පොලිසියේ 600ක්‌ ඝාතනය කිරීමේ සිද්ධිය ජාත්‍යන්තර අධිකරණයට

0
1212

මන්නාරම් සමූහ මිනීවළේ කැණීම් ගැන ජීනීවා වෙත බොරු වාර්තාවක්‌

ජර්මනියට යුද අපරාධ චෝදනා

ශ්‍රී ලංකාවේ හමුදාව ද්‍රවිඩයන් සමූල ඝාතනය කළ බවට ජාත්‍යන්තර ප්‍රජාව වෙත සනාථ කිරීමේ කොටි ඩයස්‌පෝරාවේ සැප්තැම්බර් මෙහෙයුම දැන් ආරම්භ වී ඇත. මේ මෙහෙයුමට අදාළව සැප්තැම්බර් 17 දා ජිනීවා මානව හිමිකම් කවුන්සිලය ඉදිරියේ උද්ඝෝෂණයක්‌ පැවැත්වේ.

ස්‌විස්‌ අධිකරණය කොටි අපරාධකාරී සංවිධානයක්‌ නොවන බවට තීන්දු කිරීම නිසා කොටි ඩයස්‌පෝරාවට ස්‌විස්‌ටර්ලන්තය තුළ ඕනෑම මෙහෙයුමක්‌ දියත් කිරීමට ඉඩ ලැබී ඇත.

මේ පසුබිම මැද මන්නාරම ස.තො.ස ගබඩාවට අයත් භූමියකින් සොයාගෙන ඇති පනහකට අධික පිරිසගේ අස්‌ථි කොටස්‌ සම්බන්ධ සිද්ධිය ජිනීවා මානව හිමිකම් කවුන්සිලය වෙත යොමුකර ඇත.

කොටි ඩයස්‌පෝරාව මෙම මන්නාරම් සමූහ මිනීවළ හඳුන්වා ඇත්තේ ඝාතන භූමිය යනුවෙනි. මේ සමූහ මිනීවළෙන් හමුවූ අස්‌ථි කොටස්‌ ගැන මහාචාර්ය රාඡ් සෝමදේව හෝ මන්නාරම අධිකරණ වෛද්‍ය නිලධාරි සමින්ද රාජපක්‍ෂ මෙතෙක්‌ විමර්ශන වාර්තාවක්‌ ප්‍රකාශයට පත්කර නැත.

එහෙත් කොටි ඩයස්‌පෝරාව සහ කොටි හිතවාදියකු මෙහෙයවන ඡේ. ඩී. එස්‌. නමින් අටවාගෙන ඇති සංවිධානය දැනටමත් වෝහාරික වාර්තාවක්‌ ප්‍රකාශයට පත්කර ඇත. එසේම ලන්ඩන් නුවර කොටි අඩවියද ප්‍රකාශ කර ඇත්තේ අස්‌ථි කොටස්‌වල වධහිංසා ලකුණු ඇති බවත් බරපතළ කැපුම් තුවාලද තිබෙන බවත්ය.

කොටි ඩයස්‌පෝරාව මෙලෙස විමර්ශන වාර්තාව පිටවීමටත් පෙර සාවද්‍ය ප්‍රකාශ එළිදැක්‌වීමට පෙර ඉන්දියාවේ බැංගලෝරයේ සිට කොටි හිතවාදී මහාචාර්ය පෝල් නිව්මන් උතුරේ කොටි හිතවාදීන්ගේ පිහිටෙන් මන්නාරමට පැමිණ සමූහ මිනීවළ නිරීක්‍ෂණය කර ඇත.

පෝල් නිව්මන් ශ්‍රී ලංකාවට එනතුරු යහපාලන රජය නිදාසිටි බව සනාථ වේ. ඔහු ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේදී මන්නාරම් සමූහ මිනීවළ පිහිටි ස්‌ථානයේ හමුදා කඳවුරක්‌ තිබූ බව කියා සිටියේය.

ඒ කෙසේද? එම ස්‌ථානයේ හමුදා කඳවුරක්‌ තිබූ බවට කිසිදු සාක්‍ෂියක්‌ ඉදිරිපත් කිරීමට පෝල් නිව්මන්ට නොහැකි විය.

police1එහෙත් කොටින්ගේ දේදුන්න පුවත්පත නිර්මාණය කළ කොටි හිතවාදියා අද ජාත්‍යන්තර ප්‍රජාවට පිළිබිඹු කිරීමට උත්සාහ කරන්නේ සර්බියාවේ මෙන් ද්‍රවිඩයන් විශාල සංඛ්‍යාවක්‌ මරාදමා ඇති සමූහ මිනීවළක්‌ මන්නාරමේ ඇති බවයි.

එසේම මන්නාරම් මිනීවළට සමගාමීව ඉරණමඩු සිට යාපනයට ජල නල මාර්ගය ඉදිකෙරෙන අවස්‌ථාවේ නායක්‌මර්කඩ්ඩු ප්‍රදේශයේදී ඇටසැකිල්ලක කොටස්‌ හමුවීමෙන් පසු කැණීම් කටයුතු ආරම්භ කර ඇත. මේ හැර චෙම්මනි ප්‍රදේශයේදී අස්‌ථි කොටස්‌ හමුවීමෙන් කැණීමේ මෙහෙයුමක්‌ දියත් වී ඇත. එහෙත් වසර 28 කට පෙර කොටි සංවිධානය විසින් අමු අමුවේ වෙඩි තබා මරා පුළුස්‌සා වළදැමූ රූපස්‌කුලම් ඝාතන භූමියේ කැණීම් කටයුතු ආරම්භ කිරීමට රජය මෙතෙක්‌ ක්‍රියා නොකිරීම මවිතයකි.

කොටි සංවිධානය යුද අපරාධ සිදුකළ බවට රූපස්‌කුලම් සමූහ මිනීවළ සාක්‍ෂියකි. එම මිනීවලේ අස්‌ථි කොටස්‌ දුටු ප්‍රධාන සාක්‍ෂිකරුවන් කීපදෙනෙක්‌ අදටත් පොලිස්‌ සේවාවේ නිරතවී සිටිති.

එසේම හිටපු විශේෂ කාර්ය බලකා නිලධාරියකු වූ ජනෙත් විමල ද ප්‍රධාන සාක්‍ෂියකි. මෙම සමූහ මිනීවළ ගැන අප මුල්වරට අනාවරණය කළත් රජය සහ පොලිසිය එම මිනීවළේ කැණීම් කටයුතු කර ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට සාක්‍ෂි ඉදිරිපත් නොකරන්නේ මන්ද?

1990 ජුනි 11 දා නැගෙනහිර පළාතේ පොලිස්‌ ස්‌ථානවලට කොටි ත්‍රස්‌තයන් පහරදී පැහැරගෙන යන ලද පොලිස්‌ නිලධාරීන් මරාදමා ඇති බවට එම පොලිස්‌ නිලධාරීන්ගේ ඥතීන් වෙත පොලිස්‌ මූලස්‌ථානය දැනුම්දී ඇත්තේ 1992 මැයි 25 දායි. මෙහිදී නැඟෙන ප්‍රශ්නය නම් කොටි ත්‍රස්‌තයන් මෙම පොලිස්‌ නිලධාරීන් ඝාතනය කර ඇති බවට ඥතීන්ට දැන්වීමට පොලිසිය මාස 18 කට අධික කාලයක්‌ ගතකිරීමයි.

මේ හැර කොටි විසින් ඝාතනය කළ පොලිස්‌ නිලධාරීන්ගේ මරණ ලියාපදිංචි කර ඇත්තේ 1993 මාර්තු නව වැනිදායි.

මෙලෙස ඝාතනය වූ පොලිස්‌ නිලධාරීන්ගෙන් 132 ක්‌ මඩකලපුව පොලිස්‌ වසමට අයත් වූවන්ය.

1990 ජුනි 11 දා ඝාතනයට ලක්‌වූ මෙම පොලිස්‌ නිලධාරීන්ට පොලිසිය උසස්‌වීම් දුන්නේ 1993 පෙබරවාරි 23 දායි.

විසිඅට වසරකට පෙර මේ විශාල මිනිස්‌ ඝාතනය සිදුවූ රූපස්‌කුලම් සිද්ධිය 2018 අගෝස්‌තු දක්‌වා ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට පැමිණිලි කිරීමට හිටපු රජය හා වත්මන් රජයද ක්‍රියාකර නැත.

එරාවුර් පොලිසියේ සේවය කළ පොලිස්‌ කොස්‌තාපල් (අංක 32781) ධම්මික සුමනසේකර මහතාගේ බිරියවූ පද්මිණි ලද්දුවහෙට්‌ටි මහත්මිය මේ ඝාතන සිද්ධිය ගැන මෙලෙස කියා සිටීයාය.

“1990 ජුනි 11 දා සිට මගේ ස්‌වාමිපුරුෂයා ගැන කිසිදු තොරතුරක්‌ නොලැබුණි. පොලිස්‌ භටයන් සියලුදෙනාම කොටි රැගෙන ගොස්‌ ඝාතනය කළ බවට දක්‌වන මරණ සහතිකයක්‌ පමණක්‌ මට ලැබුණි. පොලිස්‌ නිලධාරීන්ට සිදුවූ විපත ගැන අපට වසර 28 කට පසු හරිහැටි දැනගැනීමට ලැබුණේ ඉරිදා දිවයින ලිපියෙනි.

police2දැනට මා ස්‌වාමිපුරුෂයාගේ විශ්‍රාම වැටුප ලබාගන්නෙමි. එහෙත් ස්‌වාමිපුරුෂයාට හිමිවිය යුතු දීමනා මෙතෙක්‌ ලැබී නොමැත. එහෙත් පොලිස්‌ මූලස්‌ථානයෙන් නිකුත් කරන ලද චක්‍රලේඛ වලින් එම දීමනා ගෙවන බව දන්වා තිබුණි.”

එසේ වුවත් මන්නාරම, චෙම්මනි සහ නායක්‌මර්කඩ්ඩු කැණීම් කටයුතු සිදුකරන රජය රූපස්‌කුලම් සමූහ මිනීවළ කැණීමකට ලක්‌නොකරන්නේ මන්ද? මේ බිහිසුණු ඝාතනයට සම්බන්ධ වූ කොටි හමුදා නායකයන් තවදුරටත් ජීවත් වේ.

මේ යුද අපරාධයේ වගකිවයුත්තා විනයාගමූර්ති කරුණා බවත් මානව හිමිකම් කවුන්සිලය පරීක්‍ෂණයක්‌ පැවැත්වුවොත් තමා සාක්‍ෂි දෙන බවත් කොටි ඩයස්‌පෝරා ප්‍රධානි පෝල් නිව්මන් මානව හිමිකම් කවුන්සිලයේදී පැවැසීය.

එහෙත් රජය මානව හිමිකම් කවුන්සිලය වෙතින් එවන් විමර්ශනයක්‌ නොඉල්ලන්නේ මන්ද?

එසේ වුවත් මන්නාරම සමූහ මිනීවළෙන් හමුවූ අස්‌ථි කොටස්‌ වැඩිදුර පරීක්‍ෂාවට ඇමරිකාවට යෑවීම සඳහා රජයේ අවධානය යොමුවී ඇති බව වාර්තා විය.

2012 පෙබරවාරි 8 දා ජ්‍යෙෂ්ඨ පොලිස්‌ නිලධාරීන් 13 ක්‌ එවකට පොලිස්‌පතිව සිටි නලින් ඉලංගකෝන් වෙත ලිපියක්‌ යවමින් පොලිස්‌ භටයන් 600 ක්‌ ඝාතනය වීම ගැන විමර්ශනයක්‌ කරන ලෙස ඉල්ලා සිටියේය.

එහෙත් එක්‌සත් ජාතික පක්‍ෂ ආණ්‌ඩුව හෝ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂ ආණ්‌ඩුව එවන් විමර්ශනයක්‌ ගැන උනන්දුවක්‌ දක්‌වා නැත.

මෙම ලිපියට හිටපු නියෝජ්‍ය පොලිස්‌පති රොහාන් අබේවර්ධන, විශ්‍රාමික පොලිස්‌ පරීක්‍ෂක නිහාල් ද අල්විස්‌, තුවන් ධර්හමට්‌, විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්‌පති සිසිර මෙන්ඩිස්‌, ක්‍රිස්‌ ඔබේසේකර, විශ්‍රාමික කාන්තා පොලිස්‌ පරීක්‍ෂිකා ශ්‍රීමති පලිහක්‌කාර, විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි, ගාමිණි පෙරේරා, විශ්‍රාමික නියෝජ්‍ය, පොලිස්‌පති මහේසන් සෙල්වරත්නම්, විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි මාසි සෙනවිරත්න, උපාලි සෙනවිරත්න, විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්‌පති ජයකුමාර් තංගවේලු, සිවසම්පෝ තමලිකම් සහ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි සේම වීරසිංහ අත්සන් කර ඇත.

එහෙත් හිටපු පොලිස්‌පති නලින් ඉලංගකෝන් පොලිස්‌ නිලධාරීන් 600 ක්‌ ඝාතනය වීම ගැන යළි පරීක්‍ෂණයක්‌ ආරම්භ කළේ නැත. එම තත්ත්වය අදටත් බලපායි.

police3මෙලෙස රූපස්‌කුලම් කැලෑවේදී අමානුෂික ලෙස පොලිස්‌ භටයන් ඝාතනය කිරීම ගැන තොරතුරු දන්නා රාම් සහ නගුලන් නමැති කොටි හමුදා නායකයන් දෙදෙනා පසුගිය කාලයේ ත්‍රස්‌ත මර්දන ඒකකය අත්අඩංගුවට ගත් නමුත් රූපස්‌කුලම් සමූල ඝාතනය ගැන ප්‍රශ්න කිරීමක්‌ සිදුවී නොමැත.

එහෙත් උතුරේ කොටි හිතවාදීන්, ද්‍රවිඩ සන්ධානය සහ විදෙස්‌ගත කොටි ඩයස්‌පෝරාව මන්නාරම් සමූහ මිනීවළෙන් සොයාගත් අස්‌ථි කොටස්‌ ද්‍රවිඩ සිවිල් ජනතාවගේ බවට දැනටමත් නිගමනය කර ඇත. එසේම එම සමූහ මිනීවළේ තිබූ අස්‌ථි කොටස්‌වල කාල නිර්ණයක්‌ වී නැතත් ඒවා වන්නි මෙහෙයුමට සම්බන්ධ බවට ප්‍රචාරය කර ඇත.

එසේ වුවත් උතුරේදී හමුදා නිලධාරීන් 5000 කට අධික පිරිසක්‌ අතුරුදන් විය. ධීවර කටයුතු සඳහා උතුරට ගිය දකුණේ ධීවරයන් රැසක්‌ද ආගිය අතක්‌ නැති බව හෙළිවිය. ඔවුන්ගෙන් සමහරෙක්‌ කොටි සංවිධානය පැහැරගෙන ගිය බවද පසුව හෙළිවිය.

මේ හැර කොකාවිල් රූපවාහිනි සම්ප්‍රේෂණාගාරයේ සිට එමින් සිටි රූපවාහිනී සංස්‌ථා සේවකයන් තිදෙනකු කොටි විසින් ඝාතනය කෙරුනි. මොවුන්ගේ අස්‌ථි කොටස්‌ මෙතක්‌ හමුවී නැත. එහෙත් මේ ගැන කිසිදු සෙවීමක්‌ සිදුවී නොමැත. එසේම ඉරණතිව් දූපතේ සිට එල්ලවූ මිසයිල ප්‍රහාරයෙන් විනාශ වූ ලයන්එයාර් යානාවේ මගීන් 49 කගේ සිරුරු වළදැමුවේ කොතනදැයි මෙතෙක්‌ හෙළිවී නොමැත.

මන්නාරමේ සිට කිලෝමීටර් 22 ක්‌ ඈත පිහිටි ඉරණතිව් දූපතේ සිට මෙම මිසයිල ප්‍රහාර එල්ල විය.

මේ අතර ශ්‍රී ලංකාවේ හමුදාවට තරම් බොරු යුද අපරාධ චෝදනා එල්ලවූ වෙනත් හමුදාවක්‌ ලොව නැත.

පසුගිය ජුනි මාසයේදී මානව හිමිකම් කොමසාරිස්‌ සෙයිද් රාද් හුසේන් ඉන්දු කාශ්මීරයේ මානව හිමිකම් උල්ලංඝනය වී ඇති බවට දක්‌වමින් ඉන්දීය හමුදාවට එරෙහිව විමර්ශන වාර්තාවක්‌ ප්‍රකාශයට පත්කළත් හිටපු එක්‌සත් ජාතීන්ගේ නිලධාරිනියක්‌වූ යස්‌මින් සුකා ඒ සම්බන්ධ නිහඬතාවය පළකරනු ලැබීය.

එහෙත් මේ සතියේ දිනෙක ඇය පිටු 41 ක රහසිගත වාර්තාවක්‌ එක්‌සත් ජාතීන්ගේ සංවිධානය වෙත යවමින් ශ්‍රී ලංකාවේ යුද අපරාධකරුවන් මාලි, ලෙබනනය, චාපුර් සහ දකුණු සුඩානය වෙත සාම බළකා භටයන් ලෙස යවා ඇති බවට චෝදනා කළාය. ඇය තම රහස්‌ වාර්තාවේ තවදුරටත් දක්‌වා ඇත්තේ වන්නි මෙහෙයුමට සම්බන්ධ ජ්‍යෙෂ්ඨ හමුදා නායකයන්ද රැසක්‌ද එම සාම බළකාවල සේවය කරන බවයි. මේ හමුදා නායකයන් අතරින් යුද අපරාධ සිදුකළ හමුදා ප්‍රධානියෙක්‌ද මාලි රාජ්‍යයේ සාම බළකායේ සේවය කරන බව යස්‌මිත් සුකා සිය වාර්තාවේ දක්‌වා ඇත.

කොටි ඩයස්‌පෝරාවේ අරමුදල් මත යෑපෙන ඇය තම වාර්තාවේ මෙලෙසද දක්‌වා තිබේ.

“ශ්‍රී ලංකා ආරක්‍ෂක හමුදාව 2009 දී විශාල වශයෙන් සමූල ඝාතනය සහ ම්ලේච්ඡ ක්‍රියා සිදුකළා. යුද අපරාධ චෝදනා එල්ලවූවන්ට රජය උසස්‌වීම් ලබාදුන්නා. එසේම ඔවුන්ට එක්‌සත් ජාතීන්ගේ තනතුර පවා ලබාදීමට ක්‍රියා කළාය.

යස්‌මිත් සුකාගේ මේ සාවද්‍ය චෝදනාවෙන් පසු බ්‍රිතාන්‍ය කොටි ඩයස්‌පෝරාව වෙනුවෙන් හඬ නඟූ පෝල් ස්‌කලි මන්ත්‍රීවරයා එක්‌සත් ජාතීන්ගේ සාම සාධක බළකා බලධාරින්මගින් ඉල්ලීමක්‌ කරමින් ශ්‍රී ලංකාව විසින් සාම සාධක කටයුතු සඳහා එවා ඇති හමුදා නිලධාරීන්ගේ තොරතුරු හෙලිකරන ලෙස දන්වා ඇත.

police4මෙවන් පසුබිමක්‌ මැද උතුරේ බෙදුම්වාදීහු යාපනයේ ආරක්‍ෂක කේන්ද්‍රස්‌ථානයක්‌ වූ යාපනය කොටුවේ හමුදා කඳවුරක්‌ ඉදිකිරීම නතර කිරීමේ මෙහෙයුමක්‌ අරඹා ඇත.

යාපනයේ පැවැති සම්බන්ධීකරණ කමිටු රැස්‌වීමේදී යාපනය කොටුව හමුදාවට තහනම් කරමින් තීරණයක්‌ද ගෙන ඇත.

උතුරු මහ ඇමැති සී. විග්නේෂ්වරන්, විජයකලා මහේෂ්වරන් සහ මාවයි සේනාධිරාජාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම රැස්‌වීමේදී ප්‍රභාකරන්ගේ මස්‌සිනා වූ එම්. කේ. සිවාජිලිංගම් පැවසුවේ ඔටුවා කූඩාරමට හිස දමන බවත් ඊට ඉඩ නොතැබිය යුතු බවත්ය.

එහෙත් යහපාලන රජය උතුරේ දේශපාලකයන්, ආරක්‍ෂක මර්මස්‌ථානවලින්, හමුදාව ඉවත් කිරීම සඳහා උත්සාහ කරන්නේ මන්දැයි තේරුම් ගෙන නැත. 1990 ජුලි 3 දා කොටි ත්‍රස්‌තයන් යාපනය කොටුව වටකර ප්‍රහාර ඒල කිරීම නිසා කොටුවේ සිටි හමුදා සෙබළු අසරණ තත්ත්වයකට පත්වූහ. සාම සාකච්ඡාවලින් ඉවත්වූ කොටි පලාලි – කිලිනොච්චි – මාන්කුලම් – කොකාවිල් යන හමුදා කඳවුරුවලටද එකවිටම ප්‍රහාර එල්ල කරනු ලැබීය.

මේ සමයේ සිංහ රෙජිමේන්තුවේ 6 වැනි බලඇණිය මෙහෙයවූ ලුතිනන් ජයන්ත පෙරේරා ප්‍රමුඛ යාපනය පොලිසියේ භට පිරිස කොටින්ට යාපනය කොටුවට කඩාවැදීමට ඉඩ නොදී අතිරේක බළඇණි තමන්ව ගලවාගැනීමට පැමිණෙනු ඇතැයි බලාපොරොත්තු වූහ. ඒ වනවිට තුවාල ලත් සෙබළු කීපදෙනෙක්‌ යාපනය කොටුව තුළ විය.

එදා ශ්‍රී ලංකා ගුවන් හමුදාවට කµSර් හෝ මිග් ප්‍රහාරක යානා හෝ ක්‍රොකඩයිල් හෙවත් එම් අයි 24 ප්‍රහාරක හෙලිකොප්ටර් තිබුණේ නැත.

එවන් ප්‍රහාරක යානා වෙනුවට තිබුණේ සියාමාචෙට්‌ටි නමැති කුඩා බෝම්බ හෙළන යානායි.

මෙවන් අසීරු තත්ත්වයක්‌ මැද ඔපරේෂන් ඊගල් නමින් තුවාල ලත් භටයන් බේරාගැනීමේ ගුවන් හමුදා මෙහෙයුමක්‌ දියත් විය. ඊට සුනිල් කබ්රාල් – ලසන්ත වෛද්‍යරත්න අරවින්ද මිරැන්ඩෝ සහ රාහුල ප්‍රනාන්දු යන ගුවන් හමුදා නිලධාරීහු සහභාගි වූහ.

වසර 28 කට පෙර දියත් වූ මේ මෙහෙයුම කිසිදිනක අමතක කළ නොහැක.

ඊගල් මෙහෙයුම යටතේ යාපනය කොටුවේ තුවාල ලබාසිටි හමුදා භටයන් සහ පොලිස්‌ භටයන් අටක්‌ මුදාගැනීමට හැකි විය.

එම මෙහෙයුම සඳහා හෙලිකොප්ටර් නියමුවන් පුහුණු වූයේ අනුරාධපුර නච්චාදූව වැව් බැම්මේ බව පසුව හෙළි විය.

එම ගලවා ගැනීමේ ක්‍රියාදාමයට සහාය පිණිස සිපා සියාමාචෙට්‌ටි ප්‍රහාරක යානා මෙහෙයවූවේ එවකට ස්‌කොඩ්රන් ලීඩර්වරයකු වූ ශිරන්ත ගුණතිලකයි.

ඔහු පසුව පලාලි අහසේදී සිය ඇව්රෝ යානාවට එල්ලවූ මිසයිල ප්‍රහාරයකින් මරුමුවට පත්විය. මේ අතර උතුරේ දේශපාලකයන් තම අනාගත සැලසුම් සඳහා ක්‍රමක්‍රමයෙන් ආරක්‍ෂක මර්මස්‌ථාන ඉවත්කර ගැනීමේ ක්‍රියාදාමය ආරම්භ කර ඇත. මෙවන් පසුබිමක්‌ මැද 12000 ක්‌ අවි පුහුණුව ලත් කොටි උතුරේ සිටින බව යහපාලන රජය අමතක කර ඇත.

මේ අවි පුහුණුව ලැබූවන්ට ඕනෑම අවස්‌ථාවක ආයුධ අතට ගතහැකිය. එසේම මේ අවි පුහුණුව ලැබූවන් මිනීමරුවන්ය. කුමන අයුරකින් පුනරුත්ථානය ලැබුවත් සතුරා බලාසිටින්නේ අවස්‌ථාව එනතුරුයි යන කියමන රජය අමතක කර ඇත. මෙම තත්ත්වය මත ද්‍රවිඩ සන්ධානය, උතුරු පළාත් සභා ඇමැතිනි ආනන්දි සසිතරන්, විජයකලා මහේෂ්වරන්, ගඡේන්ද්‍රකුමාර් පොන්නම්බලම්, කඡේන්ද්‍රන්, ප්‍රභාකරන්ගේ මස්‌සිනා වූ එම්. කේ. සිවාජිලිංගම් උතුරු පළාත් සභා මන්ත්‍රී කුගදාස්‌ ඇතුළු බෙදුම්වාදීන් වෙලාව එනතුරු බලාසිටීති.

මොවුන්ගේ උපාය මාර්ගික වැඩපිළිවෙළ කරුණු දෙකක්‌ මත දියත්වී ඇත. එනම් යුද හමුදාවට නොකඩවා ජාත්‍යන්තර ප්‍රජාව තුළ යුද අපරාධ චෝදනා එල්ල කිරීම සහ ආරක්‍ෂක මර්මස්‌ථාන වලින් හමුදාව ඉවත්කිරීම එම කරුණු දෙකයි. අද උතුරේ සිදු වන්නේ එයයි.

මේ බව තහවුරු වන්නේ ද්‍රවිඩ සන්ධාන නායක ආර්. සම්බන්ධන් මේ සතියේදී කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලයේ කාර්යභාර ප්‍රධානි රොබට්‌ හිල්ටන් හමුවී ශ්‍රී ලංකා හමුදාවට එරෙහි ජිනීවා යෝජනාව ගැන සාකච්ඡා කිරීමයි.

එහිදී රොබට්‌ හිල්ටන් ප්‍රකාශ කළේ ජිනීවා යෝජනාව ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකා රජයට සහාය වන බවයි.

යුද අපරාධ චෝදනා පිළිබඳ වගවීමේ යාන්ත්‍රණය ක්‍රියාත්මක කිරීම සඳහා ඇමරිකාවේ පූර්ණ සහාය ලබාදීමට ක්‍රියාකරන බවද ඇමරිකානු නිලධාරිනිය තවදුරටත් සම්බන්ධන්ට ප්‍රතිඥ දී තිබේ.

එහෙත් කොටි සංවිධානය සිදුකළ යුද අපරාධ ඔහු කිසිදු සඳහනක්‌ කර නොමැත.

ද්‍රවිඩ සන්ධාන නායකයා මෙලෙස ශ්‍රී ලංකා හමුදාව යුද අපරාධකරුවන් කිරීමට උත්සාහ කරන අවස්‌ථාවේ මුල්වරට පොලිස්‌ භටයන් 600 ක්‌ ඝාතනය කිරීමේ මහා අපරාධය හේග් නුවර ජාත්‍යන්තර අධිකරණය වෙත පැමිණිලි කිරීමට හිටපු විශේෂ කාර්ය බළකා නිලධාරියකු වූ ජනෙත් විමල කටයුතු යොදා ඇත.

එම සමූහ ඝාතනයට අදාළ සාක්‍ෂි ද එකතු වී තිබේ. මේ පිළිබඳ පැමිණිල්ල ජාත්‍යන්තර අධිකරණයේ නඩු අධ්‍යක්‍ෂ පටාවු බෙන්සුඩා වෙත ඉදිරිපත් කෙරේ. මේ පැමිණිල්ල යොමුවන්නේ 39 වැනි ජිනීවා මානව හිමිකම් සැසිවාරය ආරම්භ වීමත් සමඟය.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here