යුරෝපා අධිකරණය කොටි සුරතලයට නැවතත් සැරසෙයි

0
414

 

 

 

 

 

2006 වසරේ ජුලි 21 දා කල්ලාර්හි හමුදා බළකායේ ප්‍රධානියාවූ ලුතිනන් කර්නල් සරත් විඡේසිංහ වෙතින් ත්‍රිකුණාමල 22 වැනි බළකායේ අණදෙන නිලධාරියාවූ බ්‍රිගේඩියර් මෙන්දක සමරසිංහ වෙත ලත් හදිසි පණිවුඩයකින් දැක්‌වූයේ මුලතිව්හි රජයේ පාලනය යටතේ පවතින වාරිමාර්ග ඇලවල්වල ජලය පහත බැස ඇති බවයි.

මේ වනවිට නෝර්විජියානු ඊනියා සටන් විරාම ගිවිසුම හා අවට ප්‍රදේශය යුද හමුදාවේ හෝ කොටි සංවිධානයේ විමර්ශනයට ලක්‌වූයේ නැත.

ගොවීන්ගෙන් ලත් පැමිණිලි නිසා බ්‍රිගේඩියර් සමරසිංහ කලාපය බාර වාරිමාර්ග නිලධාරියාට පැවසුවේ කල්ලාර් නගරයේ සිට සැතපුම් 2 ක්‌ ඈතින් පිහිටි මාවිල්ආරු සොරොව්වේ තත්ත්වය විමර්ශනයට ලක්‌කරන ලෙසයි. හමුදාවේ විධානය මත මාවිල්ආරු වෙත යමින් සිටි වාරිමාර්ග නිලධාරියාට වැඩිදුරක්‌ යාමට නොහැකිවිය.

මාවිල්ආරු සොරොව්වට සැතපුමක්‌ ඈත ස්‌ථානයක සිටි කොටි ත්‍රස්‌තයන් පිරිසක්‌ වාරිමාර්ග නිලධාරියාට ආපසු යන ලෙස තර්ජනය කරනු ලැබීය. එම කොටි ත්‍රස්‌තයන් සමඟ සිටියේ අද මානව හිමිකම් ගැන ඝෝෂාකරන උතුරු පළාත් සභා මන්ත්‍රිනී ආනන්දි සසිතරන්ගේ සැමියාවූ ත්‍රිකුණාමල කොටි දේශපාලන නායක එලිලන්ය.

මෙම තත්ත්වය මත හමුදාව සහ රජය සටන්විරාම නිරීක්‍ෂණ කමිටුව ලවා මාවිල්ආරු සොරොව්වේ දොරවල් විවෘත කරගැනීමට දැරූ සියලු උත්සාහයක්‌ අසාර්ථක විය.

මාවිල්ආරු සොරොව්ව වසාදැමීමට කොටි සංවිධානය ක්‍රියාකිරීම නිසා සේරුනුවර, දෙහිවත්ත, නිලපොල ඇතුළු ගම්මාන රැසක ගොවීන්ට ජල සැපයුම නතර විය.

ගොවි ජනතාව මුහුණ පෑ දුෂ්කර තත්ත්වය නිසා රජය මාවිල්ආරු සොරොව්ව විවෘත කිරීමට සීමිත මෙහෙයුමක්‌ දියත් කළත් එය සාර්ථකනොවුනි. මෙම මාවිල්ආරු සොරොව්ව විවෘත කිරීම ගැන ප්‍රභාකරන් එවකට පැවැති සයිබර් කොටි වෙබ් අඩවිය අමතා පැවසුවේ රජය කොටි සංවිධානයේ ශක්‌තිය දැනගත යුතුබවත්ය.

මෙම තර්ජනය මැද 2006 ජුලි 26 දා මාවිල්ආරු සොරොව්ව මුදාගැනීමේ මෙහෙයුම දියත් විය. එම මෙහෙයුම ගැන කොළඹ කොටි හිතවාදී ද්‍රවිඩ පුවත්පතක්‌ පැවසුවේ ශ්‍රී ලංකා හමුදාව කොටින්ගෙන් ඉල්ලන් කෑමට සූදානම් වී ඇති බවයි.

මෙලෙස හමුදා බළකායන් මාවිල්ආරු සොරොව්ව මුදාගැනීමේ මෙහෙයුම දියත්කරන අවස්‌ථාවේ කොටි ත්‍රිකුණාමලයට දකුණින් පිහිටි මුතුර් ජැටියට ප්‍රහාර එල්ල කළහ. මෙහිදී කට්‌ටපරිච්චාන් හමුදා කඳවුරට සිදුවූයේ කොටින් පැති දෙකකින් එල්ල කළ ප්‍රහාර වලට මුහුණදීමටය.

මේ අවස්‌ථාවේ හමුදා කමාන්ඩෝ බළකාය මෙහෙයවූ මේජර් ජනරාල් බාහි ගාල්ලගේ මුතුර් වෙත ප්‍රහාර එල්ලකර චානි ප්‍රදේශය කොටින්ගෙන් මුදාගනු ලැබීය. කෙසේ වෙතත් 2006 අගෝස්‌තු 8 සහ 11 අතර සමයේ මාවිල්ආරු ප්‍රදේශය මුදාගැනීමට හැකිවිය. එහෙත් යළි ජලය සැපයීම යථා තත්ත්වයට පත්වූයේ 2006 අගෝස්‌තු 11 දායි.

මාවිල්ආරු සොරොව්ව කොටි ග්‍රහණයෙන් මුදාගැනීමේ 11 වැනි සංවත්සරය යෙදී ඇති අවස්‌ථාවේ ශ්‍රී ලංකා හමුදාවට අපරාධකරුවන් සහ මිනීමරවෝ ලේබලය ඇලවී ඇත.

එපමණක්‌ද නොවේ. කැනඩා අගමැති ජස්‌ටින් ටෘඩෝ ශ්‍රී ලංකාවට විධිමත් වගවීමේ ක්‍රමවේදයක්‌ නැති බවට චෝදනා කර ඇත. 1983 වසරේ ජුලි මස සිදුවූ කලබලකාරී සිදුවීම් සැමරීමේ උත්සවයට කැනඩාවේ කොටි ඩයස්‌පෝරා ක්‍රියාකාරීන් සමඟ එක්‌වෙමින් අගමැති ටෘඩෝ යුද්ධයෙන් විපතට පත්වූවන්ට ශ්‍රී ලංකා රජය කෙරේ විශ්වාසය ඇතිවීමට නම් වගවීමේ යාන්ත්‍රණයක්‌ ස්‌ථාපිත කළ යුතු බව කීවේය.

ඉන් ඔහු කියා සිටියේ ශ්‍රී ලංකා හමුදාව යුද අපරාධකර ඇති නිසා දඬුවම් කළ යුතු බවයි.

එහෙත් 2013 ජිනීවා මානව හිමිකම් සමුළුවට සහභාගීවූ අපට කැනඩා තානාපතිනි එලිසා ගෝල්බර්ග් කැනඩාවේ ගෝත්‍රික කාන්තාවන්ට එරෙහිව සිදුවන හිංසාකාරී ක්‍රියා විමර්ශනය කළ යුතු බවට රටවල් හතරක්‌ ගෙන ආ යෝජනාව ප්‍රතික්‍ෂේප කරන අයුරු දැකගත හැකිවිය. කැනඩා මාධ්‍ය ඊට පෙර පැවසුවේ කැනඩාවේ ගෝත්‍රික කාන්තාවන් 6000 ක්‌ අතුරුදන්වී හෝ ඝාතනයට ලක්‌වී ඇති බවයි.

එහෙත් අගමැති ජස්‌ටින් ටෘඩෝ හඬනගන්නේ ශ්‍රී ලංකාවේ යුද්ධයෙන් විපතට පත්වූවන් ගැනය.

කැනඩා අගමැතිගේ ප්‍රකාශයට සමගාමීව බ්‍රිතාන්‍ය ලේබර් පක්‍ෂ නායක ජෙරම් කොර්බින්ද ශ්‍රී ලංකාවට එරෙහිව වගවීමේ යාන්ත්‍රණයක්‌ ස්‌ථාපිත කළයුතු බව බ්‍රිතාන්‍ය රජයට කියාසිටියේය.

කොර්බින් අංක එකේ තක්‌කඩියෙකි. පසුගිය බ්‍රිතාන්‍ය මැතිවරණ සමයේ ඔහු බ්‍රිතාන්‍ය ඊලම් ඩයස්‌පෝරාවට ප්‍රතිඥවක්‌ ලබාදෙමින් තමා අගමැති වූවොත් ශ්‍රී ලංකා ද්‍රවිඩයන්ට ස්‌වයං පාලනය ලබාදීමට සහය වන බව සඳහන් කළේය.

මෙවන් පසුබිමක්‌ මැද වන්නි මෙහෙයුම ජයග්‍රහණය කර කොටි භීෂණයෙන් ජනතාව මුදාගත් මෙරට රණවිරුවන්ට මිනීමරුවෝ යන අපරාධකරුවෝ ලේබලය හංවඩු ගසා ඇත. මාවිල්ආරු සොරොව්ව කොටි ග්‍රහණයෙන් මුදාගැනීමේ සංවත්සරය යෙදෙන අවස්‌ථාවේ මේ දින හංවඩු ගැසීම දියත්කර ඇති පාර්ශවවල අතීතය සිහිපත් කළ යුතුය.

මෙයට වසර ගණනකට පෙර ද්‍රවිඩයන්ගේ නිජබිම් සංකල්පය පිළිගත යුත් බවත් නැගෙනහිරට මුස්‌ලිම් කලාපයක්‌ දිය යුතු බව පැවසුවේද ඔවුන්ය. මේ පසුබිම මැද කොටි ඩයස්‌පෝරාව ජාත්‍යන්තර කොටිජාලයේ අරමුදල් වලින් ශ්‍රී ලංකාවේ හමුදාව යුද අපරාධකරුවන් බවට පත්කිරීම සඳහා දැවැන්ත ව්‍යාපෘතියක්‌ දියත් කර ඇත. දකුණු අප්‍රිකාවේ ජොහැන්ස්‌බර්ග් නගරයේ සිට ක්‍රියාත්මක වන මෙම කොටි ව්‍යාපෘතිය ජාත්‍යන්තර සත්‍ය සහ යුක්‌තිය වැඩසටහන නමින් හඳුන්වනු ලබයි.

මේ ව්‍යාපෘතියේ වැඩසටහන් භාරව ක්‍රියාකරන්නේ කොළඹ හිටපු බී. බී. සී. වාර්තාකාරිය වූ ප්‍රැන්සස්‌ හැරිසන්ය. එම ව්‍යාපෘතිය මෙහෙයවන්නේ එක්‌සත් ජාතීන්ගේ හිටපු නිලධාරිනියක්‌වූ යස්‌මින් සුකායි.

මෙම කාන්තාවන් දෙදෙනා හෙවත් කොටි ඩයස්‌පෝරා කොන්ත්‍රාත්තුව මෙහෙයවන ප්‍රැන්සස්‌ හැරිසන් සහ සුකා ජිනීවා මානව හිමිකම් කොමසාරිස්‌ සෙයිද් රාද් හුසෙන්ගේ උපදේශිකාවන් ලෙසින් ක්‍රියාකරයි.

පසුගිය ජුලි 21 දා ප්‍රාන්සස්‌ හැරිසන් ජිනීවා මානව හිමිකම් කවුන්සිලය වෙත ශ්‍රී ලංකාව ඉටුකළ යුතු නිර්දේශ 14 ක්‌ ඉදිරිපත් කළාය.

එම නිර්දේශ අතරින් ප්‍රධාන නිර්දේශ පහත දැක්‌වේ.

1. කැලම් මැක්‌රේගේ චැනල් ෆොa නෝපයර් සෝන් චිත්‍රපටය රජයේ රූපවාහිනියේ (සිංහල පිටපත) විකාශනය කරනු.

2. එක්‌සත්ජාතීන්ගේ සාම හමුදාවලට සම්බන්ධවන ශ්‍රී ලංකා හමුදා භටයන්ගේ සහ සෙබලියන්ගේ නම් සහ ඡායාරූප ප්‍රදර්ශනය කරනු.

3. යුද අපරාධ සිදුවී නැති බවට ජනාධිපති සහ අගමැති කරන ප්‍රකාශ වහාම නතර කරනු.

4. පාක්‍යසෝනි සවරිමුත්තු ලේකම්ධුරය දරූ සංහිඳියා කාර්ය සාධන බළකායේ නිර්දේශ ක්‍රියාත්මක කරනු.

5. 2009 මැයි 18 සිට මුලතිව්හිදී 58 වැනි සේනාංකයට බාරවූ අයගේ නාම ලේඛනයක්‌ මුලතිව් අධිකරණයට ඉදිරිපත් කරනු.

6. යුද අපරාධ චෝදනා එල්ලවූවන් ඉහළ ධුරවලට පත්නොකරනු.

7. පොලිස්‌ ප්‍රධානියකුවූ සිසිර මෙන්ඩිස්‌ට එල්ලවී ඇති චෝදනා ගැන එක්‌සත්ජාතීන්ගේ කමිටුවට ප්‍රතිචාර දක්‌වනු.

8. යුද අපරාධ චෝදනා සඳහා විදේශ ශ්‍රී ලංකා තානාපති කාර්යාලවලට පැමිණ සාක්‍ෂිදීම වෙනුවට ලිපි මගින් සාක්‍ෂි ඉදිරිපත් කිරීමට ඉඩදෙනු.

9. වව්නියා හමුදා කඳවුර (ජෝශප් කඳවුර) අහෝසිකරනු.

එසේම හිටපු බී. බී. සී. වාර්තාකාරිය හැරිසන් ජිනීවා මානව හිමිකම් කවුන්සිලය වෙතින් ඉල්ලීමක්‌ කරමින් ශ්‍රී ලංකාවේ හමුදාව පවත්වාගෙන ගිය රහසිගත වධකඳවුරු පරීක්‍ෂාවට ලක්‌කරන ලෙස ඉල්ලා ඇත.

මේ අතර පසුගියදා මෙරටට පැමිණි එක්‌සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත බෙන් එමර්සන් ඔහුට ලැබී ඇති මානව හිමිකම් විමර්ශන වරප්‍රසාද ඉක්‌මවා ක්‍රියාකර ඇති බවට සනාථ විය. එමෙන්ම එමර්සන්ගේ ක්‍රියාකලාපය අභියෝගයට ලක්‌කළේ ජිනීවාහි හිටපු ශ්‍රී ලංකා තානාපතිනි තමාරා කුමානායගම් සහ හිටපු තානාපති පාලිත කොහොනයි. බෙන් එමර්සන් මෙරටින් යාමට පෙර ශ්‍රී ලංකා රජයට පැවසුවේ රැඳවුම් භාරයේ සිටින කොටි ක්‍රියාකාරීන් 81 ක්‌ නිදහස්‌ කරන ලෙසයි.

ඔහු කොටි සංවිධානයේ යුද අපරාධ විමර්ශනය කළ යුතුබව පැවසුවේ නැත.

රණවිරුවන්ට මිනීමරුවන් යයි චෝදනා කරන්න එමර්සන් කළ භයානක ප්‍රකාශ ගැන අදවනතුරු වචනයක්‌ වත් ප්‍රකාශ කර නැත.

මන්ද යත් උතුරේ සිටින කොටි 12000 ක පිරිස අහිංසකයන් නිසාය. මිසයිල ප්‍රහාර එල්ලකර ගුවන් යානා වැනසූ ත්‍රස්‌තයන් දේශපාලන සිරකරුවන් බවටද පත්වී සිටී.

එහෙත් පුනරුත්ථාපනය නොවූ කොටි 260 ක්‌ උතුරේ සිටින බව හෙලිවී ඇත. මේ සියලුදෙනාම මිනීමරුවෝ වෙති.

එය සනාථ වූයේ යාපනයේ විනිසුරු ඉලන්ෙච්ලියන්ගේ ආරක්‍ෂක නිලධාරියාට වෙඩි තැබූ සිද්ධියේ ප්‍රධාන සැකකරු ජෙයනන්දන් සෙල්වරාජා නැමැති හිටපු කොටි ත්‍රස්‌තයකු වීමයි. 2012 දී කෝපෙයි නගරයේ සිදුවූ වෙඩි තැබීමක්‌ සම්බන්ධයෙන් මාස 7 ක්‌ රිමාන්ඩ් භාරයේ සිටි එම කොටි ත්‍රස්‌තයා පසුව බස්‌ රථ රියදුරු ලෙසද සේවය කර තිබේ. කෙසේ වෙතත් ඔහු පොලිසියට භාරවී තිබේ. මේ අතර ජනාධිපතිවරයා අතුරුදන්වීමේ පුද්ගලයන් පිළිබඳ කාර්යාලයට අත්සන් තබනු ලැබීය. එහෙත් අතුරුදන්වූ බව කියන කොටි ත්‍රස්‌තයන් බ්‍රිතාන්‍යය, ස්‌විස්‌ටර්ලන්තය, ප්‍රංශය, නෝර්වේ යන රටවල සිටින බව යස්‌මින් සුකා ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කළ වාර්තාවේ දක්‌වා ඇත.

මෙම වාර්තාවට අනුව ද්‍රවිඩයන් 75 ක්‌ එම රටවල සිටින අතර එකී පිරිසගේ අනන්‍යතාවය හෙලිකිරීමට ඇය ක්‍රියාකර නැත.

එම රටවල්ද තම රටේ සිටින ද්‍රවිඩයන් යයි හඳුන්වන හිටපු කොටි ක්‍රියාකාරීන් කවුදැයි අදවනතුරු ශ්‍රී ලංකා රජයට දන්වා නොමැත. මේ අතර අයර්ලන්තයේ සිටද ශ්‍රී ලංකාවට එරෙහිව යුද අපරාධ චෝදනා එල්ලවී ඇත.

1980 වසරේදී විශේෂ කාර්ය බළකාය විසින් තම පවුලේ සාමාජිකයන් 10 ක්‌ මරාදැමූ බවත් එම විශේෂ කාර්ය බළකා භටයන්ව පුහුණු කරන ලද්දේ බ්‍රිතාන්‍ය ආර්. යූ. සී. නමැති විශේෂ බළකාය බව දක්‌වමින් ද්‍රවිඩ වැන්දඹුවක්‌ අයර්ලන්ත පොලිස්‌ දුක්‌ගන්නාරාළවූ මිචෙල් මැගුරේ වෙත පැමිණිල්ලක්‌ ඉදිරිපත් කර ඇත. වසර 31 කට පෙර සිදුවූ බව කියන මෙම මිනිස්‌ ඝාතනය පිළිබඳව ඇය තවදුරටත් පවසා ඇත්තේ විශේෂ කාර්ය බළකාය විවේචනයට ලක්‌කිරීම නිසා එකී ඝාතනය සිදුවී බවයි.

එහෙත් මේ පැමිණිල්ල ඉදිරිපත් කිරීමට වසර 31 ක්‌ කල්ගත්තේ මන්දැයි ඇය හෙළිකර නැත.

මෙවැනි තොරතුරු හෙලිවන අවස්‌ථාවේ කොටි දේශපාලන ඒකකයේ ක්‍රියාකාරියකුවූ කනගසුන්දරම් කන්තාස්‌ නැමැත්තා තම දියණිය වූ මංජුලා විජයබාලන්ව නීතිවිරෝධී ලෙස කොටි සංවිධානයට බඳවාගැනීමට ක්‍රියාකිරීමේ සිද්ධියට වරදකරුවීමෙන් ජීවිතාන්තය දක්‌වා සිරදඬුවමක්‌ නියම විය. කොටින්ගේ ද්‍රවිඩ ඊලම් චිත්‍රකලා ආයතනයේ ප්‍රධානියා ලෙස කටයුතු කළ මෙම හිටපු කොටි ක්‍රියාකාරියාට සිරදඬුවම් නියමවීම ගැන කොටි ඩයස්‌පෝරාව කම්පනයට පත්වී ඇත.

ඔහු විසින් කොටි සංවිධානයට බලහත්කාරයෙන් අනුයුක්‌ත කළ මංජුලා නැමැත්තිය හමුදාව සමඟ ඇතිවූ සටනකදී මරුමුවට පත්විය. ප්‍රභාකරන්ගේ මිනීමරු කවියා වූ පුදුවායි රත්නතුරෙයි නැමැත්තාගේ සමීපතම සගයකුවූ කන්නතාස්‌ යාපනයේ විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරයකු ලෙසද කටයුතු කර ඇත.

මේ අතර මෙරට අභ්‍යන්තර කටයුතුවලට බරපතල ලෙසින් මැදිහත්වෙමින් අත්අඩංගුවේ සිටි කොටි ත්‍රස්‌තයන් හමුවී කටඋත්තර ලබාගත් එක්‌සත්ජාතීන්ගේ විශේෂ නියෝජිත බෙන් එමර්සන්ව බේරාගැනීමට මෙරට විදෙශ කටයුතු බලධාරීන් ඉදිරිපත්විය. ඒ අනුව බෙන් එමර්සන් හිටපු කොටි ත්‍රස්‌තයන් හමුවූයේ ජිනීවා මානව හිමිකම් කවුන්සිලය නියම කළ විශේෂ විධිවිධාන මත බවද විදේශ කටයුතු බලධාරීහු හෙළිකළහ.

ජිනීවා මානව හිමිකම් කවුන්සිලය විසින් කළ නිර්දේශ අනුව එක්‌සත්ජාතීන්ගේ විශේෂ නියෝජිතයන්ට රටවල ඇරයුම් මත එම රටවලට පැමිණිය හැක.

2015 දී වත්මන් රජය බලයට පැමිණි වහාම එක්‌සත්ජාතීන්ගේ විශේෂ නියෝජිතයන්ට මෙරටට පැමිණෙන ලෙස ඇරයුම් කර ඇත. එම ඇරයුම මත ශ්‍රී ලංකාවට පැමිණි බෙන් එමර්සන් තමාට යැමට අවශ්‍ය ස්‌ථාන ගැන විදේශ කටයුතු බලධාරීන්ට දැනුම්දී ඇති අතර කොටි ත්‍රස්‌තයන් හමුවීම සඳහා අවසර දී ඇත්තේ නීතිය හා සාමය රැකීමේ බලධාරීන් බව සනාථ විය. එහෙත් බෙන් එමර්සන් මානව හිමිකම් කවුන්සිලය ලබාදී ඇති බලතලවලට පිටින් තම හිතුමනාපෙට ක්‍රියාකර ශ්‍රී ලංකාවට ද්‍රවිඩයන්ට දෙතිස්‌ වධදෙන රටක්‌ බවට ප්‍රකාශ කර ඇත.

බෙන් එමර්සන් හිටපු කොටි ත්‍රස්‌තවාදීන්ගෙන් ලබාගත් කටඋත්තර එළිදක්‌වන්නේ 2018 මාර්තු මස ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කරන වාර්තාවෙනි. මේ පසුබිම මැද ශ්‍රී ලංකාව අද මානව හිමිකම් කවුන්සිලයේ අනුකම්පාව මත ක්‍රියාත්මක වන රටක්‌ බවට පත්වී ඇත. එසේම 2019 වසරට පෙර යුධ අපරාධ චෝදනා විමර්ශනය කිරීමට ක්‍රියා නොකළහොත් ශ්‍රී ලංකාව එක්‌සත්ජාතීන්ගේ ආරක්‍ෂක මණ්‌ඩලයට යොමුකරන බව එමර්සන් ප්‍රකාශ කර තිබේ. ශ්‍රී ලංකාව ද්‍රවිඩයන්ට ලිංගික හිංසන සිදුකරන බව පවසන එමර්සන්ට එරෙහිවද ලිංගික හිංසන චෝදනාවක්‌ එල්ලවී ඇත.

මේ අතර ද්‍රවිඩ සන්ධාන නායක ආර්. සම්පන්දන් මෙරටට පැමිණි එක්‌සත්ජාතීන්ගේ දේශපාලන කටයුතු පිළිබඳ නියෝජ්‍ය ප්‍රධාන ජෙප්රි පෙල්ට්‌මන් හමුවී වන්නි මෙහෙයුමත් සමඟම 20000 ක්‌ අතුරුදන්වී ඇති බවට පැමිණිලි කළේය.

ජෙප්රි පෙල්ට්‌මන් මෙරටට පැමිණියේ යෝජිත ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව ගැන විමසීමටය.

අතුරුදන්වූවන් සංඛ්‍යාව 20000 ක්‌ යයි සම්පන්දන් පවසද්දී බී. බී. සී. වාර්තාකාරී ප්‍රැන්සන් හැරිසන් පවසා ඇත්තේ 147000 ක්‌ අතුරුදන්වී ඇති බවයි.

එසේම රටින් පිටත ඊළම් ආණ්‌ඩුව සංවිධානය ප්‍රකාශ කර ඇත්තේ 300,000 ක්‌ අතුරුදන්වී ඇති බවයි.

මෙවන් වාතාවරණයක්‌ මැද මේ රට ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ පාලනය යටතේ ක්‍රියාත්මක වන රටක්‌ බවට පත්ව ඇත.

මේ අතර 200 2006 වසරේ සිට යුරෝපා සංගමය විසින් පනවා තිබූ කොටි තහනම යුරෝපා අධිකරණය ඉවත්කර ඇත. මෙම තහනම ඉවත්කර ඇත්තේ 2009 දී කොටි යුදමය ලෙස පරාජයට පත්වීමෙන් පසු කොටින්ට එරෙහිව අපරාධ සම්බන්ධ කිසිදු සාක්‍ෂියක්‌ ඉදිරිපත් කිරීමට යුරෝපා සංගමය කටයුතු නොකිරීම බව අධිකරණය ප්‍රකාශ කරයි. එහෙත් කොටි සංවිධානය ත්‍රස්‌තවාදී සංවිධානයක්‌ ලෙස යුරෝපා සංගමය ප්‍රකාශයට පත්කිරීමෙන් පසු ශ්‍රී ලංකාව සහ ඉන්දියාව කොටි සිදුකළ කිසිදු යුද අපරාධයක සාක්‍ෂි යුරෝපා අධිකරණය වෙත ඉදිරිපත් කර නොතිබුණි. කොටි සංවිධානය වෙනුවෙන් පෙනී සිටි නෙදර්ලන්ත නීතිවේදී වික්‌ටර් කොප්පේ පැවසුවේ කොටි ක්‍රියාකාරීන් ත්‍රස්‌තවාදීන් නොවන බවත් තම නිදහස උදෙසා සටන් කළ පිරිසක්‌ බවයි. යුරෝපා අධිකරණය කොටි තහනම ඉවත් කිරීම නිසා කොටි ඩයස්‌පෝරාව බලවත් සතුටට පත්වී ඇත.

මේ නිසා ඉදිරියේ අනතුරක සලකුණු මතුවී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here