නිදහස්‌ කරන ලෙස ඉල්ලූ කොටින්ගේ වැඩ මෙන්

0
412

 

 

 

(2017/08/06 දින ඉරිදා දිවයින පුවත්පතේ පලවන ආරක්ෂාව අතිරේකයෙන් උපුටාගන්නා ලදී)

“ත්‍රස්‌තවාදීන්ට එරෙහිව ක්‍රියාකරන්නේ රුසියානු නීතිය අනුව මිස එක්‌සත් ජාතීන්ගේ නීතිරීති අනුව නොවේ” – රුසියානු ජනාධිපති වැලඩමිර් පුටින්”


බෙන් එමර්සන් ත්‍රස්‌තවාදය පිටුදැකීමේ එක්‌සත් ජාතීන්ගේ නියෝජිතයායි. එහෙත් ඔහු මෙරටට පැමිණියේ බිහිසුණු කොටි ත්‍රස්‌තවාදීන්ගේ මානව හිමිකම් උල්ලංඝණය වන්නේ දැයි සෙවීමටය.

බෙන් එමර්සන් ත්‍රස්‌තවාදය පිටුදැකීමේ එක්‌සත් ජාතීන්ගේ නියෝජිතයායි. එහෙත් ඔහු මෙරටට පැමිණියේ බිහිසුණු කොටි ත්‍රස්‌තවාදීන්ගේ මානව හිමිකම් උල්ලංඝණය වන්නේ දැයි සෙවීමටය.

වව්නියාව සහ අනුරාධපුර සිරගෙවල්වලට ගිය එමර්සන් කොටි ත්‍රස්‌තයන් හමුවී ඔවුන්ගෙන් කටඋත්තර සටහන් කර ගනු ලැබීය. ඉන්පසු ඔහු පැවසුවේ ද්‍රවිඩයන්ට දෙතිස්‌ වධහිංසා පමුණුවන බවයි.

අපේ අසල්වැසි රටවල් වූ ඉන්දියාව, පාකිස්‌තානය පමණක්‌ නොව ඇමරිකාව පවා ත්‍රස්‌තවාදීන්ව හමුවීම සඳහා එක්‌සත් ජාතීන්ගේ නියෝජිතයන්ට ඉඩ දී නැත. එහෙත් ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු බලධාරීන් කොටි ත්‍රස්‌තයන් රඳවා ඇති සිරමැදිරිවල දොර විවෘත කර බෙන් එමර්සන්ට අවශ්‍ය පරිදි සාක්‍ෂි ඒකරාශි කර ගැනීමට ඉඩ දුන්නේය.

එම සාක්‍ෂි සටහන් කර ගැනීමෙන් පසු එමර්සන් ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලීමක්‌ කරමින් හිටපු කොටි 84 ක්‌ නිදහස්‌ කරන්නැයි ඉල්ලා සිටියේය.

එසේම පසුගිය සිකුරාදා එමර්සන් ජිනීවා මානව හිමිකම් කවුන්සලයට තමා ශ්‍රී ලංකාවේදී ලබාගත් වාර්තාවක්‌ද භාර දුන්නේය.

මේ වාර්තාවේ සඳහන් වූයේ රැඳවුම් භාරයේ සිටින බිහිසුණු කොටි ත්‍රස්‌තයන්ගේ නාම ලේඛනයයි.

 

ලොව කිසිම රටක්‌ තම අත්අඩංගුවේ සිටින ත්‍රස්‌තවාදීන්ගේ අනන්‍යතාවය එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට හෙළිකරන්නේ නැත. ඇමරිකාව පවා ගුන්තනාමෝබේ සිරකඳවුරේ රඳවා සිටි ත්‍රස්‌තයන් කව්දැයි හෙළිකළේ නැත.

එහෙත් එමර්සන්ට මෙරටින් යැමට පෙර හිටපු කොටි ත්‍රස්‌තයන්ගේ සහ ත්‍රස්‌ත කටයුතු පිළිබඳ චෝදනා එල්ල වූ සිංහලයන් කීප දෙනෙකුගේ නම්ද ඇතුළත් ලේඛනයක්‌ ලැබුණි.

මේ රහසිගත ලේඛනය එමර්සන්ට ලබාදී ඇත්තේ කවුරුන්ද? ඊට රජයේ අනුමැතිය ලැබී තිබුණේද?

කෙසේ වෙතත් රැඳවුම්භාරයේ සිටින කොටි ක්‍රියාකාරීන්ගේ නාමලේඛණය ලන්ඩනයේ කොටි වෙබ් අඩවියටද කල්තියා ලැබී තිබුණි.

මෙලෙස බෙන් එමර්සන් මුදාහරින ලෙස රජයෙන් ඉල්ලා ඇත්තේ දරුනු කොටි ක්‍රියාකාරීන්ය.

ඉරනතිව් මුහුද අසල අහස්‌ කලාපයේ පියාසර කරමින් තිබූ මගීන් 55 ක්‌ රැගත් ලයන් එයාර් යානාව මිසයිල ප්‍රහාරයකින් විනාශ කිරීම ගැන තිල්ලයිරාඡ් නමැති ත්‍රස්‌තයා ත්‍රස්‌ත මර්දන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබූ අතර ගුවන් හමුදාවේ එම්.අයි. 24 ප්‍රහාරක හෙලිකොප්ටරයක්‌ද මිසයිල ප්‍රහාරයකින් වැනසීමේ චෝදනාව ඔහුට එල්ල වී තිබුණි.

මේ හැර පිළියන්දලදී ක්‌ලේමෝ බෝම්බයක්‌ තබා ලංගම බස්‌ රියක්‌ හා එහි ගමන් ගත් මගීන් 28 ක්‌ ඝාතනය කිරීම පිළිබඳව සුදාහරන් සචිතනාදන්ද, කටුබැද්දේදී මගීන් 26 ක්‌ සමඟ බස්‌ රියක්‌ විනාශ කිරීම ගැන කුගාදාසන් නමැත්තාද අසුවී තිබුණි. ඔවුන් තවදුරටත් රැඳවුම් භාරයේ සිටී.

එසේම විල්පත්තුව වනෝද්‍යානයේදී ගත්කතුවරයකුද ඇතුළු හත් දෙනකු බිම් බෝම්බ අටවා මරාදැමීම ගැන සත්‍යනාදන් සින්නප්පා, රාගවන් සිරිල්, සන්ද්‍රයෝගි සිමියොන් සහ රමේෂ් සන්ද්‍රන් යන ත්‍රස්‌තයන්ද අසුවිය.

මේ කොටි ත්‍රස්‌තයන් අතර පුපුරණ ද්‍රව්‍ය අඩංගු තමා ළඟ තබාගෙන සිටි නිමලන් තංගවේලු නමැත්තාද සිටී. ඔහු ත්‍රස්‌ත මර්දන පොලිසියට අසුවූයේ 2014 වසරේදීය.

මෙයට අමතරව හිටපු අමාත්‍ය ජ්‍යෙරාඡ් ප්‍රනාන්දු පුල්ලේ ඝාතනය කිරීම සඳහා සහය වූ බවට චෝදනා එල්ලවූ හිටපු සහකාර පොලිස්‌ අධිකරී ලක්‍ෂ්මන් කුරේගේ නමද බෙන් එමර්සන්ට ලබාදී තිබූ ලියවිල්ලේ සඳහන් කර ඇත. 2009 අගෝස්‌තු 12 වැනිදා අත්අඩංගුවට ගනු ලැබූ ඔහු මේ වන විට අට වසරක්‌ රැඳවුම් භාරයේ සිටි අතර එමර්සන් ඔහු හමුවී නැත.

එක්‌සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත එමර්සන් වෙත ලබාදී ඇති ලැයිස්‌තුවට නිදහස්‌ කළ කොටි ප්‍රබලයන්ගේ නම් ඇතුළත් වී නොමැත.

වාන් පුලිගන් හෙවත් කොටි ගුවන් ඒකකයේ නියෝජ්‍ය නායක කුශාන්තන් මැලේසියාවේදී අත්අඩංගුවට ගෙන මෙරටට එවීමෙන් මාස ගණනකට පසු කිසිදු චෝදනාවක්‌ නැතිව නිදහස්‌ කෙරුණි.

කොටි බුද්ධි අංශයේ නායක පොට්‌ටුඅම්මාන්ට තොරතුරු සැපයූ කපිතාන් ඉන්දික සංජීව හෙවත් සාන්ඡ් මොහොමඩ් නිදහස්‌ කරනු ලැබීය. එහෙත් ඔවුන් නිදහස්‌ වූ ආකාරය වසන් විය.

රැඳවුම් භාරයේ සිටින කොටි ත්‍රස්‌තයන් අතර අත්අඩංගුවේ සිටි හමුදා සහ නාවික නිලධාරීන් 27 ක්‌ මරා පුළුස්‌සා දැමීම පිළිබඳව චෝදනා එල්ල වූ තිරුවාලුවල් නමැත්තා ද වේ. ත්‍රස්‌ත මර්දන බලධාරීන්ට ඔහු අසුවූයේ 2012 වසරේදීය.

මේ ත්‍රස්‌තයන් අහිංසකයන් නොව බිහිසුණු මිනීමරුවන්වේ. එහෙත් ද්‍රවිඩ සංධානය සහ උතුරු මහ ඇමැති විග්නේෂ්වරන් ඔවුන්ව දේශපාලන සිරකරුවන් යෑයි නම්කර ඇත.

දකුණු පළාතේ සිදුවූ විශාල පිපිරීමක්‌ පිළිබඳව අත්අඩංගුවට පත් ආනන්දරාජා සෙල්වන්, සෑම් සිවලිංගම් සහ තංගවේලු සිවකුමාර් නමැති ත්‍රස්‌තයන් තිදෙනාට පුපුරණ ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීමේ චෝදනා එල්ල විය.

හිටපු ජනාධිපති හිටපු ආරක්‍ෂක ලේකම්, හිටපු හමුදාපති, මේජර් ජනරාල් ජානක පෙරේරා ඝාතනය කිරීමේ සිද්ධීන්වලට සම්බන්ධ ත්‍රස්‌තයන්ද තවදුරටත් රැඳවුම් භාරයේ සිටියි. මොවුන්ව ගලවා ගැනීම සඳහා බෙන් එමර්සන් රජයට අපූරු යෝජනාවක්‌ ඉදිරිපත් කර තිබුණි. ඒ එම ත්‍රස්‌තයන් ත්‍රස්‌ත මර්දන ඒකකයට ලබාදුන් පාපොච්ඡාරණ පිළිගැනීමෙන් වළකින ලෙසයි.

එහි ප්‍රතිඵලය වූයේ උතුරේ අධිකරණය එක්‌ ත්‍රස්‌තයකුගේ පාපොච්ඡාරණයක්‌ පිළිගැනීම ප්‍රතික්‌ෂේප කර එම ත්‍රස්‌තයා මුදාහැරීය. මේ අතර ඕෂන් ලේඩි නමැති කොටි නැවෙන් ද්‍රවිඩයන් හා කොටි 76 ක්‌ කැනඩාවට ගෙන යැමේ චෝදනා එල්ල වූ ප්‍රැන්සිස්‌ අන්තෝනි මුත්තුය. නමල්රාඡ් නන්දසාමි, කනගරාජා ජෙයචන්ද්‍රන් සහ විග්නරාජා තේවරාජා නමැති කොටි ක්‍රියාකාරීන් සිව්දෙනා මිනිස්‌ ජාවාරම්කරුවන් නොව දේශපාලන රැකවරණ පතන්නන් බවට කැනඩා විනිසුරු ආර්. කේ. සිල්වර්ටන් ප්‍රකාශ කර ඔවුන්ව මුදාහරිනු ලැබීය.

මේ පුද්ගලයන් සිව්දෙනා ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධය නිසා කැනඩාවේ රැකවරණ ලබා ගැනීමේ අරමුණින් දින 45 ක්‌ තිස්‌සේ ශාන්තිකර සාගරය හරහා කැනඩාවට පැමිණි බව විනිසුරුවරයා සිය තීන්දුවේ දක්‌වා ඇත.

එහෙත් මොවුන් රැගත් නැව කැනඩාවට පැමිණියේ 2009 ඔක්‌තෝබර් මාසයේදීය. ඒ වන විට යුද්ධය නතර වී තිබුණි.

විනිසුරුගේ මේ විශ්මයජනක තීන්දුව සවනය වූ කොටි ක්‍රියාකාරීන් සිව්දෙනා සිනහවෙමින් තම නීතිවේදීන්ට අතට අතදී ආචාර කර ඇත.

මෙවන් පසුබිමක්‌ මැද ඉන්දු ශ්‍රී ලංකා ගිවිසුම අත්සන් කර පසුගිය ජුලි 29 දාට තිස්‌ වසරක්‌ සපිරුණි.

කොළඹ ගාලු මුවදොර පිහිටි පැරැණි පාර්ලිමේන්තු ගොඩනැඟිල්ලේදී එවකට සිටි ජනාධිපති ඡේ. ආර්. ජයවර්ධන සහ ඉන්දීය අගමැති රජිව් ගාන්ධි අතර මෙම ගිවිසුම අත්සන් කෙරුණි.

ශ්‍රී ලංකාවේ ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවට 13 වැනි සංශෝධනය සහ පළාත් සභා පනත ඇතුළත් වූයේ මේ ඊනියා ගිවිසුම නිසාය.

ශ්‍රී ලංකා රජය ඉන්දියාව සමඟ ගිවිසුමක්‌ අත්සන් කළ බව පලාලි හමුදා කඳවුර පවා දැන සිටියේ නැත. ගිවිසුම අත්සන් කර පැය කීපයක්‌ යැමට පෙර ඉන්දීය ගුවන් හමුදාවේ ප්‍රවාහන යානා පලාලි වෙත පැමිණියේය. සිදුවී ඇත්තේ කුමක්‌දැයි පලාලි කඳවුරේ සිටි ශ්‍රී ලංකා හමුදා භටයන්ට වාර්තා වූයේ පසුවය.

එහිදී ශ්‍රී ලංකා හමුදාව කඳවුරුවලට කොටුවිය. එම ඉන්දු ලංකා ගිවිසුම නිසා රජිව් ගාන්ධිට සිදුවූයේ කොටින්ගෙන් ඉල්ලන් කෑමටය.

ඉන්දු ලංකා ගිවිසුමෙන් වසර 30 කට පසු ශ්‍රී ලංකාව ඉන්දීය විරෝධී චීනය සමඟ එක්‌වී හම්බන්තොට වරාය සඳහා ගිවිසුමක්‌ අත්සන් කරනු ලැබීය.

මේ අතර විදේශ කටයුතු ලේකම්ට සිටි ඇසළ වීරකෝන් එම ධුරයෙන් ඉවත් කර වොෂින්ටන් නුවර ශ්‍රී ලංකා තානාපති ප්‍රසාද් කාරියවසම් නව විදේශ ලේකම් ලෙස පත්කර ඇත.

ආරංචි මාර්ග දැක්‌වූයේ බෙන් එමර්සන්ට කොටි ත්‍රස්‌තයන් හමුවීම සඳහා ඉඩදී ඇත්තේ විදේශ කටයුතු බලධාරීන් බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට වාර්තා වීම ඊට හේතුව බවයි.

එසේම විදේශ ලේකම් ධුරයෙන් ඉවත් කළ ඇසල වීරකෝන්ගේ පියා බන්ධනාගාර ප්‍රතිසංස්‌කරණ හා පුනරුත්ථාපන අමාත්‍යාංශයේ උපදේශකයකු බවටද වාර්තා විය.

කෙසේ වෙතත් රැඳවුම් කඳවුරුවල සිටින ත්‍රස්‌තවාදී සැකකරුවන්ගේ ලැයිස්‌තුවක්‌ විදේශිකයකුට ලබාදීම මුළුමණින්ම නීති විරෝධී ක්‍රියාවකි. එහෙත් රජය එම ෙද්‍රdaහී ක්‍රියාව සිදුකළ පාර්ශ්වයන්ට එරෙහිව වෙනත් කිසිදු පියවරක්‌ ගෙන නැත.

මේ අතර කොටි සංවිධානය ක්‍රියාත්ක නැති බව පැවසුවත් ඩෙන්මාර්කයේ හර්කින් නගරයේ සිට කොටි සංවිධානය ක්‍රියාත්මක වේ. මේ බිහිසුණු ත්‍රස්‌තවාදී සංවිධානය තමන්ට පනවා ඇති තහනම ඉවත් කර ගැනීම සඳහා යුරෝපා අධිකරණය වෙත ඉදිරිපත් කළ කරුණු දැක්‌වීමට ඒ. බුරුමා සහ ඒ. එම්. වැන් එයින් නමැති නීතිවේදීන්ගේ සහාය ලබාගෙන තිබුණි.

පසුගිය ජුලි 26 දා යුරෝපා අධිකරණය ප්‍රකාශයට පත්කළ තීන්දුවෙන් කොටි සංවිධානය ත්‍රස්‌තවාදී ලැයිස්‌තුවෙන් ඉවත් කරනු ලැබීය. ඊට මූලික හේතුවක්‌ වූයේ ශ්‍රී ලංකාවේ ඇතිවූ පසුගිය වසර 23 තුළ කොටි සිදුකළ ඝාතනවල තොරතුරු කිසිවක්‌ සාක්‍ෂි සහිතව යුරෝපා අධිකරණයට යොමු නොකිරීමයි.

මේ ඝාතන අතරින් කොටුවේ මහ බැංකු බෝම්බ පිපිරීම දැක්‌විය හැකිය. එහිදී ප්‍රභාකරන්ගේ ඇඟිලි සලකුණු සහිත සමරු පෙට්‌ටියද හමුවිය. එය සොයාගත් පොලිස්‌ පරීක්‍ෂක නිලව්දීන් යුරෝපා අධිකරණයට යෑවිය හැකි හොඳම සාක්‍ෂියක්‌ය. එහෙත් නිලබ්දීන්ව යුරෝපා අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට ක්‍රියා කළේ නැත. ප්‍රභාකරන්ගේ ඇඟිලි සලකුණු පවා සාක්‍ෂියක්‌ වශයෙන් යුරෝපා අධිකරණ බලධාරීන් හමුවේ ඉදිරිපත් වූයේ නැත.

එහි ප්‍රතිඵලය දැන් සනාථ වී ඇත. කොටි සංවිධානය ත්‍රස්‌තවාදී ලැයිස්‌තුවෙන් ඉවත් කිරීම ගැන යුරෝපා අධිකරණය පැවසුවේ කොටි ඝාතන ගැන යුරෝපා සංගමය තොරතුරු ලබාගත්තේ පුවත්පත්වලින් සහ අන්තර්ජාලයෙන් බවයි. මේ නිසා මෙරට විදේශ කටයුතු බලධාරීන් කුමක්‌ කළේද යන්න ප්‍රශ්නයකි. එසේ වුවත් 2006 වසරේ ඇමරිකාවේ බෘක්‌ලින්ග් නීතිපති දෙපාර්තමේන්තුවේ නීතිඥ රොස්‌ලින් මවුස්‌කොන් මහත්මිය කොටි සංවිධානය සිදුකළ සාකච්ඡාවල තොරතුරු එරට පෙඩරල් අධිකරණය හමුවේ ඉදිරිපත් කිරීමට ක්‍රියා කළාය.

එසේම එම සමයේ ඇමරිකානු නීතිපති වූ ඇල්බේටෝ ගොන්සාල්වේස්‌ අධිකරණය හමුවේ ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාවේ දෙමළ කොටි සංවිධානයේ සාමාජිකයන්ගෙන් ආධාරකරුවන්ගෙන් බහුවිධි කූට වැඩපිළිවෙළින් ත්‍රස්‌තවාදීන්ට එරෙහිව ලොව පුරා ගනු ලබන පියවරවලදී අඛණ්‌ඩ සුප්‍රරික්‌ෂාවක්‌ තිබිය යුතු බවයි.

මෙහිදී නීතිවේදීන් රොසලිස්‌ මවුස්‌කොන් මහත්මිය වැඩිදුරටත් සඳහන් කළේ වසර 15 ක්‌ තුළ කොටි සංවිධානය දළ වශයෙන් මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර 200 ක්‌ සිදුකර ඇති බවයි. එහි ප්‍රතිඵලයක්‌ ලෙස සිය ගණනක්‌ මරුමුවට පත්වූ බවත් දේශපාලන ඝාතන සිදුකර ඇති බවත් ඇය කියා සිටියාය.

1991 දී ඉන්දීය හිටපු අගමැති රාජ්‍ය රජිව් ගාන්ධි 1998 ශ්‍රී ලංකා ජනාධිපති ආර්. ප්‍රේමදාස 1999 දී නීලන් නිරාවෙල්වම් ඝාතනය, 2000 දී අමාත්‍ය සී. වී. ගුණරත්න ඝාතනය, 2006 රජයේ සාම ලේකම් කාර්යාලයේ කෙතීස්‌වරන් ලෝගනාදන් ඝාතන ඒ අතර වෙයි.

2006 අප්‍රේල් මස සිට 1700 කට අධික පිරිසක්‌ ද ඝාතනයට ලක්‌විය. මේ තත්ත්වය මත 1997 වසරේදී කොටි සංවිධානය ත්‍රස්‌තවාදී සංවිධානයක්‌ ලෙස ලැයිස්‌තුගත කිරීමටද ඇමරිකාව ක්‍රියාකළේය. එය කොටි සංවිධානය මුහුණපෑ බරපතළම තත්ත්වයයි.

කොටි සංවිධානය ත්‍රස්‌ත ලැයිස්‌තුවෙන් ඉවත් කරගැනීම සඳහා ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ වෙස්‌වලාගෙන සිටි නිලධාරියාට අල්ලස්‌ දීම, ඇමරිකාවේ ප්‍රා. කොටි ප්‍රබලයකු වූ විනයාගමුර්ති මුරුගේසු සහ කැනඩාවේ කොටි ආධාරකරුවකු වූ සොක්‍රටීස්‌ නාචිමුත්තු ප්‍රමුඛ කොටි කණ්‌ඩායමක්‌ ඉදිරිපත් වූහ.

තම රහසිගත මෙහෙයුම සඳහා මෙම කොටි කණ්‌ඩායම මාස කීපයක්‌ පුරා සී – 11 නමින් හඳුන්වන වෙස්‌වලා ගෙන සිටි ඒජන්තවරයකු හමුවිය. සී-11 සමග යූ.සී. 01 සහ, යූ. සී. 2 නමැති තවත් වෙස්‌වලාගත් ඒජන්තවරුන් දෙදෙනකුද හමුවීමට කොටි ක්‍රියාකළහ.

ඇමරිකාව කොටි සංවිධානය ත්‍රස්‌තවාදී ලේබලය තුළින් ඉවත් කරන්නේ නම් ඩොලර් දස ලක්‍ෂයක මුදලක්‌ ලබාදීමට තමන් සූදානම් බව කොටි කණ්‌ඩායම එම වෙස්‌වලාගත් ඒජන්තවරුන්ට පවසා ඇත. මේ සාකච්ඡා සියුම් පටිගත කිරීමේ උපකරණ මඟින් පටිගතවන බව කොටි කණ්‌ඩායම සිතුවේ නැත.

මෙලෙස ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට අල්ලස්‌ දීමට උත්සාහ කළ මුදල ශ්‍රී ලංකාවේ මුදලින් රුපියල් කෝටි දහසකි. එය අත්තිකාරම් මුදලකි. එහිදී විනයාගමුර්ති එම ඒජන්තවරුන්ට පවසා ඇත්තේ රාජ්‍ය දෙපාර්තමේන්තු නිලධාරීන්ට ගෙවන මුළු මුදල කොටි නායක වේළුපිල්ලේ ප්‍රභාකරන් විසින් තීරණය කරන බවයි.

එසේම ඇමරිකාවේ බුද්ධි තොරතුරු කොටි සංවිධානයට විකිණීමටද සාකච්ඡා කර ඇත. මෙහිදී සොක්‍රටීස්‌ නමැත්තා යූ-සී-1 ඒකකය වෙත දෙන ලෙස ඉල්ලමින් සී -1 ඒකකයට අතුරු අල්ලසක්‌ (ඩොලර් 1000 ක්‌) ලබාදී ඇත. 2006 ජුලි මස දී කොටි ආධාරකරුවකු වූ යෝගා හෙවත් තවරාසා යෝගරාජා සී – 1-1 ඒකකය අමතා ගුවන් යානා නාශක මිසයිල සහ කාලතුවක්‌කු ලබා ගැනීමට දුරකථන සාකච්ඡාවක්‌ පවත්වා ඇත. සී-1-1 ඒකකය හා අවි ආයුධ අලෙවි කරන ජාවාරම්කරුවකු අතර සබඳතා ඇති බවට යෝගා විශ්වාස කළේය.

 

 

ඒ අනුව 2006 ජුලි 31 දා සී-1-1 ඒජන්තවරයා සහ යෝගාද තවත් කොටි ආධාරකරුවකු වූ සරත්චන්ද්‍රන් සදාජා (හෙවත්) සදා නිව්යෝර්ක්‌හි කුවින්ස්‌ ප්‍රදේශයේ අවන්හලකදී මුණගැසුණි. මෙහිදී සාකච්ඡාවලට ලක්‌වූයේ ශ්‍රී ලංකා ගුවන් හමුදාව භාවිත කරන කපීර් ප්‍රහාරක යානාවලට ප්‍රහාර එල්ල කිරීම සඳහා ගුවන් යානා නාශක මිසයිල ලබාගැනීම ගැනයි. කොටි බුද්ධි අංශ නායක පොට්‌ටු අම්මාන්ගේ උපදෙස්‌ මත එම ගුවන් යානා නාශක මිසයිල අවශ්‍ය බව සදා නමැත්තා වෙස්‌වලාගත් නිලධාරියාට පවසා ඇත. 2006 අගෝස්‌තු 7 දා සී-1-1 ඒකකය ඉහත කී කොටි නිව්යෝර්ක්‌ නුවර තවත් සාකච්ඡාවකදී යළිත් එම මිසයිල ගැන සාකච්ඡා පවත්වා ඇත. මෙහිදී තමන්ට මිසයිල අවශ්‍ය බව සදා විසින් වෙස්‌වලාගත් ඒජන්තට ප්‍රකාශ කර ඇත. මේ සියලු සාකච්ඡා පවත්වමින් 2006 අගෝස්‌තු 18 වැනිදා කැනඩාවේ සිට සබාරත්නම් සහිලාල් හා කනිගසාලම්, තිරුදාකිනම් මෝටර් රථයකින් ඇමරිකාවට පැමිණියහ. ඔවුන්ව හඳුන්වනු ලැබුවේ කෝටිපතියන් ලෙසිනි.

2006 අගෝස්‌ත 19 දා නිව්යෝර්ක්‌ නගරයේ එක්‌තරා ස්‌ථානයකදී සී-1-1 ඒජන්තවරයාත්, සහිලාල් සබාරත්නම් සහ කනිගසාලම් හෙවත් කානි හමුවී සාකච්ඡා පවත්වා ඇත.

අනතුරුව නිව්යෝර්ක්‌හි ලෝං දූපත වෙත ගිය එම කොටි දෙදෙනා යූසී-1 සහ යූ.සී. 2 යන ඒජන්තවරු දෙදෙනා හමුවී මිලදී ගැනීමට අදහස්‌ කරන අවි ආයුධ ගැන සාකච්ඡා පවත්වා තිබේ. කපීර් යානා විනාශ කිරීමට ප්‍රහාරක මිසයිල සහ ඊශ්‍රායෙල් ඩෝරා යාත්‍රා වැනසීමේ අවිද තමන්ට අවශ්‍ය බව ඔවුන් මෙහිදී කියා සිටියහ. මේ අවි සඳහා ස්‌විස්‌ටර්ලන්තයේ සැන්ට්‌ මොරිස්‌ සහ වෙනත් ස්‌ථානවල ඇති බැංකු ගිණුම්වලින් මුදල් සැපයිය හැකි බවත් ලබාගන්නා අවි ඉන්දීය සාගරයේදී නැවකින් නැවකට මාරු කිරීමේ වැඩපිළිවෙලක්‌ අවශ්‍ය බවද ඔවුන් විසින් ප්‍රකාශ කර ඇත. මෙහිදී යූ. සී. 2 ඒකකය පැවසුවේ තමා අවි ආයුධ පුහුණුකරන තාක්‍ෂණික දැනුමක්‌ ඇති නිලධාරියකු බවයි. එහිදී ඔවුන් ඉල්ලීමක්‌ කරමින් ශ්‍රී ලංකාවේ කොටි පුහුණුකිරීම සඳහා ශ්‍රී ලංකාවට එන ලෙස කියා සිටියේය.

මෙම සාකච්ඡාවේදී කොටි දෙදෙනා තම අවි ආයුධ ලැයිස්‌තුව ඉදිරිපත් කළහ. මිසයිල 100 ක්‌ පමණ තමන්ට අවශ්‍ය බවත්, මුලින්ම මිසයිල 10 ක්‌ මිලයට ගන්නා බවත් එම මිසයිල ශ්‍රී ලංකාවේදී නිසිලෙස ක්‍රියාත්මක වූවොත් ඉතිරි කොටසද මිලයට ගන්නා බවත් කොටි ක්‍රියාකාරීන් දෙදෙනා සඳහන් කළේය.

කොටි ජාත්‍යන්තර ජාලයට සම්බන්ධ තොරතුරු ඇමරිකාවෙන් අනාවරණය වන අවස්‌ථාවේ උතුරේ තත්ත්වය සීමාව ඉක්‌මවා ගොස්‌ ඇතැයි පොලිස්‌පතිවරයා කියා සිටියේය.

වත්මන් රජය බලයට පත්වීමත් සමඟම සංහිඳියාව මුවාවෙන් උතුරේ සිටි හමුදා බුද්ධි කටයුතු නතර විය. හමුදාව කඳවුරු තුළට සීමා විය. අපරාධ මර්දන කටයුතු ඇතුළු බුද්ධි කටයුතු පොලිසියට පැවරීමටද ක්‍රියාකෙරුණි. ඒ අතර උතුරු මහ ඇමැති ප්‍රමුඛ ද්‍රවිඩ සංධානය උතුරින් හමුදාව ඉවත් කිරීමට මහත් උත්සාහයක්‌ ගනු ලැබීය.

ඒ අතරේ කොටි ජාත්‍යන්තර ක්‍රියාකාරීහු ඩයස්‌පෝරාවේ මුවාවෙන් උතුරට පැමිණ හිටපු කොටි හමුවූහ. කොටි චන්ද්‍රිකා රූපවාහිනි ජාලයේ ප්‍රධානියාටද යාපනයට යැමට රජය ඉඩ දුන්නේය.

එසේම බ්‍රිතාන්‍ය ඩයස්‌පෝරාව උතුරේ තරුණ පිරිස්‌වලට යතුරුපැදි ලබාදුන්හ. මේ යතුරුපැදි ගැන රජයේ අවධානයක්‌ නොවුණි. ඊට අමතරව රාජ්‍ය නොවන සංවිධාන ආරම්භ වී ශ්‍රී ලංකාවේ හමුදාවට එරෙහිව ගිනි ඇවිලවීමේ ක්‍රියාදාමයක්‌ නතරවිය. තමිල්නාඩුවේ පපුපති නායගම් නමැති ඊළාම් සංවිධානයද උතුරේ කටයුතුවලට මැදිහත් විය.

මේ තත්ත්වය මත උතුරේ විවිධ පාර්ශ්ව ජිනීවා මානව හිමිකම් සමුව වෙත ගොස්‌ සාවද්‍ය ප්‍රචාර දියත් කළහ. මෙවැනි දේ සිදුවන අවස්‌ථාවේ රාජය නිහඬව බලාගෙන සිටියේය.

කැනඩාවේ මන්ත්‍රීවරයකු වූ ගැරී ආනන්දසංගරීට පවා යාපනයට යැමට රජය ඉඩ දුන්නේය. ඔහු ජිනීවාහිදී ශ්‍රී ලංකාවට එරෙහිව යුද අපරාධ චෝදනා එල්ල කිරීමේ මෙහෙයුමක්‌ ආරම්භ කර තිබියදීය.

 

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here