සර්බියාව බෙදා කොසොවෝ බිහිකළා වගේ – දෙමළ ඊළාම් රාජ්‍යයක්‌ බිහිකිරීමට බෙදුම්වාදීන් කටයුතු සම්පාදනය කරනවා – රියර් අද්මිරාල් සරත් වීරසේකර

0
504

සර්බියාව බෙදා කොසොවෝ රාජ්‍යය බිහිකළ ආකාරයට දෙමළ ඊළාම් රාජ්‍යයක්‌ බිහිකිරීම සඳහා අවශ්‍ය කරුණු දෙමළ බෙදුම්වාදීන් විසින් සම්පාදනය කරමින් සිටින බව රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා පැවසීය. වීරසේකර මහතා එම අදහස්‌ ප්‍රකාශ කර සිටියේ ඊයේ (05 දා) එළිය සංවිධානය, ජාතික පුස්‌තකාල හා ප්‍රලේඛනසේවා ශ්‍රවණාගාරයේදී පැවැත්වූ මාධ්‍ය හමුවේදීය. දෙමළ බෙදුම්වාදීන්ගේ ක්‍රියාකාරකම් පිළිබඳව වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ ඒ මහතා මෙසේද පැවසීය.

පසුගිය දා තමිල්ලානඩුවේදී ලක්‍ෂ ගණනක්‌ සහභාගි වූ උද්ඝෝෂණයක්‌ පැවැත්වූවා. එම උද්ඝෝෂණයේ දී ප්‍රභාකරන් තමන්ගේ සහෝදරයා බවත් දෙමළ ඊළම බිහිකිරීමට සහයෝගය ලබා දෙන බවත් ප්‍රකාශ කර තිබෙනවා. ඒ වගේම ත්‍රිකුණාමලය ඊළාම් රාජ්‍යයේ අගනුවර කරන බවත් ප්‍රකාශ කර තිබෙනවා.

එබඳු උද්ඝෝෂණ පවත්වන්නේ දෙමළ ඊළම බිහිකිරීම සඳහා අවශ්‍ය ජාත්‍යන්තර සහයෝගය ලබාදීම සඳහා තමයි මෙබඳු උද්ඝෝෂණ කලින් තිබුණේ නැහැ. මෙබඳු තත්ත්වයක්‌ උත්සන්න වී තිබෙන්නේ රජය අනුගමනය කරන ප්‍රතිපත්තිය නිසා තමයි.

උතුරේ මහ ඇමැති විග්නේෂ්වරම් දෙමළ ඊළම බිහිකිරීම සඳහා අවශ්‍ය යෝජනා කිහිපයක්‌ දැනටමත් සම්මත කරගෙන තිබෙනවා. ඔවුන් සම්මත කරගෙන තිබෙන එක්‌ යෝජනාවක්‌ තමයි 1948 සිට දෙමළ ජනතාව සමූල ඝාතනය කළ බව. ඒ වගේම දෙමළ කාන්තාවන් වඳ කළ බවටත් යෝජනා සම්මත කර තිබෙනවා. එම චෝදනා ප්‍රතික්‍ෂේප කිරීමට රජය මේ දක්‌වා කටයුතු කර නැහැ.

එසේ වුවත් රජය දෙමළ බෙදුම්වාදීන් වෙනම රාජ්‍යයක්‌ කරා යන ගමනට අවශ්‍ය අයුරින් කටයුතු කරමින් සිටිනවා. විග්නේෂ්වරම්ලාට ඉඩම් සහ පොලිස්‌ බලතල ලබාදීමෙන් එම තත්ත්වය උත්සන්න වෙනවා. මේ මොහොත වන විටත් දෙමළ බෙදුම්වාදීන් උතුර සහ නැගෙනහිර ජීවත් වූ 20000 ක්‌ පමණ වූ සිංහල ජනතාව සහ 75000 ක්‌ පමණ වූ මුස්‌ලිම් ජනතාව එම ප්‍රදේශයෙන් පලවා හැර වාර්ගික ශුද්ධ කිරීමක්‌ කරලා. පළාත් සභාව හරහා වෙනම භූමියක්‌ නිර්මාණය කරගෙන සිටිනවා. එම භූමියට ඉඩම් සහ පොලිස්‌ බලතල ලබාදුන්නොත් ගැටුමක්‌ නිර්මාණය කරගෙන ඔවුන් ලබා දුන් බලයත් දෙන්නේ නැහැ කියලා ජාත්‍යන්තරයට කියන්න අවස්‌ථාව උදාවනවා. එබඳු අවස්‌ථාවකදී තමිල්නාඩුවේ සහයෝගය හිමිවීමත් එක්‌සත් ජාතීන්ගේ සහයෝගය හිමිවීමත් තමයි. එබඳු අවස්‌ථාවක්‌ නිර්මාණය කර ගැනීම මගින් සර්බියාවෙන් කොසොවෝ ප්‍රදේශය වෙන්කරගත් අවස්‌ථාවට සමාන අවස්‌ථාවක්‌ නිර්මාණය වනවා. එසේ වුවත් රජය එබඳු අවස්‌ථාවක්‌ නිර්මාණය වීම වැලැක්‌වීමට අවශ්‍ය පියවර නොගන්නා බව වැඩිදුරටත් අදහස්‌ දක්‌වමින් වීරසේකර මහතා පැවසීය.

එරික්‌ ගාමිණී ජිනප්‍රිය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here