ජිනීවා යෝජනාවලට ඒකාබද්ධයත් අනුග්‍රහය දක්‌වනවා ද?

0
404

පාර්ලිමේන්තුවේ සම්මත කරන ලද පනතක්‌ වේ නම් එයට ජනපතිවරයා අත්සන් කිරීම සාමාන්‍ය සම්ප්‍රදායයි. ඒ අනුව අතුරුදන් වූවන් සඳහා කාර්යාල පනත සඳහා පසුගිය දා ජනපතිවරයා අත්සන් තබා ඇත. මෙම පනත සඳහා වන පසුබිම සැකසෙන්නේ 2015 වසරේ සැප්තැම්බර් මාසයේ 30 වනදා ජිනීවාවලදී ලක්‌ රජයට එරෙහිව ඉදිරිපත් කළ යුද අපරාධ චෝදනාවට එවකට සිටි විදේශ ඇමැති මංගල සමරවීර මහතා සම අනුග්‍රහය දැක්‌වීමෙනි. ඉන්පසු 2016 මැයි මස 27 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද අතුරුදන් තැනැත්තන් පිළිබඳ පනත අදාළ ගැසට්‌ පත්‍රයේ පළකරන ලදී. එහෙත් මේ සඳහා ශ්‍රේෂ්ඨාධිකරණයේදී විරෝධතාවයක්‌ ඉදිරිපත් නුවූ බැවින් පාර්ලිමේන්තුවේදී බහුතර ඡන්දයෙන් සම්මත කර ගන්නා ලදී. ජනපතිවරයා පසුගියදා අත්සන් කරන ලද්දේ එම පනතයි. මෙම අත්සන් කිරීමත් සමඟම ලංකාවේ හමුදාව යුද අපරාධ කළ බවට ඉදිරිපත් වූ චෝදනාවට සැබෑ ලෙසම ලංකාවේ නීත්‍යානුකූල බලය හිමි වෙයි. දැන් ඉතිරිව තිබෙන්නේ අතුරුදන් වූවන් සඳහා වන ජගත් සම්මුතියට අත්සන් කිරීමයි. අනතුරුව දෙමළ ජනතාවට ස්‌වයං පාලනයක්‌ ලබාදෙන ෙµඩරල් ව්‍යවස්‌ථාව සම්මත කිරීමයි. සියලු දේ පත්තරයෙන් දකින ජනපතිවරයා සිය අභ්‍යන්තරයෙන්ම බෙදුම්වාදයට පක්‌ෂ බව දැන් පෙන්වමින් තිබේ.

අතුරුදන් තැනැත්තන් පිළිබඳ පනත මගින් සෘජුවම චෝදනා නැගෙන්නේ ලංකාවේ ත්‍රිවිධ හමුදාවටයි.කොටි ත්‍රස්‌තයන් පරාජය කරලීමේ සටන් පැවති කාල සීමාවේදී දෙමළ ජනතාව අතුරුදන් කරවූවාය යන චෝදනාවද එය විමර්ශනය කිරීමේද බලයද මෙයට ලැබේ. සාක්‌ෂි ආඥා පනතේ කුමක්‌ සඳහන් වුවද ලබා දෙන ඕනෑම සාක්‌ෂියක්‌ භාර ගැනීමට මෙම පනත මගන් ඉඩකඩ සලසා දී ඇත. යුද්ධයේදී මුහුණට මුහුණ ලා සිටි දෙපාර්ශ්වය එනම් රජයේ ත්‍රිවිධ හමුදාව සහ කොටි සාමාජිකයන් මෙම පනත මගින් එක ලෙස සලකා තිබේ. මෙම පනතේ කොතනකදී වත් රජයට එරෙහිව යුද වැදුණු ත්‍රස්‌තවාදියා කවරෙක්‌ ද යන්න අර්ථ විග්‍රහ කර නැත. ඊට අමතරව වරෙන්තුවක්‌ නොමැතිව පොලිස්‌ ස්‌ථානයකට හෝ හමුදා කඳවුරකට ඇතුළු වීමට බලතල ද හිමි වන්නේය. මීනීවළවල් හෑරීමටද අවශ්‍ය බලතල හිමි බව සටහන්ව ඇත. මේ පනත ඉදිරිපත් කරනු ලැබ ඇත්තේ අග්‍රාමාත්‍යවරයාගේ ආඥාව පරිදිය. මෙය ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ 12(1) 13 සහ 14 යන වගන්ති උල්ලංඝනය කරන බව නීති විශාරදයන් පෙන්වා දී ඇත.

අමාත්‍ය මණ්‌ඩල තීරණයක්‌ අනුව සංහිඳියා ලේකම් කාර්යාලයක්‌ පිහිටුවනු ලබන්නේ 2015 දෙසැම්බර් 18 දිනදීය. ඒ මංගල සමරවීර මහතා ජිනීවා වලදී පිළිගත් කරුණු ඉටුකරන්නටයි. පාක්‍යසෝති සරවනමුත්තු මහතා එහි ලේකම්වරයා විය. මනෝරි මුත්තෙට්‌ටුවේගම මහත්මිය එහි සභාපතිනියයි. ගාමිණී වියන්ගොඩ, විසාකා ධර්මදාස ශාන්තා අභිමානසිංහම් මහාචාර්ය චිත්‍රලේඛා මානගුරු කේ. ඩබ්. ජනරංජන, දයා සෝමසුන්දරම් ආචාර්ය µර්සානා හනීµd මහාචාර්ය ශමිලා සමරසිංහ සහ මීරාක්‌ රහීම් එහි සෙසු සාමාජිකයන් වශයෙන් සිටිති. එහි කාර්යභාරය වූයේ සත්‍ය හා යුක්‌තිය ස්‌ථාපනය කිරීම මානව හිමිකම් උල්ලංඝනය, වගවීම් සහතික කිරීම යනාදියයි. එහි යට අරුත නම් දෙමළ ජනතාව යුද්ධයේදී මුහුණ දුන් අත්දැකීම් පිළිබඳ සත්‍ය සෙවීමයි. විශේෂයෙන්ම යුද්ධය ආශ්‍රිතව මානව හිමිකම් උල්ලංඝනය පිළිබඳ සත්‍යය සෙවීම විශේෂ වෙයි. මීට ප්‍රථම පරණගම කොමිසම මගින්ද එවැනි වාර්තාවක්‌ සකස්‌ කළ ද එය පිළිගන්නට දෙමළ නායකයන් කැමති වූයේ නැත. එසේම පසුගිය මහින්ද රජයට ඉදිරිපත් වූ විදේශීය යුද විශේෂඥයන්ගේ වාර්තාව ගැන පැවති රජය මෙන්ම පවතින රජය ද සැලකිල්ලක්‌ දක්‌වා නොමැත. එම වාර්තාවන් මගින් පැණ නගින කරුණු ජීනීවා වලට මුල් වරට ඉදිරිපත් වූයේ රියර් අද්මිරාල් සරත් වීරසේකරයන් මගිනි.

යට සඳහන් කරන ලද සංහිඳියා ලේකම් කාර්යාලය ආරක්‌ෂක ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් ආරක්‌ෂක අංශ දැනුවත් කිරීම උදෙසා ද සම්මන්ත්‍රණයක්‌ පවත්වා ඇත. මීට අමතරව ගිහි ආගමික නායකයන් දැනුවත් කිරීමටද 2016 ජූලි නව වනදා රැස්‌වීමක්‌ පවත්වා තිබේ. ජමාත් ඉස්‌ලාම් ශ්‍රී ලංකා ජාතික ක්‍රිස්‌තියානි ඉවැන්ජලික සභාව ජාතික සූරා සභාව, සමස්‌ත ලංකා මුස්‌ලිම් තරුණ සංගමය, සමස්‌ත ලංකා හින්දු සම්මේලනය තරුණ බෞද්ධ සංගමය ජමාත්අත්සලමාහ් සහ ක්‍රිස්‌තියානි ආයතනය පමණක්‌ මෙයට සහභාගි කරවාගෙන තිබුණි. ආගමික පල්ලිවලට පහර දී විනාශ කළේ යෑයි වාර්තාවක්‌ සැපයෙන්නේ මේ අයගෙනි.

සංහිඳියා ලේකම් කාර්යාලය සිය ප්‍රවිචාරණ ක්‍රියාවලිය සාර්ථක කරගැනීම උදෙසා ප්‍රශ්න මාලාවක්‌ ජනතාව වෙත ඉදිරිපත් කර තිබුණි. එහි අන්තර්ජාල පෝරමයක්‌ ද තිබූ අතර එහි 7 ඒ වගන්තිය මගින් කියෑවෙන්නේ සත්‍ය සෙවීමේ කෙමිසම සම්බන්ධ කටයුතු කුමන කාලසීමාවක්‌ තුළ අවසාන කළ යුතු ද යන්නයි. එසේම එහිම 7 බී වගන්තිය තුළින් අසන ප්‍රශ්නය නම් මෙම කමිටුවේ සේවය කළ යුත්තේ කවුරුන් ද යන්නයි. 7 සී මගින් අසන ප්‍රශ්නය නම් ලැබෙන තොරතුර අනුව කුමක්‌ සිදු කළ යුතු ද යන්නයි. 8 ඒ ප්‍රශ්නය ඉතා වැදගත්ය. අධිකරණ යාන්ත්‍රණය ගැන එහිදී විමසයි. කුමන ආකාරයේ උල්ලංඝනය කිරීම් සම්බන්ධව කටයුතු කළ යුතු දැයි එහිදී විමසයි. එසේම එම අධිකරණයට සේවය කළ යුත්තේ කවුරු ද යන්න ඊළඟ ප්‍රශ්නයයි. එසේම විශේෂ අධිකරණ යාන්ත්‍රණයක්‌ අවශ්‍ය වන්නේ ද යන්න එහිදී විමසා තිබේ. 9 ඒ සිට 9 ඩී දක්‌වා අසන ප්‍රශ්නය නම් අතුරුදන් වූවන් වෙනුවෙන් කාර්යාලයක්‌ පිහිටුවිය යුතුද මෙම ගැටලු සඳහා කුමන ක්‍රියාමාර්ගයක්‌ ගත යුතුද එහි සේවය කළ යුත්තේ කවුරුන්ද ලැබෙන තොරතුරු අනුව කුමක්‌ සිදු කළ යුතුද යන්නයි. 11 වැනි වගන්තිය මගින් ප්‍රකාශ වන්නේ යුද්ධයේ මූලාරම්භයට මූලික වූ හේතු ආමන්ත්‍රණය කිරීමටත් ගැටුම් නැවත ඇති වීම වැලැක්‌වීමටත් රජය විසින් ගන්නා ක්‍රියාමාර්ග කෙලෙසක විය යුතු ද යන්නයි. එසේම විවිධකාරයෙන් ප්‍රචණ්‌ඩත්වය වැනි සිදුවීම් රජය විසින් පිළිගැනීම සිහි කිරීම සහ සැමරීම සිදු කළ යුත්තේ කෙසේද මෙය සිදු කළ යුත්තේ ජාතික වශයෙන්ද ජාත්‍යනතර වශයෙන්ද යන්න විමසීමයි.

ඉහත සඳහන් ප්‍රශ්න මාලාව අනුව උත්තර ලබා ගැනීමද මෙම ප්‍රවිචාරණ ක්‍රියාවලියේ අරමුණ වී තිබුණි. උදාහරණයක්‌ වශයෙන් අධිකරණ යාන්ත්‍රණය ගැන අසන ප්‍රශ්නයේදී මෙහි සේවය කළ යුත්තේ කවුරුන්ද යනුවෙන් අසන විට එයට විශේෂ විනිසුරුවරුන් සහභාගි කරගත යුතු යයි උත්තර ලබා දීමට ජනතාව පොළඹවනු ලබති. ඒ සඳහා මෙම ප්‍රශ්නාවලිය ජනතාව අතරට ගෙන යන නිලධාරීන්ට උපදෙස්‌ සපයා දී තිබුණි. එසේම යුද්ධයේදී සිදුවූ අපරාධ සම්බන්ධයෙන් කුමක්‌ කළ යුතු දැයි අසන විට. (සත්‍ය දැන ගැනීමද අපරාධ පිළිබඳ වගවීමද දඬුවම් දීමද හානිපූරණයද) උත්තර ලබා දිය යුතු වන්නේ දඬුවම් දීම සහ හානි පූරණය යනුවෙනි. සංහිඳියා ලේකම් කාර්යාලයට සම්බන්ධ රාජ්‍ය නොවන සංවිධාන ඇරුණු කොට මෙම ප්‍රවිචාරණ ක්‍රියාවලිය සඳහා දෙමළ ගෝලීය සංසදය විසින් මෙහෙයවන රාජ්‍ය නොවන සංවිධාන ද ඇමරිකානු ආධාර යටතේ ක්‍රියාත්මක ක්‍රිස්‌තියානි කණ්‌ඩායම් ද දෙමළ ජාතික සංවිධානය ද සහභාගි වී තිබේ. කතෝලික පූජකවරයකු වන එලීල් නමැත්තා මෙහි ප්‍රධානියෙකි. ඔහු ඇතුළත් සංවිධානයට දිනකට ඩොලර් දෙසීයක මුදලක්‌ද දුරකථන සහ පරිගණක ඇතුළත් පහසුකම් ලබා දී තිබුණි. ඔවුහු මෙම ප්‍රශ්න මාලාව රැගෛන ගමට යන අතර තමන්ට අවශ්‍ය උත්තර දෙමළ ජනතාවගෙන් ලබාගෙන සටහන් කර ගෙන තිබේ. මෙම ගැටලු සම්බන්ධයෙන් අභ්‍යන්තරයේ පැවති සම්මන්ත්‍රණ කීපයකදී ප්‍රශ්න කර ඇති නමුත් මනෝරි මුත්තෙට්‌ටුවගම මහත්මිය ඊට සාධාරණ පිළිතුරක්‌ ලබා දී නොමැති බව සැලවෙයි. එක්‌ අවස්‌ථාවක මානව හිමිකම් උල්ලංඝනය වීම පිළිබඳව දේශනයක්‌ කරගෙන ගිය ඇය සූරියකන්දේ මිනීවළේ සිද්ධිය නිදර්ශනයක්‌ වශයෙන් පෙන්වා දී ඇත. දෙමළ ජනතාව සමූල ඝාතන ක්‍රියාවලියට මෙය නිදර්ශනයක්‌ බව මෙම කතාව දෙමළබසට පරිවර්තනය කළ පුද්ගලයා මෙහිදී පවසා තිබේ. තවත් වතාවකදී සිංහල අයගේ අතුරුදන් වීම් ඝාතනය ගැන ප්‍රශ්න කිරීමේදී ඇය දුන් පිළිතුර වූයේ මානව හිමිකම් කඩකළ හමුදාවට දඬුවම් දීම අනිවාර්ය බවත් එලෙසම දැනට ප්‍රභාකරන් ජීවතුන් අතර නොමැති බැවින් ජීවත්ව සිටින කරුණා සහ පිල්ලෙයන් වැනි පෙර කොටි සාමාජිකයන්ට ඒ සඳහා දඬුවම් දිය යුතු බවය.

මෙම සංහිඳියා වාර්තාව ද දැන් නිකුත් ව තිබේ. එයට අමතරව මෙම කමිටුවල සේවය කරන ලද රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරීන්ගේ මෙහෙයවීමෙන් 2017 දී ජිනීවා යන්නට අවශ්‍ය තොරතුරු මේ රාජ්‍ය නොවන සංවිධාන විසින් මනාව රැස්‌ කරගෙන තිබුණි. එයින් එක සංවිධානයක්‌ වන සංක්‍රාන්ති යුක්‌තිය පිළිබඳ ජාත්‍යන්තර මධ්‍යස්‌ථානය (ෂCඔJ) පසුගිය මාස කීපයේ සති තුනක්‌ පමණ මහන්සි වී තොරතුරු රැස්‌කර ඇත. ඔවුහු මන්නාරම කිලිනොච්චිය කන්තලේ ත්‍රිකුණාමලය ගාල්ල සහ කොළඹින් බලහත්කාරයෙන් අතුරුදන් වූවන්ගේ වින්දිතයන්ගෙන් සමන්විත විවිධ කණ්‌ඩායම් මුණගැසී ඇත. ඔවුන් විසින් පළ කළ තොරතුරු කීපයක්‌ මෙසේය.

– පැවැත්වෙන බොහෝ උද්ඝෝෂණවලින් කරන ඉල්ලීම්වලට රජය විසින් ප්‍රතිචාර දැක්‌වීමේ කඩිනම් අවශ්‍යතාව.- අතුරුදන් වූවන් සඳහා වූ කාර්යාලය ක්‍රියාත්මක කිරීමේ කඩිනම් අවශ්‍යතාව.

– අතුරුදන්වූවන් සඳහා වූ කාර්යාලයට ස්‌වාධීන සාමාජිකයන් පත්කිරීම සහ සාමාජිකයන් පත්කිරීමේ ක්‍රියාවලියට වින්දිතයන්ගේ සහ සිවිල් සමාජ සහභාගිත්වය තහවුරු කිරීම. මෙයට විභවයක්‌ පවතින කෘතහස්‌ත අපේක්‌ෂකයන් නම් කිරීමද ඇතුළත් වේ.

– අතුරුදන් වූවන් පිළිබඳ සහතිකය ගැන ප්‍රකාශ කළ බියක්‌ ඇතැයි දැක්‌වීම. මේවා වසර දෙකකට පසු අලුත් කිරීමට හෝ වෙනස්‌ කිරීමට නියමිත බැවින් එම වසර දෙකට පසු ඒවා රජය විසින් මරණ සහතික බවට පත්කරනු ඇතැයි යන බිය ද පැවතුණි.

– ඒවායේ සඵලතාව වැඩිදියුණු කිරීම සඳහා කළ ඉල්ලීම්වලට, දැනට පවතින මරණ සහතික අතුරුදන් වූවන් පිළිබඳ සහතිකවලට මාරුකර ගැනීමට වින්දිතයන්ට ඇති හැකියාව සහ අතුරුදන් වූවන් පිළිබඳ සහතිකය තුළ එම තැනැත්තන් නොසිටීමට හේතුව ඇතුළත් කිරීමට ඇති හැකියාව ද ඇතුළත් විය යතු බවද දැක්‌වීම.

මුල්ලිකුලම්, මුසලි කිළිනොච්චිය යාපනය මුලතිව් නීරවිප්පිඩ්ඩි කන්තලේ මඩකලපුව සහ නුවරඑළිය යන ස්‌ථානවලට ද මෙම පිරිස ගොස්‌ ඇත. ඒ ඉඩම් ගැන කතා කරන්නටයි.

– නේවාසික ඉඩම් සැළකිය යුතු ලෙස හමුදාව විසින් අත්පත් කරගෙන තිබීම.- මිනිසුන් සැළකිය යුතු සංඛ්‍යාවක්‌ අවතැන් වී සිටීම. සහ – කෘෂිකර්මය, ගවයන් ඇතිදැඩි කිරීම, මාළු ඇල්ලීම සහ වන සම්පත්වලින් කෙරෙන ජීවනෝපායයන් වැනි ඔවුන්ගේ ජීවනෝපායයන් කෙරෙහි ප්‍රජාවන් හට ප්‍රවේශය අහිමි වී ඇති බවටද සටහන් මෙහි දක්‌වා තිබේ. එහෙත් ඔවුහු සිංහලයන් සිටි ප්‍රදේශවලට ගියද එම තොරතුරු වාර්තාවට ඇතුළු නොකිරීමට ප්‍රවේශම් වී තිබේ. පසුගිය සතියේදී එක්‌සත් ජාතීන් ගේ දේශපාලන කටයුතු පිළිබඳ නියෝජිත ජෙµaරි පෙල්ට්‌මන් මුණගැසුණු දෙමළ නායකයන් වන්නියෙන් පමණක්‌ 20000 කට වඩා සිවිල් වැසියන් අතුරුදන්ව ඇතැයි සාවද්‍ය ප්‍රකාශ දක්‌වන්නේ මෙවැනි රාජ්‍ය නොවන සංවිධානවල උපකාරයෙනි. ව්‍යවස්‌ථාව පිළිබඳ මහජන අදහස්‌ කමිටුවේ සිටි ඉලංකෝවන් නමැත්තා මෙම රාජ්‍ය නොවන සංවිධානයේ ක්‍රියාකාරිකයෙක්‌ බව පැහැදිලි වී තිබේ..

මෙවැනි තත්ත්වයක්‌ හමුවේ රජය පමණක්‌ නොව ඒකාබද්ධ විපක්‌ෂයද නිහඬය. රාජ්‍ය නොවන සංවිධානවලට බියෙන් නොයෙකුත් කොන්දේසිවලට අත්සන් කරන ජනපතිවරයා ජනතාව ඉදිරියේ කුමක්‌ කිවූවද දෙපිරිසම දේශපාලන බල අරගලයක යෙදී සිටින බව පෙනේ. රටට නව ව්‍යවස්‌ථාවක්‌ මෙවැනි විටක අවශ්‍ය නොවන බව මහනාහිමිවරු කියා සිටිද්දී පවා ඒකාබද්ධය හොරගල් අහුලමින් සිටිති. ඊට හේතුව පැකේජයේ නිර්මාතෘවරයා වන ජී. එල්. පීරිස්‌ලාගේ බලපෑමයි. ඔවුන්ගේ නියෝජිතයන් ජිනීවාවලට යැමට බියක්‌ දක්‌වති. එසේ යැමෙන් යුද්ධය පැවති කාල වකවානුවේ සිදුවූ මානුෂීය මෙහෙයුම පිළිබඳ සත්‍ය තොරතුරු ඉදිරිපත් කරන්නට හැකියාව තිබුණි. එසේම ඒකාබද්ධය පෙරකී යුද විශේෂඥයන්ගේ වාර්තාව ගැන පාර්ලිමේන්තු සාකච්ඡාවක්‌ පවා ඉල්ලා නැත. ඔවුහු ද ක්‍රමයෙන් ජිනීවා යෝජනාවන්ට සම අනුග්‍රහය දක්‌වන තැනකට තල්ලු වෙමින් පවතී. අගමැති සිහින දකිමින් ඒකාබද්ධයද රට පාවා දෙමින් සිටින බව මින් පැහැදිලි වේ.

මතුගම සෙනෙවිරුවන්(2017/08/09 වන දින පලවූ දිවයින පුවත්පතෙන් උපුටා ගන්නා ලදී )

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here