යාපනය සන්සුන් කිරීම

0
453

ෆුල් ෆේස්‌ හෙල්මට්‌ යතුරුපැදිකරුවන් යාපනයේ භීෂණය ඇතිකර තිබේ. 2009 මැයි 19 වැනිදා අවසන් කෙරුණු ත්‍රස්‌ත සමය යළි ඇති කිරීමට මේ නොහික්‌මුණු දාමරිකයන් පිරිස යළි උත්සාහ දරන්නේද? සංහිඳියාව ගැන ප්‍රශස්‌ති ගායනා කිරීමෙන් පමණක්‌ උතුරේ සාමය ආරක්‍ෂා කළ නොහැකිය. උතුරට එක්‌ නීතියක්‌ හා දකුණට තවත් නීතියක්‌ ක්‍රියාත්මක විය යුතු නැත. හිටපු කොටි සාමාජිකයන්ට යළි භීෂණයක්‌ ඇති කරන්නට ඉඩදී හමුදාව කඳවුරු තුළට පමණක්‌ සිරකර තබන්නේ නම් එයින් නීතිය හා සාමය ආරක්‍ෂා කළ හැකි නොවේ. ජිනීවා මානව හිමිකම් කොමිෂන් සභාවේ උදහසට ලක්‌වේ යෑයි කියා ආරක්‍ෂක හමුදා උතුර නැගෙනහිර කඳවුරු තුළට පමණක්‌ සීමා කිරීමෙන් යහපතක්‌ අත්ව තිබේද? මේ ගැන ආණ්‌ඩුව බරපතළ ලෙස අවධානය යොමුකළ යුතුය.

යාපනයේ ආරක්‍ෂාව විශේෂ කාර්ය බළකාය වෙත පැවරීමේ පුවත ඊයේ අප පුවත්පතේ එක්‌ ප්‍රධාන පුවතක්‌ විය. යාපනය අර්ධද්වීපය පුරා වර්ධනය වෙමින් පවතින ප්‍රචණ්‌ඩ ක්‍රියා මර්දනය කර එම ප්‍රදේශයට පූර්ණ ආරක්‍ෂාවක්‌ සැලසීම පොලිස්‌ විශේෂ කාර්ය බළකාය වෙත පවරා ඇති බව එම පුවතේ සඳහන් විය. ආවා කල්ලිය යළි ක්‍රියාත්මක වී කෝපායි පොලිසියේ දෙදෙනකු කපා කොටා පලාගිය පසු සමස්‌ත පොලිසියම කැළඹීමකට පත්විය. 83 ට පෙර මතුවූ සිදුවීම් යළි යළිත් සිදුවන්නේද? කෝපායි කොකුවිල් මාර්ගයේ නන්දුවිල් අම්මාන් කෝවිල අසලදී 11 දෙනකුගෙන් යුතු කල්ලියකගේ ප්‍රහාරයට බිලිවීමට සිංහල හා දෙමළ පොලිස්‌ නිලධාරීන් දෙදෙනකුට සිදුවී ඇත. මේ දෙදෙනා තවමත් යාපනය රෝහලේ ප්‍රතිකාර ලබති.

යාපනයේදී පොලිස්‌ නිලධාරීන් ප්‍රහාරයට ලක්‌වූ පළමු වතාව මෙය නොවේ. මේ සිදුවීම වාර්තා වන්නේ යාපනයේ මහෙස්‌ත්‍රාත්වරයාගේ ආරක්‍ෂක පොලිස්‌ නිලධාරියා මරා දමා එහි උණුසුම යන්නටත් මත්තෙනි. උතුර ආවා කල්ලියට බිලිදී හමුදාවට කඳවුරු තුළට වී හෝ පොලිසියට තම සේවා ස්‌ථානයට වී සිටීම පිළිගත හැකි දෙයක්‌ නොවේ. මේ අරාජික තත්ත්වයට වහා පිළියම් යෙදිය යුතුය. මේ කලහකාරීන් බහුතරය හිටපු කොටි සාමාජිකයන් වීම තවත් බරපතළ ප්‍රශ්නයකි. විපක්‍ෂ නායක ආර්. සම්බන්ධන් මහතා පවා ප්‍රකාශ කර සිටියේ පොලිසියට පහර දෙන මෙම මැර කල්ලි අත්අඩංගුවට ගැනීමට වහා ක්‍රියාකළ යුතු බවයි. උතුර යළි අස්‌ථාවර වීම ගැන විපක්‍ෂ නායකවරයාද කනගාටුවෙන් පසුවන බව පැහැදිලිsය.

එසේ නම් ආරක්‍ෂක ඇමැති ලෙස ජනපතිවරයාට හමුදාව යළිත් සක්‍රිය සේවයට කැඳවීමට සිදුවේ. හමුදාව යළි යාපනයේ මුර සංචාරවල යෙදීම සංහිඳියාවට බාධාවක්‌ නොවේ. සංහිඳියාව කඩා බිඳ දමන්නේ ආවා කල්ලියයි. දැන් පොලිස්‌ නිලධාරීන් ඉලක්‌ක කරන මේ දාමරිකයන් හෙට හමුදා කඳවුරුවලට ගල්ගසනු ඇත. පහරදෙනු ඇත. යාපනයේ සාමය ආරක්‍ෂා කිරීම සඳහා විශේෂ කාර්ය බළකාය පමණක්‌ නොව අවශ්‍ය නම් ත්‍රිවිධ හමුදාවම හෝ යෙදවීමේ වරදක්‌ නැත.

උතුර යළි අස්‌ථාවර වුවහොත් එයින් සිදුවන්නේ රටම අස්‌ථාවර වීමයි. ජාතික ආරක්‍ෂාව බිල්ලට දී සංහිඳියාව ගැන කතා කිරීමෙන් පමණක්‌ කිසිදු ප්‍රයෝජනයක්‌ අත් නොවේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here