්‍යතාව පෙන්වා දෙන ආසන්නතම උදාහරණය තමයි මේ බැඳුම්කර වංචාව. අපේ රටේ පුරවැසියකු නොවන පුද්ගලයෙක්‌ මහබැංකුවේ අධිපති ලෙස පත් කළා. එතනම වරදක්‌ තිබෙනවා. එය වළක්‌වන්නට කිසිදු පියවරක්‌ ගත්තේ නෑ. අර්ජුන මහේන්ද්‍රන් ලංකාවට එක්‌ක ගෙන ඇවිත් මහබැංකුවේ අධිපති තනතුරට පත් කළේ අගමැතිතුමා. කාගේ උපදෙස්‌ පරිදි පත් කළත් ජනාධිපතිතුමාටත් එය වළක්‌වන්න තිබුණා. එම පත්වීම වැරදි බව ජනාධිපතිතුමා ප්‍රකාශ කළත් එම වරද සිදුවීම වැළැක්‌වීමට පියවර ගැනීමට ජනාධිපතිතුමාටත් වගකීමක්‌ තිබෙනවා. එවැනි දේ වැළැක්‌වීමට අවශ්‍ය නීතිමය සහ පරිපාලන රාමුවක්‌ නොමැති වීමයි මේ වැරදුනු තැන. ඒ වරදට දඬුවම් දෙන්න පුළුවන්. දඬුවම් දිය යුතුයි. එහෙත් එවැනි දේ නැවත නැවතත් සිදුවීම වැළැක්‌වීමට අවශ්‍ය පසුබිම සකස්‌ කිරීමයි වඩාත් වැදගත්.

ආණ්‌ඩුවට එල්ල වුණු බැඳුම්කර වංචාවට නොදෙවැනි චෝදනාවක්‌ පසුගියදා දෙමළ ජාතික සන්ධානයේ හිටපු මන්ත්‍රී ශිවශක්‌ති ආනන්දන් ආණ්‌ඩුවට එල්ල කර තිබෙනවා. මෙවර අයවැය දිනවන්න ආණ්‌ඩුව දෙමළ ජාතික සන්ධානයට අල්ලස්‌ දුන් බවයි ඒ. මෙවර අයවැය සම්මත කර ගැනීම සඳහා ඡන්දය ලබාදීමට දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 15 දෙනෙකු ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ මූල්‍ය ප්‍රතිපාදනවලින් රුපියල් කෝටි 2 බැගින් ලබාගත් බවයි ඔහුගේ චෝදනාව?

දෙමළ ජාතික සන්ධානයට අල්ලස්‌ දීල මෙවර අයවැය සම්මත කරගත්තා නම් මීට පෙරත් දෙමළ ජාතික සන්ධානයට අල්ලස්‌ දීල මොන මොන දේවල් කරවාගෙන ඇද්ද යන සැකයක්‌ මතුවෙනවා. ශිවශක්‌ති ආනන්දන් මන්ත්‍රීවරයා මේ එල්ල කරන්නේ බරපතළ චෝදනාවක්‌. එය ඔප්පු කිරීමට සඳහා සාක්‌ෂි තමා වෙත තිබෙන බව ඔහු වගකීමකින් කියනවා. මෙම සිද්ධිය පිළිබඳ විමර්ශනයක්‌ සිදුකළ යුතුවා පමණක්‌ නොවෙයි දෙමළ ජාතික සන්ධානය මේ ආණ්‌ඩුව වෙනුවෙන් අතඋස්‌සපු අනිත් දේවල්වලටත් අත ඉස්‌සුවෙ සල්ලි අරන්ද කියල හොයල බලන්න ඕන.

උදාහරණයක්‌ විදිහට මේ ආණ්‌ඩුව පත් වූ පසු 19 වැනි ව්‍යවස්‌ථා සංශෝධනය ගෙනාවා. අද අපේ රටේ අග්‍රවිනිශ්චයකාරතුමාගේ සිට කොමිසමක කොමසාරිස්‌වරයෙක්‌ දක්‌වා පත්කිරීමේ වගකීම තිබෙන්නේ ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සභාවට. එම ව්‍යවස්‌ථා සභාවේ 9 දෙනාගෙන් 7 දෙනෙක්‌ පත්කරන්නෙ අගමැතිතුමයි විපක්‌ෂ නායකයි. ඒ කියන්නෙ මේ විපක්‌ෂ නායකට විධායක බලය තිබෙන කෙනෙක්‌. කලින් විපක්‌ෂ නායකවරු වගේ නෙමෙයි රටේ අගවිනිසුරුවරයාත් අනෙක්‌ විනිසුරුවරුනුත් පත්කිරීම දක්‌වා විධායක බලය පාවිච්චි කිරීමට හැකි කෙනෙක්‌. එහෙත් වර්තමාන විපක්‌ෂ නායකවරයාට පාර්ලිමේන්තුවේ තිබෙන බහුතරය කුමක්‌ද? ඔහුට තිබෙන්නේ මන්ත්‍රීවරුන් 16 දෙනෙකුගේ සහයෝගය පමණයි. අයවැය සම්මත කරගන්න ආණ්‌ඩුව දෙමළ ජාතික සන්ධානයට අල්ලස්‌ දුන්නාදැයි මා දන්නේ නෑ. ශිවශක්‌ති ආනන්දන් මන්ත්‍රීවරයා චෝදනා කරන විධියට එසේ වී තිබෙනවා නම් මේ විපක්‌ෂ නායකවරයා පත්කිරීමත් සිදුවූයේ පගාවකට දැයි සොයා බැලිය යුතුයි. පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගෙන් 16 දෙනෙකුගේ සහයෝගය තිබෙන පුද්ගලයකුට විපක්‌ෂ නායක ධුරය පිරිනමල ඔහුට මේ රටේ අගවිනිසුරු සිට විනිසුරුවන් පත්කිරීම අනුමත කිරීමට පුළුවන් නම් අපේ රට අද මහා භයානක තැනක.

මම හිතන්නෙ ශිවශක්‌ති ආනන්දන් කරන චෝදනාව මේ අයවැයට පමණක්‌ ලඝූ කොට සිතිය යුතු නෑ. අයවැය දිනවන්න මේ මුදල දුන්නා නම් දෙමළ ජාතික සන්ධානය මේ ආණ්‌ඩුව සමඟ කරන කටයුතු ගැනත් බරපතළ සැකයක්‌ මතුවෙනවා. ශිවශක්‌ති ආනන්දන්ගේ චෝදනාව ගැන ආණ්‌ඩුව විමර්ශනය නොකරන්නේ නම්, ඒ ගැන නිහඬව සිටිනවා නම් එයින් පෙනෙන්නේ ආණ්‌ඩුවත් දෙමළ ජාතික සන්ධානයත් අතර අද දූෂිත ගනුදෙනුවක්‌ සිදුවන බවයි.

සාකච්ඡා කළේ
පාලිත සේනානායක

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here