දෙමළ ඩයස්‌පෝරාවේ චෝදනාවලට පිළිතුරු දෙන්න ගෝලීය ශ්‍රී ලංකා සංසදය බිහිකළා

0
428


ගෝලීය ශ්‍රී ලංකා සංසදයේ ව්‍යාපෘති
සම්බන්ධීකරණ ලේකම් අජන්ත ප්‍රේමරත්න (උපුටා ගැනීම 2017/08/02 දිවයින පුවත්පතෙන්)

ගෝලීය ශ්‍රී ලංකා සංසදය මැතකදී මෙරට දේශපාලන ක්‍ෂේත්‍රයට එක්‌ වූ තීරණාත්මක සංවිධානයක්‌ ලෙස හඳුන්වාදිය හැක. එම සංවිධානය අරමුණ හා ක්‍රියාමාර්ග පිළිබඳව එම සංවිධානයේ ව්‍යාපෘති සම්බන්ධිකරණ ලේකම් අජන්ත ප්‍රේමරත්න මහතා දැක්‌වූ අදහස්‌ පහත පරිදි වේ.

ප්‍රශ්නය – ගෝලීය ශ්‍රී ලංකා සංසදය නමින් සංවිධානයක්‌ පිහිටුවීමට අදහස්‌ කළේ ඇයි?

පිළිතුර – ගෝලීය දෙමළ සංසදය, බ්‍රිතාන්‍ය දෙමළ සංසදය, රටින් පිටත ඊළාම් සංවිධානය ආදී වශයෙන් සංවිධාන කිහිපයක්‌ම ක්‍රියාත්මක වෙනවා. එම සංවිධාන බෙදුම්වාදයට පක්‌ෂව, විවිධ යෝජනා, චෝදනා ඉදිරිපත් කරනවා.

එසේ වුවත් එම සංවිධාන නඟන චෝදනාවලට ජාත්‍යන්තර මට්‌ටමින් පිළිතුරු ලබාදෙන සංවිධානයක්‌ තිබුණේ නැහැ. ඒ සඳහා තමයි මෙම සංවිධානය බිහි කළේ. අපේ සංවිධානය ඉතාලියේ ලියාපදිංචි කර තිබෙනවා. ප්‍රංශය, ඊශ්‍රයාලය, එංගලන්තය, ජර්මනිය, ස්‌විස්‌ටර්ලන්තය, අයර්ලන්තය, රුසියාව, ඔස්‌ටේ්‍රලියාව, කැනඩාව, එක්‌සත් අරාබි එමීර් රාජ්‍යය ඇතුළු රටවල මේ වනවිට අප ක්‍රියාත්මක වනවා. එම රටවල අප සභාපතිවරු සහ උප සභාපතිවරු පත් කර තිබෙනවා. ලෝකය පුරා විසිරී සිටින සියලුම ශ්‍රී ලංකිකයන් එක්‌කර එක්‌ ජවයකින් අපේ අරමුණ වෙනුවෙන් කටයුතු කිරීමට අප බලාපොරොත්තු වනවා.

අපගේ සංවිධානයේ පිහිටුවීමේ ප්‍රධාන අරමුණ තමයි ඒකීය ශ්‍රී ලංකාව ආරක්‌ෂා කිරීම. මේ රටේ ශක්‌තිය ආරක්‌ෂා වෙන්නේ ඒකීය රාජ්‍යයක්‌ ලෙස පැවතුණොත් පමණයි. මේක පොඩි රටක්‌. ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ පමණක්‌ සිටිනවා ලංකාවේ ජනගහනයට වඩා ජනගහනයක්‌. එම නිසා සුළු ජාතීන්ට කුමක්‌ හෝ ප්‍රශ්නයක්‌ තිබෙනවා නම් මේ රට බෙදා පෙඩරල් රාජ්‍යයක්‌ බිහි නොකර ඒකීය රාජ්‍යය තුළ ප්‍රශ්න විස¹ ගැනීම තමයි අපගේ අරමුණ.

ප්‍රශ්නය – මෙම සංවිධානය ආරම්භ කළේ කුමන වර්ෂයේදීද? මේ වන විට ඉටු කර තිබෙන කාර්යභාරය කුමක්‌ද?

පිළිතුර – අපගේ පළමු රැස්‌වීම පැවැත්වූයේ 2016 සැප්තැම්බර් මස 09 වැනිදා ඉතාලියේ මොදනා නුවරදී වසන්ත කීර්තිරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් තමයි එම රැස්‌වීම පැවැත්වූයේ. එම රැස්‌වීමට ඔස්‌ටේ්‍රලියාව, ඊශ්‍රායලය, ස්‌විස්‌ටර්ලන්තය, එක්‌සත් අරාබි එමීර රාජ්‍යය, ශ්‍රී ලංකාව ඇතුළු රටවලින් නියෝජිතයන් පැමිණියා. 60 ක පමණ පිරිසක්‌ එම රැස්‌වීමට සහභාගිවූවා.

එදා තමයි අපි සංවිධාන ව්‍යQහය තීරණය කළේ. අපගේ සංවිධානයේ සම සභාපතිවරු 7 න් දෙනකු සිටිනවා. ඒ වගේම සෑම රටක්‌ සඳහාම උප සභාපතිවරයකු පත් කරනවා. ඊට අමතරව ලේකම්වරයකු සහ භාණ්‌ඩාගාරිකවරයකු සිටිනවා. ඒ වගේම මෙරට කටයුතු කිරීම සඳහා අප නුවන් බෙල්ලන්තුඩාව මහතා පත් කර තිබෙනවා. අපගේ මාධ්‍ය සම්බන්ධීකරණ කටයුතු සඳහා ඔස්‌ටේ්‍රලියාවේ සිටින රංජිත් සොයිසා මහතා පත් කර තිබෙනවා. සංවිධානය විසින් ව්‍යාපෘති කළමනාකරු ලෙස මාව පත් කර තිබෙනවා.

2016 සැප්තැම්බර් මාසයේ සිට මේ වන විට අප විශාල වැඩ කොටසක්‌ කරලා තිබෙනවා.

ප්‍රශ්නය – මොනවද මේ වන විට කරලා තිබෙන වැඩ කටයුතු?

පිළිතුර – අපගේ ප්‍රධානම වැඩ කටයුත්ත වූයේ එක්‌සත් ජාතීන්ගේ සංවිධානය විසින් ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරිපත් කරන ලද අසාධාරණ යෝජනාවට එරෙහිව ප්‍රති උත්තර බැඳීම සහ ඒ සම්බන්ධයෙන් ජාත්‍යන්තර ප්‍රජාව දැනුවත් කිරීම තමයි. ජාත්‍යන්තර ප්‍රජාව දැනුවත් කිරීමේ කටයුත්ත මේ වන විට හරියාකාරයෙන් සිද්ධ වෙන්නේ නැහැ. අපි සිතනවා එම කටයුත්ත අපි හරියට දැන් කරනවා කියලා. මේ වන විට අපි 2017 මාර්තු සහ ජුනි මාසවලදී එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධානය නියෝජනය කරමින් අපගේ අදහස්‌ ඉදිරිපත් කර තිබෙනවා. ඊට අමතරව අපි රණවිරුවන්ගේ විත්ති වාචිකය නමින් වාර්තාවක්‌ පිළියෙල කරලා වාර්තා තුනකටම ඒ තුළින් පිළිතුරු සපයලා තියෙනවා. 2017 මාර්තු පැවැති මානව හිමිකම් රැස්‌වීමේදී අප රණවිරුවන්ගේ විත්ති වාචිකය නමින් වාර්තාවක්‌ ඉදිරිපත් කළ බවත්, එය පිළිගත් බවත් මහ ලේකම්තුමා විසින් පිළිගෙන තිබෙනවා.

2017 ජුනි මාසයේ පැවති මානව හිමිකම් සමුළුවේදී අද්මිරාල් සරත් වීරසේකර මහතාත්, අපගේ උප සභාපතිවරුන් වන සුමිත් චන්ද්‍රකුමාර, වසන්ත කීර්තිරත්න, එරික්‌ මක්‌කාවිට යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් සම්මේලනයක්‌ අපි පැවැත්වූවා. මානව හිමිකම් සමුළුව තුළ ශ්‍රී ලාංකිකයන් විසින් පැවැත්වූ පළමු සම්මේලනය ඒක තමයි. එම සම්මේලනයේ අදහස වූයේ පසුගිය කාලයේ ශ්‍රී ලංකාවට පැමිණි එක්‌සත් ජාතීන්ගේ නියෝජිතයකු වූ මොනිකා ජිංටෝ මහත්මියගේ වාර්තාවට පිළිතුරු සැපයීම තමයි. ජිංටෝ මහත්මියගේ වාර්තාව මගින් අපගේ නීති පද්ධතිය දුර්වල බවටත්, අපගේ විනිසුරුවන් පක්‌ෂග්‍රාහි බවටත්, අපගේ උසාවි වැරදි බවටත් චෝදනා කර තිබුණා. එම චෝදනා වැරදි බව අප එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් සමුළුව නියෝජනය කළ නියෝජිතයන්ට පෙන්වා දුන්නා.

එම සමුළුව නියෝජනය කිරීම සඳහා කොටි ඩයස්‌පෝරාවේ නියෝaජිතයන් පිරිසක්‌ පැමිණ සිටියා. ඔවුන් අපට කළ අභියෝගයන්ට අපි සාර්ථකව පිළිතුරු ලබා දුන්නා. යාපනය විශ්වවිද්‍යාලය සිංහලකරණය කර ඇති බවට ඔවුන් චෝදනා කළා. එවැනි සාවද්‍ය ප්‍රකාශයන්ට අපි සාර්ථකව පිළිතුරු ලබා දුන්නා. එබඳු චෝදනාවලට පිළිතුරු ලබාදීමට හැකි වූයේ අපි මෙම සංවිධානය පිහිටුවා, එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් සම්මේලනය නියෝජනය කළ නිසා තමයි.

ප්‍රශ්නය – ගෝලීය ශ්‍රී ලංකා සංසදය පිහිටුවීමේ ප්‍රධාන අරමුණ මෙරට ඒකීයභාවය ආරක්‌ෂා කිරීම බව ඔබ සඳහන් කළා. නව ව්‍යවස්‌ථාවක්‌ මගින් හෝ 20 වන සංශෝධනය මගින් මෙරට ඒකීය භාවය අවසන් වන බවට එල්ල වී ඇති චෝදනාව පිළිබඳව ඔබගේ අදහස කුමක්‌ද?

පිළිතුර – මෙරට ඒකීය භාවය අහෝසි කරන නව ව්‍යවස්‌ථාවක්‌ ගෙන එම සඳහා මේ ආණ්‌aඩුවට ජනවරමක්‌ ලැබිලා නැහැ. එම නිසා එබඳු ව්‍යවස්‌ථාවක්‌ ගෙන ඒමට ආණ්‌ඩුව කටයුතු කිරීම පිළිබඳව අප කනස්‌සල්ලෙන් සිටින්නේ. මහානායක හිමිවරුන් නව ව්‍යවස්‌ථාවක්‌ අනවශ්‍ය බව ප්‍රකාශ කර තිබුණා. අප කියන්නේ ව්‍යවස්‌ථා සංශෝධනයකින් විසඳිය යුතු ප්‍රශ්න සුළු ජාතීන්ට නොමැති බව තමයි ඔවුන්ට තිබෙනවා නම් තියන්නේ ආර්ථික සහ සමාජීය ප්‍රශ්න.

ඇත්තටම අපට තිබුණේ ත්‍රස්‌තවාදි ප්‍රශ්නයක්‌. අපි එම පශ්නය 2009 මැයි මාසයේදී අවසන් කළා. මේ රටට පෙඩරල් ව්‍යවස්‌ථාවක්‌ හඳුන්වාදීමට කටයුතු කිරීමට එරෙහිව අපි කටයුතු කරනවා. එබඳු ව්‍යවස්‌ථාවක්‌ තුළින් මෙරට ව්‍යාකුලත්වයට පත්වීම නොවැළැක්‌විය හැකි නිසා අප ඊට විරුද්ධ වනවා. එම නිසා අපි දේශප්‍රේමී ජනතාවගෙන් ඉල්ලා සිටිනවා මේ රට පිළිබඳව අවදියෙන් කටයුතු කරන්න කියලා.

මේ ආණ්‌ඩුවේ අය ප්‍රකාශ කරනවා දෙමළ ජනතාවගේ හදවත් පෑරි ඇති නිසා එය සුවපත් කිරීමට කටයුතු කළ යුතු බව. නමුත් අපි කියනවා දෙමළ ත්‍රස්‌තවාදය නිසා සිංහල ජනතාවගේ හදවත් ඊටත් වඩාත් පෑරී ඇති බව. කොටි ත්‍රස්‌තවාදීන් දළදා මාලිගයට, ශ්‍රී මහා බෝධියට පහර දුන්නා. අරන්තලාවේදී භික්‌ෂුන් වහන්සේලා ඝාතනය කළා. කැබිතිගොල්ලෑව ඇතුළු බෝම්බ ප්‍රහාර නිසා සිංහල ජනතාව විශාල වශයෙන් පීඩාවට පත්වූවා. උතුර හා නැගෙනහිර යන දෙපළාතේ යුද්ධයක්‌ පවතිද්දි සෙසු පළාත් 7 තේම ත්‍රස්‌තවාදයක්‌ පැවතියා. ත්‍රස්‌තවාදයෙන් බැට කෑවේ එම පළාත් 7 ම සිටිය ජනතාව. එම නිසා සිංහල ජනතාවගේ සිත් පෑරී තිබෙනවා. එයට පිළියම් නොකර දෙමළ ජනතාවගේ සිත්සතන් සුවපත් කිරීම සඳහා පමණක්‌ කටයුතු කිරීමේදී සංහිඳියාව ඇතිවේවි කියලා විශ්වාස කරන්න බෑ. එයින් සිද්ධ වෙන්නේ තවදුරටත් ප්‍රශ්න වැඩිවීම පමණයි. එම නිසා අපි දේශපාලනඥයන්ගෙන් කරුණාවෙන් ඉල්ලා සිටිනවා දෙමළ ජනතාවගේ මෙන්ම සිංහල ජනතාවගේ සිත්ද සුවපත් කිරීමට කටයුතු කරන ලෙස.

ප්‍රශ්නය – ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ ඉදිරි කටයුතු මොනවාද?

පිළිතුර – අපි ඉදිරියේදී තවදුරටත් එක්‌සත් ජාතීන්ගේ සංවිධානය නියෝජනය කිරීමට අපේක්‌ෂා කරනවා. එම නියෝජනය හරහා ශ්‍රී ලංකාව පිළිබඳව ඇති වැරදි ප්‍රතිරූපය නිවැරදි කිරීමට කටයුතු කරනවා. ඉදිරි සැප්තැම්බර් සැසිවාරය නියෝජනය කිරීමට අපි අපේක්‌ෂා කරනවා.

ශ්‍රී ලංකාව පිළිබඳ වාර්තාව යළිත් ඉදිරියට ගන්නේ 2018 මාර්තු මාසයේදී. එම අවස්‌ථාවේදීත්, ඊට පෙරත් එම වාර්තාවට අපි පිළිතුරු සැපයීමට අපේක්‌ෂා කරනවා.

අප රටට මුහුණ දීමට සිද්ධ වී තිබෙන්නේ ගෝලීය දේශපාලන ප්‍රශ්නයකට. ලංකාවේ මානව හිමිකම් පිළිබඳව ඇමරිකාවට හෝ ඉන්දියාවට ඇති වැදගත්කමක්‌ නෑ. ලෝකයේ මානව හිමිකම් කඩකළ රටවල් තිබුණත් ඒවාට චෝදනා ඉදිරිපත් කර නැහැ. අපට පෙනීයන ආකාරයට යුද්ධයක්‌ සමඟ අපගේ රට ඇමරිකාවෙන්, යුරෝපයෙන් සහ ඉන්දියාවෙන් ඈත්වීම නිසා ඔවුන් 2015 ජනවාරි 08 ඔවුන්ට නතු වූ ආණ්‌ඩුවක්‌ පිහිටුවා ගැනීමට කටයුතු කළා. එම ආණ්‌ඩුව එක්‌සත් ජාතීන්ගේ හඬට කන්දුන්නත් සිවිල් සංවිධාන ලෙස කළ හැකි දේ අපි කරනවා. එක්‌ අවස්‌ථාවකදී අද්මිරාල් සරත් වීරසේකර මහතා ඇමරිකාවට සහ එංගලන්තයට අපට පැනවූ නීති පනවන්නේ නැත්තේ ඇයි කියන ප්‍රශ්නය විමසා සිටියා. එම ප්‍රශ්නයේ ඇත්තක්‌ තිබෙන බව මානව හිමිකම් කොමසාරිස්‌ හුසෙන් මහතාත් ප්‍රකාශ කළා. එම නිසා එම කටයුතු තවදුරටත් කරගෙන යන්න අප අපේක්‌ෂා කරනවා.

එරික්‌ ගාමිණී ජිනප්‍රිය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here