යුරෝපා තානාපතිවරුන්ගේ කැලඹීම

0
1432

යුරෝපා තානාපතිවරුන් මහනුවර ගැටුම් ගැන කලබල වී ඇති බව පෙනේ. මහජාතියට සිදුවන අසාධාරණකම් ගැන යුරෝපා තානාපතිවරුන් උනන්දු නොවන නමුත් සුළු ජාතීන්ගේ ප්‍රශ්න ගැන නම් ඔවුහු වඩා උනන්දුවෙති. නුවර නොසන්සුන්තාව ගැන කරුණු විමසීම සඳහා මේ තානාපති කණ්‌ඩායම මල්වතු අස්‌ගිරි මහ නාහිමිවරු හමුවීමට ගියේ පෙරේදා දිනයේය. බටහිර මාධ්‍යවලට මෙන්ම යුරෝපා තානාපතිවරුන්ට ද අවශ්‍ය වී ඇත්තේ බෞද්ධ ප්‍රචණ්‌ඩත්වය ගැන ලෝකයට හෙළි කිරීමට ය. එහෙත් මල්වතු – අස්‌ගිරි මහනාහිමිවරු මේ තානාපතිවරුන්ට නිසි පිළිතුරු ලබාදී ඇත. උන්වහන්සේලා ප්‍රකාශ කර ඇත්තේ මහනුවර සිදුවූයේ ජාතිවාදී ගැටුමක්‌ නොවන බවයි. ඕනෑම රටක ජාතිවාදීන් සිටිනවා නමුත් අපේ රටේ ජාතිවාදී ගැටුමක්‌ නැති බව උන්වහන්සේලා තානාපතිවරුන්ට මනාව පැහැදිලි කර ඇත. සිංහල බෞද්ධයන් මුස්‌ලිම්වරුන්ට ප්‍රහාර එල්ල කළා යෑයි තානාපතිවරු කළ ප්‍රකාශ මහනායක හිමිවරු දැඩිව ප්‍රතික්‌ෂේප කර ඇත.

යුරෝපා රටවල දිනෙන් දින ඉහළ යන මුස්‌ලිම් විරෝධී ප්‍රහාර ගැන උනන්දු නොවන මේ තානාපතිවරු වැඩියෙන් අවධානය යොමු කරන්නේ දිගනේ කඩ ගිනි තැබීම ගැනය. මොවුනට අවශ්‍ය මහනුවර ගැටුම් ගැන ජිනීවා මානව හිමිකම් කොමිසමට පැමිණිලි කිරීමටද? චීවරය දරාගෙන කලහකාරීව හැසිරුණු අය භික්‌ෂුන් වහන්සේලා නොවන බවත් සිවුරු දරාගෙන පැමිණෙන භික්‌ෂු වෙස්‌ගත් අයත් සිටින බවත් මහනාහිමිවරු යුරෝපා තානාපතිවරුන්ට ප්‍රකාශ කර ඇත.

එදා ප්‍රභාකරන් සිංහල බෞද්ධයන්ට එරෙහිව සමූල ඝාතන සිදුකරද්දී ඒ ගැන කලබල නොවූ යුරෝපා තානාපතිවරු මහනුවර සිද්ධීන් ගැන වැඩි උනන්දුවක්‌ දක්‌වන්නේ මන්ද? ලංකාව නැවත වරක්‌ හුදකලා කිරීමටද? ප්‍රභාකරන් පරාජයෙන් පසු ලංකාව මානව හිමිකම් උගුලකට ඇද දැමූ යුරෝපා තානාපතිවරු යළිත් වරක්‌ බෞද්ධයන්ට නිග්‍රහ කිරීමට සූදානම් වන බව පෙනේ. නමුත් අපේ නාහිමිවරු මේ කණ්‌ඩායමට නිසි පිළිතුරු ලබාදීම ගැන ජාතියේ ප්‍රණාමය හිමිවිය යුතුය.

මෙහිදී තානාපතිවරුන් හමුවේ අදහස්‌ දැක්‌වූ අස්‌ගිරි මහා විහාර පාර්ශ්වයේ ලේඛකාධිකාරී ආචාර්ය මැදගම ධම්මානන්ද හිමියන් යුරෝපා තානාපතිවරුන් හමුවේ ප්‍රකාශ කර ඇත්තේ මහනුවර නගරයේ මුස්‌ලිම් පල්ලි හා ව්‍යාපාරික ස්‌ථාන වැඩි සංඛ්‍යාවක්‌ ඇත්තේ මල්වතු අස්‌ගිරි මහා විහාරස්‌ථානවලට අයත් ඉඩම්වල බවයි. අන්තවාදී මුස්‌ලිම් ජාතිකයන් නිරන්තරව බෞද්ධ භික්‌ෂූන්ට අපහාස කරන බවත් උන්වහන්සේ තානාපතිවරුන්ට ප්‍රකාශ කර ඇත.

යුරෝපා තානාපතිවරුන් නම් මෙරට මුස්‌ලිම් අන්තවාදය පැතිරීම ගැන කතා කිරීමට උනන්දු නොවෙති. ඔවුනට අවශ්‍ය බෞද්ධ අන්තවාදයක්‌ ගැන කතා කිරීමටය. බෞද්ධ ප්‍රචණ්‌ඩත්වයක්‌ ගැන සොයති බලති. මෙය සාධාරණ නොවේ. මෙරට සංහිඳියාව ආරක්‌ෂා වී ඇත්තේ බෞද්ධයන් නිසා බව ඔවුහු වටහා ගතයුතුය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here