කොටි සංවිධාන 17කට ජිනීවා දොර විවෘත වෙයි – ජිනීවා නුවර සිට දිවයින ඉරිදා සංග්‍රහයට විශේෂයෙනි

0
656

ජිනීවා නුවර දැන් සිදුවන්නේ කුමක්‌ද? ඒ ශ්‍රී ලංකාවෙන් පැමිණි ද්‍රවිඩ දේශපාලකයන් කොටි ඩයස්‌පෝරාව සහ මානව හිමිකම් ක්‍රියාකාරීන් යෑයි හඳුන්වාගන්නා පාර්ශව ශ්‍රී ලංකාවට එරෙහිව ගිනි ඇවිළවීමයි. මොවුන් බලාසිටියේ මහනුවර – දිගන සිද්ධියක්‌ වැනි තත්ත්වයක්‌ ඇතිවනතුරුය. දැන් ඊට අවස්‌ථාව උදාවී ඇත. එහෙත් යහපාලන රජය ජිනීවාහි සිදුවන ගිනි ඇවිළවීමේ ක්‍රියාදාමය කෙරේ අවධානය යොමුකර නැත.

පසුගිය සතියේ ද්‍රවිඩ ජනතා ජාතික පක්‍ෂයේ නායක ගජෙන්ද්‍රකුමාර් පොන්නම්බලම් තම ලේකම්වූ කඡේන්ද්‍රන් කැටුව ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට පැමිණ උතුරේ ජනතාව අත්සන් කළ බව දක්‌වමින් අත්සන් ලක්‍ෂ 2 ක සංදේශයක්‌ භාරදුන්නේය. එහෙත් මේ අත්සන්වල අනන්‍යතාව විමර්ශනය කිරීමට මානව හිමිකම් කවුන්සිලය කටයුතු කළේ නැත.

ඊට සමගාමීව ප්‍රභාකරන්ගේ උපදේශක රුද්රකුමාරන් මෙහෙයවන “රටින් පිටත ඊළාම් ආණ්‌ඩුව” සංවිධානයේ විදේශ කටයුතු ඇමැති යයි හඳුන්වාගත් මානික්‌කවාසගර් නමැති තක්‌කඩියා විදේශ විනිසුරුවරුන් හයදෙනෙකුගෙන් යුත් පිරිසක්‌ද මානව හිමිකම් කවුන්සිලයට ගෙන ආවේය.

ජෙප්රි රොබට්‌සන්, ඉන්දීය හිටපු විනිසුරු ෂාන්, මේරි ගුයිරාද්, රිචඩ් රොජර්ස්‌ පීටර් හේන්ස්‌ සහ හීතර් රයන් නමැති මෙම නීතිවේදී කණ්‌ඩායම ශ්‍රී ලංකාව සම්බන්ධ වාර්තාවක්‌ මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කරනු ලැබීය.

මොවුන්ට පැවරී තිබූ ක්‍රියාදාමය වූයේ ශ්‍රී ලංකා රජය – සිංහල දේශපාලන පක්‍ෂ සහ යුද හමුදාව සම්බන්ධ නායකයන් ගැන විමර්ශනය කිරීම සහ සාක්‍ෂි එකතු කිරීමයි.

genewa1රටින් පිටත ඊළාම් ආණ්‌ඩුව නමැති සංවිධානය කුලියට ගත් එම නීතිවේදී කණ්‌ඩායම තවදුරටත් සඳහන් කළේ එක්‌සත් ජාතීන්ගේ ආරක්‍ෂක මණ්‌ඩලය විසින් ශ්‍රී ලංකාව ජාත්‍යන්තර අධිකරණය වෙත යොමුකළ යුතු බවයි.

මෙයට අමතරව භාරතී මධ්‍යස්‌ථානය, ඒ. බී. සී. තමිල් ඔලි, ටැමිල්ස්‌ ඔෆ් ප්‍රාන්ස්‌ සොලිඩරටි ඉන්ටර්නැෂනල්, ලේ පොන්ට්‌, තමිල් උයගම්, මර්කර් ලා පේඡ් ඇතුළු ඊළම් සංවිධාන 16 ක්‌ද ශ්‍රී ලංකාවේ හමුදාවට එරෙහිව පිටු 3 ක වාර්තාවක්‌ ඉදිරිපත් කර ඇත.

එසේම ජිනීවා යෝජනාව ඉටුකරන කාලසීමාව කුමක්‌දැයි ශ්‍රී ලංකා රජය හෙළිකළ යුතු බව දක්‌වමින් ජාත්‍යන්තර ක්‌ෂමා සංවිධානයද වාර්තාවක්‌ යොමුකර තිබේ.

මෙවන් ක්‍රියාදාමයන්ට සමානව ශ්‍රී ලංකාවේ සිට ඔස්‌ටේ්‍රලියාවට පැනගොස්‌ දේශපාලන රැකවරණ ලබාගත් 1971 කැරැල්ලේ හිටපු කැරලිකරුවකුවූ ලයනල් බෝපගේ ද ජිනීවා යෝජනාවට මැදිහත්වී ඇත.

විටින් විට ඔස්‌ටේ්‍රලියාවේ සිට මෙරටට පැමිණ දේශපාලන කටයුතුවලට මැදිහත් වන මේ හිටපු කැරලිකරුවා ජිනීවා යෝජනාව ක්‍රියාත්මක වන්නේ ඉතා සෙමින් බවත් එහෙත් ඒ සඳහා මානව හිමිකම් සමුළුවට ලබාදී ඇති කාලසීමාව හෝ රජය අතුරුදන් වූවන් පිළිබඳ පනත සම්මත කර කොමසාරිස්‌වරු පත්කර ඇති බවත් ප්‍රකාශ කර තිබේ.

එසේම ශ්‍රී ලංකා රජය විසින් ජිනීවා නුවරදී ලබාදුන් ප්‍රතිඥ ඉටුකරන ලෙස සිවිල් සංවිධාන විසින් රජයට බලපෑම් කළ යුතු බවද ඔහු තවදුරටත් සඳහන් කර ඇත. මෙහිදී නැඟෙන බරපතල ප්‍රශ්නය නම් 1971 කැරැල්ලක්‌ ඇති කර මහා විනාශකාරී ක්‍රියා සිදුකිරීමට මුල්වූ බෝපගේ වැන්නකු ප්‍රජාතන්ත්‍රවාදය ගැන හඬ නැඟීමය.

එක්‌සත් රාජධානියේ සිටින මානව හිමිකම් නීතිවේදියකු යයි හඳුන්වන ශෙහාන් ගුණතිලක නමැත්තකු ද ජීනිවා යෝජනාවට මැදිහත්වී එහි අන්තර්ගත කරුණු වලින් වැඩිහරියක්‌ ඉටුකර නැති බව කියා සිටියි.

මේ අතර අතුරුදන්වූවන් පිළිබඳ කාර්යාලයේ කොමසාරිස්‌වරියක්‌ ලෙස රජය පත්කළ නිමල්කා ප්‍රනාන්දු නමැත්තිය පවසා ඇත්තේ අතුරුදන්වූවන්ගේ කාර්යාලය ලබන අප්‍රේල් මස සිට ක්‍රියාත්මක වන බවයි.

කෙසේ වෙතත් ජිනීවා මානව හිමිකම් කවුන්සිලය ඊළාම්වාදී සංවිධානවලට දොර විවෘත කර ඇත.

මෙලෙස කොටි ඩයස්‌පෝරාවේ අතිවිශාල මුදල් සම්භාරයෙන් කොටසක්‌ ජිනීවාහිදී ශ්‍රී ලංකාවට එරෙහි යුද්ධයට වැයවෙද්දී ඊට ප්‍රතිචාර දැක්‌වීමට අපේ විදේශ කටයුතු අමාත්‍යාංශයට නොහැකි වී තිබේ.

එහෙත් ගෝලීය ශ්‍රී ලංකා සංසදය නොබියව සිය දේශප්‍රේමී කාර්ය භාරය මානව හිමිකම් කවුන්සිලයේදී ආරම්භ කර ඇත.

ඒ සඳහා රියර් අද්මිරාල් සරත් වීරසේකර මානව හිමිකම් කොමසාරිස්‌ සෙයිද් රාද් හුසේන් වෙත අභියෝගයක්‌ ඉදිරිපත් කරමින් ජිනීවා යෝජනාව සම්මත වූයේ ඡන්ද විමසීමකින් තොරව බවට චෝදනා කරයි.

ජිනීවා යෝජනාවට සම අනුග්‍රහය නොදෙන ලෙස පාකිස්‌තාන් තානාපති බලධාරීන් ශ්‍රී ලංකා රජයට කියාසිටිද්දී එවකට විදේශ ඇමැතිව සිටි මංගල සමරවීර ඊට සවන් දුන්නේ නැත.

මේ පසුබිම මැද 37 වැනි මානව හිමිකම් සමුළුවේදී ශ්‍රී ලංකාවට එරෙහිව ඊළාම්වාදීන්ගේ වාර්තා 19 ක්‌ ඉදිරිපත් වී ඇත. තමිල්නාඩුවේ පසුමායි නායගම් සංවිධානයද ඊට දායක වී ඇත.

ඊට ප්‍රතිචාරයක්‌ ලෙස ගෝලීය ශ්‍රී ලංකා සංසදය එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය ඉදිරියේ ඡායාරූප ප්‍රදර්ශනයක්‌ද උද්ඝෝෂණයක්‌ද පවත්වනු ලැබුවේ සිය ශක්‌තිය පිළිබිඹු කිරීම සඳහායි.

මේ මෙහෙයුම් යහපාලන රජයට පක්‍ෂපාතී කීපදෙනෙක්‌ විසින් මානව හිමිකම් කවුන්සිලය ඉදිරියේ ඇති බස්‌ නැවතුම්පලේ සිට නිරීක්‍ෂණය කරනු අපට දක්‌නට ලැබුණි.

මේ අතර ශ්‍රී ලංකාව එක්‌සත් ජාතීන්ගේ ආරක්‍ෂක මණ්‌ඩලයට යොමුකරන ලෙස ඉල්ලමින් ගඡේන්ද්‍රකුමාර් පොන්නම්බලම් සහ ලේකම් සෙල්වරාජා ගජෙන්ද්‍රකුමාර විසින් මානව හිමිකම් කවුන්සිලයට භාරදුන් සංදේශය ප්‍රකාර ක්‍රියාකිරීමට මානව හිමිකම් කොමසාරිස්‌ සෙයිද් රාද් හුසේන් පියවර ගනු ලැබුවත් රුසියාව සහ චීනය නිශේධ බලය යෙදවීමෙන් ගජෙන්ද්‍රකුමාර්ගේ පෙත්සම ව්‍යර්ථ වනු ඇත.

ඔහු ජිනීවා නුවරදී පැවසුවේ ශ්‍රී ලංකාවට පක්‍ෂව රුසියාව සහ චීනය නිශේධ බලය යොදවන බව දන්නා බවත් එහෙත් උතුරේ ජනතාවට දුන් ප්‍රතිඥ නිසා එම සංදේශය භාරදුන් බවත්ය.

මෙවන් පසුබිමක්‌ මැද කැනඩාවේ විදේශ ඇමැති සින්තියා ප්‍රිලන්ඩ්ද ශ්‍රී ලංකාවට එරෙහිව ප්‍රකාශයක්‌ කරමින් ශ්‍රී ලංකාව ජිනීවා යෝජනාව මුළුමනින්ම ක්‍රියාත්මක කළ යුතු බව කියා සිටියාය.

එහෙත් කැනඩාව යුද අපරාධකාර කොටි ත්‍රස්‌තයන් 20 කට අධික සංඛ්‍යාවකට දේශපාලන රැකවරණ ලබාදී තිබේ. ප්‍රභාකරන්ගේ කොටි යුද්ධයට ඩොලර් කෝටි 20 කට අධික අරමුදල් සැපයුවේද කැනඩාවෙනි.

එසේ නම් ජිනීවා යෝජනාවට අමතරව කැනඩාව ශ්‍රී ලංකාවේ ත්‍රස්‌තවාදී යුද්ධයට උපකාර වීම ගැන වරදකරු නොවන්නේද?

මේ සතියේ ජිනීවා කරළිය තුළ ශ්‍රී ලංකාවට එරෙහිව දුෂ්ට සැලසුම් දියත් වන අවස්‌ථාවේ බ්‍රිතාන්‍යයේ සිට අතුරුදන්වූවන් පිළිබඳ චිත්‍රපටයක්‌ නිර්මාණය වී ඇතැයි හෙළි විය.

මෙම චිත්‍රපටය ලන්ඩන් නුවරදී ප්‍රදර්ශනය කර ඇති අතර එය නිර්මාණය කිරීමට උතුරේ රාජ්‍ය නොවන සංවිධාන සහ මාධ්‍ය පාර්ශව සහාය වී ඇත.

මෙලෙස ජිනීවා මානව හිමිකම් කවුන්සිලය තුළ ශ්‍රී ලංකා විරෝධී ක්‍රියා උග්‍ර අතට පත්වන අවස්‌ථාවේ කොටි සංවිධානයට අවි ආයුධ මිලයට ගැනීම සඳහා ඩොලර් මිලියන 15 ක්‌ ලබාදුන් ස්‌විස්‌ කොටි නියෝජිතයන් 12 කට එරෙහි නඩුවෙන් බේරීම සඳහා ඔවුන්ගේ නීතිවේදීන් අධිකරණය හමුවේ සාවද්‍ය ප්‍රකාශ කරන බව අනාරවණය වී ඇත.

ස්‌විස්‌ටර්ලන්තයේ ලුහානෝ අධිකරණය හමුවේ පැවැත්වෙන මෙම නඩු විභාගයේදී චූදිත කොටි කණ්‌ඩායම තමන් අරමුදල් සැපයුවේ ශ්‍රී ලංකාවේ උතුරේ ද්‍රවිඩ ජනතාවට යුද්ධය නිසා හානි වූ නිවාස සහ රෝහල් ඉදිකිරීමට සහ වෙනත් ප්‍රජා සේවාවන් සඳහා බව පවසා ඇත. මෙලෙස ස්‌විස්‌ කොටි බොරු කියද්දී ශ්‍රී ලංකා රජය හා ශ්‍රී ලංකා පොලිසියේ ජාත්‍යන්තර පොලිස්‌ ශාඛාව ස්‌විස්‌ නීතිපති කාර්යාලයට සහාය වී නැත.

ඩොලර් මිලියන 15 ක්‌ එවා ඇත්තේ ඩුබායි සහ සිංගප්පූරුවේ අවි ආයුධ ඒජන්තවරුන් සඳහා බවට සියලු තොරතුරු ස්‌විස්‌ පෙඩ්පෝල් පොලිසිය සොයාගෙන තිබේ.

එහෙත් ශ්‍රී ලංකා රජය මෙම කොටින්ට එරෙහි නඩුව ගෙනයැම සඳහා ස්‌විස්‌ පොලිසිය සහාය නොවීම මවිතයකි.

ස්‌විස්‌ටර්ලන්තයේ සාම්ස්‌ටැග් පුවත්පත දක්‌වන්නේ යුරෝපයෙන් එකතුකළ අරමුදල් ස්‌විස්‌ටර්ලන්තයට ගෙනවුත් එම මුදල් මැද පෙරදිගට යවා ඇති බවයි.

මෙලෙස ශ්‍රී ලංකා රජයේ ප්‍රතිචාරයක්‌ නොවීම නිසා ස්‌විස්‌ ඊළාම් කවුන්සිලයේ හිටපු සභාපති කුරුස්‌වාමි කුණපරන් චූදිත කොටි කණ්‌ඩායම බේරාගැනීමට ඉදිරිපත් වී ඇත.

මේ කොටි නඩුව අහෝසි කරන ලෙස චූදිත කොටි කණ්‌ඩායමේ නීතිවේදීන් කළ ඉල්ලීම ස්‌විස්‌ අධිකරණය ප්‍රතික්‍ෂේප කර තිබේ.

මේ අතර එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය විසින් මානව හිමිකම් බරපතල ලෙස උල්ලංඝනය කළ රටවල් වලට බුක්‌තිය ලබාදී ඇති බව යූ එන් වොච් සංවිධානයේ විධායක අධ්‍යක්‍ෂ හිලෙල් හුවර් හෙළිකර ඇත.

හුවර් ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට බරපතල චෝදනා එල්ල කරවීම බැටළුවන් වේශයෙන් පෙනී සිටින වෘකයන්ට එක්‌සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතවරු පත්කර ඇති බවයි.

ලෙබනනයේ හමාස්‌ ත්‍රස්‌ත සංවිධානයේ ආධාරකරුවකු වූ රිච්ඩ් පොල්ක්‌ එක්‌සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතයකු ලෙස පත්කළේ කෙසේදැයි හුවර් තවදුරටත් ප්‍රශ්න කර ඇත.

genewa2මෙලෙස මානව හිමිකම් කවුන්සලයට චෝදනා එල්ලවන අවස්‌ථාවේ ත්‍රස්‌තවාදයට සහාය පළකළ ඊළාම් සංවිධාන 17 කට මානව හිමිකම් සමුළුවේ දොර විවෘත වූයේ කෙසේදැයි ශ්‍රී ලංකා රජය මානව හිමිකම් කොමසාරිස්‌ගෙන් විමසා නැත.

මේ සියලු සංවිධාන කොටි ත්‍රස්‌තවාදයට සහාය දැක්‌වූවන් වේ. එසේම මානව හිමිකම් කවුන්සිලය වෙත ඇතුළුවීම සඳහා මෙම සංවිධානවලට ඉඩ ලබාදී ඇත්තේ බටහිර රටවල් බවද හෙළිවී ඇත.

මේ අතර ශ්‍රී ලංකාවේ දැන් යුද මෙහෙයුම් සිදුනොවුණත් 2017 වසර තුළ ශ්‍රී ලාංකිකයන් 459 කට ස්‌විස්‌ටර්ලන්තයේ දේශපාලන රැකවරණ ලැබි ඇත.

අප විසින් සංක්‍රමණිකයන් පිළිබඳ කාර්යාලයෙන් කළ විමසීමේදී මේ තොරතුරු අනාවරණය විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here