බලය බෙදිය හැක්‌කක්‌ ද?

0
282

 

මහාචාර්ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි

රටක්‌ යනු භූමියක්‌ හා ප්‍රජාවකි. භූමිය දේශය ලෙස ද දල ප්‍රජාව ජාතිය ලෙස ද සැළකේ. ඒ අනුව දේශප්‍රේමය හා ජාති හිතෛෂීභාවය නිශ්චය කරගත යුතුව ඇත. ජාතිය විසින් දේශයේ දල ජාතියේ ද උන්නතිය උදෙසා කටයුතු කළ යුතුව ඇත. ජාතිය සතුව ජාතිකත්වයන් රැසක්‌ තිබිය හැකිය. විවිධ මානකයන් හා පරිමාවන් ද නිර්ණායකයන් ද සහිතව තිරස්‌ හා සිරස්‌ව ජනවර්ග එක්‌ ජාතියක්‌ තුළ බහුලව හඳුනාගත හැකියි. වර්ග හා වර්ගාන්තර විභේදන සෑම දේශයකම වෙසෙන ප්‍රජාවක සතු සාමාන්‍ය ලක්‍ෂණයයි. වර්ගාන්තර ගැටුම් ඇවිලවීම හා ඒවා තම වාසිය සඳහා කළමනාකරණය කර ගැනීම සටකපට දේශපාලනයෙහි එක්‌ උපායකි.

දේශයක්‌ පාලනය කිරීම දේශපාලනය නම් වන අතර, ඒ සඳහා නිර්මාණය වන යාන්ත්‍රණය රාජ්‍යය වේ. ඒ අනුව, රාජ්‍යය විසින් ප්‍රජාව ද, භූමිය ද සහිත රට පාලනය කරනු ලැබේ. රාජ්‍යය නම් වූ එම යාන්ත්‍රණය මෙහෙයවන්නා වූ යාන්ත්‍රකයා ආණ්‌ඩුව නම් වේ. ඒ අනුව ආණ්‌ඩුව (Government) විසින් රාජ්‍යය (State) පවත්වාගෙන යනු ලැබේ. ආණ්‌ඩුවක්‌ නැති විට රට අරාජික වන්නේ යෑයි පැවසෙන්නේ එකී රාජභාවය හෙවත් රාජ්‍යය නොමැති හෙයින් ය. ඒ අනුව ආණ්‌ඩුවක්‌ පවතින්නේ නම් රට අරාජික වන්නේ නැත. එය නාමික වූවක්‌ නම් රාජික වීම ද නාමික වන්නේ ය.

රාජභාවය යනු රාජ්‍යය වේ. රාජ යනු රජු වේ. රජු යනු බලය වේ. ඒ අනුව රාජ්‍යය යනු බලය භාවිත කිරීම වේ. බලයක්‌ නැත්නම් හෝ/හා බලය භාවිත නොකරන්නේ නම්, එතැන රාජ්‍ය භාවිතාවක්‌ නැත. රාජ්‍යයක්‌ සතු අත්‍යවශ්‍යම සාධකය බලය වේ. බලය විසින් ධනය ද, ධනය විසින් බලය ද රැස්‌කිරීම හා වර්ධනය කිරීම සිදු වේ. ධනය ගැන නොසිතන බලය ද, බලය ගැන නොසිතන ධනය ද යනු, දේශපාලනයෙහිලා අංගවිකල උත්පත්තියකි. බලය නොලද හෝ අල්ප බලයක්‌ ලද ආණ්‌ඩුවක්‌ යනු අංග විකල හෝ/හා මන්දපෝෂිත උත්පත්තියකි. ඒ අනුව සාර්ථක රාජ්‍යයක්‌ නම් බලසම්පන්න රාජ්‍යයකි. ලෝකයේ දියුණු වූ සෑම රටක්‌ම දියුණුව ඇත්තේ රාජ්‍යය බලවත් වූ කාලයේ ය. බලවත් වූ විට රට දියුණු වීමත්, දුර්වල වූ විට රට පිරිහීම හෝ යටත් රාජ්‍යයක්‌ වීමත්, ස්‌වභාව සිද්ධාන්තයකි.

ශ්‍රී ලංකාවට සංගතව රාජකීය අවéයේ සිට මේ දක්‌වාම වන නිදසුන්වලින් ඉහත සත්‍යය අපි පසක්‌ කොට ඇත්තෙමු. ඒ අනුව ආණ්‌ඩුවක්‌ ප්‍රධාන වශයෙන්ම බලවත් විය යුතුය. බලවත්වීම සඳහා කළ යුත්තේ කුමක්‌ දැයි සාකච්ඡා කිරීම මේ ලිපියේ අරමුණ නොවේ. බලය සහිත වීම බලවත් වීම නම් වේ. එහි විරුද්ධ පදය දුර්බල වීම හෙවත් දුර්වල වීමයි. කිසියම් ආණ්‌ඩුවක්‌ ස්‌වේච්ඡාවෙන් දුර්වල වීමට වෑයම් කරන්නේ නම් එය සිතාගත නොහැකි තරමේ අඥානකමකි. කිසියම් රාජ්‍යයක්‌ දුර්බල කරන්නට වෙනත් රාජ්‍යයක්‌ හෝ ආයතනයක්‌ විසින් උපක්‍රමිකව කැස කවන්නේ නම් එය හඳුනා නොගැනීම ද අඥානකමකි. රාජ්‍යයක්‌ දුර්බල (දුර්වල) කරන්නේ හෝ එසේ කරන්නට නිර්දේශ කරන්නේ හෝ එකී නිර්දේශයන් පිළිගන්නේ ද එක්‌කෝ මේ සත්‍යය නොදැන ය. එක්‌කෝ මේ සත්‍යය හොඳින්ම දැනගෙන ය.

රාජ්‍යයක්‌ දුර්බල කරනු ලබන්නේ එය කොටස්‌ වශයෙන් අත්පත් කර ගැනීමට ය. නැතහොත් විනාශ කොට තිරස්‌චීන තෘප්තියක්‌ ලැබීමට ය. දේශපාලන ඝාතනයකට හසුවන දුර්බල රාජ්‍යය දේශපාලනිකව ගිජුලිහිණියන්ගේ ග්‍රහණයට හසුවන්නේ ය. ශරීරයක්‌ වුවද දුර්බල වූ විට බලවත් වූ කාලයක මෙන් නොව රෝගාදිය විසින් සිය ග්‍රහණයට ගනු ලැබේ. රාජ්‍යයක්‌ වෙනත් රාජ්‍යයක ග්‍රහණයට හසුවන්නේ ඒ රාජ්‍යය සතුව කිසියම් සම්පතක්‌ ඇත්නම් පමණි. සම්පත් විරහිත රාජ්‍යයක්‌ හෝ උපක්‍රමික අවශ්‍යතාවයක්‌ නොවන රාජ්‍යයක්‌ සිය ග්‍රහණයකට නතුකර ගැනීමට වෙනත් කිසිදු බලවත් රාජ්‍යයකට අවශ්‍ය වන්නේ නැත. පසෙහි රත්‍රන් හෝ වෙනත් ඛනිජ සම්පතක්‌ නොවේ නම් පැපුවානිව්ගිනියාව හෝ හයිටිය යටත් විජිත වන්නේ නැත. රබර් නැත්නම් ලයිබීරියාව කිසිවකුට අවශ්‍ය නැත. ඉන්ධන නැත්නම් කුවේටය ආක්‍රමණය වන්නේ ද නැත. ජෛව විවිධත්වය, පොස්‌පේට්‌, පෙරදිග ඥානය, ස්‌වභාව පිහිටීම හා උපක්‍රමික අවශ්‍යතා නොවේ නම් ශ්‍රී ලංකාව ගැන කථා කරන්නටවත් කිසිවකුට අවශ්‍ය වන්නේ නැත. මේ අනුව ශ්‍රී ලංකාව භූමියක්‌ වශයෙන් ගොදුරු වීමට අදාළව තර්ජිත භූමියක්‌ව පවතී.

ඉහත කී අවශ්‍යතා පරිදි ශ්‍රී ලංකාව ගොදුරක්‌ සේ ගිලීමට නම් පළමුව කළ යුත්තේ බලය නැති කිරීම ය. හෙවත් දුර්බල (දුර්වල) කිරීම ය. ඒ සඳහා කළ යුත්තේ බලය නම් වූ ඝනත්වය කුඩා බලයන් බවට පත් කිරීම ය. හෙවත් කුඩා කුඩා කෑලිs බවට පත් කිරීම ය. නැතහොත් ඝනත්වය දිය කිරීම ය. ශ්‍රී ලංකා රාජ්‍යය සතු බලය කෑලි 9 කට කැඩීම සඳහා වන මූල තත්ත්වයන් භෞතිකව බිමෙහි පිහිටා තිබේ. ඒ පළාත් නමිනි. පළාත් 9 ට බලතල බෙදා දීම මගින් මධ්‍යම රාජභාවයේ (රාජ්‍යයේ) බලය දුර්වල කළ හැකි වේ. ව්‍යවස්‌ථාවෙන්ම හා බලයේ හිමිකරුවන් විසින්ම ස්‌වේච්ඡාවෙන්ම බලය නම් වූ ඝනත්වය කඩා ඉහිරුවාලීමට සූදානම් නම් එපමණ සතුටක්‌ හා වාසියක්‌ රාජ්‍යයේ හතුරන්ට තවත් තිබේ ද? මේ අනුව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව වෙනස්‌ කරමින් හෝ නව ව්‍යවස්‌ථාවක්‌ සම්පාදනය කරමින් නූතන ශ්‍රී ලංකාවේ දේශපාලනය සූදානම් වන්නේ සතුරු පූසන් ඉදිරියේ ස්‌වේච්ඡා මීයකු වීමටය.

ඕනෑම දුෂ්ට ක්‍රියාවක්‌ යහපත් ක්‍රියාවක්‌ කර ගැනීමට නම් මුලින්ම කරගත යුතු වන්නේ සටකපට ලෙස ඊට ලස්‌සන නමක්‌ දැමීමය. ඒ සඳහාම ලෝක දේශපාලනයේ ක්‍රියාකාරීහු වෙනම සිටිති. ලිබියාව ආක්‍රමණය කරන්නට ඕනෑ වූ විට එයට දුන් නම වන්නේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් කරන සටන යනුවෙනි. අවසානයේ ප්‍රජාතන්ත්‍රවාදය ඉතිරි විය. ලිබියාව නැති විය. කුවේටය ආක්‍රමණය කරද්දී එය අපරාධයට එරෙහි අරගලය විය. 71 දී අපේ රටේ ඇති වූ දෙයට දුන් නම වූයේ “කැරැල්ල” ය. ම්ලේච්ඡ කොටින් කරන ලද ඝාතන රැල්ලට දුන් නම වූයේ විමුක්‌ති අරගලය යන්නය. බටහිරට කුලී හේවාකම් කළ සිද්ධිය ජනවර්ග අර්බුදයක්‌ ලෙස නම් කෙරිණි. එසේ බලය බෙදා රාජ්‍යය දුර්බල කිරීම සඳහා දී ඇති සර්වපිත්තල සීනිබෝල නාමය වන්නේ බලය විමධ්‍යගත කිරීම හා බලය බෙදාහැරීම යන්නය. කැත වැඩකට ලස්‌සන නමක්‌ දීම සඳහා නූතන ශ්‍රී ලංකාවේ දේශපාලන නිදර්ශනය මෙයයි.

දේශපාලන විද්‍යාවේ මෙලෙස බලහත්කාරයෙන් සිද්ධි නාමකරණය කිරීම වෙනම සාකච්ඡා කළ යුතු තරමේ මාතෘකාවකි. කැළෑ කැපීම හෝ පුරාවස්‌තු බිම් ආක්‍රමණය කිරීම ඕනෑම නම් අයකුට නව ජනාවාසකරණය නමින් හඳුන්වා නම දැමීමට හැකිය. පරාජිතයා ගෙන්වා ඇමැතියකු කිරීම ඕනෑම නම් සාධාරණය ඉටුකිරීම යනුවෙන් නම් කළ හැකිය. ඒ අනුව බලය විමධ්‍යගත කිරීම යන්න දෙස විමසුම් නෙතින් බැලීමට තරම් අප විචාර පූර්වක විය යුතුය. මක්‌ නිසා ද යත් බලය බෙදීම යනු දුර්වල කිරීම ම වන හෙයිනි. බලය යනු බෙදිය නොහැක්‌කක්‌ වන හෙයිනි. බෙදාහළ පසුව බලය ඉතිරි නොවන හෙයිනි.

එසේ නම් බලය බෙදා දෙන්නැයි කරන ඉල්ලීමට අදාළ ප්‍රශ්නය හා විසඳුම කුමක්‌ ද? උමා ඔය ව්‍යාපෘතියෙන් පීඩාවට පත් ඌවට ඕනෑ බලය ද? ජලය ද? මුහුදු ගොස්‌ මස්‌ අස්‌වනු නෙළනා මිනිසුනට ඕනෑ මුහුදු බලය ද? මාළු අලෙවිය ද? කිරි ගොවියාට, ගම්මිරිස්‌ ගොවියාට, බුලත් ගොවියාට ඕනෑ වෙනම බිමක පාලන බලය ද? සුළු අපනයන බෝගයට අදාළ ජාත්‍යන්තර වෙළඳපොළ ද? අත් යන්ත්‍ර පේෂකර්මාන්තයෙහි නියෑලෙන්නවුනට ඕනෑ දේශපාලන බලය ද? ඉන්දියන් සාරි ගෙන්වීම නැවැත්වීම ද? එලෙස උතුරට ඕනෑ සම්පත් ද? වෙන්වීමේ බලය ද? මින් පෙනෙන්නේ බෙදිය යුත්තේ සම්පත් මිස බලය නොවන බවයි. ජනතාව අපනයන නිෂ්පාදනයන්ට දිරිගන්වා ලාභදායී ලෙස වෙළඳපොළ සැකසීම කළ යුත්තේ රජය විසිනිs. ඒ සඳහා භාවිත කළ යුත්තේ බලයයි. එකී බලය පළාත් 9 කට බෙදීමෙන් බලයක්‌ නිර්මාණය නොවනවා පමණක්‌ නොව මධ්‍යගත රාජ්‍යය දුර්බල වන්නේ ය. කැඩී ඉහිරී ගිය සාමන්ත රාජ්‍ය පාලනයන් හෙවත් ප්‍රාන්ත පාලනයන් බලවත් වන්නේය. පෙර රජ දවස සිටම සාමන්ත (ප්‍රාදේශීය) පාලකවරු සිරිලක පාලනය කළ බව සත්‍යයි. එහෙත් එක්‌සේසත් රාජ්‍යයක සාමන්ත පාලකයන් සිටියේ මහ රජුගේ පාලනයට අවනතව ප්‍රාදේශීය පරිපාලනය පහසුකරවීම සඳහා මිස කුඩා ස්‌වාධීන රාජ්‍යයන් නිර්මාණය කරවීම සඳහා නොවේ. ස්‌වාධීන කුඩා සාමන්ත රාජ්‍යයන් බලසම්පන්න වූ හැමවිටකම එක්‌කෝ රට පිරිහිනි. නැතහොත් වෙනත් රාජ්‍යයකට ගොදුරු වුණි. කොළඹ සිට යාපනය ද, මඩකලපුව ද, හම්බන්තොට ද පාලනය කිරීම කළ නොහැක්‌කක්‌ නොවේ. ලන්ඩන් සිට කළ හැකි නම් එය කොළඹ සිට කරන්නට ද නොහැකියාවක්‌ නැත. පාලනයේදී කළ යුත්තේ ඨදඩැරබ සහ ඤබඑරදක යන දෙක ය. ගවර්න් සහ කන්ට්‍රොaල් යන වචන දෙකටම සිංහලෙන් කියන්නේ පාලනය කියාය. පළාත්වලට බලය ඉල්ලන්නවුන් එය ඉල්ලන්නේ තමන්ට පාවිච්චියට මිස ඒ බලය ජනතාවට දෙන්නට නොවේ. ඉහත කී එක්‌සේසත් රාජ්‍යය යනු එක්‌සත් රාජ්‍යය නොවේ. සේසත (ශ්වේත ඡත්‍ර) යනු සුදු කුඩයයි. ඒ අනුව එක්‌සේසත් වීම යනු සුදු කුඩය බැඳි එකම සිංහාසනය සහ කිරීටයක සිට පාලනය මෙහෙය වීමයි. ෙµඩරල් හෝ එක්‌සත් හෝ සන්ධීය හෝ යන කවර නමකින් හැඳින්වුව ද ඒවා එක්‌සේසත් භාවයට විරුද්ධ නාමයන් වේ.

එහෙයින් මහජනතාව අතර බෙදිය යුත්තේ සම්පත්ය. මහජනතාව ධනවත් වන්නේ එවිටය. ධනය හා සම්පත් හිඟ නොවන ජනයෝ බලය රජයට දෙති. එහෙයින් උඩ ඇති බලය විසින් යටට සම්පත් හා ධනය බෙදිය යුතු අතර එහෙයින්ම එකී සම්පත් හා ධනය විසින් එහි ඉහළ බලය තව තවත් බලසම්පන්න කරනු ඇත. එලෙස බලවත් වන රාජ්‍යය විසින් දේශය හා ජාතිය ප්‍රෙෘඪ කරනු ඇත. රට හා ජනතාව සුත මුදිත වන්නේ එවිටය.
(2017/08/26 දින දිවයින පුවත්පතෙන් උපුටා ගන්නා ලදි )

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here