බෙන් එමර්සන් සමඟ ගැටෙයි විජයදාස එරෙහිව ජාත්‍යන්තර සටන ඇරැඹේ

0
470

ආචාර්ය විජයදාස රාජපක්‌ෂ මහතා වත්මන් යහපාලන ආණ්‌ඩුවේ අධිකරණ ඇමැති ධුරයෙන් ඉවත් කිරීම මේ රටේ බොහෝ දෙනෙක්‌ පිළිගත්තේ බලවත් ඇමැතිවරු කිහිප දෙනෙකුගේ මැදිහත් වීමෙන් සිදුවූ ක්‍රියාන්විතයක්‌ කියාය. එහෙත් ඒ සිදුවීම් මාලාව පිටුපස ඊට වඩා දුරදිග ගිය තව බොහෝ මෙහෙයුම් ක්‍රියාත්මකව තිබිණි. එහෙත් රටේ සාමාන්‍ය ජනතාව පමණක්‌ නොව, දේශපාලනයේ සක්‍රීයව සිටින සමහර දේශපාලනඥයන් පවා නොදන්නා හේතු කාරණා තිරය පිටුපස තිබුණි. පසුගිය දිනක ප්‍රසිද්ධ මාධ්‍යයක්‌ ඔස්‌සේ මේ පිළිබඳව විවරණයක්‌ කරමින් අප රටේ සිටින ජාත්‍යන්තර සම්බන්ධතා පිළිබඳ ප්‍රකට විද්වතෙකු වූ ආචාර්ය දයාන් ජයතිලක අලුත් අදහසක්‌ පළ කළේය.

දයාන්ගේ අදහස තුළ රටේ ජනතාවට මේ ගැන අලුතෙන් සිතන්නට කරුණු කාරණා රැසක්‌ තිබුණි. දයාන් පැහැදිලි කළේ අපේ රටේ යුද්ධය ජයගත් රණවිරුවන් ඉලක්‌ක කරගෙන ක්‍රියාත්මක වෙමින් තිබෙන ජාත්‍යන්තර අධිකරණය පිහිටුවීමේ බටහිර බලවතුන්ගේ ක්‍රියාන්විතය ගැනය. එවකට සිටි අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්‌ෂ සිටිනා තුරු ලංකාවේ ජාත්‍යන්තර අධිකරණයක්‌ පිහිටුවීම සිදු නොවන්නක්‌ බව බටහිර බලවේග තේරුම් ගෙන තිබූ බව දයාන් පැහැදිලි කළේය. එක්‌ අතකින් විජයදාස වැනි අධිකරණ ඇමැතිවරයකු සිටින අතර අනෙක්‌ අතින් තිලක්‌ මාරපන වැනි විදේශ ඇමැතිවරයෙකුත් සිටීම බටහිරට අවශ්‍ය පරිදි ජාත්‍යන්තර අධිකරණයක්‌ තැනීමට මොනතරම් ලොකු බාධාවක්‌ දැයි ඔහු පෙන්වා දුන්නේය.

මේ නිසා බටහිර බලවේග හැකි ඕනෑම පියවරක්‌ අනුගමනය කරමින් ඉතා ඉක්‌මනින් විජයදාස රාජපක්‌ෂ අධිකරණ ඇමැති ධුරයෙන් ඉවත් කරන්නට තීන්දුව ගත්තේ මීට කලකට පෙර සිට බව ඔහුගේ අදහස විය. තීන්දුව ක්‍රියාත්මක කරන්නට පොටක්‌ පෑදෙන තුරු බටහිර බලවේග නොඉවසිල්ලෙන් බලා සිටි බව දයාන් පැහැදිලි කළේය.

මීට මාස 2 කට පමණ ඉහත එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ කමිටුවේ විශේෂ නියෝජිත බෙන් එමර්සන් මහතා ලංකාවට එන්නේ මේ ක්‍රියාන්විතය මෙහෙයවීම සඳහා රජය සමඟ පොටක්‌ පාදා ගැනීමේ උවමනාව ඇතිවයි. ඔහු ලංකාවට පැමිණ උතුරු නැඟෙනහිර පළාත්වල ලොකු සංචාරයක්‌ කළේය. දෙමළ දේශපාලනඥයන් හමුවුණේය. උතුරේ දෙමළ ජනතාවගේ දුක සැප බැලුවේ ය. එපමණක්‌ නොවේ. උතුරේ හිරගෙවල්වලටද ගියේය. සිරකරුවන් මුණ ගැසුණේය. ඔවුන්ගෙන් විස්‌තර ලබා ගත්තේය. සියල්ල නිම කර අවසානයේ යන්නට ඔන්න මෙන්න තිබියදී අධිකරණ ඇමැති විජයදාස රාජපක්‌ෂ හමුවන්නට ආවේය. මෙහිදී දෙදෙනා අතර ඇතිවූ සාකච්ඡාව දෙපාර්ශ්වයේම ඇස්‌ රතු කරගන්නා ආකාරයේ සාකච්ඡාවක්‌ බවට පත්විය. එහිදී දෙදෙනා අතර ඇතිවූ සාකච්ඡාව මෙසේය.

බෙන් එමර්සන් මේ සාකච්ඡාව ආරම්භ කළේ ලංකාවේ අධිකරණ පිළිවෙත ගැන පුංචි වර්ණනාවක්‌ද කරමිනි. පසුගිය වසර දෙක හමාරක කාලය තුළ බෙන් එමර්සන් වැනි තවත් අය කිහිප දෙනෙක්‌ පැමිණ පවත්වන ලද සාකච්ඡාවන්වල තොරතුරු මෙහිදී විජයදාස රාජපක්‌ෂ මතක්‌ කළේය.

“ඔබ එන්නට පෙර මෙහි ආවා මොනිකා පින්ටෝ කියලා මහත්මියක්‌. ඇය ඇවිල්ලා අපේ අධිකරණ පද්ධතිය හා රටේ ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වන ආකාරය ගැන ඉතා හොඳ වර්ණනාවක්‌ කළා. ලංකාවේ නීතිය, නීතියේ ආධිපත්‍යය ගැන ඇය බොහොම ප්‍රශංසාත්මකව කතාකළා. ඇය කිව්වා අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය සුරක්‌ෂිත වෙලා තිබෙන ආකාරය මේ කලාපයේ අන් රටවලටද ආදර්ශයක්‌ කියලා. එහෙම කතා කරලා ඇය යන්න ගියා.”

එහෙම කතා කරමින් ඇය යනකොට අපි ඇත්තටම කල්පනා කළේ ඇය අපි කෙරේ පැහැදී ඇති බවයි. මාස දහයක පමණ කාලයක්‌ ගතව ගියා. අන්තිමේ බලනකොට මානව හිමිකම් කොමිසමට ඇය ලිව්වා වෙනමම වාර්තාවක්‌. ඔක්‌කොම වාර්තාවේ තිබුණේ අපිත් එක්‌ක කතා කළාට වඩා හාත්පසින්ම වෙනස්‌ කරුණු.

ලංකාවේ අධිකරණ පද්ධතිය දූෂිතයි කියලා තිබුණා. ප්‍රජාතන්ත්‍රවාදය අනතුරේ වැටිලා කියලා තිබුණා. නීතිපති දෙපාර්තමේන්තුව දේශපාලනීකරණය වෙලා කියලා තිබුණා. උතුරු නැගෙනහිර දෙමළ ජනතාව ඉන්න පළාත්වල සිංහලෙන් නඩු අහනවා කියලා තිබුණා. මේ වගේ බොරු ගොඩක්‌ එකතු කරලා අපේ රටට විශාල අවනම්බුවක්‌ කරමිනුයි එතුමිය වාර්තාව හදලා තිබුණේ… විජයදාස රාජපක්‌ෂ කීවේය. හැබැයි මම අද ඔබතුමාගෙන් බලාපොරොත්තු වෙනවා එදා එතුමිය කළා වගේ වරදක්‌ අද ඔබතුමා නොකරාවි කියලා.”

“මට ඒ ගැන කියලා වැඩක්‌ නැහැ. අනුන්ගේ වාර්තාවන් පිළිබඳව මට වගකියන්න බැහැ” හෙතෙම කීවේය.

“ඔබතුමාට වගකීම ගන්න බැරි වේවි. නමුත් ඔබ තුමාට වගකීමක්‌ තියෙනවා ඔබතුමා දරන නියෝජිත මට්‌ටම තුළ එවන් කටයුතු නැවත නොවෙන්නට වග බලා ගන්න” විජයදාස කීවේය. ඉන්පසුව නොමනාපයෙන්ම දෙදෙනා අතර සාකච්ඡාව ඇරැඹිණි.

“ත්‍රස්‌තවාදී පනත අහෝසි කරන එක ඇයි පරක්‌කු කරන්නේ…”

“ත්‍රස්‌තවාදී පනත අහෝසි කරන එක පරක්‌කු නෑ. ඒ වෙනුවට වෙනත් පනතක්‌ හදන්න ඕන. ඊට පස්‌සේ අපිට පුළුවන් මේ පනත අහෝසි කරන්න. එහෙම නොවුණොත් පනත අහෝසි කළාම ඒ පනත යටතේ රඳවාගෙන ඉන්න බරපතළ අපරාධ චෝදනා තියෙන අය ඔක්‌කොම එළියට දාන්නයි වෙන්නේ…”

“ඇයි ඒක ප්‍රමාද…”

“ප්‍රමාද නැහැ. අපි ඒක කෙටුම්පත් කරමින් ඉන්නවා.”

“අපරාධ නඩු විධි විධාන සංග්‍රහයේ සංශෝධන ප්‍රමාද ඇයි…”

“එහි කිසිම ප්‍රමාදයක්‌ නෑ. ඒ කටයුතු සිද්ධ වෙනවා” විජයදාස කීවේය.

“රඳවාගෙන ඉන්න චූදිතයන්ට සැකකරුවන්ට නීතිඥයන්ගේ සහාය ලබාගන්නට ඉඩ නොදෙන්නේ ඇයි…”

ඇයි ඔබ චූදිතයෝ ගැන විතරක්‌ම කතා කරන්නේ… ඔවුන්ට විතරද මානව හිමිකම් තිබෙන්නේ… එතකොට මේ ත්‍රස්‌තවාදී ක්‍රියා නිසා විපතට පත් වෙච්ච වින්දිතයන්ට මානව හිමිකම් නැද්ද… අපරාධකාරයන්ගේ, චූදිතයන්ගේ මානව හිමිකම්වලට වඩා මට වටිනවා වින්දිතයන්ගේ මානව හිමිකම් ගැන කතා කරන එක…” අමාත්‍යවරයා කීවේය.

“විශාල ගණනක්‌ අත්අඩංගුවේ ඉන්නවා… නඩු නැහැ…”

“නැහැ… ඔබ ඔය කියන ගණන් මිනුම් නිවැරැදි නැහැ. එහෙම ලොකු ගණනක්‌ නෑ. ඇරත් මේ ඉන්නෙත් දරුණු අපරාධකාරයෝ. කදිරගාමර්ට වෙඩි තියපු අය වගේ…”

ඉන්පසුව බෙන් එමර්සන් කතා කළේ ලංකාවේ යුද අපරාධ ගැනය. ඔහු යුද අපරාධ චෝදනා ගෙන හැර පාන්නට පටන් ගත්තේය.

“යුද අපරාධ ගැන නම් කියනවා. නමුත් අපි අද අනුගමනය කරන්නෙත් ඔබලාගේ බ්‍රිතාන්‍යයේ අග්‍රාමාත්‍යවරිය වන තෙරේසා මේ ගෙම ප්‍රතිපත්ති.”

“මොකක්‌ද ඒකෙ තේරුම…”

“තෙරේසා මේ පහුගිය දවස්‌වල පැහැදිලිවම කිව්වා… බ්‍රිතාන්‍ය සොල්දාදුවන්ට එරෙහිව කිසිම අධිකරණයක යුද අපරාධ චෝදනාවක්‌ නඟන්න මොනම ආකාරයෙන් වත් ඉඩ තියන්නේ නැහැ කියලා. ඒකම තමයි අපිත් කියන්නේ… අනිත් එක බ්‍රිතාන්‍යය සොල්දාදුවන් යුද්ධ කළේ අනුන්ගේ රටවල ඉඳගෙන. එහෙම වෙලත් ඒ අය ගැන අගමැතිනිය ඒ විදිහට කතා කළා. නමුත් අපේ රටේ සොල්දාදුවෝ යුද්ධ කළේ ත්‍රස්‌තවාදයෙන් රට බේරගන්න. ඔවුන් සටන් කළේ ඔවුන්ගේ මාතෘ භූමිය වෙනුවෙන්. අපේ සොල්දාදුවන්ව ජාත්‍යන්තර දංගෙඩියට දක්‌කන්න අපි කවදාවත් ඉඩ තියන්නේ නෑ… විජයදාස රාජපක්‌ෂ ඇමැතිවරයා පැහැදිලිවම කියද්දී විශේෂ නියෝජිතයා ලැඡ්ජාවෙන් මූණ රතු කර ගත්තේය. ඔහුට හොඳටම කේන්ති ගොස්‌ තිබිණි. ඔහු පැමිණ සිටියේ තවත් නියෝජිතයන් පස්‌දෙනෙකු සමඟ ය. බෙන් එමර්සන් තම කණ්‌ඩායම සමඟ නැගිට ආපසු යන්නට ගියේ පුංචි පහේ තර්ජනයක්‌ද කරමිනි.

“ඔබේ අදහස ඒක නම් මම පුවත්පත් සාකච්ඡාවක්‌ කැඳවලා මේ තොරතුරු හෙළිදරව් කරනවා.”

“එකක්‌ නෙමෙයි සීයක්‌ කැඳවල තියන්න. ඇමැති විජයදාස රාජපක්‌ෂ කීවේය. තරහින් පුපුරමින් එම නියෝජිතයා යන්නට ගියේ විජයදාස රාජපක්‌ෂට හොඳ පාඩමක්‌ උගන්වන්නට සිතට ගෙන බව පැහැදිලි විය. පසුවදා වන විට මේ සාකච්ඡාව පිළිබඳ තොරතුරු ඇමැති මණ්‌ඩලයේ සමහර ඇමැතිවරුන්ගේ කන්වලට ද ගොස්‌ තිබිණි. අධිකරණ ඇමැතිවරයාට සමහරු බැණ වැදුණේ අනවශ්‍ය සාකච්ඡාවක්‌ තුළ බලවත් රටවල් තරහ කරගෙන ප්‍රශ්නයක්‌ මතු කරගත්තාය කියාය. රාජිත, මංගල, රවි ඇතුළු පිරිස විජයදාස රාජපක්‌ෂට ඇමැති මණ්‌ඩලය තුළ පවා බැණ වදින්නට වූයේ මේ නියෝජිතයො තරහ කර ගැනීම ගැනයි.

බෙන් එමර්සන් ආපසු යැමත් සමඟම විජයදාස රාජපක්‌ෂට එරෙහි ජාත්‍යන්තර සටන ආරම්භ විය. එම ජාත්‍යන්තර බලවේග මෙරට සිටින තම ඒජන්තයෝ වන රාජ්‍ය නොවන සංවිධාන හරහා විජයදාස රාජපක්‌ෂ ඇමැතිකමෙන් පැන්නීමේ සටන දියත් කළේය. පසුගිය දිනවල මහ බැංකු බැඳුම්කර සිද්ධියෙන් ඔද්දල් වූ එක්‌සත් ජාතික පක්‌ෂ නායකයෝ එක පැත්තකිනුත්, ඔවුන්ගේ අනුගාමිකයෝ වන තරුණ මන්ත්‍රීවරු තව පැත්තකිනුත් විජයදාස රාජපක්‌ෂ සමඟ පැරැණි කෝන්තර තිබුණු රාජිත ෆොන්සේකා වැනි ඇමැතිවරු තව පැත්තකිනුත් පෙරමුණු බැඳගෙන බරපතළ ලෙස සටන ආරම්භ කරන්නේ ඉන් පසුවයි. එජාපයේ සමහර නායකයෝ විජයදාස එළවන සටන එක්‌ පැත්තකින් අරඹද්දී අනික්‌ පැත්තෙන් සාධාරණ සමාජයක්‌, පුරවැසි බලය වැනි බලවේග ඔස්‌සේ විවිධ කණ්‌ඩායම් ක්‍රියාත්මක වන්නේ මේ බටහිර බලවේගවල උවමනා එපාකම් අනුවය. ඒ මේ මෑතක වුණ දේවල්ය. එහෙත් විජයදාස රාජපක්‌ෂ දුර්වල කිරීමේ මහ සටන විරුද්ධවාදීන් විසින් අරඹන්නේ අද ඊයේ නොවේ. ඊට මේ ආණ්‌ඩුව තරම්ම දිගු ඉතිහාසයක්‌ තිබිණි.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මේ රටේ නායකයා කරන්නට විජයදාස රාජපක්‌ෂ මොන තරම් මෙහෙයක්‌ කළත් මෛත්‍රීගේ ජයග්‍රහණයේ මුල් යුගයේදීම විජයදාස රාජපක්‌ෂට එරෙහි සටනක්‌ ආරම්භ කරන්නට සටන තුළම සිටි පිරිසක්‌ අවි අමෝරා ගන්නේ තවත් විශේෂ හේතු කිහිපයක්‌ නිසාය. අලුත් ආණ්‌ඩුව බලයට පත් කිරීමෙන් පසු තම තමන්ගේ අලුත් අලුත් ව්‍යාපාර ක්‍රියාත්මක කරන්නට සමහර දේශපාලනඥයෝ බලා සිටියහ. විදේශ මුදල් උල්පත්වලින් ගලා හැලෙන සේ රටට පැමිණෙන සමහර ව්‍යාපාර අත්පත් කර ගන්නට ලොකු ලොකු සැලසුම් දේශපාලනඥයන් තුළ තිබිණි. එබඳු එක්‌ සුවිශේෂී ව්‍යාපාරයකි ඇවන්ට්‌ ගාර්ඩ් මැරිටයිම් සර්විසස්‌ ආයතනය.

මේජර් නිශ්ශංක සේනාධිපති නම් විශ්‍රාමික යුද හමුදා සෙබළෙකුගේ මෙහෙය වීමෙන් පටන්ගත් මෙම ව්‍යාපාරය සමහරු තේරුම් ගෙන තිබුණේ ගෝඨාභය රාජපක්‌ෂට අයත් හෝ වාසි සැලසෙන, ඔහුට නෑකම් කියන ව්‍යාපාරයක්‌ ලෙසය. ගෝඨාභය රාජපක්‌ෂ මේ රටේ ආරක්‌ෂක ලේකම්වරයා ලෙස කටයුතු කරන සමයේ යම් යම් තීන්දු තීරණ ගැනීම නිසා සමහරු මෙය ගෝඨාභය රාජපක්‌ෂට අයත් ව්‍යාපාරයක්‌ කියා වරදවා තේරුම් ගෙන තිබිණි. අලුත් ආණ්‌ඩුව පැමිණි වහාම ඇවන්ගාඩ් ආයතනය මොන ක්‍රමයකින් හෝ අක්‍රීය කර දමා ගෝඨාභය වැන්නන් කෙසේ හෝ අත්අඩංගුවට ගෙන ඇවන්ගාඩ් ආයතනය සතු ව්‍යාපාර අල්ලා ගැනීමට සැලසුමක්‌ තිබිණි. ඇතැම් මාධ්‍ය ආයතන මෙන්ම වරාය කටයුතුවලට සම්බන්ධ ඇතැම් ඇමැතිවරුද මත්ස්‍ය ව්‍යාපාරවලට සම්බන්ධ ඇමැතිවරුද මේ ඇවන්ගාඩ් ව්‍යාපාර අත්පත් කරගැනීම සඳහා මුහුදු ආරක්‌ෂක ආයතන පවා අලුතෙන් පටන් ගෙන තිබිණි. අර්ජුන රණතුංග ගේ නමද මෙහිදී සටහන්ව තිබිණි. ඇවන්ගාඩ් ආයතනය නීති විරෝධී ගනුදෙනු කරන ආයතනයක්‌ සේ සළකා අක්‍රිය කර දැමීමටත් මෙම සිද්ධිය පසුබිම් කරගෙන ගෝඨාභය ඇතුළු පිරිසක්‌ අත්අඩංගුවට ගැනීමටත් විශේෂ මෙහෙයුමක්‌ ක්‍රියාත්මක විය. ඒවා සියල්ල ක්‍රියාත්මක වූයේ යහපාලන රජයේ හොරු ඇල්ලීමේ ව්‍යාපාරය දඩමීමා කරගෙනය.

මේ අතර පසුගිය රජයේ දූෂණ වංචා සොයා ඒවාට නීතිය මගින් දඬුවම් කිරීම සඳහා අගමැතිවරයාගේ මූලිකත්වයෙන් දූෂණ මර්දන කමිටුව නමින් වෙනම ආයතන පත්කර තිබිණි. එම කමිටුවේ සාමාජිකයන් වූයේ මංගල සමරවීර, විජයදාස රාජපක්‌ෂ, රාජිත සේනාරත්න, රවී කරුණානායක, චම්පික රණවක, අනුර කුමාර දිසානායක, ඡේ.සී. වැලිඅමුණ ඇතුළු තවත් කීප දෙනෙකි. 2015 පෙබරවාරි මාසයේ මුල දිනක මෙම කමිටුව පිහිටුවනු ලැබීය. යහපාලන ආණ්‌ඩුව විසින්ම අලුතෙන් පිහිටුවන පොලිස්‌ මූල්‍ය කොට්‌ඨාසය හෙවත් එෆ්.සී.අයි.ඩී. යද මේ දිනවලම අලුතෙන් පිහිටුවා තිබිණි. පරීක්‌ෂණ සඳහා එෆ්.සී.අයි.ඩී. ආයතනයට පරීක්‌ෂණ ලිපිගොනු ලබාදෙනු ලැබුවේ ඉහත කී දූෂණ මර්දන ඒකකය විසිනි. 2015 පෙබරවාරි මාසයේ දිනක මෙම කමිටුවට ගාලු වරායේ නවතා තිබෙන ආයුධ නෞකාවක්‌, එසේත් නැතිනම් පාවෙන අවි ගබඩාවක්‌ පිළිබඳ අලුත් තොරතුරක්‌ ලැබිණි.

ලබන සතියේ තව කොටසක්‌

විශේෂ ලියුම්කරුවකු විසිනි 

(2017/09/03 පලවූ ඉරිදා දිවයින පුවත්පතෙන් උපුටා ගන්නා ලදී)

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here