ගෝලීය ශ්‍රී ලංකා සංසදය අවුල් කළේ කවුද?

0
453
favicon

ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ නිර්මාතෘ හා අනුශාසක
පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි

2018.03.27 දිවයින පුවත්පතේ රණවිරු පිටුවෙහි ගෝලීය ශ්‍රී ලාංකීය සංසදය දෙකඩ කළේ කොටි ඩයස්‌ පෝරාවද ?” යන මාතෘකාව යටතේ සමන් ගමගේ මහතාගේ නමින් ලියා ඇති ලිපිය අසත්‍ය කරුණු වලින් ගහණ වූවකි, ලිපිය හොඳින් කියවා බලන විට ගෝලීය සංසදය ආරම්භයේ සිටම ඊට මැදිහත් වූ කෙනකු ලෙස ඒ පිළිබඳ හොඳින් තොරතුරු දන්නා අපට වැටහී යනුයේ ලිපියේ සඳහන් බොහෝ කරුණු වසන්ත කීර්තිරත්න හෝ ඔහුගේ ගෝල බාලයන් විසින් ලබාදී ඇති බවයි. එවන් අසත්‍ය තොරතුරු යොදාගෙන අප ගැනද හොඳින් දන්නා සමන් ගමගේ මහතා මෙවැනි ලිපියක්‌ දිවයින පත්‍රයෙහි පළ කිරීම ගැන කනගාටු වෙමි. පසුගිය වසරේ අග භාගයේ ද ගෝලීය සංසදයේ බෙදීමක්‌ ගැන කියමින් මෙම ලියුම්කරු සටහනක්‌ තබා තිබිණි.

දිවයින පත්‍රය ආරම්භයේ සිටම එහි පාඨකයකු මෙන්ම ලේඛකයකු ලෙසද ඇතැම් අවස්‌ථාවල උපදේශයකු ලෙසද කටයුතු කළ අපට මෙවන් ලිපියක්‌ පත්‍රයේ පළ වී තිබෙනු දැකීමෙන් ඇති වූයේ බලවත් කලකිරීමකි. ලිපියෙහි සඳහන් වන ඇතැමුන් කීවේ වසන්ත සභාපතිකම බලෙන් ගන්නට යනවායෑයි කියාය. තවත් සමහරු කීවේ වසන්ත කුලියාපිටියෙන් ඡන්දය ඉල්ලීම සඳහා ගෝලීය ශ්‍රී ලංකා සංසදය භාවිත කරන බවය. යන සටහනේ ඇති කරුණු පිළිබඳව කිව යුත්තේ  පුහුල් හොරා කරෙන් දැනේ යන උපහැරණය පමණි.

සංසදය වෙනුවෙන් මහා සම්පත් දායකයකු ලෙස කටයුතු කරනු ලබන මිනිසෙකු අරබයා එවන් ප්‍රකාශයක්‌ කිරීමට නම් ඒකා මොන තරම් කුහකයෙකු විය යුතුද? යනුවෙන් සමන් ගමගේ මහතා සදහන් කරන්නේ කවුරුන් හෝ කියූ කරුණු පදනම් කර ගෙන මිස වසන්තගේ සම්පත් දායකත්වය පිළිබඳව අය වැය දැන ගෙන නම් නොවේ. ගෝලීය සංසදයේ කටයුතු සඳහා මුදල් පරිත්‍යාග කරන බොහෝ අය සිටිති. ඕස්‌ටේ්‍රලියාව, සවිස්‌ටර්ලන්තය, එංගලන්තය, අයර්ලන්තය ආදී රටවල් නියෝජනය කරමින් ඒ අය නිස්‌සරණාධ්‍යසයෙන් මුදල් පිරිනමති. ශ්‍රී ලංකාවේද ලක්‌ෂ දහයකට ආසන්න මුදලක්‌ පෞද්ගලිකව පිරිනැමූ සම්පත් දායකයකු සිටී. ඒ කිසිදු කෙනෙක්‌ තමා මුදල් පරිත්‍යාග කළ බව නොකියති, ඒ සියලු මුදල් ගැන බැලුවහොත් වසන්තගේ සම්පත් දායකත්වය ඉතා සුළු දෙයකි. කෙසේ නමුත් මුදල් වලට යටවී පාවා දෙන්නෝ අප අතර සිටින බව ඉතා පැහැදිලිය. වසන්තට දොස්‌ කී කෙනකු ගැන ලියුම්කරු ඒකා මොන තරම් කුහකයෙකු විය යුතුද? යනුවෙන් දැඩි ලෙස චෝදනා කරන්නේ චෝදකයා චූදිතයා ගැන හොඳින් දැනගෙන දැයි විමසිය යුතුය. මෙවැනි වචන භාවිත කළ යුත්තේ ඉතාම ප්‍රවේශමෙන් හා වගකීමකින් යුතුව බව සිහිපත් කරමු.

වසර තිහකට වැඩි කාලයක්‌ තිස්‌සේ අප මවුබිමෙ සිටිමින් ද මැද පෙරදිග වැනි විදේශ රටවල සිටිමින්ද මවුබිමෙහි වෙනුවෙන් කළ කැපකිරීම් කිසිසේත්ම මුදලින් තක්‌සේරු කළ නොහැක. ඇතැමුන් මුදල් හොයනා ආකාරය හා ඔවුන්ගේ චරිතය ගැන ඇසුවොත් එවැනියන්ගේ මුදල් වැදගත් වැඩකට යොදා ගැනීම මෙන්ම එවැනි අය වැදගත් වැඩකට යොදා ගැනීමද නුසුදුසු බව වැටහෙනු ඇත. වසන්ත කීර්තිරත්න ගැන මේ තරම් ඉහළින් පුද්ගලාභිවන්දනය කරන ලියුම්කරු ජීනීවා සමුළුවේ අත්‍යවශ්‍ය හා වැදගත් ලේඛන සකස්‌ කිරීමේදී වසත්ත කිර්තිරත්න කිසිදු දායකත්වයක්‌ නොදුන් බව නොදන්නේ ඔහුට කරුණු කී අය එය නොදන්න නිසා නොව ඔවුන් ඒ ගැන නොකියූ නිසා විය යුතුය. ජීනීවා සමුළුවට සහභාගි විමේදී ඩඩාත්ම වැදගත් වනුයේ මුදල් වියදම්කර මහ පිරිසක්‌ සහභාගි කරවීම හා ඔවුනට සංග්‍රහ කිරීම නොව එහි දේශන පැවැත්වීමයි. එම දේශන සඳහා අවශ්‍ය දත්ත හා පහසුකම් සැලසීමයි. එම කරුණු පිළිබඳව වසන්ත මෙන්ම මෙම ලියුම් කරුද නොදන්නා බව හෝ නොතකන බවයි පැහැදිලි වන්නේ.

වසන්ත ඇතුළු කණ්‌ඩායම ගෝලීය ශ්‍රී ලාංකික සංසදය ඇරඹීමට ක්‍රියා කළ මැද පෙරදිග වෙනත් රටවල සිටින අයට නම් ගම් පවා සඳහන් කරමින් ෆේස්‌බුක්‌ හරහා තදින්ම පහර ගැසූහ. ඒ සියල්ල ඉවසා දරාගෙන සිටීම ඔවුන් නිවට කමක්‌ යයි සිතුවා විය හැකිය. ශ්‍රී ලංකාවේ හමුවකදී වසන්තගෙන් ඒ ගැන ඇසුව විට ඔහු කීවේ තමන් ඒ බව නොදන්නා බවයි. අඩුම තරමින් මං ඒක දැනගත්තෙ පත්තරයෙන්  යෑයි ජනපති සිරිසේන කියන්නාක්‌ මෙන් ෆේස්‌බුක්‌ එකෙන් දැනගත්තා යෑයි කීමටවත් ඔහු සදාචාරාත්මක වූයේ නැත. මෙම සත්‍ය කරුණු අනුව බලනවිට ගෝලීය ශ්‍රී ලාංකීය සංසදය දෙකඩ කළේ නොව අවුල් කළේ කවුරුන්දැයි සාධාරණව සිතන කාහට නමුත් සිතාගත හැකිවනු ඇත.

අවසාන වශයෙන් කිවයුත්තේ ගෝලීය ශ්‍රී ලාංකීය සංසදය දෙකඩ කළේ කොටි ඩයස්‌ පෝරාවද ? යන මාතෘකාවෙන් ඇති ලිපිය රණවිරු පිටුවෙහි පළ කිරීම ද නොගැලපෙන බවයි. එවැනි ලිපියක්‌ තමන් සංස්‌කරණය කරන රණවිරු පිටුවෙහි සමන් ගමගේ මහතා පළ කිරීමට යෙදුවේ ඔහු විසින් මතුකර දැක්‌විමට උත්සාහ දරන වසන්ත කීර්තිරත්න සමඟ ඇති කිසියම් සබඳතාවක්‌ නිසා බව ලිපිය කියවන කවරෙකු හට වූවද වැටහෙනු ඇත. එවැනි පක්‌ෂාග්‍රාහි ලිපි බාහිර ලේඛකයන් පුවත් පතක පළ කළත් පත්‍රයේ කර්තෘ මණ්‌ඩලයට සම්බන්ධ කෙනෙකුට කිසිසේත්ම සුදුසු නොවන බව පුවත් පතේ වගකිව යුත්තන් දැන සිටිය යුතුය. බොරුවට ඉඩ නොදී සත්‍ය හෙළි කිරීම අපගේ පිළිවෙත බැවින් මෙම ලිපිය ලිව්වා මිස සමන් ගමගේ මහතාට හෝ වෙනත් කෙනකුට රිදවීමේ හෝ අපහාස කිරීමේ අදහසින් ලියුවේ නැති බවද සඳහන් කරමු.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here