යුද අපරාධ චෝදනා එල්ල කිරීමේ පසුබිමේ ඩයස්‌පෝරාව සිටිනවා…

0
378

ජෙනරල් ජගත් ජයසූරිය

කීර්ති වර්ණකුලසූරිය

* ඇමරිකාවට යැමට වීසා ලබාදී නැහැ.

* හිටපු ඇමරිකානු තානාපතිනි හිටපු හමුදාපතිට
එරෙහිව රහස්‌ වාර්තාවක්‌ යවලා

යස්‌මින් සුකාට ප්‍රාන්සස්‌ හැරිසන් සහ කැලම් මැක්‌රේ එකතුවේ
පැමිණිලිකාරිය – එක්‌සත් ජාතීන්ගේ
හිටපු නිලධාරිනි යස්‌මින් සුකා

සාක්‍ෂිකරුවෝ – හිටපු කොටි ත්‍රස්‌තවාදී කණ්‌ඩායමක්‌
පැමිණිල්ල – යුද අපරාධ සිදුකිරීම
චුදිත – ජෙනරාල් ජගත් ජයසූරිය
අනුග්‍රහය – කොටි ඩයස්‌පෝරාව ප්‍රමුඛ ඩොලර් අරමුදල් ලබන රාජ්‍ය නොවන සංවිධාන පහක්‌

 

අතුරුදන් වූවන්ගේ ජාත්‍යන්තර දිනය අගෝස්‌තු 30 දාට යෙදී තිබිණි. මෙදින කොටි ඩයස්‌ පෝරාවේ කොන්ත්‍රාත්කාරියක්‌ වූ යස්‌මින් සුකා ප්‍රමුඛ ලතින් ඇමරිකානු සංවිධාන පහක්‌ එක්‌ව මේජර් ජනරාල් ජගත් ජයසූරිය යුද අපරාධ කරන ලද බවට නඩුවක්‌ ගොනු කරනු ලැබූහ. මේ නඩු ගොනුකරනු ලැබුවේ බ්‍රසීලය, කොලම්බියාව සහ පීරු යන රටවල්වලය.

කොලම්බියාවේ පාත් ගරිල්ලා සංවිධානය යුද අපරාධ රැසක්‌ කළේය. පීරු රාජ්‍යයේ ෂයිනින් පාත් සංවිධානය ද බිහිසුණු අපරාධ සිදුකරනු ලැබීය. එහෙත් එම සංවිධානවල නායකයන්ට හෝ එකී රටවල හමුදා ප්‍රධානීන්ට එරෙහිව යුද අපරාධ චෝදනා එල්ල වූයේ නැත. එහෙත් වත්මන් රජය බලයට පැමිණීමෙන් පසු අප ජාත්‍යන්තර ප්‍රජාව සමග සුහදව කටයුතු කළ යුතු බව පැවසූ රජයේ බලධාරීහු එක්‌සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතයන්ට ත්‍රස්‌තවාදීන් සිටින සිරගෙවල් මෙන්ම හමුදා කඳවුරුවල ද දොරවල් විවෘත කරනු ලැබීය.

පසුගියදා මෙරටට පැමිණි එක්‌සත් ජාතීන්ගේ විමර්ශක බෙන් එමර්සන්ට ද කොටි ත්‍රස්‌තවාදීන් හමු වී සාකච්ඡා කරගැනීමට හා වව්නියා හමුදා කඳවුර නිරීක්‍ෂණය කිරීමට ඉඩ ලැබිණි.

අද එහි ප්‍රතිඵලය ඇස්‌ පනාපිටම පැහැදිලිය. සත්‍ය හා යුක්‌තිය නමැති අප්‍රිකාවේ ජොහැන්ස්‌බර්ග් සිට ක්‍රියාත්මක එන්ජීඕ සංවිධානය මෙහෙයවන යස්‌මින් සුකා නමැති කොටි කොන්ත්‍රාත්කාරිය ශ්‍රී ලංකාවේ හිටපු හමුදා නායකයකුට නඩු පවරා ඇත්තේ ලතින් ඇමරිකානු රටවලය. ඒ සඳහා ඇය භාවිතා කර ඇත්තේ විශ්ව සම්මුතිය නමැති සම්මුතියයි. එහිදී ඇයට ස්‌පාඤ්ඤ නීතිවේදියකු වූ කස්‌ත්‍රෙස්‌තා නමැත්තා සහය වී ඇත.

මෙම නඩු පැවරීමත් සමගම ජර්මනියේ සිට ක්‍රියාත්මක වන ඡේ. ඩී. එස්‌. නමැති එක්‌ අයකුට සීමා වූ ඡේ. ඩී. එස්‌. සංවිධානය ජෙනරාල් ජගත් ජයසූරිය බ්‍රසීලයෙන් පැන ගිය බවට සාවද්‍ය ප්‍රචාරයක්‌ දියත් කළේය.

එහෙත් මේ ඡේ. ඩී. එස්‌. සංවිධානය මෙහෙයවන්නේ කොටින්ගේ දේදුන්න පත්‍රය සංස්‌කරණය කළ කොටි හිතවාදියායි. ත්‍රස්‌ත මර්දන ඒකක මොහුව සොයද්දී විගස ජර්මනියට පැන දේශපාලන රැකවරණ ලබා ගත්තේය.

මේ පසුබිම මැද යස්‌මින් සුකාට මේජර් ජනරාල් ජගත් ජයසූරියට එරෙහිව නඩු ගොනු කිරීමට අමුද්‍රව්‍ය සැපයුවේ බෙන් එමර්සන්ය.

එමර්සන් වව්නියාවේ ජෝශප් කඳවුරද විමර්ශනයට ලක්‌ කළේය. එසේම අනුරාධපුර සහ වව්නියා සිරගෙවල්වල සිටි කොටින්ගෙන් කටඋත්තර පවා ලබාගෙන ඇත. එහෙත් රජය බලා සිටියේය.

එමර්සන් ලබාගත් එම කටඋත්තර යස්‌මින් සුකා වෙත ලැබී තිබේ. සුකා හරියටම අතුරුදන් වූවන්ගේ ජාත්‍යන්තර දිනය යෙදී ඇති දිනයේ නඩුව ගොනු කිරීමට ක්‍රියාකළාය.

එහෙත් යස්‌මින් සුකා සිටි දකුණු අප්‍රිකාවේ බෝතා රජයත් අප්‍රිකානු කොන්ග්‍රසයත් බිහිසුණු අපරාධ සිදුකර ඇත. එසේ වුවත් ඇය ලතින් ඇමරිකානු රටවලදී අප්‍රිකානු කොන්ග්‍රසයට හා බෝතා රජයේ හිටපු හමුදා ප්‍රධානීන්ට නඩු පැවරීමක්‌ කළේ නැත.

එසේ වුවත් කොටි ඩයස්‌පෝරාව ඇයට විශාල කොන්ත්‍රාත්තුවක්‌ ලබාදී ඇත. ඒ සාවද්‍ය චෝදනා මත වන්නි හමුදා නායකත්වයට යුද අපරාධ චෝදනා එල්ල කිරීමයි.

ශ්‍රී ලංකා හමුදාවට එරෙහිව සාවද්‍ය විමර්ශන වාර්තා 15 කට වඩා මානව හිමිකම් කවුන්සිලයට යවා ඇති යස්‌මින් සුකා කොටි සිදු කළ යුද අපරාධ ගැන එකම වාර්තාවක්‌වත් සකස්‌කර නැත. ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ ශාලාවකදී ඇය නවතිවු නමින් වාර්තාවක්‌ ප්‍රකාශයට පත් කරමින් ශ්‍රී ලංකා හමුදාව යුද අපරාධ සිදුකළ බවට චෝදනා කළාය.

එහිදී ඇයට දායක වූයේ 1971 කැරැල්ලේ හිටපු කැරලිකරුවෙකි. මේ කැරලිකරුවා ජිනිවා නුවර සිට විටින් විට ශ්‍රී ලංකාවට පැමිණෙයි. කොටි ගුවන්විදුලියට බෝම්බ ප්‍රහාර එල්ල වූ විට හඬා වැලපුනේ මොහුයි. මේ තත්ත්වය මැද යස්‌මින් සුකාගේ ආධාරකරුවන් හඳුනා ගැනීම පහසු වනු ඇත. මේ පසුබිම මැද මේජර් ජනරාල් ජගත් ජයසූරියට එල්ල කර ඇති සාවද්‍ය චෝදනා මෙලෙස දැක්‌විය හැක.

1. රෝහල්වලට ප්‍රහාර එල්ල කිරීම,

2. වධහිංසා සහ ලිංගික ප්‍රචණ්‌ඩ ක්‍රියා,

3. බලහත්කාරී අතුරුදන් කිරීම සහ ඝාතන සිදුකළ හමුදා ඒකකවල ආඥපති ලෙස ක්‍රියාකිරීමයි.

ජෙනරාල් ජගත් ජයසූරියට එරෙහිව ඉදිරිපත් වූ යුද අපරාධ චෝදනාවට ඇතුළත් කර තිබූ ලියවිල්ල.
මේ අතර යස්‌මින් සුකා ගොනුකර ඇති නඩුවලින් 40000 ක්‌ අතුරුදන් කළ බවට චෝදනා නගා ඇත. එහෙත් මේ හතළිස්‌දහසක පිරිසගේ ගම් නම් නැත. ඔවුන් පදිංචිව සිටි ස්‌ථානද නොමැත. එසේ නම් අතුරුදන් වූවෝ අවතාරද? 40000 ක පිරිසක්‌ අතුරුදන් කළා නම් ඔවුන්ගේ සිරුරු වළ දැමුවේ කොහේද? මින් තහවුරු වන්නේ මළසිරුරු නොමැතිව ඝාතන සිදුවූ බව කියමින් නඩු පැවරීමයි.

මේ හැර වන්නි මෙහෙයුමට අදාළ හමුදා නායකයකුව ලතින් ඇමරිකාවු රටවල අධිකරණ හමුවේ නඩු පැවරීමට හැකියාවක්‌ තිබේද? ශ්‍රී ලංකා හමුදාව සටන් කළේ ත්‍රස්‌තවාදී පිරිසක්‌ සමගය.

එහෙත් ත්‍රස්‌තවාදී ලේබලය ඉවත් කර සටන් වැදුනේ ද්‍රවිඩ සිවිල් වැසියන්ට එරෙහිව බවත් යුද අපරාධ සිදු කළ බවට ද චෝදනා එල්ල කර ඇත. එසේම ලතින් ඇමරිකාවේ අධිකරණවලට ශ්‍රී ලංකාවේ හමුදා නායකයකුට එරෙහිව නඩු දැමිය හැකිද? ශ්‍රී ලංකාව ස්‌වෛරී රාජ්‍යයකි. මේ අන්දමට ඇමරිකානු ජනාධිපති ට්‍රම්ප් රටවල් කීපයක ජනතාවට ඇමරිකාවට ඒම තහනම් කිරීම ගැන ලතින් ඇමරිකානු අධිකරණවලදී නඩුවක්‌ විභාග කළ හැකිද?

මෙවන් පසුබිමක්‌ මැද ජෙනරාල් ජගත් ජයසූරියට එරෙහිව මෙවන් අභූත චෝදනා නගමින් නඩු පැවරීමට හැකි වී ඇත්තේ විදේශ ඩොලර් කාක්‌කන්ට සහ එක්‌සත් ජාතීන්ගේ නියෝජිතයන්ට ශ්‍රී ලංකාවේ කටයුතු විමර්ශනය කිරීමට දොර විවෘත වීමයි.

එසේම කොළඹ සහ යාපනයේ එන්. ජී. ඕ. ක්‍රියාකාරීන්ට ද ජිනීවා මානව හිමිකම් කවුන්සිලය හමුවට ගොස්‌ ශ්‍රී ලංකා හමුදාවට එරෙහිව යුද අපරාධ චෝදනා ඉදිරිපත් කිරීමට ද ඉඩ ලැබී ඇත.

මේ අතර යස්‌මින් සුකා ජෙනරාල් ජගත් ජයසූරියට එරෙහිව එල්ල කළ යුද අපරාධ චෝදනා පසුබිමේ කොටි ඩයස්‌පෝරාවෙන් හිටපු බී. බී. සී. වාර්තාකාරි ප්‍රාන්සස්‌ හැරිසන් සහ චැනල් පෝ වීඩියෝ පටය නිපදවූ කැලම් මැක්‌රේ ද සිටී. ඔවුන්ද විගස ප්‍රකාශයක්‌ කරමින් ජගත් ජයසූරිය බ්‍රසීල අධිකරණය හමුවේ පෙනී සිටිය යුතු බව කියා සිටියේය. ඊට අමතරව බ්‍රිතාන්‍යයේ සිට ක්‍රියාත්මක වන සර්වපාක්‌ෂික පාර්ලිමේන්තු කණ්‌ඩායමද නිවේදනයක්‌ කරමින් ජගත් ජයසූරිය යුද අපරාධ සිදුකර ඇති බවට චෝදනා කළහ.

මෙලෙස යස්‌මින් සුකාට හිටපු හමුදාපති මෙන්ම බ්‍රසීලයේ තානාපති ලෙස කටයුතු කළ ජගත් ජයසූරියට එරෙහිව නඩුවක්‌ ගොනු කිරීමට ඉඩ ලැබුණේ යුද අපරාධ චෝදනාවලට ලක්‌වූවන්ට නඩු පැවරීම සඳහා එරට නීති පද්ධතියෙන් ඉඩ ලැබීමය.

බ්‍රසීලය ජාත්‍යන්තර විශ්ව සම්මුතියට අත්සන් කිරීම නිසා එලෙස විදේශික හමුදා නිලධාරීන්ට ඔවුන් නඩු පැවරීමේ අවසරය ලැබී ඇත.

මේ අතර තමන්ට එරෙහිව නගා ඇති යුද අපරාධ චෝදනා පිළිබඳව ජගත් ජයසූරිය පැවසුවේ එම ක්‍රියාදාමය පසුබිමේ ඩයස්‌පෝරාව සිටින බවයි. වන්නි මෙහෙයුමේ නායකත්වය දැරුවේ සරත් ෆොන්සේකා මිස තමා නොවන බවද හෙතෙම කියා සිටියේය. විදුලි පුටුව නැති බවට ප්‍රකාශ වුවත් මෙවන් සාවද්‍ය චෝදනා එල්ලවීම පුදුමයක්‌ බවත් ඔහු තවදුරටත් දන්වා ඇත. තමාට එරෙහිව ඇමරිකාව වීසා ලබාදීම ප්‍රතික්‍ෂේප කළ බවද ජෙනරාල් ජගත් ජයසූරිය තවදුරටත් පළකර ඇත.

හිටපු හමුදාපතිවරයාට ඇමරිකාවට යැමට වීසා ලබා නොදීමේ හේතූන් ඇමරිකානු තානාපති කාර්යාලය හෙළිකර නැත.

එහෙත් හිටපු හමුදාපතිට එරෙහිව හිටපු ඇමරිකානු තානාපතිනි පැට්‌ටි්‍රෂියා බුටේනිස්‌ ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව වෙත වාර්තාවක්‌ එවා තිබූ බව වාර්තා විය.

මේ පසුබිම මැද හිටපු හමුදාපතිවරයාට එල්ල වී ඇති සාවද්‍ය යුද අපරාධ චෝදනා ගැන මෙරට විදේශ කටයුතු බලධාරීන් බ්‍රසීල රජය වෙත සිය විරෝධය දක්‌වමින් වාර්තාවක්‌ යෑවීමට ක්‍රියාකළ යුතුව ඇතත් එවැන්නක්‌ සිදුවී නැත. තමාට එල්ල වී ඇති බොරු චෝදනා ගැන ජගත් ජයසූරිය හිටපු විදේශ කටයුතු ලේකම් ඇසල වීරකෝන් වෙත දන්වා තිබූ බවද අනාවරණය වී ඇත.

එසේම මෙයට මාස දෙකකට පෙර රටින් පිටත ඊළාම් ආණ්‌ඩුවේ නියෝජිතයන් පිරිසක්‌ ස්‌පාඤ්ඤයට ගොස්‌ නීතිවේදී කස්‌ත්‍රෙසනා හමු වී ඇත. ජගත් ජයසූරියට එරෙහිව බ්‍රසීල අධිකරණය හමුවේ නඩු පවරා ඇත්තේ කස්‌ත්‍රෙස්‌තාය.

මේ අතර වසර අටකට පසු ජගත් ජයසූරියට එරෙහිව එකවරම යුද අපරාධ චෝදනා එල්ල කිරීමට යස්‌මින් සුකා ක්‍රියාකිරීම ද අභිරහසකි.

ඇය පසුගිය වසරේදී එක්‌සත් ජාතීන්ගේ සංවිධානයට ලිපියක්‌ යවමින් ශ්‍රී ලංකා හමුදාව යුද අපරාධකරුවන් නිසා සාම සාධක බලකායට බඳවා ගැනීමෙන් වලකින ලෙස ඉල්ලා සිටියාය. ඉන්පසු මානව හිමිකම් කොමසාරිස්‌ සෙයිද් රාද් හුසේන්ට ද ලිපියක්‌ යවමින් වන්නි මෙහෙයුමේ හමුදා නායකයන් යුද අපරාධකරුවන් බවට බොරු වාර්තාවක්‌ යෑවීමට ද ක්‍රියා කළාය.

යස්‌මින් සුකා පසුබිමේ මෙරට එන්. ජී. ඕ. ප්‍රධානියෙක්‌ ද සිටියි. මොහු ද්විත්ව චරිතයක්‌ මවයි. 1971 හිටපු කැරලිකරුවකු වූ මේ තැනැත්තා යස්‌මින් සුකා වෙනුවෙන් ඇගේ සාවද්‍ය වාර්තා සිංහලෙන් ප්‍රකාශයට පත් කිරීමේ කඩිනම් ක්‍රියාදාමය මෙහෙයවයි.
(2017/09/03 පලවූ ඉරිදා දිවයින පුවත්පතෙන් උපුටා ගන්නා ලදී)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here