ජාත්‍යන්තරයට අඬ ගැසීම

0
448

උතුරේ ප්‍රශ්නය කුමක්‌ද? උතුරේ තිබූ සැබෑ ප්‍රශ්නය නම් කොටි ත්‍රස්‌තවාදයයි. මේ ත්‍රස්‌තවාදය 2009 මැයි මාසයේදී සහමුලින්ම අතුගා දැමීමට ශ්‍රී ලංකා හමුදාවට හැකිවිය. නමුත් 2009 න් පසුව උතුරේ උද්ගතව ඇති ප්‍රශ්නය කවරක්‌ද? උතුරු මහ ඇමැති සී.වී. විග්නේෂ්වරන් පසුගිය දිනක උතුරේ ප්‍රශ්නය විසඳන්නැයි ජාත්‍යන්තර මාධ්‍යයෙන් ඉල්ලීමක්‌ කර ඇත. ජාත්‍යන්තර මාධ්‍ය විසින් ලෝකයේ කවර ප්‍රශ්න විස¹ ඇත්ද? ජාත්‍යන්තර මාධ්‍ය මැදිහත්වී ලෝකයේ රටවල් කීයක සාමය ඇතිකර ඇත්ද? නමුත් විග්නේෂ්වරන් හැම විටම උතුරේ ප්‍රශ්න ජාත්‍යන්තර කිරීමේ වලිප්පුවකින් පෙළෙන බවනම් සහතිකය. මේ ඊනියා ජාත්‍යන්තර මාධ්‍යවලට අවශ්‍ය වන්නේ හමුදාවට යුද අපරාධ චෝදනා නඟා ශ්‍රී ලංකා රාජ්‍යය හුදකලා කිරීමටය. උතුරේ යුද්ධය පැවැති කාලයේදී මේ ඊනියා මාධ්‍ය සෑම විටම කොටි ත්‍රස්‌තවාදීන් වීරත්වයට පත් කිරීමට උත්සාහ කළ බව අපි දනිමු. මේ මාධ්‍යකරුවන් තුළ පැවැති කොටි හිතවාදීත්වය නිසා විග්නේෂ්වරන් ජාත්‍යන්තර මාධ්‍යයට ආරාධනා පත් යවන්නේද? බීබීසියේ ෆ්‍රන්සස්‌ හැරිසන් මාධ්‍යවේදිනියගේ කොටි හිතාවාදිත්වය ගැන අමුතුවෙන් කිවයුතු නැත. එසේනම් මෙවැනි මාධ්‍යකරුවන්ගෙන් උතුරේ මහ ඇමැති බලාපොරොත්තු වන්නේ කුමක්‌ද? ජාත්‍යන්තර මාධ්‍යවල මැදිහත් වීමෙන් ෆෙඩරල් ලබා ගැනීමටද? නැත්නම් ඊළම ලබා ගැනීමටද? බඩේ අමාරුව සුවකර ගැනීමටත් වැසිකිළියට නොගොස්‌ ජාත්‍යන්තර මාධ්‍යයට කතා කිරීමේ රුදාවක්‌ මේ මහ ඇමැතිට ඇතිව තිබෙන බව පැහැදිලිය. ඒකීය රාජ්‍යයට විරුද්ධව විග්නේෂ්වරන් ජාත්‍යන්තර මාධ්‍යයෙන් බලාපොරොත්තු වන්නේ කුමක්‌ද?

රටේ ප්‍රශ්න ජාත්‍යන්තරකරණය කිරීමෙන් උතුරේ වැසියන්ට යහපතක්‌ ඇති නොවේ. උතුරේ දුගී භාවය නැති නොවේ. උතුරේ ජල හිඟය දුරුනොවේ. නමුත් මහ ඇමැති ලෙස උතුරේ ජනයාට කිසි සේවයක්‌ කිරීමට නොහැකිවූ අකාර්යක්‍ෂම විග්නේෂ්වරන් දෙමළ ජනයා රැවටීම සඳහා ජාත්‍යන්තර මාධ්‍යවලට ආරාධනා කරයි. රටේ ප්‍රශ්න ජාත්‍යන්තරකරණය වීමෙන් සිදුවන්නේ ලංකා ආණ්‌ඩුව අපහසුතාවයට පත්වීමය. එසේනම් විග්නේෂ්වරන්ගේ හිතුවක්‌කාරි කටයුතු පාලනයට යහපාලන රජය මැදිහත් විය යුතුය. සංහිඳියාව වෙනුවෙන් යෑයි කියමින් විග්නේෂ්වරන්ට ඩෙඟා නටන්නට ඉඩදිය යුතු නැත.

“දෙමළුනි නැගිටිව්” ව්‍යාපාරය හරහා දෙමළ ජනතාව තුළ බෞද්ධ විරෝධය ඇවිළීමට උත්සාහ කළේද මේ මහ ඇමැතිවරයාය. දැන් එළුඟ තමිල් ව්‍යාපාරය ගැන හාහූවක්‌ නැත. එය අසාර්ථක ව්‍යාපාරයක්‌ වූ නිසා විග්නේෂ්වරන් ජාත්‍යන්තර මාධ්‍යයට ආරාධනා කරන්නේ යුද්ධය කාලයේ දෙමළ වැසියන්ට පීඩා සිදුවූවා යෑයි කියා නැවත නැවතත් ලෝක ප්‍රජාව හමුවේ කරුණු දැක්‌වීමටය. ඇත්තෙන්ම ජාත්‍යන්තර මැදිහත් වීමෙන් සිදුවන්නේ කුමක්‌ද? උතුරේ ප්‍රශ්න මෙන්ම රටේ ප්‍රශ්නද උග්‍රවීමය. එම නිසා හිටපු විනිසුරුවරයාගේ කූට උපායන්ට ඉඩ ලබාදිය නැත.

යුද්ධය නිමාවී දස වසරකට ආසන්න වූවත් දෙමළ ජනතාව නිදහස්‌ නැති බව විග්නේෂ්වරන් ජාත්‍යන්තරයට පවසා ඇත. දෙමළ ජනයාගේ නිදහස නැති කළේ හමුදාවද? ප්‍රභාකරන්ද යන්න විග්නේෂ්වරන් ප්‍රකාශ නොකරයි. පාසල් යන ළමුන් බලහත්කාරයෙන් කොටි සංවිධානයට බඳවා ගත් යුගය අවසන් වීම ගැන දෙමළ ජනයා සතුටු වුවත් විග්නේෂ්වරන් සතුටු නැත. ජාත්‍යන්තර මාධ්‍ය ඔස්‌සේ හෝ බෙදුම්වාදය තහවුරු කිරීමට මොහුට අවශ්‍යව ඇත. එනිසාම විග්නේෂ්වරන්ගේ ජාත්‍යන්තර මාධ්‍ය කුමන්ත්‍රණය පරාජය කළ යුතුය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here