මානව හිමිකම් කවුන්සිලයේ ගිනි ඇවිලෙයි

0
556

රියර් අද්මිරාල් එල්ල කළ චෝදනාවට සෙයිද් රාද් හුසේන් බ්‍රිතාන්‍ය අගමැතිනි තෙරේසා මේට දොස්‌ නගයි

ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ දින 13 ක්‌ තුළ ඇතිවූ සටන දාවිත් සහ ගොලයත් අතර වූ යුද්ධයට සමානය. ශ්‍රී ලංකාවේ ආරක්‍ෂක හමුදාව දාවිත් වූ අතර කොටි ඩයස්‌පෝරාව අතිශයින් බලවත්ම ගොලයත් ලෙස ක්‍රියාකළේය.

පසුගිය ජුනි 22 දා මේ සටනේ උච්ඡතම අවස්‌ථාව එළඹිනි. කොටි ඩයස්‌පෝරා ක්‍රියාකාරීහු කොටි ත්‍රස්‌ත යුද්ධය නිමවී වසර අටකට පසු ප්‍රෙඩ්රික්‌ සුන්දර්රාඡ් වින්ස්‌ලෝ නමැති 17 හැවිරිදි තරුණයෙක්‌ ජිනීවා මානව හිමිකම් සමුළුව වෙත ඉදිරිපත් කරමින් ශ්‍රී ලංකා හමුදාව යුද අපරාධ සිදුකර ඇති බවත් වධ හිංසා රැසක්‌ සිදුකර ඇති කියා ඒ ගැන විමර්ශනය කිරීමට ජාත්‍යන්තර අධිකරණයක්‌ අවශ්‍ය බවත් ප්‍රකාශ කරනු ලැබීය.

වන්නි මෙහෙයුම අවසන් වන විට මේ තරුණයාගේ වයස අවුරුදු නවයකි. එහෙත් කොටි ඩයස්‌පෝරාව විසින් ඔහුට ලියාදී තිබූ ප්‍රකාශය මානව හිමිකම් සමුළුව හමුවේ ප්‍රකාශ කෙරුණි.

සුන්දර්රාඡ් වින්ස්‌ලෝ මෙයට පෙර අපි මානව හිමිකම් සමුළුව තුළ දුටුවේ නැත. එහෙත් ශ්‍රී ලංකා රජය 2015 සම්මත වූ ජිනීවා යෝජනාව ප්‍රකාර ක්‍රියා කළේ නැති බවට ඔහු චෝදනා කළේය.

එසේම යුද්ධය අවසන් වී අට වසරක්‌ ගතවීමෙන් පසුත් ශ්‍රී ලංකා රජය ද්‍රවිඩයන්ට වධ හිංසා පමුණුවන බවට මේ ද්‍රවිඩ තරුණයා ශ්‍රී ලංකාවට එරෙහිව සාවද්‍ය ප්‍රකාශයක්‌ කළේය.

එම අවස්‌ථාවේ ඔහුට පසුපස අසුනේ සිටියේ රියර් අද්මිරාල් සරත් වීරසේකරයි. වන්නි මෙහෙයුම නිමවන විට නව හැවිරිදි වින්ස්‌ලෝ එල්ල කළ චෝදනාවට ප්‍රතිචාර දැක්‌වීමට ජිනීවාහි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට අවස්‌ථාව තිබුණත් අපේ තානාපති කාර්යාලයේ කිසිවෙක්‌ එවන් සාවද්‍ය චෝදනා බොරු යෑයි ප්‍රකාශ කිරීමට ඉදිරිපත් වූයේ නැත.

එසේම මානව හිමිකම් සමුළුවේ බලධාරීන් මේ ද්‍රවිඩ තරුණයාගෙන් ඔහුගේ අනන්‍යතාවය විමසුවේ නැත.

අනතුරුව මානව හිමිකම් කවුන්සිලයේ ලියාපදිංචිව තිබූ කොටි ඩයස්‌පෝරා සංවිධාන එකින් එක ශ්‍රී ලංකාවට එරෙහිව අසත්‍ය චෝදනා එල්ල කරනු ලැබීය.

ටුවරහර් ලාපෙන් නමින් හඳුන්වාගත් ප්‍රංශ ඊළාම් ඩයස්‌පෝරා සංවිධානය ශ්‍රී ලංකාවේ ද්‍රවිඩ ජනතාවට ස්‌වයං පාලනය ලැබෙනතුරු සාමකාමී ලෙස ජීවත් වීම සඳහා තාක්‍ෂණික සහය වාහම අවශ්‍ය බව කියා සිටියේය. ශ්‍රී ලංකා රජය යුක්‌තිය ලබාදීම ප්‍රමාද කර යුක්‌තිය ඉටුකර නැති බවට චෝදනා කළ මෙම ඊළාම් සංවිධානය 2015 ජිනීවා යෝජනාවට සම අනුග්‍රහයක්‌ දැක්‌වූ ශ්‍රී ලංකාව මාස 18 ක්‌ ගතවී ඇතත් මෙතෙක්‌ එම යෝජනාව ක්‍රියාත්මක කර නැති බව සඳහන් කළේය

.

ඉන් පසු ටැමිල්ස්‌ ඩී ප්‍රාන්ස්‌ නමැති ඊළාම් සංවිධානයේ නියෝජිතයා මානව හිමිකම් සමුළුව අමතමින් ශ්‍රී ලංකාව ජාත්‍යන්තර සහභාගිත්වයක්‌ සහිත විශේෂ අධිකරණයක්‌ ස්‌ථාපිත කර නැති බව කීවේය. ජනාධිපති සහ අගමැති ඇතුළු රජයේ නිලධාරීන් කිසිදු හමුදා නිලධාරියකුට එරෙහිව චෝදනා ඉදිරිපත් නොකරන බව පවසා ඇතැයි ද හෙතෙම කියා සිටියේය.

අනතුරුව ප්‍රංශ ලේ පොන්ට්‌ සංවිධානය ඉතා කපටි ලෙස ප්‍රකාශයක්‌ කරමින් සුඩානය, ටිමෝරය සහ බොස්‌නියාව වැනි රටවල ජනතාව මුලින් මානව හිමිකමක්‌ වූ ස්‌වයං පාලනය භුක්‌ති විඳින බව පවසමින් ඊළාම් ද්‍රවිඩයන්ට එම ස්‌වයං පාලන අයිතිය ලබාදෙන ලෙස ජාත්‍යන්තර ප්‍රජාවෙන් ඉල්ලා සිටින බව පළකළේය.

ප්‍රංශයේ සිට ක්‍රියාත්මක වන භාරතී සංස්‌කෘතික මධ්‍යස්‌ථානය නමැති ඊළාම් සංවිධානයේ නියෝජිතයාද මානව හිමිකම් සමුළුව අමතමින් යුද අපරාධ චෝදනා විමර්ශනය සඳහා වූ හයිබ්‍රිඩ් අධිකරණයට එකඟ වන ලෙස මානව හිමිකම් කවුන්සිලය ශ්‍රී ලංකාවට බලපෑම් කළ යුතු බව කීවේය.

ඉන්පසු ශ්‍රී ලංකාවට එරෙහිව හඬනැගුවේ මොරිටියන් දෙස්‌ ෙඩ්‍රායිට්‌ස්‌ නමැති මොරිටියානු සංවිධානයයි. මේ අප්‍රිකානු රාජ්‍ය නොවන සංවිධානයට ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ප්‍රකාශයක්‌ කිරීමට හෝ චෝදනා එල්ල කිරීමට හිමිකමක්‌ නැත. එහෙත් එම සංවිධානයේ නියෝජිතයා සමඟ කොටි ඩයස්‌පෝරා ක්‍රියාකාරීහු සාකච්ඡා කරන අයුරු අපි දුටුවෙමු.

එම සාකච්ඡාවේ ප්‍රතිඵලයක්‌ වූ මොරිටියන් සංවිධානයද ශ්‍රී ලංකාවට එරෙහිව හඬනගමින් මානව හිමිකම් කොමසාරිස්‌ගේ කාර්යාලයක්‌ ශ්‍රී ලංකාව ස්‌ථාපිත කළ යුතු බව පැවසීමය.

එම ප්‍රකාශයෙන් පසු හයවැනි ඊළාම් සංවිධානය වූ ටැමිල් උස්‌හගම් නමැති ඊළාම් සංවිධානය ශ්‍රී ලංකාව දෙකඩ කිරීමේ ස්‌වයං පාලන යෝජනාව ප්‍රකාශයට පත්කරනු ලැබීය.

සමාජයීය, සංස්‌කෘතික, සිවිල් සහ දේශපාලන හිමිකම් යන ක්‌ෂේත්‍ර සඳහා ස්‌වයං පාලනය ලබාදීමේ සාකච්ඡාවක්‌ මානව හිමිකම් කවුන්සිලය ආරම්භ කළ යුතු යෑයි එම සංවිධානය සඳහන් කළේය.

එසේම ද්‍රවිඩ මානව හිමිකම් රැකවලුන්ට මානව හිමිකම් කවුන්සිලයට පැමිණීමට ඉඩදිය යුතුයි යෑයි එම ඊළාම් සංවිධානය අවධාරණයෙන් කියා සිටියේය.

එක දිගටම ඊළාම් සංවිධානවලට මානව හිමිකම් සමුළුව ඇමතීමට ඉඩ ලැබීමද අපව පුදුමයට පත් කළේය. මානව හිමිකම් කවුන්සිලයේ රාජ්‍ය නොවන සංවිධාන කාර්යාලයේ දූෂිත ක්‍රියා සිදුවන බව මින් පැහැදිළි විය.

හත්වැනි ඊළාම් සංවිධානය වූ සෝෂෙයිට්‌ පෝ ඩෙවලොප්මන්ට්‌ ඇන්ඩ් කමියුනිටි එම්පවමන්ට්‌ සංවිධානයද ප්‍රකාශයක්‌ කරමින් ශ්‍රී ලංකා රජය ද්‍රවිඩයන්ට ස්‌වයං පාලනය ස්‌වෛරී භාවය සහ ද්‍රවිඩ අයිතීන් අහිමිකර ඇති බවට චෝදනා නැගීය.

මේ ප්‍රකාශයෙන් පසු මානව හිමිකම් සමුළුව ඇමතුවේ අටවැනි ඊළාම් සංවිධානයයි.

ඇසෝසිඒෂන් සොලිඩරටි ඉන්ටර්නැෂනල් පුවර් ඇප්‍රිකා නමැති අප්‍රිකානු සංවිධානය කොටි ඩයස්‌පෝරාවේ උපදෙස්‌ මත ශ්‍රී ලංකාවට එරෙහිව චෝදනා කරමින් ශ්‍රී ලංකාව තුළ විශාල ලෙස අතුරුදන් වීම් සිදුවන බවත් අතුරුදන් කිරීම් සිදුවන ලොව විශාලතම දෙවැනි රට ශ්‍රී ලංකාව බවත් කීවේය.

නව වැනි ඊළාම් සංවිධානය වූ එලයින්ස්‌ ක්‍රියේටිව් කමියුනිටි ප්‍රොජෙක්‌ට්‌ සංවිධානය ශ්‍රී ලංකාව ජාත්‍යන්තර සම්මුති ඉටුකිරීමට අපොහොසත් වී ඇති බව සඳහන් කරනු ලැබීය.

ඉන්පසු අනාජා නමින් හඳුන්වා ගත් රාජ්‍ය නොවන සංවිධානයක නියෝජිතයා ශ්‍රී ලංකා හමුදාව ජාති සංහාරයක්‌ සිදුකර ඇති නිසා ස්‌වාධීන ජාත්‍යන්තර විමර්ශනයක්‌ ආරම්භ කරන ලෙස මානව හිමිකම් කවුන්සිලයෙන් ඉල්ලීමක්‌ කළේය.

මෙම පසුබිම මැද ශ්‍රී ලංකාවට එරෙහිව යුද අපරාධ චෝදනා නගන මේ රාජ්‍ය නොවන සංවිධානයන්හි අබිරහස්‌ ක්‍රියාදාමය අපි විමර්ශඔනය කළේය.

තමිල් උස්‌හගම් සංවිධානය ක්‍රියාත්මක වන්නේ තමිල්නාඩුවේ සිටයි. ඔබ්සර්වටරි මොරිටානියා යනු සහරා කාන්තාරයේ ඇති බෙදුම්වාදී ප්‍රාන්තයක සිට ක්‍රියාත්මක වන සංවිධානයක්‌ වේ.

එසේම අනාජා යනු ප්‍රංශ ක්‍රිස්‌තියානි සංවිධානයකි. මේ රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරීන් මානව හිමිකම් කවුන්සිලයේ අවන්හල තුළදී කොටි ක්‍රියාකාරීන් හමුවී සාකච්ඡා පවත්වන අතර එකී සංවිධාන වෙනුවෙන් මානව හිමිකම් සමුළුව අමතන්නේ කොටි ඩයස්‌පෝරා ක්‍රියාකාරීන්ය.

කොටි ඩයස්‌පෝරාවේ මේ තක්‌කඩි වැඩපිළිවෙල යටතේ 35 වැනි මානව හිමිකම් සමුළුව වෙත ශ්‍රී ලංකාවට එරෙහිව වාර්තා අටක්‌ ඉදිරිපත් කර තිබුණි. අප තවදුරටත් කළ විමර්ශනයේදී හෙළි වූයේ විදේශ රාජ්‍ය නොවන සංවිධානවලට වෙන්කර ඇති කාල සීමාව මුදල් ගෙවා ඉල්ලාගත් ඊළාම්වාදීන් ශ්‍රී ලංකාවට යුද අපරාධ චෝදනා එල්ල කිරීමට එම කාලසීමාව ප්‍රයෝජනයට ගන්නා බවයි.

එහෙත් මේ තක්‌කඩි ක්‍රියාව ගැන මානව හිමිකම් කොමසාරිස්‌ සෙයිද් රාද් හුසේන් පමණක්‌ නොව ජිනීවාහි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයද නිහඬව සිටියි. මේ තත්ත්වය මත ශ්‍රී ලංකාවේ විදෙස්‌ගත දේශප්‍රේමීන්ට හඬක්‌ නැගීම සඳහා ඇත්තේ ලන්ඩන් නුවර සිට ක්‍රියාත්මක වන ඉන්ටර්නැෂනල් බුඩිස්‌ට්‌ රිලිප් ඕගනයිශේෂන් නමැති එකම සංවිධානය පමණකි.

එසේ වුවත් වැල්ලවත්තේ කින්රෝස්‌ මාවතේ සිට ක්‍රියාත්මක වන සී.එච්.ආර්.ඩී. සංවිධානය මානව හිමිකම් ගැන හඬනැගීමේ මුවාවෙන් ඊළාම්වාදීන් සමග එක්‌වී සිටී.

ශ්‍රී ලංකාවේ සිට එම රාජ්‍ය නොවන සංවිධානය නියෝජනය කරමින් මානව හිමිකම් ක්‍රියාකාරිනියන් යෑයි හඳුන්වා ගත් අරුල් වතානා, සුන්දර්රාඡ්, නිරන්ජලා, අරුලානන්දි මානව හිමිකම් ක්‍රියාකාරියකු මෙන්ම විපතට ලක්‌වූවකු බව පවසන ප්‍රභාකරන් සෙල්වරාඡ් සහ ප්‍රංශයේ සිට පැමිණි සුන්දරරාඡ් ප්‍රෙඩ්රික්‌ වින්ස්‌ලෝ ශ්‍රී සුනාජිනී සහ රොබට්‌ ත්‍යාගරාජා ජිනීවා වෙත පැමිණියහ.

මේ ඊළාම්වාදීන් පිරිස මෙහෙයවූයේ ප්‍රංශයේ සිටින මරියදාස්‌ බොස්‌කෝ නමැත්තායි.

මේ තත්ත්වය මැද පසුගිය මාර්තු මස ජිනීවා මානව හිමිකම් සමුළුව ආවරණය කිරීමට රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරිනී නිමල්කා ප්‍රනාන්දු සමඟ පැමිණ සිටි ඉංග්‍රීසි වෙබ් අඩවියක වාර්තාකාරිය මෙවර 35 වැනි සමුළුවට පැමිණ සිටියේ නැත. ඒ නිසා ගෝලීය ද්‍රවිඩ සංසදයට හා රියර් අද්මිරාල් සරත් වීරසේකරට එරෙහිව මඩ ප්‍රචාරවල යෙදීමට කොළඹ ඉංගී්‍රසි පුවත්පතක සේවය කරන ද්‍රවිඩ කොටි හිතවාදියකුට නොහැකි විය. ඔහු පසුගිය මාර්තු මස පුවතක්‌ පළකරමින් රියර් අද්මිරාල්වරයා ජිනීවා මානව හිමිකම් සමුළුව අමතන අවස්‌ථාවේ රටින් පිටත ඊළාම් ආණ්‌ඩුව සංවිධානයේ නියෝජිතයා සිනහ වූ බව පවසමින් රියර් අද්මිරාල්වරයා හෑල්ලුවට ලක්‌කිරීමට උත්සාහ කළේය.

මේ අතර ශ්‍රී ලංකා රජය තමනම ඉවත් කළ ගෝලීය ද්‍රවිඩ සංසදය ජුනි 21 දා ජිනීවා හානව හිමිකම් කවුන්සිලය වෙත දැනුම් දුන්නේ යුද අපරාධ චෝදනා විමර්ශනය සඳහා වූ ශ්‍රී ලංකාවේ සංක්‍රාන්ති අධිකරණයට ජාත්‍යන්තර විනිසුරුවන්ද ඇතුළත් කළ යුතු බව ඉල්ලීමක්‌ කළේය.

ඒ සමගම ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රී එම්. කේ. සුමන්තිරන් ප්‍රකාශයක්‌ කරමින් ජාත්‍යන්තර විනිසුරුවන් සහිත අධිකරණයට ශ්‍රී ලංකා රජය දෙවරක්‌ එකඟ වූ බව කියා සිටියේය.

සුමන්තිරන්ගේ මේ ප්‍රකාශයට මෙරට කිසිදු දේශපාලනඥයකු ප්‍රතිචාර දැක්‌වූයේ නැත. එවන් පසුබිමක්‌ මැද ජිනීවා යෝජනාව හෙවත් යුද අපරාධ චෝදනා විමර්ශනය සඳහා මානව හිමිකම් කවුන්සිලය ශ්‍රී ලංකා රජයට වසර දෙකක්‌ කල් දී ඇත.

එය හිටපු විදේශ ඇමැති මංගල සමරවීරගේ ඉල්ලීමකි. මෙවන් අවාසනාවන්ත තත්ත්වයක්‌ ඇති වූයේ ඩොලර් මත යෑපෙන එන්.ජී.ඕ. පරපුටුවන්ට ජිනීවා ගොස්‌ රිසිසේ සතුරුකම් කිරීමට රජය ඉඩදීමය.

ඊට හොඳම නිදසුන පසුගියදා මෙරටට පැමිණි එක්‌සත් ජාතීන්ගේ නියෝජිත මොනිකා පින්ටෝ දින හතක්‌ ශ්‍රී ලංකාවේ සැරිසරා කෙටුම්පත් කළ වාර්තාවයි. මේ වාර්තාව රජය ප්‍රතික්‌ෂේප කළත් ඊට අමුද්‍රව්‍ය සැපයුවේ යාපනයේ සහ කොළඹ රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරීන් බව තහවුරුවී ඇත.

එහෙත් අධිකරණ ඇමැති විජයදාස රාජපක්‍ෂ හැර රජයේ ප්‍රබලයන් මේ එන්.ජී.ඕ. ක්‍රියාකාරීන්ට දොස්‌ නගා නැත.

මොනිකා පින්ටෝ නමැත්තිය මානව හිමිකම් කවුන්සිලයට යොමුකළ වාර්තාවේ මෙලෙස දක්‌වා තිබේ.

1. උතුරු නැගෙනහිර නඩු තීන්දු සිංහල භාෂාවෙන් ප්‍රකාශයට පත්කිරීම.

2. ත්‍රස්‌තවාදී පනත ඉවත් කිරීම.

3. සැකකරුවකු අත්අඩංගුවට ගත් අවස්‌ථාවේ නීතිඥයකුට ඔහුව හමුවීමට ඉඩදීම.

ඇගේ මෙම වාර්තාවට සාවද්‍ය තොරතුරු සපයා ඇති රාජ්‍ය නොවන සංවිධානවලට එරෙහිව කිසිදු පියවරක්‌ ගැනීමට රජය අද වනතෙක්‌ ක්‍රියාකර නොමැත.

මෙය මවිතයක්‌ නොවේ. පසුගිය කාලයේ ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරිනී නිමල්කා ප්‍රනාන්දු සමඟ සැරිසැරූ රාජ්‍ය නොවන සංවිධාන ප්‍රධානියෙක්‌ අද ගුවන්විදුලි සංස්‌ථාවේ ප්‍රධානියා බවට පත්වී ඇත. තවත් රාජ්‍ය නොවන සංවිධාන ප්‍රධානියෙක්‌ රජයේ එන්.ජී.ඕ. මහ ලේකම් කාර්යාලයේ ප්‍රධානියායි.

ව්‍යාජ ලේඛන මත ඇමරිකාවට පළාගොස්‌ ආපසු පැමිණි එන්.ජී.ඕ. ක්‍රියාකාරියෙක්‌ ජනාධිපති මාධ්‍ය ඒකකයේ ක්‍රියාකරයි.

මේ තත්ත්වය මත කොළඹ හා යාපනයේ කොටි ඩයස්‌පෝරා ක්‍රියාකාරීන් ජිනීවා ගොස්‌ රජයට හා ආරක්‍ෂක හමුදාවට එරෙහිව ක්‍රියාකිරීම මවිතයක්‌ නොවේ.

මේ පසුබිම මැද 36 වැනි ජිනීවා මානව හිමිකම් සමුළුවට සැප්තැම්බර් 11 සිට 29 දක්‌වා පැවැත්වීමට තීරණය වී ඇත.

මේ වන විට කොටි හිතවාදී සංවිධාන 10 ක්‌ මානව හිමිකම් සමුළුව ඇමතීමට එකා පසුපස එකා ලෙස වෙලාව වෙන්කරගෙන තිබේ. මෙය දූෂණ ක්‍රියාවකි. ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ එන්.ජී.ඕ. මහ ලේකම් කාර්යාලය තුළ දූෂණ සිදුවන බවට හොඳම සාක්‌කිය එකී කොටි හිතවාදී සංවිධානවලට එක දිගටම සමුළුව ඇමතීමේ අවස්‌ථාව හිමිවීමයි.

මේ අතර රියර් අද්මිරාල් සරත් වීරසේකර 2 වැනි වරටත් මානව හිමිකම් සමුළුව ඇමතීමට ඉඩ ලැබීම ගැන කොටි ඩයස්‌පෝරා ක්‍රියාකාරීන් දැඩි ලෙස කෝප වී ඇත. එසේම ඉතාලියේ සිට ශ්‍රී ලාංකික දේශප්‍රේමීන් 20 කට අධික පිරිසකට ගෝලීය ශ්‍රී ලංකා සංසදයේ රැස්‌වීමට සහභාගි වීම සඳහා මානව හිමිකම් කවුන්සිලය තුළට ඒමට අවසර ලැබීම කොටි ඩයස්‌පෝරා ක්‍රියාකාරීන්ගේ මෙන්ම ඊළාම්වාදීන්ගේ කීකරු ගෝලයා වූ සුනන්ද දේශප්‍රිය හෙවත් රංජි මල්ලිගේ බරපතළ පරාජයකි.

පසුගිය කාලයේ මොවුන් මානව හිමිකම් කවුන්සිලය තුළ හැසිරුනේ තමන් මහා කෙරුමන් ලෙස සිතා ගනිමිනි.

එසේම මානව හිමිකම් ක්‍රියාකාරීන්ට හිරිහැර සහ තර්ජනය කරන බවට මොවුන් මානව හිමිකම් කොමසාරිස්‌ටද පැමිණිලි කරනු ලැබීය. ශ්‍රී ලංකාවේ එකම මාධ්‍ය චක්‍රවර්ති තම සැමියා වූ එක්‌නැලිගොඩ යෑයි සිතා කටයුතු කරන සන්ධ්‍යා නමැත්තියද මෙවර මානව හිමිකම් කවුන්සිලයේදී දක්‌නට නොලැබුණි. එහෙත් ශ්‍රී ලාංකික දේශප්‍රේමියන් ගැන චරපුරුෂ සේවයේ යෙදෙන එස්‌. වී. කිරුබාහරන් නමැති ඊළාම්වාදියා මානව හිමිකම් කවුන්සිලයේ අවන්හලේදී දක්‌නට ලැබුණි.

ජිනීවා මානව හිමිකම් කවුන්සිලය තුළ සැරිසරන තවත් සුවිශේෂ චරිතයක්‌ නම් බ්‍රිතාන්‍ය ජාතික ඩේවිඩ් වෙහෙලිය.

මානව හිමිකම් කවුන්සිලයේ සමාන්තර රැස්‌වීමේදී වීඩියෝ පටයක්‌ ප්‍රදර්ශනය කරමින් කොටි යුද අපරාධ එකින් එක හෙළිකිරීමට රියර් අද්මිරාල් සරත් වීරසේකර සහ හිටපු විශේෂ කාර්ය බළකා නිලධාරියකු වූ ජනිත් විමල ක්‍රියාකරද්දී ඩේවිඩ් වෙහෙලි නොසන්සුන් විය.

ඔහු විගස ශාලාවෙන් ඉවත්ව ගියේය. අනතුරුව මානව හිමිකම් සමුළුව අමතූ රියර් අද්මිරාල්වරයා හැකිනම් බ්‍රිතාන්‍යයට සහ ඇමරිකාවට එරෙහිව යුද අපරාධ චෝදනා විමර්ශනයට හයිබ්‍රිඩ් අධිකරණ ස්‌ථාපිත කරන ලෙස මානව හිමිකම් කොමසාරිස්‌ සෙයිද් රාද් හුසේද්ට අභියෝග කළේය.

එවන් අභියෝගයක්‌ ශ්‍රී ලංකා රජයේ නියෝජිතයකු මින්පෙර කර නැත. 35 වැනි ජිනීවා මානව හිමිකම් සමුළුව තුළ කොන්දක්‌ ඇති ශ්‍රී ලාංකික දේශප්‍රේමීන් පිරිසක්‌ එම කවුන්සිලයට ඉදිරිපත් වූ ශ්‍රී ලංකාවට එරෙහි වාර්තාව ප්‍රලාපයක්‌ බවට පවසමින් මානව හිමිකම් කොමසාරිස්‌ ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර කටයුතුවලට මැදිහත්වන බවට පැමිණිලි කිරීමට ද ක්‍රියාකළේය.

මෙවන් සිදුවීමක්‌ මින් පෙර මානව හිමිකම් කවුන්සිලය තුළ සිදුවී නොමැත. එසේම මානව හිමිකම් සමුළුවලට නොකඩවා එන උතුරු පළාත් සභා මන්ත්‍රී ආනන්දි සෂිධරන් හා ප්‍රභාකරන්ගේ මස්‌සිනා වූ එම්. කේ. සිවාජිලිංගම් රටින් පිටත ඊළාම් ආණ්‌ඩුවේ මනිවන්නන් සහ කොළඹ ද්‍රවිඩ මාධ්‍ය පාර්ශ්ව 35 වැනි මානව හිමිකම් සමුළුවට පැමිණීමෙන් වැළකී සිටියේය.

මානව හිමිකම් කවුන්සිලයේ අවන්හල තුළ සැරිසරන යාවජීව ක්‍රියාකාරිකයෙක්‌ වූ ගෝලීය ද්‍රවිඩ සංසදයේ නායක එමානුවෙල් පියනම සහ කැනඩා මන්ත්‍රී ගැරී ආනන්දි සංගරි සහ ඔහුගේ ඊළාම්වාදී තරුණියන් කණ්‌ඩායමද නොපැමිණීම මවිතයක්‌ විය.

මේ අතර රියර් අද්මිරාල් සරත් වීරසේකර පසුගිය ජුනි 21 දා ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේදී මානව හිමිකම් කොමසාරිස්‌ සෙයිද් රාද් හුසේන්ට අභියෝගයක්‌ කරමින් නුඹ අපේ රටේ අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් වන බවටත් හයිබ්‍රිඩ් අධිකරණයක්‌ ස්‌ථාපිත කර ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සංශෝධන ගෙනඑන ලෙසත් බලපෑම් කර ඇති බව කියා සිටියේය.

මේ අභියෝගය සෙයිද් රාද් හුසේන්ට බරපතළ පහරක්‌ විය.

මේ නිසා ජුනි 27 දා ලන්ඩන් නුවර නීති සංසදය අමතමින් රියර් අද්මිරාල්ගේ අභියෝගයට ප්‍රතිචාර දැක්‌වූ සෙයිද් රාද් හුසේන් කැකිල්ලේ තීන්දුවක්‌ දුන්නේය.

රියර් අද්මිරාල්ගේ ප්‍රකාශයට වගකිව යුත්තේ බ්‍රිතාන්‍ය අගමැතිනි තෙරේසා මේයි. ඇය මානව හිමිකම් නීති රීති සංශෝධනය කරන බව පැවසුවේ කෝපයට පත්වී අසහනකාරී තත්ත්වයකට පත්වීමෙන් මින් තහවුරු වන්නේ ජාත්‍යන්තර මානුෂීය නීතිය ඉලක්‌ක වීමයි. එසේම සාක්‍ෂි නැති වුණත් දඬුවම් කිරීමට ක්‍රියාකරන බව ඇය පවසා තිබෙනවා. ඇය මානව හිමිකම් බාධාවක්‌ යෑයි පැවසුවේ මන්ද?

තෙරේසා මේගේ මේ ප්‍රකාශය ගැන මම කණගාටුවට පත්වෙනවා යෑයි කලබලයට පත් සෙයිද් රාද් හුසේන් පළකළේය. මානව හිමිකම් නීතිරීති සංශෝධනය කරන බවට තෙරේසා මේ කළ ප්‍රකාශය නිසා තමා බියට පත්වූ බවද ඔහු සඳහන් කළේය.

(උපුටාගැනිම2017.07.02 ඉරිදා දිවයින පුවත්පතෙන්)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here