ශැන්ග්‍රිලා විවෘත වෙයි; මහ විරු සමරයි; ගෝඨාභයට මාංචු දික්‌වෙයි!

0
382

ශමීන්ද්‍ර ෆර්ඩිනැන්ඩෝ

shangri2පසුගිය නොවැම්බර් 16 වන දින කොළඹ ශැන්ග්‍රිලා හෝටලය විවෘත කිරීම ජනපති මෛත්‍රිපාල සිරිසේන හා අගමැති රනිල් වික්‍රමසිංහ ප්‍රධානත්වයෙන් පැවැතිනි. පවතින දේශපාලන තත්ත්වය මත එම හෝටලය සෑදීමට අවස්‌ථාව ලබා දුන් එවකට සිටි ආරක්‌ෂක ලේකම් ගෝඨාභය රාජපක්‌ෂ හට ආරාධනය කර නොතිබිණි. ඒ ගැන පුදුම විය යුතු නැත. නමුත් රාජපක්‌ෂ මහතාගේ මැදිහත් වීම නොවුණේ නම් ශැන්ගි්‍රලා හෝටලය කොළඹ යුද සහ ආරක්‌ෂක අමාත්‍යාංශ භූමිය තුළ කිසිදා ඉදි විය නොහැකි බව දන්නා ශැන්ගි්‍රලා හිමිකාරීත්වය ඔහුට නෙවැම්බර් 17 දා විශේෂ රාත්‍රි භෝජන සංග්‍රහයක්‌ සඳහා ආරධනා කර තිබිණි.

ඔහුට අමතරව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‌ෂ, හිටපු විදේශ ඇමැති ජී. ඇල්. පීරිස්‌, හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග, ජනාධිපති නීතිඥ ගාමිණී මාරපන, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සී. බී. රත්නායක, පවිත්‍රාවන්නිආරච්චි, ලොහාන් රත්වත්ත සහ නාමල් රාජපක්‌ෂ ඇතුළු 50 දෙනකුට පමණ ඊට ආරාධනා කර තිබිණි.

මේ රටේ පවතින අවාසනාවන්ත දේශපාලන වාතාවරණය පිළිබිඹු කිරීමට මීට වඩා උදාහරණයක්‌ නැත.

එදා හතරවන ඊළාම් යුද්ධය 2006 අගෝස්‌තු මස ආරම්භ වන විට විදේශ ඇමැතිවරයා වූ මංගල සමරවීර අද මේ රටේ මුදල් ඇමැතිවරයාය. ඔහු නොවැම්බර් මස 16 වන දින ජනාධිපතිවරයා සමඟ ශැන්ගි්‍රලා විවෘත කිරීමට සහභාගි විය. ඒ එම උත්සවයේ ප්‍රධාන අමුත්තෙක්‌ ලෙසිනි. යුද හමුදාව වේලුපිල්ලේ ප්‍රභාකරන් ඇතුළු ප්‍රධාන පෙළේ ත්‍රස්‌තවාදීන් රැසක්‌ මරා දමන අවස්‌ථාවේ (2009 මැයි මස තුන් වන සතියේ) වැඩබලන ආරක්‌ෂක ඇමැතිවරයා ලෙස කටයුතු කළ මෛත්‍රිපාල සිරිසේන ශැන්ගි්‍රලා උත්සවයේ ප්‍රධාන අමුත්තාය.

මංගල සමරවීර අමාත්‍යවරයා 2007 මුල් කාලයේදී මහින්ද රාජපක්‌ෂ විසින් අමාත්‍ය ධුරයෙන් ඉවත් කරනු ලැබූ අතර ඔහු එක්‌සත් ජාතික පක්‌ෂයට එකතු විය. අද ඔහු එහි ප්‍රබලයෙකි. සමරවීර අමාත්‍යවරයා ඉවත් කරන අවස්‌ථාවේ LTTE ඉතාම ප්‍රබලව පැවැති අතර යුද්ධය සාර්ථකව නිම කිරීමට තිබූ අවස්‌ථාව අල්ප විය.

shangriවසර දෙකකුත් මාස දහයකින් යුද්ධය නිම වූ අතර එහි ප්‍රතිඵලයක්‌ ලෙස ශැන්ග්‍රිලා හිමිකරුවන් කොළඹ හෝටලයක්‌ සෑදීමට උත්සුක විය. නමුත් ඔවුන් එම ව්‍යාපෘතියට තෝරා ගත් භූමිය එම ආයෝජන සම්බන්ධයෙන් මහත් ව්‍යාකූල තත්ත්වයක්‌ ඇති කළේය.

ගෝඨාභයගේ භූමිකාව

ශැන්ග්‍රිලා හෝටලය ඉදිකිරීම සම්බන්ධයෙන් තමා කටයුතු කළ ආකාරය පිළිබඳව රාජපක්‌ෂ මහතා මුල් වර ප්‍රකාශයක්‌ කළේ 2017 මාර්තු මස බොරලැස්‌ගමුව ගෝල්ඩන් රෝස්‌ හෝටලයේ පැවැති වියත්මඟ සමුළුවේදීය. එම අවස්‌ථාවේ මහින්ද රාජපක්‌ෂ, බැසිල් රාජපක්‌ෂ ඇතුළු පැවැති ආණ්‌ඩුවේ ප්‍රබලයෝ සිටියහ.

ශැන්ග්‍රිලා හිමිකරු තමාගෙන් යුද හමුදා මූලස්‌ථානය පිහිටි භූමිය ඉල්ලූ බවත් එහිදී තමා බලවත් අපහසුතාවකට පත් වූ බවත් වසර 30 ක යුද්ධය සාර්ථකව නිම කළ යුද හමුදාවේ මූලස්‌ථානය තමන් කෙසේ හමුදාවට අහිමි කරන්නේ දැයි කල්පනා වුණ බවත් පැවසීය.

බොහෝ කලකට පෙර ජනාධිපති ඡේ. ආර්. ජයවර්ධන සැලසුම් කළ පරිදි සියලු හමුදා මූලස්‌ථාන කොළඹින් පිටතට ගෙන යැමේ තීරණය තමන් මේ අවස්‌ථාවේ ක්‍රියාත්මක කළ බවත් අද එහි ප්‍රතිඵල රටට දායාද වී ඇති බවත් පෙන්නුම් කළේය. පසුගිය රජය එවකට කරන තක්‌සේරු කිරීම් යටතේ අක්‌කර 10 ක භූමි ප්‍රදේශයක්‌ වසර 99 බද්දකට පවරා දුන්නේය.

shangri1රජය සහ ශැන්ග්‍රිලා අතර ගිවිසුම 2010 දෙසැම්බර් මස අත්සන් කළේය. මුල් පස්‌ පිඩැල්ල 2012 පෙබරවාරි මස බැසිල් රාජපක්‌ෂගේ ප්‍රධානත්වයෙන් පැවැති උත්සවයකදී කැපිණි. එම උත්සවයට ගෝඨාභය රාජපක්‌ෂ සහභාගි වූයේ නැත. එවකට විපක්‌ෂය වූ එජාපය මෙය දූෂිත ගනුදෙනුවක්‌ ලෙස පෙන්වීමට උත්සාහ කළත් කොළඹ පුරපති (වර්තමාන ශ්‍රී ලංකා තානාපති මැලේසියාව) ඒ. ඡේ. ඇම්. මුසාමිල් ප්‍රධාන අමුත්තෙක්‌ ලෙස ඊට සහභාගි විය. ගෝඨාභය එජාප විරසකය කෙසේ වෙතත් මුසාමිල් රාජපක්‌ෂ සමඟ ඉතාම කිට්‌ටුවෙන් කටයුතු කළේය. ශැන්ග්‍රිලා ව්‍යාපෘතිය කොළඹට ගෙන ඒමට කටයුතු කළ අය අතර මුසාමිල් ප්‍රධාන තැනක්‌ ගනී. ඔහු නොවැම්බර් මස 16 දින ශැන්ග්‍රිලා විවෘත කිරීමේ උත්සවයේ ආරාධිතයෙකි. ශැන්ගි්‍රලා විවෘත කිරීම ශ්‍රී ලංකාවට මිල කළ නොහැකි වටිනාකමක්‌ ගෙන දී ඇත. අප රට මානව හිමිකම් කඩන ද්‍රවිඩ සිවිල් වැසියන් දස දහස්‌ ගණනක්‌ ඝාතනය කළ ස්‌ත්‍රීන් පමණක්‌ නොව ද්‍රවිඩ පුරුෂයන් දූෂණය කරන රටක්‌ ලෙස හංවඩු ගසන කාලයක ලෝකයේ ප්‍රබලතම ව්‍යාපාරික ප්‍රජාවක්‌ ශ්‍රී ලංකාව තුළ සාර්ථකව ආයෝජනය කර ඇත.

ශැන්ග්‍රිලා යහපාලනයේ සහයෝගය

2015 ජනවාරි මස ආණ්‌ඩු පෙරළිය හේතුවෙන් ශැන්ග්‍රිලා කොළඹ විවෘත කිරීම පමා වූ බව රහසක්‌ නොවේ. ශැන්ග්‍රිලා ව්‍යාපෘතිය පමණක්‌ නොව එවකට ක්‍රියාත්මක වූ කොළඹ වරාය නගරය ඉදිකිරීමද යහපාලන පාලකයෝ වසරකටත් වඩා වැඩි කාලයකට නවතා දැමීය. එවකට මුදල් ඇමැතිවරයා වූ රවී කරුණානයක චීනය ශ්‍රී ලංකාවට ඉතාමත් අසාධාරණ පොළී අනුපාත යටතේ ණය දෙන බවත් ශ්‍රී ලංකාව මූල්‍යමය අගාධයකට ඇද දමනා බවත් පැවසීය. රජයේ ප්‍රකාශ සහ හැසිරීම චීනය ප්‍රසිද්ධියේ පිළිකුල් කළ අතර තමන් ආරම්භ කරන ලද චීන වරාය නගරය ව්‍යාපෘතිය නැවත ක්‍රියාත්මක කිරීමට කටයුතු කළේය.

කෙසේ වෙතත් රාජපක්‌ෂවරු ආරම්භ කරන ලද ශැන්ග්‍රිලා ආයෝජනය සම්බන්ධයෙන් රජය යහපත් ප්‍රතිචාරයක්‌ දැක්‌වීය. ශැන්ග්‍රිලා හිමිකරුවන්ට තමන් වසර 99 කට ලබා ගත් අක්‌කර 10 ක ඉඩමට යාබද අක්‌කර 3 1/2 ඉඩම ද අවශ්‍ය වූ අතර ඒ පිළිබඳව එකඟතාවක්‌ පැවති රජය සමඟ තිබිණි. එම ගිවිසුම සමාලෝචනය කළ යහපාලන රජය එම ගිවිසුම ශ්‍රී ලංකාවට වඩාත් වාසි දායක ලෙස සැකසීමට කටයුතු කළේය. ඇත්ත වශයෙන්ම පර්චසයකට ලබාදීමට පොරොන්දු වී සිටි මුදල මෙන් දෙගුණයක්‌ ලබා ගැනීමට යහපාලන රජයට හැකි විය. පර්චසය ලක්‌ෂ 131 කට 99 අවුරුදු බද්දකට පවරා දුනි.

පැහැදිලිවම හම්බන්තොට වරාය අවු. 99 බද්දකට පවරා දීම මහත් දේශපාලන කලබගෑනියක්‌ කළත් කොළඹ ශැන්ග්‍රිලාවට අක්‌කර 10 ක්‌ සහ අක්‌කර 3 1/2 බලයේ සිටි සහ බලයේ සිටින රජයන් පවරා දී ඇත.

ශැන්ග්‍රිලාවට ඉඩම් පවරා දීමේ ප්‍රධාන කොන්දේසිය පිළිබඳව පැවති සහ පවතින රජයන් අතර ගැටලුවක්‌ නැති බව පැහැදිලිය. නමුත් විවෘත කිරීමේ උත්සවයට එන විට මෙම කණ්‌ඩායම් දෙකටම ආරාධනා කළ නොහැකි බව ශැන්ග්‍රිලා හිමිකරුවෝ තේරුම් ගෙන ඇත. මෙවැනි තත්ත්වයක්‌ ලෝකයේ අනෙකුත් රටවල් ශැන්ගි්‍රලා හෝටල් විවෘත කරනා විට ඔවුන් කිසිවිටෙකත් මුහුණ දී නැති බව පැහැදිලිය. කොළඹ හෝටලයට අමතරව ශැන්ගි්‍රලාව හම්බන්තොට ද හෝටලයක්‌ විවෘත කළේය. එම ව්‍යාපෘතිය ද ආරම්භ වූයේ රාජපක්‌ෂ සමයේදීය. කොළඹ ශැන්ගි්‍රලාව මෙන් හම්බන්තොට ශැන්ග්‍රිලා හෝටලයද විවෘත වූයේ ජනපති මෛත්‍රිපාල අතිනි. කොළඹ ව්‍යාපෘතියේ ප්‍රථම පස්‌ පිඩැල්ල කැපූ බැසිල් රාජපක්‌ෂ එම උත්සව දෙකටම සහභාගි නොවීය. නමුත් ඔහුට නොවැම්බර් මස 17 දින රාත්‍රි භෝජන සංග්‍රහයට ආරාධනා ලැබී තිබිණි.

ගෝඨාභයගේ අකුරේගොඩ ව්‍යාපෘතිය

කොළඹ ශැන්ගි්‍රලා ව්‍යාපෘතිය සහ අකුරේගොඩ ආරක්‌ෂක හමුදා මූලස්‌ථානය ඉදිකිරීමේ ව්‍යාපෘතිය එකට බැඳී පවතී. පළමු ශැන්ගි්‍රලා ආයෝජනය (අක්‌කර 10 වෙනුවෙන් කළ) මුළුමනින්ම අකුරේගොඩ ආරක්‌ෂක හමුදා මූලස්‌ථානය ඉදිකිරීමට යෙදවීමට ගෝඨාභයට අවශ්‍ය විය. එම තීරණය මත භාණ්‌ඩාගාරය ශැන්ගි්‍රලා ආයෝජනය මුළුමනින්ම රජයේ බැංකුවක තැන්පත් කළේය. එම මුදල් අකුරේගොඩ ව්‍යාපෘතියට යෙදවිණි. ඉදිකිරීම් කඩිනමින් සහ උසස්‌ තත්ත්වයෙන් නිම කිරීමට එවකට ආරක්‌ෂක ලේකම්වරයා නියෝග දුනි. ව්‍යාපෘතිය මේජර් ජෙනරාල් උදය නානායක්‌කාරට පැවරිණි. දැනට විශ්‍රාම ගොස්‌ සිටින නානායක්‌කාර හතරවන ඊළාම් යුද්ධය සමයේ හමුදා ප්‍රකාශක ලෙස කටයුතු කළ අතර රජය පෙරළීමෙන් පසුව ද ව්‍යාපෘතියේ නියෑළිනි. නමුත් රාජපක්‌ෂ රජය පරාජය කර බලයට පැමිණි යහපාලන ඇත්තෝ හදිසියේම අකුරේගොඩ ව්‍යාපෘතිය නවතා දැමීය. අකුරේගොඩ ව්‍යාපෘතිය නවතා දැමීමට කැබිනට්‌ මණ්‌ඩලය තීරණය කළ බව නිල ලෙස පැවසීය. මෙම තීරණය ආරක්‌ෂක හමුදා අතර මහත් කැළඹීමක්‌ ඇති කළේය. මේ තීරණය පිළිබඳව පළමුව අදහස්‌ ප්‍රකාශ කළේ දින 100 ආණ්‌ඩුවේ මුදල් ඇමැති රවී කරුණානායකය. එවකට ආරක්‌ෂක ලේකම් ශැන්ගි්‍රලා ආයෝජනය තම පෞද්ගලික ගිණුමකට බැර කර ගෙන ඇති බවට චෝදනා කළ කරුණානායක ව්‍යාපෘතිය පිළිබඳව පූර්ණ සමාලෝචනයක්‌ කර සිය සම්පූර්ණ ආයෝජනය පිළිබඳව තීරණයක්‌ ලැබෙන තුරු අකුරේගොඩ ව්‍යාපෘතිය නවතා දැමිණි.

මෙම ආන්දොaලනාත්මක තීරණය 2015 මාර්තු මස ගත් අතර, ආරක්‌ෂක ලේකම්වරයා අති දූෂිත පුද්ගලයකු ලෙස පෙන්වීමට රජය උත්සාහ කළේය. මෙම තත්ත්වය අද සලකා බැලිය යුතුව ඇත්තේ 2015 පෙබරවාරි මස 27 දින සිදු කරන ලද මහ බැංකු පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ මහා බැඳුම්කර මංකොල්ලය කළ පසුබිම තුළය.

රජයේ තීරණය ඉතාම අවාසනාවන්ත තත්ත්වයක්‌ ඇති කළේය. ඒකාබද්ධ විපක්‌ෂය මෙම තීරණයට එරෙහිව ඇති ප්‍රමාණයෙන් විරෝධතා මතු කළේ නැත.

රජය වෙනස්‌ වන විට යුද හමුදා භූමි ප්‍රදේශයෙන් ඉවත් වී තිබූ නොයෙකුත් අංශ කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල විසිරී පැවැතිනි. තවමත් තත්ත්වය එසේමය. මෙම තත්ත්වය පිළිබඳව මෙම ලියුම්කරු ගෝඨාභය රාජපක්‌ෂගෙන් කළ විමසීමේදී ඔහු පැවසූයේ ශැන්ගි්‍රලා ආයෝජනය විශේෂිත ගිණුමක තැන්පත් කළේ එම මුළු මුදල අකුරේගොඩ ව්‍යාපෘතියට වියදම් කිරීමට අවශ්‍ය වූ නිසා බවය. නමුත් කැබිනට්‌ ප්‍රකාශක රාජිත සේනාරත්න චෝදනා කළේ ගෝඨාභයට අවශ්‍ය පරිදි මීට අදාළ සියලු කැබිනට්‌ ලිපි ලේඛන සකසා ඇති බවයි. පසුව එම තහනම ඉවත් කෙරිණි. ඉදිකිරීම් පටන් ගැනුනු අතර මෑතකදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන අකුරේගොඩ නිරීක්‌ෂණ චාරිකාවක නිරත විය. එය 2017 සැප්තැම්බර් 5 වන දිනය. එදිනම එතුමා හිටපු ජනාධිපතිවරයා ආරම්භ කළ නෙළුම් කුළුණ ව්‍යාපෘතිය නිරීක්‌ෂණය කළේය. එයද චීන ව්‍යාපෘතියකි.

පසුගිය රජය ආරම්භ කරන ලද සියලු චීන ව්‍යාපෘති අති දූෂිත ගනුදෙනු ලෙස එවකට විපක්‌ෂය චෝදනා කළේය. එයින් ප්‍රධානම ව්‍යාපෘතිය කොළඹ වරාය නගරය නවතා දැමීය. වසරකට පසුව එය නැවත පටන් ගැණිනි. චීනය ශ්‍රී ලංකාව තුළ ආයෝජනවල වටිනාකම වටහා ගැනීමට ඔවුන්ට බැරි විය. හම්බන්තොට වරාය ආයෝජනය කරනා විට උතුරේ යුද්ධය ඉතාම දරුණු අන්දමින් පැවතිනි. අද බලයේ සිටින බොහෝ ඇත්තෝ LTTE පරාජය කළ නොහැකි බව කොක්‌ටේල් සාදවලදී පැවසූහ.

එවන් කාලයක චීනය හම්බන්තොට ආයෝජනය කළේය. LTTE යෙන් ගාලු වරායට එල්ල වන තර්ජනය චීනය නොසලකා හැරීය. අද ශ්‍රී ලංකාවට යහපාලනය පිළිබඳ පාඩම් කියා දෙන බටහිර බලවත්තු කිසිදු අලුතින් ආයෝජනයක්‌ කළේ නැත. නමුත් මහා මුදල් ප්‍රමාණයක්‌ රාජ්‍ය නොවන සංවිධාන හට ලබා දුන්නේ ශ්‍රී ලංකාව ලෝකය ඉදිරියේ මිනී කන්නන්ගේ දේශයක්‌ ලෙස පෙන්වා දීමටය.

පෙර පැවතිs පාලනය බටහිර බලවතුන් කරනා මැදිහත්a වීම හරියාකාරව තේරුම් නොගැනීම හේතුවෙන් 2015 ජනවාරි මස ආණ්‌ඩු පෙරළිය පහසු විය. හිටපු ජනාධිපතිවරයා සමඟ සිටිනා ඒකාබද්ධ විපක්‌ෂය එදා කළ මැදිහත් වීම සහ අද කරනා බලවත් මැදිහත් වීමද හරියාකාරව තේරුම් ගෙන නැත. ඒකාබද්ධ විපක්‌ෂයට පළාත් පාලන මැතිවරණය, බියර් මිල අඩු වීම, පළාත් සභා සහ පළාත් පාලන ඇමැති ෆයිසර් මුස්‌තාපා මූලික සටන් පාඨ වී ඇත.

උතුරේ කොටි සැමරුම්, හිටපු ආරක්‌ෂක ලේකම්වරයා අත්අඩංගුවට ගැනීමට උත්සාහ කිරීම අතරේ ශැන්ග්‍රිලා හෝටලය විවෘත වී ඇත. ලොව ප්‍රමුඛතම ව්‍යාපාරික නාමයක්‌ වන ශැන්ග්‍රිලා කොළඹට පැමිණීම ඇත්ත වශයෙන්ම අපගේ ජයග්‍රහණයකි. නමුත් මෙවැනි වටිනා කටයුත්තට මූලික වූ හිටපු ආරක්‌ෂක ලේකම්වරයා මේ අවස්‌ථාවේ තම පියාණන් වූ ඩී. ඒ. රාජපක්‌ෂගේ සිහිවටනයක්‌ ඉදිකිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය බව රජයේ අදහසයි. මහ බැංකු හොරුන් අදටත් නිදැල්ලේ සිටිති. මහා සංඝරත්නයේ බලවත් මැදිහත්වීම හේතුවෙන් මෙම අත්අඩංගුවට ගැනීම සිදු නොවූ අතර, එය සිදු වූවා නම් ත්‍රස්‌තවාදය පරාජය කිරීමට මූලිකව කටයුතු කළ එතුමා කොටි වීර දිනය සමරන දිනයේ වැලිකඩ බන්ධනාගාරයේ සැකකරුවකු ලෙස ගත කිරීමට තිබිණි. එය ත්‍රස්‌තවාදයේ පරාජයෙන් කනගාටුවට පත් වී ඇති බටහිර බලවත්තු යම් රාජ්‍ය නොවන සංවිධාන සහ සමහර දෙමළ පක්‌ෂ ප්‍රධානීන්ගේ සතුටට හේතුවන බව ස්‌ථිරය.

ගෝඨාභය රාජපක්‌ෂ මහතා හිටපු ජනාධිපතිවරයා සමඟ ශැන්ගි්‍රලා උත්සවයට නොවැම්බර් 17 සහභාගි වූයේ ඔහුව අත්අඩංගුවට පත් වීම පිළිබඳව කතාබහ අතරේය. රාජපක්‌ෂ මහතා දින කීපයකට හෝ වැලිකඩට යෑවීම රටට එරෙහි බලවේග විශාල ජයග්‍රහණයක්‌ ලෙස සළකන බව පෙනේ. ඔහුව වැලිකඩට යෑවීම මහින්ද රාජපක්‌ෂ එම තත්ත්වයට පත් කිරීමට සමාන කළ හැක. සමහර විට එය ඊටත් එහා ගිය තත්ත්වයකි.

ඔහු එළඹෙන ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට ඇති අවස්‌ථාව උග්‍ර දේශපාලන අර්බුදයක්‌ නිර්මාණය කර ඇත. ඉදිරි දින කීපය තුළ මෙම ගැටුම උග්‍රවනු ඇත. රාජපක්‌ෂ ඇමරිකාවේ ගත කළ සැප පහසු ජීවිතය අතහැර තම සොහොයුරාගේ රජයේ ආරක්‌ෂක ලේකම් ලෙස පත් වූයේ නැත්නම් ශ්‍රී ලංකාව ත්‍රස්‌තවාදීන් පරාජය කිරීමට අවශ්‍ය හමුදා අතර සම්බන්ධතාවය මෙන්ම හමුදා සහ දේශපාලන නායකත්වය අතර සහසම්බන්ධතාවද ඇති වන්නේ නැත. සත්‍ය එයයි. ඔහුගේ සෘජු තීරණ ගැනීම යුද ජයග්‍රහණයට මූලික හේතුව විය. විශ්‍රාම යැමට නියමිතව සිටි මේජර් ජෙනරාල් සරත් ෆොන්සේකා හමුදාපති ධුරයට ඔහු යෝජනා නොකළේ නම් මෙම යුද්ධය කිසිදා ජය ගත හැකි වන්නේ නැත. සත්‍ය එයයි. අප රටේ අවාසනාවකට යුද හමුදාව මෙහෙය වූ සෙන්පතියා පසුගිය රජය සිරභාරයට පත් කළ අතර, යුද්ධය සම්බන්ධීකරණ කළ ආරක්‌ෂක ලේකම්වරයා අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය බව වත්මන් රජය පවසයි.

මෙවැනි ඛේදනීය තත්ත්වයට මුහුණ දුන් රටක්‌ තවත් ලෝකයේ තිබේ දැයි සොයා බැලීම වටී. ඇමරිකාව රාජපක්‌ෂ සහ ෆොන්සේකා දෙදෙනාම යුද අපරාධකරුවන් ලෙස නම් කළ අතර, එම චෝදනාවට මූලික වූ 40,000 අධික දමිළ වැසියන් ඝාතනය කළ ප්‍රධානම චෝදනාව අද ප්‍රලාපයක්‌ බවට පත් වී ඇත. එයට හේතුව බ්‍රිතාන්‍ය සාමි මණ්‌ඩලයේ නේස්‌බි සාමිවරයා ඔක්‌තෝබර් මස 12 කළ ප්‍රකාශයකි.

යහපාලන රජය කිසිවක්‌ නොදන්නා ආකාරයට කටයුතු කරමින් සිටී. පොදු හතුරා යුහුසුළුව හඳුනා ගත යුතුව ඇත. LTTE ය ත්‍රස්‌තවාදය පරදා වසර 9 කට පසුව ශ්‍රී ලංකාව නැවත ඒ හා සමාන තර්ජනයකට මුහුණ දී සිටී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here