රටට ආදරය කරන්නේ නම්…. ජනාධිපති ශ්‍රීලනිපයේ මන්ත්‍රීවරුන් ජාතික ආණ්‌ඩුවෙන් ඉවත් කළ යුතුයි – රියර් අද්මිරාල් සරත් වීරසේකර

0
625

ජනාධිපතිතුමා රටට ආදරය කරන්නේ නම් ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ මන්ත්‍රීවරුන් ජාතික ආණ්‌ඩුවෙන් ඉවත් කිරීමට කටයුතු කළ යුතු බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා පැවැසීය. වීරසේකර මහතා එම අදහස්‌ ප්‍රකාශ කර සිටියේ පෙරේදා (27 දා) එළිය සංවිධානය ජාතික පුස්‌තකාල හා ප්‍රලේඛණ සේවා ශ්‍රවණාගාරයේ දී සංවිධානය කර තිබූ මාධ්‍ය හමුවේදී අදහස්‌ දක්‌වමිනි. ඒ මහතා තවදුරටත් මෙසේද පැවැසීය.

පසුගිය පළාත් පාලන මැතිවරණයේදී ජනතාව පොහොට්‌ටුවට ඡන්දය දුන්නේ බඩ ගැන හිතල නොවෙයි. ජනතාව එහෙම සිතුව නම් බයිසිකලය ලකුණින් තරග කළ ස්‌වාධීන කණ්‌ඩායම මහරගම ජයගන්නේ නෑ.

එම මැතිවරණයේදී ජාතික ආණ්‌ඩුව පමණක්‌ නොවෙයි විපක්‍ෂයත් පරාජයවී තිබෙනවා. එම නිසා සදාචාරයට අනුව නම් තවදුරටත් මේ ආණ්‌ඩුවට බලයේ ඉන්න බෑ. එසේ වුවත් විපක්‍ෂ නායක ධුරයේ රැඳී සිටින ආර්. සම්බන්ධන් මහතා තම තනතුර රැක ගැනීමට සහ නව ව්‍යවස්‌ථාව ගෙන ඒම සඳහා මේ ආණ්‌ඩුව තවදුරටත් බලයේ තබා ගැනීමට කටයුතු කරමින් සිටිනවා. අද වන විට මේ ජාතික ආණ්‌ඩුවේ කටයුතුවලට ඉන්දියාව සහ මෙරට ඇමරිකානු තානාපති අතුල් කේෂාප් ඇඟිලි ගසනවා. මේ රටේ ස්‌වාධීනත්වය කෙළෙසුනු යුගයක්‌ මින් පෙර තිබුණේ නෑ.

මේ ආණ්‌ඩුව දින 100 යේ වැඩපිළිවෙළ යටතේ 19 වන සංශෝධනය සම්මත කළා. එහි භයානකකම දැන් තේරෙනවා. එම සංශෝධනය නිසා මොනව කළත් ජනාධිපතිතුමාට කැබිනට්‌ එක විසුරුවන්න හෝ අගමැති ඉවත් කිරීමට බැහැ. ජනාධිපතිතුමා ප්‍රකාශ කළා ආර්ථිකය තමන්ගේ අතට ගන්න බව. ඒ වගේම හොරු අල්ලන බව කිව්වා. නමුත් දැන් රනිල් වික්‍රමසිංහ ආර්ථිකයයි, හොරු ඇල්ලීමයි දෙකම අතට අරගෙන.

ජනාධිපතිතුමා රටට ආදරය කරනවා නම් ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ මන්ත්‍රීවරුන් ජාතික ආණ්‌ඩුවෙන් ඉවත් කිරීමට කටයුතු කළ යුතුයි. එවිට එජාපක්‍ෂයට ආණ්‌ඩුවක්‌ හදාගන්න පුළුවන්. නමුත් සම්බන්ධන්ට විපක්‍ෂ නායක කම අහිමිවනවා. ඒ වගේම ආණ්‌ඩුවට පාර්ලිමේන්තුවේ 2/3 ක බලය අහිමි වනවා. එම නිසා රට බෙදන ව්‍යවස්‌ථාව සම්මත කර ගැනීමට නොහැකි වනවා වගේම රටේ සම්පත් විකිණීමත් නවතිනවා. එතකොට අපට පුළුවන් 2020 දී මොකද වෙන්නේ කියල බලන්න.

බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්‌ කාර්යාලයට සම්බන්ධව කටයුතු කරපු බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු යළිත් මෙරටට කැඳවා විදේශීය පුහුණුවක්‌ සඳහා යොමුකර තිබෙනවා. නිදහස්‌ දිනයේදී බ්‍රිතාන්‍යයේ පිහිටි ශ්‍රී ලංකා මහ කොමසාරිස්‌ කාර්යාලය ඉදිරිපිටදී රටවල් 32 ක තහනම් කළ බ්‍රිතාන්‍ය පුරවැසිකම තිබෙන කොටි සාමාජිකයන් අපගේ ජාතික කොඩිය බිම දමා පාගා විරෝධය පළ කළා. මේ වන විට සුරෙන් සුරෙන්ද්‍රන් ප්‍රකාශ කරල තිබෙනවා ප්‍රියංක ප්‍රනාන්දුගේ දරු පවුලත් එරටින් පිට කළ යුතු බව. මේ ආණ්‌ඩුවට කොන්දක්‌ තිබෙනවා නම් බ්‍රිතාන්‍යයේදී කොටි සාමාජිකයන් අපගේ ජාතික කොඩිය බිම දමා පෑගීම පිළිබඳව මෙරට බ්‍රිතාන්‍ය මහ කොමාසාරිස්‌ ගෙන්වා අවවාද කළ යුතුයි.

මෙම මාධ්‍ය හමුවේදී අදහස්‌ දැක්‌වූ මේජර් ජනරාල් කමල් ගුණරත්න මහතා- පසුගියදා මුලතිව් ප්‍රදේශයේදී පැවැත්වූ විරෝධතාවය මෙහෙය වූයේ ශිවාජිලිංගම් මන්ත්‍රීවරයා විසින්. මීට පෙර ජනාධිපතිතුමා උතුරේ සංචාරය කළ අවස්‌ථාවකදීත් මෙම ශිවාජිලිංගම්ලා කළු කොඩි ඔසවා විරෝධය පළ කර තිබුණා.

මමත් එම ප්‍රදේශයේ වසර 20 කට වඩා සේවය කර තිබෙනවා. ශිවාජිලිංගම්ලාට වඩා එම ප්‍රදේශයේ ජනතාවගේ සිතුම් පැතුම් මම අඳුනනවා. කොටි ත්‍රස්‌තවාදීන්ගෙන් මුදාගත් අවතැන් වූ ජනතාව භාරව කටයුතු කළේ මම. එම ජනතාව යළි පදිංචි කළෙත් මගේ අධීක්‍ෂණය යටතේ. එමනිසා එම ජනතාව පිළිබඳව මට අවබෝධයක්‌ තිබෙනවා. එම ජනතාවට ඉඩම් පොලිස්‌ බලතල අවශ්‍ය නෑ. ඔවුන්ට අවශ්‍ය තමන්ගේ දරුවන් සමග හොඳ ජීවිතයක්‌ ගත කිරීම පමණයි. නමුත් ශිවාජිලිංගම්ලා තුවාලවලට ඉහඳ දමනවා. මොවුන් කටයුතු කරන්නේ යළිත් බේද ඇති කරලා එය ගින්නක්‌ බවට පත් කිරීමට.

පසුගියදා විරෝධතාවය දැක්‌වූ වඩ්ඩුවාකල් ප්‍රදේශය බොහොම සංකීර්ණ ප්‍රදේශයක්‌. එම ප්‍රදේශය මුදා ගැනීමට කළ සටනේදී සෙබළුන් සිය ගණන් මිය ගියා. දහස්‌ ගණනක්‌ තුවාල සිද්ධ වූවා. රටේ ආරක්‍ෂාව අනිත් සෑම දේට වඩා ප්‍රධානයි. රටේ ආරක්‍ෂාවට අවශ්‍ය ප්‍රදේශ තර්ජනයක්‌ විය හැකි ප්‍රදේශ රජයේ පාලනයෙන් ඉවත් කිරීමට බැහැ. වඩ්ඩුවාකල් ප්‍රදේශයත් එහෙම ප්‍රදේශයක්‌. එම ප්‍රදේශයෙන් හමුදාව ඉවත් කරන්න කියල ශිවාජිලිංගම්ලා කරන්නේ වෛරය, ක්‍රෝධය පැතිරවීම. ශිවාජිලිංගම් කළු කොඩි ඔසවපු අවස්‌ථාවේ ඒ පිළිබඳව විමසීමට ජනාධිපතිතුමා එම ස්‌ථානයට ගියා. නමුත් ආබාධිත රණවිරුවන් විශ්‍රාම වැටුපක්‌ ඉල්ලලා උද්ඝෝෂණය කරපු අවස්‌ථාවේදී ජනාධිපතිතුමා එම ස්‌ථානයට නොගිය එක ගැන මට දුකයි. සමහර විට ඒකටත් හේතුවක්‌ තියෙන්න ඇති. ශිෂ්‍යයන් කොළඹ උද්ඝෝෂණය කරපු අවස්‌ථාවලදී පොලිසිය කඳුළු ගෑස්‌ බැටන් ප්‍රහාර එල්ල කරලා සිසු නායකයන් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාර ගත කළා. නමුත් වෛරය, ක්‍රෝධය වපුරමින් උද්ඝෝෂණය කරන ශිවාජිලිංගම්ලාට නීතිය ක්‍රියාත්මක වන්නේ නෑ.

පින්තූරය – නිමල් දයාරත්න

එරික්‌ ගාමිණී ජිනප්‍රිය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here