ජාත්‍යන්තරය දිනා ගැනීමේ මීළඟ බිල්ල ගෝඨාභය හා යුද සෙන්පතියෝද?

0
657

දැනට මාස දෙකතුනක සිටම උතුරේ යාපනය, කිලිනොච්චිය, මන්නාරම, මුලතිව් සහ වව්නියාව ඇතුළු ප්‍රදේශ කිහිපයක අඛන්ඩ උපවාස මාලාවක්‌ දියත්ව ඇත. උපවාසයේ යෙදී සිටින පිරිස්‌ පවසන්නේ යුද සමයේ අතුරුදන් වූ තමන්ගේ ඥතීන් සොයා දෙන්නයෑයි කියාය. ඔවුන් චෝදනා කරන්නේද රණිවිරුවන්ටය.

යහපාලනය හෙවත් සම්මුති ආණ්‌ඩුව ඉකුත් සති දෙකතුනක සිට මේ දක්‌වාම ජනතාව අතරට රැගෙන ආ ජනප්‍රිය මාතෘකා රාශියක්‌ විය.

100 ට වඩා 50+25+30 =105 ලොකුයි යන න්‍යායෙන් ඉකුත් පෙබරවාරි 10 වැනිදා පැවති මැතිවරණ පරාජයේ දුක තුනී කරගන්නට වූ ආණ්‌ඩුව ඒ අතරින් මුලින්ම ගෙනා මාතෘකාව වූයේ අලුත් ආණ්‌ඩුවක්‌ යන කතාවය.

එකී අලුත් ආණ්‌ඩු කල්පිතය සමඟ සතියක්‌ පමණ යනතුරුම නීත්‍යනුකූල ආණ්‌ඩුවක්‌ නැති රටක්‌ නිර්මාණය කර සමස්‌තය අරාජික කළ යහපාලනය ඊළඟට ගෙනා ජනප්‍රියම කතාව ලෙස අගමැති රනිල් වික්‍රමසිංහ ඉවත් කිරීම යන්න ඉහළින්ම තිsබිණ.

ඉන් පසුව ආවේ කැබිනට්‌ සංශෝධය ය. එහිදී ඇමැති සරත් ෆොන්සේකාට නීතිය හා සාමය ඇමැති ධුරය ලබාදෙන බවට වූ කියමනට වැඩිම ජනතා අවධානයක්‌ද යොමු විය.

කෙසේ වෙතත් ඒ මුලින්ම කී කතා සියල්ල දැන් අවසන්ය. පාර්ලිමේන්තුවේදී කතානායකවරයාට ලිත එකඟතාවක්‌ ලබා දෙමින් යළිත්වරක්‌ සම්මුතිය නීත්‍යනුකූල කළ ආණ්‌ඩුව වාර්තාගත කැබිනට්‌ සංශෝධනයක්‌ද සිදු කළේය.

එහෙත් ආණ්‌ඩුව රටට කියන සොඳුරු කතා ඉන්පසුවවත් නතර කළේද? නැත. තව තවත් අපූරු කතා වරින්වර සමාජගත කරන්නට විය. ඒවා හරියට “හබුං කටයි බත් දෙකටයි” කියා පොඩි එවුන්ට බත් කවනවිට රවටන්නට කියන කතා මෙන් විය.

එසේම අතුරුදන් වූවන්ගේ කාර්යාලයට කොමසාරිස්‌වරුන් පත්කිරීමේදී ඉමල්කා ප්‍රනාන්දු ඇතුළු ශ්‍රී ලංකාවට සහ ත්‍රිවිධ හමුදාවට එරෙහිව ජිනීවා මානව හිමිකම් කොමිසම හමුවේ කරුණු දැක්‌වූ එන්ජීඕ ක්‍රියාකාරීන් දෙදෙනකු පත්කරමින් රටේ ජනතාව විශ්මයට පත්කළ තවත් ජනප්‍රිය මාතෘකාවක්‌ ජනගත කරන්නටද ඉකුත් සතියේ ආණ්‌ඩුව කටයුතු කළේය.

ඇමැති මංගල සමරවීරයට අනුව නම් එහි කිසිදු ගැටලුවක්‌ නැත. ඔහු මාධ්‍යයට නිවේදනයක්‌ නිකුත් කරමින් ඊයේ ඒ බව සඳහන් කර තිබිණි.

යහපාලනයේ මෙකී ක්‍රියා හමුවේ පසුගිය සති කිහිපය පුරාම සිදුවූ විශේෂිතම කරුණ වූයේ රටේ ජනතා අවධානය දැඩි ලෙස මේ දේශපාලන කරුණු වෙත යොමු වීම විය. එහෙත් ජනතා අවධානය එසේ සම්මුතිවාදී නාඩගම් දෙසට හැරී තිබියදී තවත් පැත්තකින් කාටත් නොදැනීම රට අරාජික කෙරෙන විජාතික කුමන්ත්‍රණ තුළින් දෙමළ බෙදුම්වාදයේ පිබිදීම උදෙසා බොහෝ දේ සිදුවන්නට විය.

ඉන් බරපතළම කරුණ වූයේ ඉකුත් සතියේ ආරම්භ වූ එක්‌සත් ජාතීන්ගේ 37 වන මානව හිමිකම් සැසිවාරය සඳහා 2017-2018 වර්ෂයන්ට අදාළ සිය වාර්තාව ඉදිරිපත් කළ මානව හිමිකම් කොමසාරිස්‌ සෙයිඩ් රාද් අල් හුසේන් කුමරු මෙරට තුළ මානව හිමිකම් ප්‍රවර්ධනය, වගවීම සහ සංහිඳියාව සහතික කිරීම සඳහා ජගත් අධිකරණ ක්‍රියාමාර්ගයක්‌ ඇතුළු විසඳුම් මාර්ග දෙස අවධානය යොමු කරන ලෙස මානව හිමිකම් මණ්‌ඩලයෙන් ඉල්ලා සිටීමය.

ශ්‍රී ලංකාව ප්‍රතිඥා දුන් එක්‌සත් ජාතීන්ගේ 30/1 යෝජනාව පරිදි සංක්‍රාන්ති යුක්‌තිය ඉටු කිරීම වසරකට අධික කාලයක සිට සමුපූර්ණයෙන්ම ඇනහිට ඇතැයිද එහිදී එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්‌වරයා සඳහන් කර ඇත.

මිනිස්‌ ඝාතන, පැහැරගැනීම් පිළිබඳ චෝදනා එල්ල වූ ආණ්‌ඩුවේ නිලධාරීන්ට සහ සන්නද්ධ හමුදා සාමාජිකයන්ට එක්‌ ආකාරයකටත් දීර්ඝ කාලයක්‌ රඳවාගෙන සිටින දමිළ සැකකරුවන්ට (මේ දමිළ සැකකරුවන් යනු ම්ලේච්ඡ ඝාතන සිදු කළ ත්‍රස්‌තවාදීහුය) තවත් ආකාරයකටත් සලකන්නේයෑයි යනුවෙන් සඳහනක්‌ කරමින් සිය වාර්තාව මගින් මෙරට අධිකරණ ක්‍රියාවලියටද චෝදනාවක්‌ එල්ල කරන්නට ඔහු පියවර ගෙන ඇත.

එසේම හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි රවිරාඡ් ඝාතනය, ප්‍රගීත් එක්‌නැලිගොඩ සිද්ධිය, සහ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය සම්බන්ධයෙන් පරීක්‍ෂණ ප්‍රමාද බවද එම වාර්තාවෙන් දැනුම් දී ඇති හෙතෙම එම සිද්ධීන්වලට චුදිත හමුදා නිලධාරීන් ඉක්‌මනින්ම ඇප ලබා ගිය බවක්‌ද එම වාර්තාවෙන් අවධාරණය කරන්නේය.

සෙයිඩ් රාද් අල් හුසේන් එසේ සිය වාර්තාව ඉදිරිපත් කරද්දී මෙවර එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම හමුවේ කරුණු දක්‌වමින් කැනඩාවද පවසා ඇත්තේ ශ්‍රී ලංකාව ජාත්‍යන්තර විනිසුරුවන් සම්බන්ධ කරගනිමින් මානව හිමිකම් චෝදනාවලට පිළිතුරු දියයුතු බවකි.

මේ දක්‌වා එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලය ඇතුළු ජාත්‍යන්තරය වෙතින් එල්ල වූ චෝදනාව බවට පත්ව තිබුණේ ත්‍රස්‌තවාදය වැනසූ යුද්ධයේදී රජයේ හමුදා යුද අපරාධ කළ බවය. ඒ අනුව මොවුන් දැන් කියන්නේ තමන් එසේ චෝදනා එල්ල කළ රණවිරුවන්ට එරෙහිව ජාත්‍යන්තර අධිකරණ ක්‍රියාවලියක්‌ සිදුවිය යුතු බවය.

මේ මොහොත වන විට එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ 37 වන සැසිවාරය සමඟ අප ඉපදුන මේ බිමට එරෙහි ජාත්‍යන්තර කුමන්ත්‍රණය විරාමයක්‌ නොමැතිවම දියත්ව තිබෙන්නේ එසේය. එය එසේ වෙද්දී අද උතුරේ සිදුවෙමින් තිබෙන්නේ කුමක්‌ද?

දැනට මාස දෙකතුනක සිටම උතුරේ යාපනය, කිලිනොච්චිය, මන්නාරම, මුලතිව් සහ වව්නියාව ඇතුළු ප්‍රදේශ කිහිපයක අඛන්ඩ උපවාස මාලාවක්‌ දියත්ව ඇත. උපවාසයේ යෙදී සිටින පිරිස්‌ පවසන්නේ යුද සමයේ අතුරුදන් වූ තමන්ගේ ඥතීන් සොයා දෙන්නයෑයි කියාය. ඔවුන් චෝදනා කරන්නේද රණිවිරුවන්ටය.

මේ උපවාසකරුවන් පිටුපස සිටින්නේ රටට එරෙහිවූ සහ බෙදුම්වාදය හෙවත් ඊළම වෙනුවෙන් කඩේගිය එන්ජීඕ නඩ හා බෙදුම්වාදී දෙමළ දේශපාලනය බව පැහැදිලිවම පෙනෙන්නට තිබෙන්නකි.

මෙහිදී ඩැනියෙල්ගේ සහායට මිගෙල් කීවාක්‌ මෙන් එකී බෙදුම්වාදීන් සමඟ සිටින ජාත්‍යන්තර කුමන්ත්‍රණකරුවෝද ජනතා සුබසාධනය යන ලේබලයට මුවා වී උතුරේ විවිධ තැන්වල සැරිසරමින් හමුදා කඳවුරු ස්‌ථාපිත කර ඇති ආකාරය, ඒවායෙහි සිටින සෙබළුන් සංඛ්‍යාව, හමුදාව සතු ඉඩම් ප්‍රමාණය ආදී ලෙසින් විවිධ තොරතුරු රැස්‌ කරන්නාහ.

එල්ටීටීඊයේ ඊනියා මහවිරු පවුල් සහ ආබාධිත හිටපු ත්‍රස්‌තවාදීන්a ඇතුළු විවිධ පාර්ශ්ව වෙතින් රණවිරුවන්ට එරෙහිව සාක්‍ෂි රැස්‌කරන්නාහ. එහිදී දැනට වාර්තා වී ඇති විශේෂිතම කරුණ වන්නේ විවිධ අතරමැදියන් ඔස්‌සේ එක්‌සත් ජාතීන්ගේ නියෝජිතයන්ද මෙකී කාර්යන්හි නිරතව බවය.

ත්‍රස්‌තවාදයට එරෙහි යුද්ධයේ අවසන් කාලයේදී විදේශයන්ට පලා ගිය ප්‍රබල ත්‍රස්‌තවාදීන්ද එක්‌සත් ජාතීන්ගේ රැකවරණ යටතේ කිසිදු බාධාවකින් තොරව පසුගිය දිනවල යළි ශ්‍රී ලංකාවට පැමිණ පිටව යන ගිය තුළ එක්‌ අතකින් එක්‌සත් ජාතීන්ගේ නියෝජිතයන් මෙසේ කටයුතු කිරීමේ අරුමයක්‌ද නැත.

මේ අතරේ උතුරේ විවිධ සංවිධානද ජාත්‍යන්තර අධිකරණ ක්‍රියාවලියක්‌ අවශ්‍ය බව සඳහන් කරමින් මෙවර ජීනීවා මානව හිමිකම් කවුන්සලයට ඉදිරිපත් කිරීම සඳහා අත්සන් ලක්‍ෂයක්‌ ලබා ගැනීමේ ව්‍යාපාරයක්‌ද අරඹා ඇත.

එහෙත් සියල්ල මෙසේ ඉතාම සංවිධානාත්මක ලෙස රටට සතුරුව ක්‍රියාත්මක වෙමින් තිබියදී අද විවිධ දේශපාලන ප්‍රහසන තුළින් ජනතාව නොමඟ යවමින් සිටින ආණ්‌ඩුව කරමින් සිටින්නේ කුමක්‌ද?

යහපාලනය කරමින් සිටින්නේ සහජීවනය සහ සංහිඳියාව කරපින්නාගෙන එක්‌සත් ජාතීන්ගේ අසත්‍ය චෝදනා අනුව යමින් ජාත්‍යන්තරය දිනා ගැනීම හමුවේ නොනවතින රණවිරු දඩයමක නිරත වීමය.

එය එසේ නොවන්නේ නම් ඉකුත් දිනවල බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේදී නේස්‌බි සාමිවරයා මතුකළ යුද්ධයේ අවසන් සමයේ ශ්‍රී ලංකාවේ පැවති සත්‍ය තත්ත්වය ඉස්‌මතු කරමින් ජිනීවා වෙත ගොස්‌ උත්තර දෙන්නට ආණ්‌ඩුවට හැකි විය යුතුය.

එහෙත් මේ රටට සහ රණවිරුවන්ට එරෙහි ජිනීවා චෝදනා පිළිගෙන එයට අනුගත වූ ආණ්‌ඩුවක්‌ එසේ කරන්නේ කෙසේද? එය යහපාලනයට දැන් කළ නොහැකිය. ආණ්‌ඩුවේ ජාත්‍යන්තර දිනා ගැනීමේ රණවිරු දඩයමට අනුව ගෙවී ගිය තෙවසරක කාලය තුළ සියල්ල සිදුවූ අයුරුද හරි අපූරුය.

එක්‌නැලිගොඩ සිද්ධිය සම්බන්ධයෙන් රහස්‌ පොලිසිය අත්අඩංගුවට ගැනීමෙන් පසු යුද හමුදා සන්නද්ධ බුද්ධි බලකායේ ලුතිනන් කර්නල්වරුවන් වන ශම්මි කුමාරරත්න, ප්‍රබෝධය සිරිවර්ධන ඇතුළු රණවිරුවන් නව දෙනකු මුලින්ම සිරගත කෙරිණි. ඒ සමගම රවිරාඡ් ඝාතනයට අත්අඩංගුවට ගත් නාවික හමුදා බුද්ධි බලකායේ ලුතිනන් කමාණ්‌ඩර් ප්‍රසාද් හෙට්‌ටිආරච්චි ඇතුළු තිදෙනකුද බන්ධනාගාරගතව සිටියේය.

ඉකුත් 2015 වසරේ අවසන් කාර්තුවේදී ආණ්‌ඩුව සංක්‍රාන්ති යුක්‌තිය ඉටු කරන බවට හෙවත් පොරොන්දු වූ පරිදි වැඩේ කරන බවට එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමට පෙන්වා දුන්නේ ඒ රණවිරුවන් අත්අඩංගුවට ගෙන සිරගත කිරීමෙන් නොවේද?

ඉකුත් 2016 වසර වන විට මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංගගේ රියෑදුරා පැහැරගත්තේ යෑයි කියමින් යුද හමුදා බුද්ධි බලකායේ බලලත් නිලධාරී ප්‍රේමානන්ද උදලාගම සහ මාධ්‍යවේදී කීත් නොයාර්ව පැහැරගෙන ගොස්‌ පහර දුන් බවට චෝදනා කරමින් යුද හමුදා බුද්ධි අංශයේ මේජර් බුලත්වත්ත ඇතුළු පිරිසක්‌ අත්අඩංගුවට ගෙන සිරගත කෙරිණි. මීට අමතරව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පති අනුර සේනානායකද සිටියේ සිරගතවය.

ඒ අනුව 2016 වසරේදී එක්‌සත් ජාතීන් ආණ්‌ඩුවේ වගවීම ලෙස දැක්‌කේ එකී රණවිරු දඩයමය. වැල්ලවත්තේදී තරුණයන් පස්‌ දෙනකු ඇතුළු පුද්ගලයන් එකොළොස්‌ දෙනකු පැහැරගෙන ගියේ යෑයි කියමින් නාවික හමුදා හිටපු මාධ්‍ය ප්‍රකාශක කමාණ්‌ඩර් ඩී.කේ.පී. දසනායක, කමාණ්‌ඩර් සුමිත් රණසිංහ ඇතුළු නාවික හමුදා බුද්ධි බළකායේ රණවිරුවන් පිරිසක්‌ සිරගත කෙරුණේ 2017 වසරේදීය.

රහස්‌ පොලිසිය කළ එම විමර්ශනය හෙතුවෙන් දසනායකලා සුමිත් රණසිංහලා වැනි වීරයන් හිරේ යද්දී 2017 ද ගොඩදාගෙන ජාත්‍යන්තරය දිනන්නට යහපාලනයට හැකිවිය.

එහෙත් ආණ්‌ඩුව එසේ සංක්‍රාන්ති යුක්‌තිය ඉටුකරමින් පොරොන්දු වූ පරිදි ජාත්‍යන්තරය දිනන්නට සැරසුනද එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්‌ සෙයිඩ් රාද් අල් හුසේන් ඒ කිසිවකින්වත් සෑහීමකට පත්ව නැති බව මෙවර ඔහුගේ වාර්තාව මගින් පැහැදිලි වන්නකි.

මේ අනුව ඩීකේපීලා, සුමිත් රණසිංහලා, ශම්මි කුමාරරත්නලා සහ ප්‍රබෝධය සිරිවර්ධනලා වැනි රට වෙනුවෙන් අසීමිත කැපකිරීම් කළ රණවිරුවන් සිරගත කිරීමෙන් පමණක්‌ අල් හුසේන් පිනවා ඊනියා ජාත්‍යන්තරය දිනාගත නොහැකි බව යහපාලනය දැන් සිතනනවා විය හැකිය.

අද රහස්‌ පොලිසිය සිදු කරන විමර්ශන කිහිපයකම ප්‍රසිද්ධ ඉලක්‌කය බවට හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා පත්වන්නට තවත් එක්‌ ප්‍රධාන හේතුවක්‌ වී තිබෙන්නේ ආණ්‌ඩුවේ මේ කශේරුකා බිඳගත් සිතුවිල්ලද?

අප මෙහිදී ප්‍රසිද්ධ ඉලක්‌කය යෑයි සඳහන් කරනුයේ ගෝඨාභය රාජපක්‍ෂ දඩයම යන්න මෙතෙක්‌ පැවතියේ තිරෙන් පිටුපස නිසාය. දැන් එය කරළියට පැමිණ ඇත. එක්‌ අතකින් ගෝඨාභයගේ දේශපාලන ආගමනයත් සමඟ ඇතිවිය හැකි 2020 මැතිවරණ අභියෝගය ය. තවත් පැත්තකින් ජාත්‍යන්තරය දිනා ගැනීමය. සැබවින්ම එය තුළ සිදුවන්නට යන්නේ මෙය නම් මේ ආණ්‌ඩුව මොනතරම් බාලද?

දැන ගැනීමට ඇති පරිදි නම් හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ පමණක්‌ නොව, අවසන් සටනට උරදුන් යුද සෙන්පතියෝ කිහිප දෙනකුද මෙහිදී ඉලක්‌ක බවට පත්ව ඇත්තාහ. හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ ඉන් එක්‌ අයෙකි. එසේම යුද සමයේ නාවික හමුදාවේ සහ යුද හමුදාවේ බුද්ධි බලකා අධ්‍යක්‍ෂවරුන්ව සිටි වත්මන් රියර් අද්මිරාල් ආනන්ද ගුරුගේ සහ වත්මන් මේජර් ජෙනරාල් අමල් කරුණාසේකර ඇතුළු කිහිපදෙනකුද අද මේ දඩයමේ ඉලක්‌ක වී සිටිති.

එහෙත් ගෝඨාභයලා සිරගත කෙරුණහොත් ශ්‍රී ලංකා ආණ්‌ඩුව සංක්‍රාන්ත යුක්‌තිය ඉටුකළේ යෑයි කියමින් එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්‌ අල් හුසේන් ඇතුළු විජාතික බලවේග සැහීමකට පත්වනු ඇතියි රජය සිත්න්නේද? මෙහිදී මතුවන හොඳම ප්‍රශ්නය එය වන්නේ ය.

නැත. කිසි දිනෙක එය සිදුවන්නේ නැත. මේ සියලු කුමන්ත්‍රණකරුවන්ට අවශ්‍යව ඇත්තේ මේ රටේ ජාතීන් අතර සහජීවනය නොව. මේ බිම බෙදා වෙන්කර උන්ට යටත් අරාජික භූමියක්‌ බිහි කිරීමටය. සත්‍ය ඇත්තේ එතන නොවේද? ආණ්‌ඩුවට එය වැටහෙන්නේ කවදාද?

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here