නව ව්‍යවස්‌ථාවක්‌ හැදීමේ බලය තිබෙන්නේ භික්‌ෂූන්ට පමණයි – ආචාර්ය හරිශ්චන්ද්‍ර විජයතුංග

0
299

 

ආචාර්ය හරිශ්චන්ද්‍ර විජයතුංග මහතා සම්පාදනය කළ ප්‍රායෝගික සිංහල ශබ්දකෝෂය මෙරට සිංහල ශබ්දකෝෂ අතර ඉදිරි පෙළෙහි තැබිය හැකි කෘතියකි. වෙළුම් තුනකින් සමන්විත එහි දෙවැනි මුද්‍රණයෙන් නිකුත් වූ පළමු වැනි වෙළුම පසුගියදා ගොඩගේ ප්‍රකාශනයක්‌ ලෙස නිකුත් විය. සිංහල භාෂාවේ උන්නතිය වෙනුවෙන් යළි නිකුත් වෙන මෙම ශබ්දකෝෂය පිළිබඳවත් අද වචන හරඹයක්‌ බවට පත්ව ඇති නව ව්‍යවස්‌ථාවක්‌ සම්පාදනය කිරීම සඳහා පත්කර ඇති කමිටුව නිකුත් කර ඇති වාර්තාව පිළිබඳවත් අපේ රටට ‘ශබ්දකෝෂ ක්‍රමය’ හඳුන්වා දුන් ආචාර්ය හරිශ්චන්ද්‍ර විජයතුංග මහතා සමග ‘දිවයින ඉරිදා සංග්‍රහය’ පැවැත්වූ සාකච්ඡාවකි මේ.

මේ දිනවල ඔබ සිදුකරන ශාස්‌ත්‍රීය කටයුතු පිළිබඳ අපි දැනගන්න කැමැතියි?

ප්‍රායෝගික සිංහල ශබ්දකෝෂය නමින් කාණ්‌ඩ කිහිපයකින් යුතු ශබ්ද කෝෂයේ නව සංස්‌කරණයේ පළමු වෙළුම පසුගියදා පළ කළා. මේ දක්‌වා මා සම්පාදනය කර තිබෙන ශබ්දකෝෂ අතර මෙය විශාල පිටු සංඛ්‍යාවකින් යුත් සුවිශේෂ ශබ්දකෝෂයක්‌.

එහි තිබෙන සුවිශේෂත්වය කුමක්‌ද?

1976 වසරේ මා ලියූ නූතන සිංහල පාරිභාෂික ශබ්දකෝෂය එළිදක්‌වන අවස්‌ථාවේ එවකට සිටි සංස්‌කෘතික අමාත්‍ය ඊ.එල්.බී. හුරුල්ලේ මහතා සිංහල භාෂාව සඳහා ශබ්දකෝෂයක්‌ සම්පාදනය කර දෙන මෙන් මගෙන් ඉල්ලීමක්‌ කළා. එතුමා මගෙන් එවැනි ඉල්ලීමක්‌ කරන්නට හේතුව ලෙස මට හැඟුණේ ඒ අවස්‌ථාවේ එළිදැක්‌වූ නූතන සිංහල පාරිභාෂික ශබ්ද කෝෂය එවකට පැවති ශබ්දකෝෂ අතර වෙනස්‌ම නීතියකට සැකසූ ශබ්දකෝෂයක්‌ වීමයි.

අලුත් නීතියකින් ශබ්දකෝෂයක්‌ ලියන්න ඔබ අදහස්‌ කළේ ඇයි?

ශබ්ද කෝෂයක්‌ පාවිච්චි කරන්නෙ නොදන්නා වචනයක අර්ථය පැහැදිලි කරගන්නයි. එතෙක්‌ පැවති ශබ්දකෝෂවල බොහෝවිට නාමපදයක්‌ විස්‌තර කරන විට එනම් දෙය, එනම් සතා ආදී වශයෙනුයි දැක්‌වෙන්නෙ. උදාහරණයක්‌ ලෙස පොල් යන පදය විස්‌තර කරන්නෙ එනම් වෘක්‌ෂය යනුවෙන්. පොල් ගැන නොදන්න කෙනෙක්‌ පොල් කනවා යන්න එම වෘක්‌ෂය කනවා ලෙස සිතන්න පුළුවන්. එය අලියෙකුට හැර වෙන සතෙකුට කළ හැකි දෙයක්‌ නෙමෙයි. එලෙස වචනවල අර්ථය දැක්‌වීමෙන් නියම අර්ථය පැහැදිලි වෙන්නේ නෑ. ඒ නිසා සිංහල වචනවල අර්ථය වඩාත් පැහැදිලි වන ලෙස වචන දහස බැගින් අඩංගු වෙළුම් දෙකක ශබ්දකෝෂයක්‌ ලියා දෙන ලෙසයි හුරුල්ලේ සංස්‌කෘතික ඇමතිතුමා ඉල්ලා සිටියේ. මම ඒ ප්‍රමාණය මෙන් දස ගුණයක්‌ විශාල ශබ්දකෝෂයක්‌ ලියා පළ කළා. ප්‍රායෝගික සිංහල ශබ්දකෝෂය නමින් පළ වූ එම ශබ්ද කෝෂය මෙරට ශබ්දකෝෂ නීතිය නව මගකට යොමුකළ දැවැන්ත කෘතියක්‌. එවකට පැවති සිංහල ශබ්දකෝෂයක අවශ්‍යතාව මෙයින් මුළුමනින්ම පිරිමැහුනා. පසුගියදා එළිදැක්‌කේ එහි දෙවැනි මුද්‍රණයේ පළමුවැනි වෙළුමයි. එහි දෙවැනි හා තුන්වැනි වෙළුම් ද ළඟදීම එළිදැක්‌වීමට නියමිතයි.

භාෂාවක්‌ හැඳින්වෙන්නේ සන්නිවේදන මෙවලමක්‌ හැටියටයි. අපේ රටේ මේ සන්නිවේදන මෙවලම භාවිත වන ආකාරය පිළිබඳ ඔබේ අදහස කුමක්‌ද?

කවර භාෂාවක්‌ වුවත් එහි ස්‌වරූපය හඳුනාගන්නේ නැතිව භාවිත කිරීම තුළින් ගැටලු මතුවෙනවා. භාෂාවක්‌ හරියට ගහක්‌ වගේ. ගහක පොළොව යටට ගිය සවිමත් මුල් පද්ධතියක්‌ තියෙනවා. කඳක්‌ තියෙනවා. දළු, කොළ, මල් තියෙනවා. බිම වැටුණු මැරුණු කොළත් තියෙනවා. භාෂාවකුත් යම් යම් මූලාශ්‍ර ඇසුරෙන් සාරය උරාගෙන ශක්‌තිමත් කඳක්‌ සහිතව වැඩෙනවා. ගහක මල් පිපෙනවා වගේ භාෂාවකත් අලුත් වචන හැදෙනවා. ගහක වියළුනු කොළ බිම වැටෙනව වගේ භාෂාවකත් ඇතැම් වචන කාලයත් සමග භාවිතයෙන් ඉවත් වෙලා යනවා. භාෂාව හැමදාම වැඩෙමින් තිබෙන එකක්‌. භාෂාවේ තිබෙන මේ ගුණය අවබෝධ කරගත්තොත් ගැටලුවක්‌ නැතිව එය භාවිත කරන්න පුළුවන්.

පසුගියදා ඔබ පයට පෑගෙන ඉල්ලම නමින් කෘතියක්‌ ලියා පළ කළා. මොකක්‌ද මේ අපේ පයට පෑගෙන ඉල්ලම?

අපේ පයට මැණික්‌ වගයක්‌ පෑගෙනව. නමුත් ඒවා අපට හඳුන ගන්න බෑ. අපට ඒව පේන්නෙ වේළිලා මැරුණු ගල් කෑලි වගේ. එහෙම වුණු සමහර වචන සහ සංකල්පත් තිබෙනවා. මේවාට ඒවායේ මුල් අර්ථයෙන් ආදරයෙන් කතා කළොත් ඇස්‌ ඇරල බලල ආපහු පණගහල නැගිටිනව. එය පැහැදිලි කරන්නයි මේ කෘතිය පළ කළේ.

උදාහරණයක්‌ විදිහට අපි මේ ඉන්නෙ බියගම කියන ප්‍රදේශයේ. බියගම අවුරුදු දහස්‌ ගණනක්‌ පැරණි වචනයක්‌. බියගම කියන්නේ බයගන්වන මිනිසුන් සිටින ප්‍රදේශය කියන එකයි. එහි අර්ථය වෙඩි තියන, පිහියෙන් අනින මිනිසුන් සිටින ප්‍රදේශයක්‌ කියන එක නෙමෙයි. මේ පළාතට බියගම කියන්නේ රාවණ රජුන්ගේ කාලෙ රකුසන් විසූ ගම යන අර්ථයෙන්. අපේ මුල් පදිංචිකරුවන්ගේ ඉතිහාසය නැවතත් අපි ඒ අර්ථයෙන් අමතනව නම් එයට සැබෑ ජීවමය බවක්‌ ලැබෙනවා. කොළඹ තිබෙන බම්බලපිටිය නමින් හැඳින්වෙන ප්‍රදේශයත් දීර්ඝ ඉතිහාසයකට නෑකම් කියන බිමක්‌. පිටිය යනු අපි කවුරුත් දන්නා වචනයක්‌. බම්බල කියන්නේ මහාබ්‍රහ්මයා ඇදහූ එනම් බඹ ඔල යන්නයි. බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වූ පසු බ්‍රහ්ම සංකල්පය පරාජය කළා. බුදුරජාණන් වහන්සේ ලංකාවට වඩින විටත් බ්‍රහ්මයා අදහන පිරිසක්‌ මෙහි ජීවත් වුණා. බගතලේ නමින් හැඳින්වෙන්නේත් භාග්‍යවතුන් වහන්සේ වැඩ සිටි ප්‍රදේශයයි.

nawa1අද අප ජීවත්වන්නේ මේ රටේ මුල් පදිංචිකරුවන් සතුව තිබූ සිංහලකමත්, බෞද්ධකමත් ඔවුන්ට අහිමි කරමින් තිබෙන වකවානුවකයි. අද අපේ රට මුහුණ දෙමින් තිබෙන මේ ඛේදවාචකයත් යම් ආකාරයකට මෙම කෘතියේ සැඟවුණු අරුතක්‌ සේ පවතින අයුරු එහි ඇතැම් තැන්හි ඉස්‌මතු වී පෙනෙනවා?

අද අපේ රටේ අපේ උරුමයන් අපි රැකගැනීමට පසුබාන ස්‌වභාවයක්‌ ඇතිවෙලා තිබෙනවා. රටක මුල් හිමිකරුවන්ගෙන් පැවත එන්නන්ට තම මුතුන්මිත්තන් සතුව තිබූ වස්‌තුවල අයිතියත් අගයත් රැකගැනීමට නොහැකි වුවහොත් ඒවායේ මුල් හිමියන් පිටගම්කාරයන් බවට පත් කොට ඔවුන්ගෙන් පැවත එන්නන් පොළෝ මතුපිටින් තුරන් වීමට ද ඉඩ තිබෙනවා. අප රැකගත යුතු අපේ මුතුන් මිත්තන්ගෙන් අපට උරුම වූ බොහෝ දේ තිබෙනවා. සිංහල බෞද්ධකම ඉන් ප්‍රධාන යි. මේ රටේ බෞද්ධයන්ට මිස අනිකෙකුට හිමි නැති රාජ්‍ය බලය ඇතුළු සියලු දේ අන්‍යාගමිකයෝ සහ පරදේශිකයෝ පැහැර ගැනීමට උත්සාහ ගනිමින් සිටිනවා.

මේ දිනවල අපේ රටට අලුත් ආණ්‌ඩු ක්‍රම ව්‍යවස්‌ථාවක්‌ හදන්න ඊට කිසිම සුදුසුකමක්‌ නැති පිරිසක්‌ සූදානම් වෙනවා. මේ රටේ කිසිම උරුමයක්‌ නැති පිරිසක්‌ ඊට උදව් කරනවා. මෙය සම්පූර්ණයෙන්ම වැරදි වැඩක්‌. ජනාධිපතිතුමාටවත් අගමැතිතුමාටවත් පාර්ලිමේන්තුවටවත් ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවක්‌ හදන්න අයිතියක්‌ නෑ. ඔවුන් කළ යුත්තේ පවතින ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව ක්‍රියාත්මක කිරීම සහ රැක ගැනීමයි. අපේ රටේ ආණ්‌ඩු ක්‍රම ව්‍යවස්‌ථාවක්‌ සෑදීමේ අයිතිය තිබෙන්නේ උත්තරීතර මහා සංඝරත්නයට සහ සිංහල බෞද්ධ ජනතාවටයි.

ආණ්‌ඩු ක්‍රම ව්‍යවස්‌ථාවක්‌ හදල මහා සංඝරත්නයට පෙන්වනවා කියල සමහරු ප්‍රකාශ කරනවා. එය අපේ මුතුන් මිත්තන්ගෙන් අපට උරුම වූ අයිතිය කණපිට හැරවීමක්‌. අපේ රටට ගැළපෙන ව්‍යවස්‌ථාවක්‌ හැදිය යුත්තේ සිංහල බෞද්ධ ජනතාව සමග මහා සංඝරත්නයයි. කුලියට ඉන්න මිනිහෙකුට තමුන් කුලියට ඉන්න ගෙට අලුතෙන් කෑලි හදන්න හෝ ගේ කඩල අලුතෙන් හදන්න අයිතියක්‌ නැහැ වගේ දේශපාලකයන්ට ව්‍යවස්‌ථාවක්‌ හදන්න අයිතියක්‌ නෑ. මන්ත්‍රීවරු ඇමතිවරු කියන්නෙ පාර්ලිමේන්තුවේ ඉන්න කුලී නිවැසියෝ ටිකක්‌.

මේ රටේ ජනතාව තමන්ගේ අයිතිවාසිකම්, උරුමයන් හා වටිනාකම් හරිහැටි අවබෝධ කරගෙන කටයුතු නොකිරීම නිසා ඔවුන් අද උපන් බිමේම පිටගම්කාරයන් බවට පත්වෙමින් සිටිනවා. ඔවුන් පය ගසා සිටින බිමේ ඇති මැණික්‌ ඔවුන් හඳුනාගන්නේ නෑ. එමනිසා පිටගම්කාරයන් ඇවිත් ඒවා කොල්ලකන තත්ත්වයට අද අපේ රට පත්වෙලා.

සාකච්ඡා කළේ පාලිත සේනානායක

ඡායාරූප – සමන් රණවීර

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here