නව ව්‍යවස්‌ථාවකට ජනතා වරමක්‌ නැහැ

0
473

රියර් අද්මිරාල් සරත් වීරසේකර, සුනිල් චන්ද්‍රකුමාර, තිලක්‌ දිසානායක, වසන්ත කීර්තිරත්න, එරික්‌ මාකවිට, අජන්තා ප්‍රේමරත්න

අලුත් ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවකට ජනතාව වරමක්‌ දී නැති බවත් එවන් ව්‍යවස්‌ථාවක්‌ කෙටුම්පත් කරන ලෙස ශ්‍රී ලංකා රජයට උපදෙස්‌ දීමට මානව හිමිකම් කොමසාරිස්‌ සෙයිද් රාද් හුසේන්ට හිමිකමක්‌ නැති බවත් රියර් අද්මිරාල් සරත් වීරසේකර ප්‍රකාශ කර ඇත.

පසුගිය බ්‍රහස්‌පතින්දා කොළඹ ගෝaලීය සංසද කාර්යාලයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී ඔහු මේ බව කියා සිටියේය.

මෙම මාධ්‍ය සාකච්ඡාවේදී මාධ්‍ය අඳ බාලයන්ගේ ප්‍රකාශ අපට අපට ශ්‍රවණය විය.

දිවයින සහ අයිලන්ඩ් මාධ්‍යවේදීන් දුටු එක්‌ මාධ්‍ය අඳබාලයෙක්‌ උපාලි කම්පැණියම ඇවිල්ලා ඉන්නේ යයි කියමින් කළ සමච්චලයට අපි නිසි ප්‍රතිචාර දැක්‌වූයෙමු.

අපි රට වෙනුවෙන් හඬ නගද්දී නුඹලා නිදාගෙන සිටියා නේද යෑයි පවසද්දී මාධ්‍යය අඳබාලයා නිහඬ විය.

තවත් මාධ්‍ය අඳබාලයෙක්‌ අතීතය දන්නා පණ්‌ඩිතයෙක්‌ මෙන් ප්‍රශ්න නගමින් යුද අපරාධ ගැන පරීක්‍ෂණයක්‌ කළයුතු බවට ප්‍රශ්න කළේය.

එහෙත් පොලිස්‌ භටයන් 600 ක්‌ කොටි විසින් සමූල ඝාතනය කරද්දී සහ දියවන්නා ඔයේ ද්‍රවිඩයන් 6 කගේ සිරුරු පාවූ අවස්‌ථාවේ නිසි විමර්ශනයක්‌ සිදුනොවූ බව මේ මාධ්‍ය අඳබාලයා දැන සිටියේ නැත.

මේ පසුබිම මැද අපි අතීතයත් තිස්‌වසරක යුද්ධයේ භීෂණයත් හොඳින් දන්නා නිසා තවත් මාධ්‍ය කටවසාගෙන සිටියේය.

මේ තත්ත්වය මැද හිටපු රියර් අද්මිරාල්වරයා ජිනීවා යෝජනාවේ අතීතය හෙළිකළේය. එහෙත් පැමිණ සිටි මාධ්‍ය මේ අතීතය දන්නේ නැත.

වන්නි මෙහෙයුමේ ජයග්‍රහණයෙන් පසු ජර්මනිය අප යුද අපරාධ සිදුකළ බව පවසමින් යෝජනාවක්‌ ගෙන ආවත් අපට හිතවත් රටවල්වල සහයෙන් අපි ඒ යෝජනාව පරාජය කළා යෑයි ඔහු කියා සිටියේය.

2009 වසරේ එම යෝජනාව ගෙන ආ අවස්‌ථාවේ මානව හිමිකම් කවුන්සිලයේ සිදුවන දේ නිරීක්‍ෂණ කළෙමි. එවිට කොටි ඩයස්‌පෝරාව බලවත්ව සිටියේ නැත. ඒ නිසා ශ්‍රී ලංකාව යුද අපරාධකරුවකු ලෙස ප්‍රකාශ කිරීමට ජර්මනියට නොහැකිවිය.

රියර් අද්මිරාල් වරයා මෙසේද පැවැසීය. “එහෙත් මේ තත්ත්වය 2015 ඔක්‌තෝබර් මස වෙනස්‌ වුණා. හිටපු විදේශ කටයුතු ඇමැති මංගල සමරවීර ජිනීවා යෝජනාවේ සම අනුග්‍රාහකයා ලෙස ශ්‍රී ලංකාව පත්කළා. ඉන් සිදුවූයේ ශ්‍රී ලංකාව යුද අපරාධ සිදුකළ බවට පිළිගැනීමයි.”

ලොව කිසිම රටක්‌ තම රටේ හමුදාව යුද අපරාධ සිදුකල බව පිළිගෙන නැත.

මෑතකදී යුද හමුදාපතිවරයා පැවසුවා හමුදාව යුද අපරාධ සිදුකර නැතැයි කියා ඒ ප්‍රකාශය අපි පිලිගන්නවා.

එසේ නම් රජය යුද අපරාධ පරීක්‍ෂණ පැවැත්වීමට සූදානම් වන්නේ ඇයි යෑයි රියර් අද්මිරාල්වරයා ප්‍රශ්න කළේය.

මේ මාධ්‍ය සාකච්ඡාවට පැමිණ සිටි මාධ්‍ය පාර්ශ්වවලට ජිනීවා යෝජනාවේ බරපතළකම අවබෝධ වූයේ නැත.

රියර් අද්මිරාල්වරයා කරන මේ ප්‍රකාශ රජයේ බලධාරීන්ට වහකදුරු විය. පසුගිය මාර්තු මස ජිනීවා මානව හිමිකම් සමුළුවට ගොස්‌ ඔහු ශ්‍රී ලංකාවේ හමුදාව යුද අපරාධ සිදුකර නැති බවට එම කවුන්සිලයේ මානව හිමිකම් නිලධාරි තෝමස්‌ හුසේන්ට බාරදුන් වාර්තාව ගැන රජයේ ඉහළ පෙළේ බලවතකුගේ දොaෂ දර්ශනයට ලක්‌විය.

මේ අවස්‌ථාවෙන් ප්‍රයෝජන ගත් ජනාධිපති මාධ්‍ය ඒකකයට රිංගාගෙන සිටින නිදහස්‌ මාධය ව්‍යාපාරික ජාලයේ එන්. ජී. ඕ. පාර්ශ්වයකින් රියර් අද්මිරාල්වරයා අවමානයට ලක්‌කිරීමට උත්සාහ කරනු ලැබීය.

ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ සම සභාපතිවරයකු වන සුනිල් චන්ද්‍රකුමාර මහතා අනතුරුව කරුණු දක්‌වමින් මානව හිමිකම් කවුන්සිලය තුළ සිදුවන අකටයුතුකම් හෙළිකළේය.

මෙරට රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරීන් මානව හිමිකම් සමුළුව වෙත ගොස්‌ ශ්‍රී ලංකාවට එරෙහිව සිදුකරන සාවද්‍ය ප්‍රකාශ ඔහු හෙළිකළේය.

කොටි ඩයස්‌පෝරාවට සම්බන්ධ විවිධ සංවිධාන එකා පසුපස එකා ලෙස ශ්‍රී ලංකාව අවමානයට ලක්‌කරමින් විවිධ සාවද්‍ය චෝදනා එල්ල කරද්දී අපේ තානාපති බලධාරීන් බලා සිටිනවා. එම ප්‍රකාශ කරන අවස්‌ථාවේ සීනුව නාදකර එම ප්‍රකාශ නතර කර ඊට ප්‍රතිචාර දැක්‌විය හැකි නමුත් එවැනි ක්‍රියාමාර්ගයක්‌ සිදුවන්නේ නැහැ. මෙය ඉතාම කනගාටුදායක තත්ත්වයක්‌. යාපනයේ විශ්ව විද්‍යාලයේ සිංහල සිසුන් සියයට 60 ක්‌ සිටින බවටත් බොරු ප්‍රකාශ සිදුකෙරෙනවා.

හෙතෙම මානව හිමිකම් කවුන්සිලය තුළ සිදුවන ක්‍රියාදාමයන් හෙළිකරමින් කීවේය.

ගෝලීය ශ්‍රී ලංකා සංසදයේ සම සභාපතිවරයකු වූ වසන්ත කීර්තිරත්න මහතා පැවසුවේ අපේ මාතෘ භූමිය රැකගැනීමේ කාලය දැන් පැමිණ ඇති බවයි.

මානව හිමිකම් කවුන්සිලය තුළ කොටි ඩයස්‌පෝරාව සෑම වසරකම ශ්‍රී ලංකාවට එරෙහිව අභූත චෝදනා එල්ල කරද්දී මුල්වරට ගෝලීය ශ්‍රී ලංකා සංසදය මුල්වී සමාන්තර රැස්‌වීමක්‌ පවත්වමින් ඊට ප්‍රතිචාර දැක්‌වූ බව කීවේය.

කොටි ඩයස්‌පෝරාව මුදල් මත යෑපෙන පිරිසක්‌. ඔවුන් විවිධ පිරිස්‌ මානව හිමිකම් සමුළුව වෙත කැඳවාගෙන අවුත් ශ්‍රී ලංකාවට එරෙහිව විවිධ ප්‍රකාශ කරවනවා. ඊට ශ්‍රී ලංකාවේ එන්. ජී. ඕ. කොන්ත්‍රාත්කරුවන් සහාය දක්‌වනවා.

ගෝලීය ශ්‍රී ලංකා සංසදයේ ව්‍යාපෘති සම්බන්ධීකරණ ප්‍රධානි අජන්ත ප්‍රේමරත්න මහතා මෙලෙස කියා සිටියේය.

එදා අපි කොටින්ට මල්ටි බැරල් ප්‍රහාර එල්ල කළා. අද ජිනීවා මානව හිමිකම් කවුන්සිලය තුළදී කොටි අපට මල්ටි බැරල් ගහනවා. නමුත් රජය ඊට ප්‍රතිචාර දක්‌වන්නේ නැහැ. සම්පූර්ණයෙන්ම ස්‌වාධීන සංවිධානයක්‌ ලෙස කටයුතු කරන ගෝලීය ශ්‍රී ලංකා සංසදය ශ්‍රී ලංකාවේ සිදුවන දේ ගැන දැඩි අවධානයෙන් සිටිනවා. උතුරේ නාවක්‌කුලි සිංහල ගම්මානය ගැන රජයේ කිසිවෙක්‌ අවධානය යොමුකරන්නේ නැහැ. එම ගම්මානයේ ජනතාව දුෂ්කරතා රැසකට මුහුණ පා සිටිනවා. අපි සහජීවනය ගැන කොතරම් හඬක්‌ නැගුවත් උතුරේ බෙදුම්වාදය ක්‍රියාත්මක වෙනවා. 29000 ක්‌ රණවිරුවන් දිවිදුන්නේ උතුරට පෙඩරල්දීමට නොවෙයි. අපි සැබෑ දේශප්‍රේමීන්, බොරු දේශප්‍රේමීන් කියා පිරිසක්‌ නැහැ යයි හෙතෙම සඳහන් කළේය.

මෙම මාධ්‍ය සාකච්ඡාවට සම සභාපති එරික්‌ මාකවිට හා භාණ්‌ඩාගාරික තිලක්‌ දිසානායක, වෛද්‍ය වසන්ත බණ්‌ඩාර යන මහත්වරු සහභාගිවූහ.

ගෝලීය ශ්‍රී ලංකා සංසදය මුල්වරට ජිනීවා මානව හිමිකම් කවුන්සිලය වෙත ගොස්‌ මානව හිමිකම් කොමසාරිස්‌ සෙයිද් රාද් හුසේන්ට හා කොටි ඩයස්‌පෝරාවට අභියෝග කිරීමට ක්‍රියාකිරීම නිසා කලබලයට පත් හිටපු දේශපාලකයෙක්‌ එම සංසදයේ බලධාරීන්ට සාකච්ඡාවට එන ලෙස ඇරයුම් කර ඇතැයි වාර්තා විය.

එහෙත් විදෙස්‌ගත ශ්‍රී ලාංකිකයන් පවසන්නේ තමන් ජිනීවා ගොස්‌ එවන් භාරදුර ක්‍රියාවක නිරතවූ අවස්‌ථාවේ හිටපු දේශපාලකයන් නිහඬව සිටි බවයි.

ගෝලීය ශ්‍රී ලංකා සංසදය හිටපු දේශපාලකයන්ගේ අතකොළුවක්‌ නොවෙයි. අප ස්‌වාධීනව ඉදිරියටත් ක්‍රියාත්මක වනවා යයි එහි බලධාරියෙක්‌ පැවසීය. මේ අතර ගෝලීය ශ්‍රී ලංකා සංසදය පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවට කොටි හිතවාදී ද්‍රවිඩ පුවත්පතක චරපුරුෂයෙක්‌ද පැමිණ සිටි බව හෙළිවිය.

ඔහු ගෝලීය ශ්‍රී ලංකා සංසදය එදින රාත්‍රියේ පැවැත්වූ රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරීන්ගේ රාජ්‍ය විරෝධී ප්‍රකාශ අනාවරණය කිරීමේ අවස්‌ථාවට තවත් පුද්ගලයෙක්‌ සමඟ පැමිණ සිටියේය. එසේම රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරිනියක්‌ සමඟ දැඩිලෙස සබඳකම් පවත්වන ඉංග්‍රීසි පුවත් පතක මාධ්‍යවේදිනියක්‌ද මෙම මාධ්‍ය සාකච්ඡාවට පැමිණ සිටියේ රාජ්‍ය නොවන සංවිධාන වලට එල්aල වන චෝදනා පටිගත කිරීම සඳහායි.

කීර්ති වර්ණකුලසූරිය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here