මතෘ භූමියට යළි අනතුරක්‌…..!

0
372

යුරෝපා කොමිසම මගින් කොටි තහනම ඉවත් කර ඇත. 2006 දී පැනවූ මේ තහනම 2017 මැයි 26 වැනිදා ඉවත්කර ඇත. මේ සම්බන්ධව රජය ගන්නා ක්‍රියාමාර්ගය කුමක්‌ද? මෙය භයානක අනතුරක පෙර නිමිත්තක්‌ද? පසුගිය වසරේදී එවක විදේශ ඇමැති ලෙස කටයුතු කළ මංගල සමරවීර මහතා ප්‍රකාශ කර සිටියේ තමා කිසිලෙසකින්වත් එල්.ටී.ටී.ඊ. තහනම ඉවත් කිරීමට ඉඩ නොදෙන බවයි. 2006 දීත් විදේශ ඇමැති ධුරයේ කටයුතු කරමින් මෙම තහනම පැනවීමට තමා ක්‍රියාකළ බව සමරවීර මහතා ප්‍රකාශ කර තිබිණි. දැන් වත්මන් යහපාලන රජයේ මුදල් ඇමැති ලෙස කටයුතු කරන සමරවීර මහතාට යුරෝපා සංගමයේ නව ස්‌ථාවරය ගැන කවරක්‌ පැවසීමට ඇත්ද?

කොටි හිතවාදී වෙබ් අඩවි වලට නම් යුරෝපා කොමිසමේ තහනම ඉවත්වීම ඉතා සතුටුදායක පුවතකි. යුරෝපා සංගමයේ අධිකරණයක්‌ මගින් මෙම තහනම ඉවත්කර ඇත්තේ 2009 දී එල්.ටී.ටී.ඊ. ය යුදමය වශයෙන් පරාජයවීම යන කරුණු පදනම් කරගෙනය. එහෙත් එල්. ටී. ටී. ඊ ය යුදමය වශයෙන් පරාජය වුවද මුළු යුරෝපය පුරාම රහසිගතව ආධාර එකතු කිරීම කප්පම් ගැනීම සිදුකෙරිණි.

නමුත් මේ තහනම ඉවත්වූ පසුව සිදුවන්නේ කුමක්‌ද? තෙදියවන්ට, තමන්ට රිසිසේ යුරෝපය පුරාම සිය ජාලය හරහා යුරෝ මිලියන ගණනින් ආධාර එකතු කර ගැනීමට හැකි වාතාවරණය උදාවීම නොවේද? මේ ආධාර එකතු කරන්නේ කවර අරමුණින්ද? මියගිය ප්‍රභාකරන්ට ප්‍රාණ වායුව පිඹීමට නොවේද? උතුරේ විසිර සිටින කොටි හිතවාදීන්ට මේ මුදල් ලැබුණහොත් සිදුවන්නේ කවරක්‌ද? හිටපු කොටි සාමාජිකයන් දොළොස්‌දහසක්‌ උතුර නැගෙනහිර පුරා විසිර සිටින බව අපි දනිමු.

මොවුන්ගේ ජීවන මට්‌ටම, යහපත් නැත. පිටරටින් ලැබෙන මුදල් වෙනුවෙන් ඕනෑම තක්‌කඩි ක්‍රියාමාර්ගයක්‌ වෙනුවෙන් මොවුන් පෙළඹෙනු ඇත. එයින් අනාරක්‍ෂිත වන්නේ යුරෝපා සංගමය නම් නොවේ. මේ ශ්‍රී ලංකාද්වීපයයි.

සහජීවනය වෙනුවෙන් නිරන්තරව කතාකරන යහපාලන ආණ්‌ඩුව මේ තහනම ඉවත් කිරීම ගැන මුණිවත රැකීම සුදුසු නැත. එතෙක්‌ මෙතෙක්‌ ලංකාවට ඇති මාරාන්තික අභියෝගය එල්. ටී. ටී. ඊ. හිතවාදී ඩයස්‌පෝරාවයි. කොටි තහනම ඉවත්වීමත් සමඟ ප්‍රංශය පුරාම බ්‍රිතාන්‍යය පුරාම කොටි සැණකෙළි වඩා හොඳින් දැකගත හැකිවනු ඇත. එයින් ප්‍රහර්ෂයට පත්වන මෙරට සිටින කොටි හිතවාදීන් කවරක්‌ සඳහා යොමුවෙයිද? යුරෝපයේ අපේ තානාපති නිලධාරීන් මේ තහනම ඉවත් කරන තෙක්‌ උඩ බලාගෙන සිටියාදැයි අපි නොදනිමු. බැඳුම්කර චෝදනාවන්ට ලක්‌ව සිටින රවි කරුණානායක මහතාට යුරෝපා සංගමයේ මේ නව තීරණය ගැන නිසි අවධානය යොමුකිරීමට හැකිවේද? රටට බරපතළ අනතුරක්‌ උද්ගත විය හැකි මේ ප්‍රශ්නය කෙරෙහි නිසි අවධානය යොමු කිරීම ජනපතිතුමා සතු වගකීමකි. අපි ඒ දෙස බලා සිටිමු.
(2017/07/28 දින දිවයින පුවත්පතේ කතුවැකියෙන් උපුටාගන්නා ලදී)

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here