විධායක ජනපති ක්‍රමය අහෝසි කිරීමට ඒකාබද්ධය සහය නොදිය යුතුයි – බෙංගමුවේ නාලක හිමි

0
1217

විධායක ජනපති ක්‍රමය අහෝසි කිරීම සඳහා ඒකාබද්ධ විපක්‍ෂයේ සහය නොදිය යුතු බව ගෝලීය ශ්‍රී ලංකා සංසදයේ ප්‍රධාන අනුශාසක බෙංගමුවේ නාලක හිමියෝ ඊයේ පැවසූහ.

ජාතික එකමුතු මධ්‍යස්‌ථානයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවක්‌ අමතමින් උන්වහන්සේ මේ බව සඳහන් කළහ. විධායක ජනපති ක්‍රමය අහෝසි කිරීමෙන් එම බලතල අගමැති වෙත පැවරෙන බවත් රටේ දැනට ඇති බරපතළම ප්‍රශ්නය විධායක ජනපති ක්‍රමය නොවන බව ඒකාබද්ධ විපක්‍ෂය මෙන්ම ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ මන්ත්‍රීවරු අවබෝධ කරගත යුතු බවද උන්වහන්සේ වැඩිදුරටත් කියා සිටියේය.

එසේම ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවක්‌ ගෙන ඒමටද රජය කැස කවන අතර එය බෙදුම්වාදීන්ගේ අවශ්‍යතාව බවද දේශප්‍රේමී ජනතාව ඊට එකහෙළාම විරුද්ධ බවද බෙංගමුවේ නාලක හිමියෝ සැල කළහ.

ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවක්‌ ගෙන ඒමට මෙරට ජනතාව බලයක්‌ දී නැති බව පාලකයන් අවබෝධ කර කර ගත යුතු බවද පැවසූ උන්වහන්සේ විදේශ කටයුතු බලධාරීන් දැන් ශ්‍රී ලංකාවට එරෙහිව ජාත්‍යන්තර පරීක්‍ෂණයක්‌ නැතිබව දක්‌වමින් ජනතාව රැවටීමට ගන්නා ක්‍රියා මාර්ගය හෙළා දකින බවද සඳහන් කළහ.

ගෝලීය ශ්‍රී ලංකා සංසදයේ සම්බන්ධීකාරක නීතිඥ නුවන් බෙල්ලන්තුඩාව කරුණු දක්‌වමින් ශ්‍රී ලංකාව මුහුණපා ඇති බරපතළ අර්බුදය විධායක ජනපති ක්‍රමය නොවන බවත් එය අහෝසි කිරීම යටි අරමුණු ඉටුකර ගැනීමේ අරමුණක්‌ මත ක්‍රියාත්මක වන බවත් කීවේය.

මේ අවස්‌ථාවේ ඒකාබද්ධ විපක්‍ෂය ඉතා කල්පනාකාරීව කටයුතු කළ යුතු බවද ඔහු සැල කළේය.

ගෝලීය ශ්‍රී ලංකා සංසදයේ කුවේට්‌ නියෝජිත මේරි විලියම්ස්‌ මහත්මිය කරුණු දක්‌වමින් ශ්‍රී ලංකාවට එරෙහිව ජිනීවා සටන අවසන් කර නැති බවත් රජය කළ යුතු කාර්ය ගෝලීය ශ්‍රී ලංකා සංසදය ක්‍රියාත්මක කරන බවත් කීවාය.

අයර්ලන්තය, සයිප්‍රසය, ජපානය වැනි රටවල ශ්‍රී ලාංකික පාර්ශ්වද ඒකරාශී වෙමින් ශ්‍රී ලංකාවට එරෙහිව කොටි ඩයස්‌පෝරා ක්‍රියාකාරීන් ගෙනයන බොරු චෝදනා මෙහෙයුම් හෙළා දකින බවද ඇය පළ කළාය.

කීර්ති වර්ණකුලසූරිය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here