මුලතිව් සිංහල ජනාවාස ඉදිකිරීමට එරෙහිව විරෝධතා

0
682

මුලතිව් දිස්‌ත්‍රික්‌කයේ සිංහල ජනාවාස ඉදිකිරීමට විරෝධය පළකරමින් උතුරේ ස්‌වෙච්ඡා සංවිධාන කීපයක්‌ 30දා උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයාගේ කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක නිරත වූහ.

යාපනයේ කයිතඩි ප්‍රදේශයේ පිහිටි ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේෂ්වරන් මහතාගේ කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයේ නිරත පිරිස අනතුරුව ප්‍රධාන අමාත්‍යවරයාට ලිපියක්‌ද භාරදී තිබේ.

එම ලිපියෙන් ඉල්ලා ඇත්තේ මුලතිව් දිස්‌ත්‍රික්‌කයේ මායාපුර නමින් අලුතින් සිංහල වැසියන් පදිංචි කෙරෙන ජනාවාසයද නායාරු, කෝකිලායි, බෝගස්‌වැව යන ප්‍රදේශවල දකුණේ සිංහල වැසියන් රැගෙන විත් පදිංචි කරවීමද වහාම නතර කිරීමට පියවර ගන්නා ලෙසයි.

මේ කිසිදු වැසියෙකු හෝ ඔවුන්ගේ මුල් ඥතීන් උතුරේ කිසිදු පළාතක පෙර පදිංචි වී නොසිටි බව විරෝධතාකරුවෝ කියති. මෙය හුදෙක්‌ම උතුරේ සිංහල දේශපාලන බලය වැඩි කරගැනීම පිණිස ගෙන යන දේශපාලනික වැඩපිළිවෙළක්‌ බවද ලිපියේ සඳහන් කොට තිබේ.

මේ සිංහල ජනාවාස ඇති කිරීම සම්බන්ධයෙන් විරෝධය පළ කෙරෙන යෝජනාවක්‌ උතුරු පළාත් සභාවේද සම්මත වී ඇති බැවින් මුලතිව් දිස්‌ත්‍රික්‌කය ඇතුළුව උතුරේ සිංහල වැසියන් බලහත්කාරයෙන් පදිංචි කරවීම වහාම නතර කරන ලෙස ඉල්ලා තිබේ.

මීට අමතරව යුද සමයේදී අතුරුදන් වූ පුද්ගලයන් සම්බන්ධයෙන් හා දේශපාලන සිරකරුවන් සම්බන්ධයෙන් මැදිහත් වී කටයුතු කොට රජයෙන් විසඳුමක්‌ ලබාදෙන මෙන්ද විරෝධතාවට සහභාගි වූ පිරිස ප්‍රධාන අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක්‌ කොට තිබේ.

දිනසේන රතුගමගේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here