ජාත්‍යන්තර යුධ අධිකරණයෙන් රණවිරුවා ගලවා ගත්තේ යහපාලනයද?

0
780

මෙවර පළාත් පාලන මැතිවරණ ප්‍රචාරක කටයුතු ව්‍යාපාරයේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විවිධ මත ප්‍රකාශ කරමින් සිටිනු අපට පෙනේ. වසර 3 කට ආසන්න කාලයක්‌ කල්දමා අවසානයේ දැන් පවත්වන මෙම මැතිවරණය හුදෙක්‌ පළාත් පාලන මැතිවරණයක්‌ නොව වර්තමාන රජය පසුගිය වසර 3 ක්‌ පුරාවට ගෙනගිය පාලනය යහපාලනයක්‌ද නැතහොත් දුර්දාන්ත පාලනයක්‌ද යන්න තීරණය කරන ජනමත විචාරණයක්‌ බැව් සියල්ලෝම දනිති. ඉතිහාසයේ කිසිදු අවස්‌ථාවක නොතිබූ උෙද්‍යාගයක්‌ උනන්දුවක්‌ මෙම පළාත් පාලන මැතිවරණයට ඇත්තේ එබැවිනි. ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂයද වර්තමාන ජාතික ආණ්‌ඩුවේ කොටස්‌කාරයෙක්‌ බැවින් තම පක්‌ෂය ජයග්‍රහණය කරවීම සඳහා එහි වර්තමාන සභාපති මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිට තිබෙන දැඩි අවශ්‍යතාවය අපට තේරුම් ගත හැක. එසේම එතුමා කරන විවිධ ප්‍රකාශ අතුරින් රණවිරුවන් ගැන හමුදාව ගැන කරන්නාවූ ප්‍රකාශ සම්බන්ධයෙන් හමුදා නිලධාරීන් ලෙස අපගේ දැඩි අවධානය ඒ පිළිබඳව යොමුවන බවද ඕනෑම කෙනෙකුට තේරුම් යන කරුණකි. මන්ද රණවිරුවා සම්බන්ධයෙන් පූර්ව වගකීම තිබෙන්නේ රටේ සේනාවිධායක ලෙස ජනාධිපතිතුමාට බැවිනි. එබැවින් වෙන අය මෙන් ජනාධිපතිතුමා රණවිරුවන් ගැන යමක්‌ සඳහන් කරන්නේ නම් ඔහු එසේ කරනුයේ එහි පූර්ණ වගකීම බාරගනිමිනි. එම ප්‍රකාශය සාවද්‍ය නම් එක්‌කෝ ජනපති පවසන්නේ මුසාවකි. එසේත් නැතහොත් ජනපතිට තම ආරක්‌ෂක, විදේශ උපදේශකවරුන් කියා ඇත්තේ මුසාවකි. ජනාධිපතිතුමා මුසා බස්‌ පවසන්නේ යෑයි අපි මොහොතකටවත් නොසිතමු. එසේ නම් රණවිරුවන් ගැන ජනපති මුවින් සාවද්‍ය ප්‍රකාශයක්‌ කෙරෙන්නේ නම් එසේ වන්නේ ජනපතිට උපදෙස්‌ දෙන ආරක්‌ෂක අමාත්‍යංශයත් / විදේශ අමාත්‍යංශයත් මැති ඇමැති නිලධාරීන් එතුමාව රවටා ඇති නිසාය. රටේ ජනාධිපතිවරයාව එසේ රවටා ඇති අයුරු අප දැන් මෙසේ සඳහන් කරමු.

පසුගිය දිනක ජනාධිපතිතුමා ප්‍රසිද්ධ වේදිකාවක කියා සිටියේ “රණවිරුවන්ව ජාත්‍යන්තර අධිකරණයට ගෙන යන එක නැවැත්තුවේ වෙන කවුරුවත් නොවේ. මේ මමයි යන්නයි. එතුමා ඒ බව ප්‍රකාශ කළේද තම පපුවට අත ගසා ගනිමිනි. එයින් අපටද පෙනී යන්නේ එතුමා තම හෘදය සාක්‌ෂියට එකඟව එසේ සිතන බවයි. එතුමා එසේ සිතන්නේ එය එසේ බව එතුමාගේ උපදේශකවරුන් එතුමාට කියා ඇති නිසාය. එසේ නම් ඇත්ත වශයෙන්ම ජනාධිපතිතුමා රණවිරුවාව ජාත්‍යන්තර යුධ අධිකරණයට ගෙන යැම වැලැක්‌වූවාද එසේත් නැතහොත් රණවිරුවාව ජාත්‍යන්තර පෝරකයට යැමට මංපෙත් විවර කළාද යන්න පහදා දීම අපේ යුතුකම වේ. මන්ද තර්කානුකූලව එසේ පහදා දුනහොත්, ජනපති කර ඇති ප්‍රකාශය සාවද්‍ය නම් ඔහුට ඊට අදාළව වංචනික ලෙස කරුණු ඉදිරිපත් කර ඇති සියල්ලන්ටම විරුද්ධව කටයුතු කළ හැකි බැවිනි. එවිට මතුවට හෝ රටේ සේනාවිධායකතුමාට ආරක්‌ෂක අංශ පිළිබඳ උපදෙස්‌ දෙන විට වැරදි ප්‍රතිරූපයක්‌ හුවා දැක්‌වීමට දෙවරක්‌ සිතන නිසාය.

අද උද්ගතව ඇති වර්තමාන තත්ත්වය අනුව රණවිරුවා පමණක්‌ නොව ම්ලේච්ඡ ත්‍රස්‌තවාදය තුරන් කර ජයග්‍රහණය කළ දේශපාලන නායකත්වය පවා ජාත්‍යන්තර යුද අධිකරණයට ගෙන යැමට අවශ්‍ය කරන සියලු පියවර දැනටමත් ගෙන තිබේ.

ජිනීවා 30/1 යෝජනාව (ලංකා හමුදාවන්ට එරෙහිව ගෙන ආ) පදනම් වී ඇත්තේ එ.ජා.ගේ මානව හිමිකම් කවුන්සලේ මහ කොමසාරිස්‌වරයාගේ ඕ. අයි. එස්‌. එල්. වාර්තාව මතය. එම වාර්තාවෙන් කියනුයේ යුද්ධයේ අවසාන අදියරෙහි අපේ හමුදාවන් යුද අපරාධ කළ බවට පිළිගත හැකි සාක්‌ෂි තිබෙන බවය. ඒ අනුව ඇමෙරිකාව විසින් ඉදිරිපත් කළ ජිනීවා 30/1 යෝජනාවට වර්තමාන රජයේ විදේශ ඇමැතිවරයා සම අනුග්‍රාහකත්වය දැක්‌වූ නිසා එය ඡන්දයකින් තොරව සම්මත විය. එම යෝජනාවෙහි අඩංගු කරුණු අනුව දැනටමත් අතුරුදන් වීමේ කාර්යාලය විවෘත කොට තිබේ. එසේම එහි විදේශ විනිසුරුකරුවන් සහිත දෙමුහුන් අධිකරණයක්‌ නිර්දේශ කොට ඇති අතර අපේ රණවිරුවන්ට මුහුණ දීමට තිබෙන්නේ එම විශේෂ අධිකරණයටය. අතුරුදන්වීමේ කාර්යාලය හරහා නිර්දෝෂි රණවිරුවන් බොරු සාක්‌ෂි මතින් ජාත්‍යන්තර යුද අධිකරණයට ගෙන යන අයුරු ඉතා කෙටියෙන් පසුව පහදා දෙමි. පළමුව අප කළ යුත්තේ මෙම ඊනියා ජිනීවා 30/1 යෝජනාවට පදනම් වූ ඉහත සඳහන් කළ එ.ජා.ස. මා. හි. කොමසාරිස්‌වරයාගේ යුද අපරාධ චෝදනාව අඩංගු වාර්තාව කුමක්‌දැයි සැකෙවින් සොයා බැලීමය. එම වාර්තාව ජිනීවාවලට ඉදිරිපත් කිරීමට පළමු ප්‍රථමයෙන් ඉදිරිපත් කළේ අපේ විදේශ අමාත්‍යාංශයටය. ඔවුන් එහි අඩංගු කිසිවක්‌ අභියෝගයට ලක්‌ නොකර නැවත මානව හිමිකම් කොමසාරිස්‌ ජනරාල්වරයාට යෑවීය. පසුව එ.ජා. මා. හි. සමුළුවේදී මංගල සමරවීර එය අගය කරමින් පිළිගෙන එම 30/1 යෝජනාවට සම අනුග්‍රාහකත්වය දැක්‌වීය. මේ සඳහා ඔහු කැබිනට්‌ මණ්‌ඩලයේ අනුමැතිය ලබාගත්තේ නැත. ජනාධිපතිවරයාගේ අනුමැතිය ගත්තාදැයි අපි නොදනිමු. එසේ ගත්තා නම් ජනාධිපතිතුමා රණවිරුවාව බේරාගත්තේ මම යෑයි කිසිදාක නොකියනු ඇත.

රණවිරුවාව ජාත්‍යන්තර අධිකරණයට ගෙන යැමට මං පාදන ජිනීවා 30/1 යෝජනාවට පදනම් වූ ඉහත සඳහන් “යුද අපරාධ” වාර්තාවේ අපේ හමුදාවනට විරුද්ධව ඇති චෝදනා සහ එහි ඇති පදනම් විරහිත සාවද්‍ය බව කෙටියෙන් මෙසේ සඳහන් කරමි.

1. චෝදනාව – යුද්ධයේ අවසාන අදියරේ රජයේ හමුදාවන් උතුරේ සාමාන්‍ය දෙමළ ජනතාවට ආහාර, ඖෂධ යනාදිය යෑවීම හිතාමතාම වළකා ඇත.

යුද්ධයක්‌ අතරතුර සාමාන්‍ය ජනතාවට මානුෂීය ආධාර යෑවීම වැළැක්‌වීම යුද අපරාධයකි. මානව හිමිකම් කොමසාරිස්‌ ජනරාල් සෙයිද් අල් හුසේන් අපට විරුද්ධව එල්ල කරන එක්‌ බරපතළ යුද අපරාධ චෝදනාවකි ඒ. දැන් එම චෝදනාව සත්‍ය දැයි අපි බලමු. යුද්ධය උග්‍රව පවතින කාලය තුළ උතුරට මානුෂීය ආධාර යෑවීම සඳහා මානුෂීය ආධාර සඳහා උපදේශන මණ්‌ඩලයක්‌ පත්කර තිබිණි. එහි සභාපතිත්වය දැරුවේ එවකට ආරක්‌ෂක ලේකම් ගෝඨාභය රාජපක්‌ෂ වන අතර එහි සාමාජිකය5න් අතර කොටි හිතවාදී ඇමෙරිකන් තානාපති රොබට්‌ බ්ලේක්‌ සහ එ.ජා සංගමයේ විවිධ අංශවල නියෝජිතයන් වූහ. නිතර නිතර රැස්‌වූ එම මණ්‌ඩලයේ මානුෂීය ආධාර උතුරට යෑවීම පිළිබඳ වාර්තා අප සතුව ඇත. ඒ අනුව අපට පෙනී යන්නේ කුමක්‌ද? එ.ජා.සං. මානව හිමිකම් කවුන්සලේ නීල් බුනේ මහතා ප්‍රකාශ කර ඇත්තේ “මෙවන් උග්‍ර යුද්ධයක්‌ ඇති කාලවකවානුවක වුවද රජය විසින් උතුරට අවශ්‍ය ආහාරපාන ඖෂධ යෑවීම සම්බන්ධයෙන් ඔවුනට රන් පදක්‌කමක්‌ පිරිනැමිය යුතුය” යන්නය. එසේම එජා ගේa සරණාගතයන්හි නියෝජිත අමීන් අවාඩ් මහතා ප්‍රකාශකොට ඇත්තේ යුද්ධයකදී සාමාන්‍ය ජනතාවට නොකඩවා මානුෂීය ආධාර යෑවීම සම්බන්ධයෙන් අපගේ රජය මුළු ලෝකයටම පරමාදර්ශයක්‌ බවයි. ඊට අමතරව මුලතිව් ප්‍රදේශයේ දිස්‌ත්‍රික්‌ ලේකම් ඉමෙල්ඩා සුගුමාරන් මහත්මිය කියා ඇත්තේ ඕනෑම මොහොතක එම ජනතාවට මාස 3 කට සෑහෙන මානුෂීය ආධාර තොග තිබූ බවය. යුද්ධය අවසාන වනවිට පවා හාල් මාස 6 ක සෑහෙන තොග ගබඩාවල තිබූ බවය. එසේ නම් මෙසේ ඉතා පැහැදිලි වාර්තා තිබියදී උතුරට බඩු යෑවීම රජයේ හමුදා හිතාමතා වැළැක්‌වූවා යෑයි සෙයිද් අල් හුසේන් අපට විරුද්ධව එල්ල කරන යුද අපරාධ චෝදනා පට්‌ටපල් බොරුවක්‌ නොවේද? එය මංගල සමරවීර අගය කරමින් පිළිගෙන තිබේ. එම චෝදනාව ද අඩංගු වාර්තාව මත සකස්‌ වූ රණවිරුවා ජාත්‍යන්තර යුද අධිකරණයට ගෙන යන 30/1 ජිනීවා යෝජනාවට මෛත්‍රිපාල සිරිසේන රජය සම අනුග්‍රාහකත්වය දක්‌වා තිබේ. එසේම මෛත්‍රීපාල ජනාධිපතිතුමා “රණවිරුවා බේරාගත්තේ මම” ය යෑයි ප්‍රකාශ කිරීම මුසාවක්‌ නොවන්නේ කෙසේද?

2. චෝදනාව – “යුද්ධයේ අවසාන අදියරේ ශ්‍රී ලංකා හමුදාවන් ෂෙල්වෙඩි ප්‍රහාර එල්ල කරමින් අහිංසක දෙමළ ජනතාව සමූල ඝාතනය කර ඇත.” යන්නයි. යුද්ධයකදී අහිංසක ජනතාව හිතාමතා බුරුතු පිටින් මරා දැමීම යුද අපරාධයකි. යුද්ධයේ අවසාන දින කිහිපය තුළ යුද හමුදාව වෙත ආරක්‍ෂාව පතා දිව එන තමාගේම දෙමළ ජනතාව කොටි ත්‍රස්‌තවාදීන් විසින් වෙඩි තබා ඝාතනය කළ බව කොටි නායිකා තමිලිනී ජෙයකුමාරන් තම පොතෙහි පැහැදිලිව සඳහන් කොට තිබේ. මුරලි රෙඩ්ඩි යනු යුද පිටියේ සිටි ඉතා ප්‍රවීණ විදේශීය මාධ්‍යකරුවෙකි. ඔහුට එසේ සිටීමට අවසර දී ඇත්තේ ආරක්‍ෂක අමාත්‍යාංශයයි. කොටි ග්‍රහණයෙන් මිදී ආරක්‍ෂක හමුදා වෙතට දිව එන දහස්‌ ගණන් දෙමළ ජනතාව සමග කතා බස්‌ කිරීමට ඔහුට අවකාශය තිබුණි. ඔහුට අන්තර්ජාල පහසුකම් ද ලබාදී තිබුණි. නමුත් එසේ ඔහු කතා කළ කිසිදු දෙමළ වැසියෙක්‌ යුද හමුදාව ඔවුන්ව නිකරුණේ ඝාතනය කළේ යෑයි පවසා නොතිබුණි. කොටින්ගෙන් මිදී එන සිවිල් ජනතාවට ආරක්‍ෂාව දුන්නේ හමුදාව යෑයිද හමුදාව යටතේ සිවිල් ජනතාව ඉතා හොඳින් ආරක්‍ෂිතව බස්‌වල නැඟී අවතැන් කඳවුරුවලට ගිය බව ද ඔහුගේ වාර්තාවල සඳහන් වේ. සමූල ඝාතනයේ යෙදුන හමුදාවල් කරා දෙමළ ජනතාව ආරක්‍ෂාව පතා දිව එයිද?

ඩේවිඩ් ග්‍රේ යනු රෙඩ්ඩි මෙන්ම යුද පිටියේ සිටි ඡායාරූප වාර්තාකරුවෙකි. ඔහුගේ වාර්තාවල ඔහු සඳහන් කර ඇත්තේ තමන් වෙතට දිව ආ අහිංසකයන්ට අපේ හමුදා සෙබළුන් තම වතුර බෝතලය සහ තම ආහාර පාර්සලය පිළිගැන්වූ බවය. සමූල ඝාතනය කරන ජනතාවකට තම බත් පත බෙදන සෙබළුන් සිටින්නේ මොන රටේද?

තමන් හමුදාව වෙත දිව එනවිට කොටින් විසින් වෙඩි තබා ඝාතනයට ලක්‌වූ තම දරුවන්, ඥාතීන්, මිතුරන් සම්බන්ධයෙන් දෙමළ ජනතාව කළ ප්‍රකාශ රජය සතුව තිබේ. අපේ හමුදාව යුද්ධය ජයග්‍රහණය කළේ දෙමළ සිවිල් ජනතාව ලක්‍ෂ 3 ක්‌ බේරාගෙනය. එය ලෝකයේ මෙතෙක්‌ සිදුව ඇති විශාලම ප්‍රාණ ඇපකරුවන් ගලවා ගැනීමේ මෙහෙයුම වේ. එසේ නම් යුද්ධයේ අවසාන අදියරේ අපේ හමුදාවන් නිරපරාදේ සිවිල් ජනතාව සමූල ඝාතනය කළා ය යන යුද අපරාධ චෝදනාව ද අතිශය සාවද්‍ය නොවේද? එසේ අප දෙමළ සමුල ඝාතන නොකළ බවට විදේශීය මාධ්‍යකරුවන්ගේ පවා වාර්තා තිබියදී අපේ හමුදාවන් එසේ කළා යෑයි මංගල සමරවීර පිළිගත්තේ කෙසේද? මෛත්‍රිපාල ජනාධිපතිතුමා මේ බව නොදන්නේද? එසේ නම් ඔහු “රණවිරුවා බේරා ගත්තේa මම” යෑයි කියන්නේ කෙසේද? මෙම ජිනීවා ක්‍රියාවලියට ප්‍රථමයෙන්ම මුල්වූ දරුස්‌මාන් වාර්තාවේ සඳහන් වූයේ අප හමුදාවන් දෙමළ ජනතාව 40,000 ක්‌ ඝාතනය කළාය යන්නයි. නමුත් මෙහි විසූ එජාසං යේ නියෝජිතයා ප්‍රකාශකොට ඇත්තේ මැයි මස 13 වැනි දින වනවිට මියගිය සියලුම අය (ත්‍රස්‌තවාදීන් ද සමග) 7721ක්‌ බවයි. මැයි මස 18 වැනි දින යුද්ධය අවසන් වූ බැවින් 40,000 ක්‌ සංඛ්‍යාව සත්‍ය නම් දින 5 ක්‌ තුළ 32,000 ක්‌ පමණ මිය යා යුතුයි. ඔවුන්ව වළ දැමීමට සමූහ මිනීවළවල් තිබිය යුතුය. මීට සති කිහිපයකට පෙර මෙහි සේවයේ යෙදී සිටි බ්‍රිතාන්‍ය හමුදා සම්බන්ධීකරණ නිලධාරියාගේ “රහස්‍ය” වාර්තාවක්‌ හුවා දක්‌වමින් නේස්‌බි සාමිවරයා බ්‍රිතාන්‍ය සාම මණ්‌ඩලයේ කියා සිටියේ මෙම යුද්ධයේ මියගිය මුළු සංඛ්‍යාව 8000 ට අඩු බවයි. මෙවන් යුද්ධයකදී කොටින්ද සමග මියගිය එම සංඛ්‍යාව ඉතාමත් පිළිගත හැකි සීමාවන් තුළ බවත් එම නිසා සමූල ඝාතනයක්‌ සිදුවී නැති බවත් විදේශීය යුද්ධ විශේෂඥයන් වන මේජර් ජනරාල් ජෝන් හෝම්ස්‌, ශ්‍රීමත් ඩෙස්‌මන්ඩ් ද සිල්වා, ශ්‍රීමත් ෂෙෂ්රිනයිස්‌ යන අය වාර්තා කොට තිබේ. මේ ආකාරයේද පැහැදිලි වාර්තා තිබියදී සෙයිද් හුසේන් අපට කළ සමූල ඝාතන චෝදනාව අගය කරමින් මංගල සමරවීර පිළිගත්තේ ජනපතිගේ කීමටද?

සෙයිද් අල් හුසේන්ගේ OISL වාර්තාවේ අපට විරුද්ධව ඇති අනෙකුත් යුද අපරාධ චෝදනා ද ඉතාම පරස්‌පර, අසත්‍ය කරුණු මත පදනම් වූවක්‌ බැව් අප විසින් සනාථ කොට ජිනීවා සමුළුවට ඉදිරිපත් කොට තිබේ. එම වාර්තාව සාවද්‍ය නම් ඒ මත පදනම් වූයේ ජිනීවා 30/1 යෝජනාව ද නිතැතින්ම නිෂ්ප්‍රභ විය යුතු නොවේද?

නමුත් මෙම යෝජනාව මුළුමනින්ම ක්‍රියාත්මක කිරීමට මෛත්‍රීපාල/ රනිල් රජය දැන් බැඳී තිබේ. ඒ අනුව ස්‌ථාපිත කරන ලද “අතුරුදන් වීමේ කාර්යාලයට” විදේශයේ සිට කරන්නා වූ වීඩියෝ තාක්‍ෂණයෙන් දෙනු ලබන සාක්‍ෂි පිළිගැනීමට බලය ලබාදී තිබේ. ලංකා අධිකරණයේ සාක්‍ෂි ආඥ පනතට විරුද්ධ සාක්‍ෂි පවා පිළිගැනීමට බලය ලබාදී තිබේ. මින් මතුවට කෙරෙනුයේ තමන්ට අවශ්‍ය කරන හමුදා නිලධාරියාට විරුද්ධව එසේ යුද අපරාධ චෝදනා එල්ල කිරීමයි. එසේ සාක්‍ෂි දෙන අයගේ අනන්‍යතාවය හෙළිදරව් නොකරන අතර හරස්‌ ප්‍රශ්න ඇසීමටද නොහැක. ඉන්පසු එක්‌ එක්‌ යුද /දේශපාලන නායකත්වයට විරුද්ධව දෙන සාක්‍ෂි ගොනු කළ විට, අප සර්වලෝක අධිකරණ බලයට යටත් විය යුතු යෑයිද අදාළ යෝජනාවේ සඳහන් වන හෙයින්, එම අදාළ පුද්ගලයා විදේශගත වූ විට පෙර කී සාක්‍ෂි මත ඔහුව අත්අඩංගුවට ගෙන ජාත්‍යන්තර අධිකරණයට ගෙන යැමට අවකාශ ඇත. නඩුව අවසානයේ ඔහු නිදහස්‌ වුවද වසර ගණනාවක්‌ අපේ රණවිරුවන් ට එසේ පිටරට සිරගෙවල්වල තපින්න සිදු වේ.

මෙසේ සිදුවන්නේ ඇයි? ඒa ජිනීවා 30/1 යෝජනාව නිසාය. ඒ යෝජනාව ආවේ ඇයි? සෙයිද් අල් හුසේන්ගේ යුද අපරාධ චෝදනාව සහිත වාර්තාව නිසාය. ඒ වාර්තාවේ සඳහන් යුද අපරාධ චෝදනා සියල්ල පට්‌ටපල් බොරුය. එය කිසිදු වග විභාගයකින් තොරව සත්‍ය යෑයි පිළිගන්නේ වර්තමාන රජයේ මංගල සමරවීරයි. එසේ නම් සේනා විධායක සහ රටේ ජනාධිපතිවරයා ලෙස මෛත්‍රීපාල සිරිසේන මහතා “රණවිරුවා ජාත්‍යන්තර අධිකරණයට ගෙන යැම වැළැක්‌වූයේ මමයි” යෑයි කීම සත්‍යයෙන් තොරය. ඔහු දැනුවත්ව එසේ කියන්නේ නම් එය මුසාවකි. නොදැනුවත්ව නම් ඔහුගේ උපදේශකයන් බොරුකාරයන්ය. මෙය නිරාකරණය කිරීම ජනපතිටම බාර කරමු.

රියර් අද්මිරාල් (ආචාර්ය) සරත් වීරසේකර

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here