මෙරට ව්‍යවස්ථාව සංශෝධනය කරන්න දෙමළ ඩයස්පෝරාවෙන් උපදෙස් ගන්නවා

0
826

 

සපුමල් ජයසේන

දෙමළ ඩයස්පෝරාව විසින් ශ්‍රී ලංකාව බෙදා වෙන් කිරීම සඳහා ජාත්‍යන්තර වශයෙන් සැලසුම් කර ඇති සියලු කුමන්ත්‍රණ ව්‍යර්ථ කරන බව “ගෝලීය ශ්‍රී ලංකා සංසදයේ” ලේකම් යසස් ධර්මදාස මහතා පවසයි.
ධර්මදාස මහතා මෙසේ පැවසුවේ රාජගිරියේ පිහිටි ජාතික සංවිධාන සම්බන්ධීකරණ කාර්යාලයේ ඊයේ (29දා) පැවැති මාධ්‍ය හමුවේදීය.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා මෙසේද පැවැසීය.

“මේ වන විට දෙමළ ඩයස්පෝරාව ජාත්‍යන්තරය තුළ ඉතාමත් ප්‍රබල තත්ත්වයකයි ඉන්නේ. ඔවුන් අපේ රට දෙකඩ කිරීමට ලොකු වෙහෙසක් දරනවා. යුද්ධයෙන් ඊළම දිනා ගැනීමට නොහැකිවූ පසු, ඔවුන් එය ලබා ගැනීමට සැරසෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් හරහායි. එංගලන්තය, ස්විට්සර්ලන්තය ආදී රටවල සංචාරය කරන ඇතැම් ජේ‍යෂ්ඨ මැති ඇමැතිවරුන් සහ විද්වතුන් දෙමළ ඩයස්පෝරාවේ නියෝජිතයන් හමුවී සාකච්ඡා කරනවා.
ලංකාවේ ජනවාර්ගික ගැටලුවක් තිබෙනවා කියලානේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කරන්න හදන්නේ. ව්‍යවස්ථාව සංශෝධනය සඳහා උපදෙස් ලබා ගන්නත් යෝජනා ලබාගන්නත් අපේ රටේ උදවිය බටහිර රටවලට ගිහින් දෙමළ ඩයස්පෝරාව හමුවෙනවා.

මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සඳහා ජාතික සංවිධාන දහසකට අධික සංඛ්‍යාවකින් යෝජනා ඉදිරිපත් කරලා තිබෙනවා. නමුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක කමිටුව, විදේශ රටවල සිටින සුළුතරයක් නියෝජනය කරන්නාවූ දෙමළ ඩයස්පෝරාවේ යෝජනාවලට වැඩි අවධානයක් යොමු කර ඇති බව පෙනෙනවා.
දෙමළ ඩයස්පෝරාවේ බෙදුම්වාදී ක්‍රියාකාරකම්වලට එරෙහිව ජාත්‍යන්තරයේ හඬක් නැඟීමට තමයි “ගෝලීය ශ්‍රී ලංකා සංසදය” පිහිටුවා තිබෙන්නේ. මේ සංසදයට ජාති භේදයකින් තොරව විදේශ රටවල සිටින සියලුම ජාතීන්ට අයත් ශ්‍රී ලාංකිකයන් එකමුතුවී සිටිනවා. ඇමෙරිකාව, යුරෝපය, ඕස්ට්‍රේලියාව හා මැද පෙරදිගට අයත් රටවල් විශාල සංඛ්‍යාවක වෙසෙන ශ්‍රී ලාංකිකයන් “ගෝලීය ශ්‍රී ලංකා සංසදයට” එක්වී සිටීම ගැන අපට සතුටුයි.

පසුගියදා ජිනීවා නුවර පැවැත්වුණු එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ සැසිවාරයට සහභාගි වී ලංකාවට එල්ල වී ඇති අභූත යුද අපරාධ චෝදනාවලට පිළිතුරු ලබාදීමට හැකි වීම “ශ්‍රී ලංකා ගෝලීය සංසදය” මෑතකදී අත්පත් කරගත් ලොකු ජයග්‍රහණයක් ලෙසයි අප දකින්නේ.
“ගෝලීය ශ්‍රී ලංකා සංසදයේ” ව්‍යාපෘති සම්බන්ධීකරණ ලේකම් අජන්ත ප්‍රේමරත්න සහ එම සංසදයේ ශ්‍රී ලංකා සම්බන්ධීකාරක නීතිඥ නුවන් බැල්ලන්තුඩාව යන මහත්වරුද මෙහිදී අදහස් දැක්වූහ.

(By mawbima2017-06-30)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here