ෆෙඩරල් ගැන ජනතාව තුළ තිබෙන බයනැති කරන්න ඕන ආණ්‌ඩුව – ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු

0
544

p6අපේ රටේ සියලු ජාතීන් අතර සමගිය සහ සංහිඳියාව ඇතිකරගැනීම සඳහා නව ව්‍යවස්‌ථාවක්‌ තුළින් පුළුල් බලය බෙදාහැරීමක්‌ අවශ්‍ය බව උතුරේ දේශපාලනඥයන් දරන මතයයි. නව ව්‍යවස්‌ථාවක්‌ තුළින් බලය බෙදා හැරීමක්‌ සිදුකළ හැක්‌කේ කෙසේද යන්න පිළිබඳ ආණ්‌ඩුව ව්‍යවස්‌ථා සම්පාදක මණ්‌ඩලයක්‌ පත් කළේද එබැවිනි. ජාතීන් අතර සංහිඳියාවක්‌ ඇතිකළ හැක්‌කේ කෙසේද යන්න පිළිබඳ ජනතා අදහස්‌ විමසූ සංහිඳියා බලකායේ ලේකම් ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු මහතාගේ අදහස ඒකීය ආණ්‌ඩු ක්‍රමයක්‌ යටතේ බලය බෙදාහැරීමෙන් ජාතීන් අතර සංහිඳියාවක්‌ ඇති කළ නොහැකි බවයි. ඒ සඳහා ෆෙඩරල් ක්‍රමයක්‌ රටේ ස්‌ථාපිත කළ යුතු බව ඔහුගේ අදහසය. විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ විධායක අධ්‍යක්‌ෂ ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු සමග දිවයින ඉරිදා සංග්‍රහය පැවැත්වූ සාකච්ඡාවකි මේ.

අපේ රටේ ඊළාම් රාජ්‍යයක්‌ බිහිවෙනවාට ඔබ කැමතිද?

අපේ රට බෙදනවට, ඊළාම් රාජ්‍යයක්‌ ඇතිවෙනවට මම විරුද්ධයි. රට බෙදීමට සහය නොදීම ගැන එල්ටීටීඊ කණ්‌ඩායම, දෙමළ දේශපාලනඥයෝ වගේම ඇතැම් දෙමළ ජන කොටස්‌ මාව විවේචනය කරලත් තියෙනව. මම කවදාවත් ඊළාම් රාජ්‍යයකට සහය දීල නෑ. මම කිසිම දවසක මේ රට බෙදන්න ඕන කියල නෑ.

හොඳයි ඔබ කියන්නෙ මොකක්‌ද?

මම කියන්නේ මේ රටේ හැම ජනවර්ගයකටම ඒ අයගෙ අභිලාෂයන්ට ප්‍රශ්නවලට විසඳුම් ලැබෙන ව්‍යවස්‌ථාවක්‌ අපේ රටට අවශ්‍යයි. සියලු දෙනාටම මේ රටේ පුරවැසියන් හැටියට සමාන අයිතිවාසිකම් ඇතිව නිදහසේ ජීවත්වීමට හැකි ව්‍යවස්‌ථාවක්‌ අවශ්‍යයි. ඒ සඳහා රට නොවෙයි, බලය බෙදීමක්‌ අවශ්‍යයි. අපේ රටේ සියලුම ජනතාව බලාපොරොත්තු වෙන පරිදි බලය බෙදීමක්‌ ඒකීය රාජ්‍ය ක්‍රමය තුළ සිදුකරන්න බෑ. එමනිසා අපේ රටට ෆෙඩරල් ක්‍රමයක්‌ අවශ්‍යයි. මම සහාය දෙන්නෙ ෆෙඩරල් ක්‍රමයකට.

ලෝකයේ ෆෙඩරල් ක්‍රමය ක්‍රියාත්මක වන රටවල් සහ ඒකීය ක්‍රමය ක්‍රියාත්මක වන රටවල් තියෙනව. ප්‍රායෝගිකව බැලුවොත් ෆෙඩරල් ක්‍රමය ක්‍රියාත්මක වන රටවල ශක්‌තිමත් මධ්‍යම ආණ්‌ඩුවක්‌ යටතේ බලය බෙදල තිබෙනව. ඒකීය රාජ්‍ය ක්‍රමය තුළත් බලය බෙදල තියෙනව. බ්‍රිතාන්‍යය, ස්‌කොට්‌ලන්තය, උතුරු අයර්ලන්තය ආදී රටවල් උදාහරණ විදිහට පෙන්වන්න පුළුවන්. බලය බෙදන්න බැහැ කියන එක විහිළුවක්‌.

බලය බෙදීම සඳහා යෝජිත අලුත් ව්‍යවස්‌ථාව ගැන අපේ රටේ වැඩිදෙනා තුළ තිබෙන්නෙ සැකයක්‌. ඒකීය යන සිංහල වචනය දෙමළ බසින් දක්‌වා තිබෙන්නෙ ඔරුමිත්තනාඩු නමින්. ඔරුමිත්තනාඩු කියන්නෙ එක්‌සත් රාජ්‍ය මිස ඒකීය රාජ්‍ය නෙමෙයි. මෙවැනි වචන හරඹ නිසා මේ යෝජිත නව ව්‍යවස්‌ථාව ගැන විශේෂයෙන් සිංහල බෞද්ධ ජනතාව තුළ විශාල සැකයක්‌ ඇති වී තිබෙනවා?

දැන් මේ නව ව්‍යවස්‌ථාව ගැන විවාදය යන්නෙ මේ වචන ගැන. මේක විහිළුවක්‌. මේ රටට නව ව්‍යවස්‌ථාවක්‌ අවශ්‍ය වන්නේ මේ රටේ හැම පුරවැසියකුටම සමාන අයිතිවාසිකම් ලැබෙන විදිහේ පාලන ක්‍රමයක්‌ ඇතිකරගන්නයි. මේ ව්‍යවස්‌ථාවෙන් රට බෙදෙන බව කියනවා. ඒකීයභාවය නැතිවෙන බව කියනවා. අපේ රටේ අවුරුදු 70 ක්‌ තිස්‌සෙ ඒකීය රාජ්‍ය පාලන ක්‍රමයක්‌ පවතිනවා. ඒකීය රාජ්‍ය යටතේ මේ රටේ ජනතාවගෙ ප්‍රශ්න විසඳිලා තියෙනවද? එල්ටීටීඊ සංවිධානය ගෙනගිය ආයුධ සන්නද්ධ යුද්ධය නවත්වන්න ඒකීය රාජ්‍යයට හෝ මේ පවතින ව්‍යවස්‌ථාවට පුළුවන් වුණාද? මේ රට බෙදන්න ඕන කියල අවුරුදු තිහක්‌ තිස්‌සෙ එල්ටීටීඊ සංවිධානය යුද්ධ කළේ ඒකීය රාජ්‍ය ක්‍රමය නිසා.

වර්තමාන ව්‍යවස්‌ථාවෙන් ඒකීය පාලන ක්‍රමයක්‌ යටතේ උපරිම ලෙස බලය බෙදා තිබෙන බව අපේ රටේ විද්වතුන්ගේ මතයයි. තවදුරටත් බලය බෙදුවොත් මේ රට ඒකීය රටක්‌ නෙමෙයි?

අද පවතින ව්‍යවස්‌ථාවවත් සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කරල නෑ. 13 වැනි ව්‍යවස්‌ථා සංශෝධනයෙන් පළාත් සභාවලට හිමි කර දී තිබෙන ඉඩම් හා පොලිස්‌ බලතල ඒවාට ලබාදීල නෑ. ඉතිං කොහොමද බලය බෙදල තියෙනව කියන්නෙ. මෙවර ව්‍යවස්‌ථා සභාවෙදි කමිටු 6 ක්‌ පත්කළා. එක කමිටුවක්‌ බලය බෙදීම ගැන කතාකළා. ප්‍රධාන අමාත්‍යවරු ඒ අයගෙ යෝජනා ඉදිරිපත් කළා. ඒ සියලු දෙනාම කියන්නෙ එක දෙයයි. 13 වැනි ව්‍යවස්‌ථා සංශෝධනයෙන් මධ්‍යම ආණ්‌ඩුවට අයිති බලය යටතේ ඒ අයට කිසිදෙයක්‌ කරන්න බෑ කියන එකයි ඔවුන් කියන්නෙ. ඉතින් කොහොමද බලය බෙදල තියෙනවා කියන්නෙ. මේ මධ්‍යම ආණ්‌ඩුව සමග, විධායක ජනාධිපති ක්‍රමය සමඟ බලය නියම ආකාරයට බෙදන්න බෑ. මේ ක්‍රමය තුළ නිසියාකාරව බලය බෙදීමක්‌ ක්‍රියාත්මක කරන්න බෑ.

ඒනිසා ඔබ මේ රටට ෆෙඩරල් ක්‍රමයක්‌ යෝජනා කරනවා. ආණ්‌ඩුකාරවරයා පත්කිරීමට ජනාධිපතිවරයාට හිමි බලතල ඉවත් කරල, ජනාධිපති බලතල කප්පාදු කරල, මධ්‍යම ආණ්‌ඩුවේ බලය හීන කරල ඇතිකරන ෆෙඩරල් ක්‍රමයක්‌ යටතේ උතුර හා නැගෙනහිර මධ්‍යම ආණ්‌ඩුව යටතේ පවතී කියල ඔබ හිතනවද?

උතුරෙ සහ නැගෙනහිර ඉන්නෙත් මේ රටේ පුරවැසියො. ඒ අය කොහේ යන්නද? ඒ අය කොහේවත් යන්නෙ නෑ. එල්ටීටීඊය පරාජය කළා. දැන් මේ රට බෙදන්න ඕන කියල කියන එක දෙමළ පක්‌ෂයක්‌ හෝ දේශපාලන ව්‍යාපාරයක්‌ තිබෙනවා නම් මට කියන්න. අද කිසි කෙනෙක්‌ මේ රට බෙදන්න ඕන කියල කියන්නෙ නෑ. සම්බන්ධන් මහත්මයා, සුමන්දිරන් මහත්මයා තියා විග්නේෂ්වරන් මහත්මයවත් කියන්නෙ නෑ. මට තේරෙන්නෙ නෑ මේ නව ව්‍යවස්‌ථාවට, ෆෙඩරල් ක්‍රමයකට ඇයි මේ තරම් බය කියල.
ෆෙඩරල් ක්‍රමයක්‌ ඇති කිරීම මේ රට බෙදා වෙන්කිරීමට සහය දීමක්‌ නෙමෙයිද? රටේ වැඩිදෙනාගේ පිළිගැනීම එයයි?

මේ රට නොබෙදී පවත්වාගැනීමට නම් ෆෙඩරල් ක්‍රමයක්‌ අවශ්‍යයි කියන එකයි මගෙ මතය. ෆෙඩරල් ක්‍රමය ක්‍රියාත්මක වෙන්න ඕන උතුර නැගෙනහිරට විතරක්‌ නෙමෙයි. එය අපේ රටේ යහපාලනයකට අත්‍යවශ්‍ය ක්‍රමයක්‌. මේ ක්‍රමය නිසා අපේ රටේ සියලුම ජනතාවට ප්‍රතිලාභයක්‌ ලැබෙනවා. වයඹ පළාතේ ජීවත්වන කෙනෙක්‌ තමන්ගෙ ප්‍රශ්නයක්‌ විසඳගන්න කොළඹටම එන්න ඕනද? ඒ අයගෙ ප්‍රශ්න ඒ අයට විසඳගන්න ඒ අයට බලය දෙන්න ඕන. වගකීමක්‌ දෙන්න ඕන. වගවීමක්‌ දෙන්න ඕන. බලය පුරවැසියන්ට ලබාදීමයි බලය බෙදීම කියන්නෙ. ඔවුන්ගේ ජීවිතවලට සැබෑ අයිතියක්‌ ලැබෙන්නෙ එතකොටයි.

අපේ රටේ මධ්‍යම ආණ්‌ඩුවට දැන් තිබෙන බලතල යටතේත් ඇතමුන් ජාතික කොඩිය උතුරේ දී ප්‍රතික්‌ෂේප කරන විට, උතුරේ සහ නැගෙනහිර දෙපළාතේ සිංහල බෞද්ධ උරුමයන් විනාශ කරන විට තවදුරටත් මධ්‍යම ආණ්‌ඩුවේ බලය අඩු කළොත් ඔබ හිතන විදිහට මේ රටේ අයිතිය මේ රටේ සියලු දෙනාටම ලැබෙයිද?

ජාතික කොඩිය ප්‍රතික්‌ෂේප කළේ ෆෙඩරල් ක්‍රමයක්‌ යටතේ නෙමෙයි මේ පවතින ඒකීය ක්‍රමය යටතෙයි. යම් පුද්ගලයෙක්‌ රටේ ජාතික කොඩිය ප්‍රතික්‌ෂේප කරනවා නම් ඊට නිසි පියවර ගන්න නීති රීති වර්තමාන ව්‍යවස්‌ථාවේ තිබෙනවා. ඉන්දියාව එක කොඩියක්‌ යටතේ තිබෙන ෆෙඩරල් රටක්‌. මම කියන්නෙ අපිත් ඒ සංස්‌කෘතිය ඇතිකරගන්න ඕන. ශක්‌තිමත් කරන්න ඕන ආණ්‌ඩුව නෙමෙයි රාජ්‍යයයි. රටේ එක්‌සත් බවයි ශක්‌තිමත් කරන්න ඕන. ඒක කරන්න නම් බලය බෙදන්න ඕන.

ඡේ. ආර්. ජයවර්ධන මහතා විධායක ජනාධිපති ක්‍රමය ගෙනාවෙ ශක්‌තිමත් මධ්‍යම ආණ්‌ඩුවක්‌ ඇතිකරන්න. ඒ තුළින් රටේ ආර්ථිකය ශක්‌තිමත් කරන්න පුළුවන් කිව්වා. දැන් අවුරුදු 40 කට කිට්‌ටු කාලයක්‌ ගතවී තිබෙනවා. රටේ ආර්ථිකය ශක්‌තිමත් වුණාද? සිදුවුණේ මේ රටේ යුද්ධ දෙකක්‌ – එකක්‌ ඡේ.වී.පී.ය, අනෙක එල්ටීටීඊය. මේ විධායක ජනාධිපති ක්‍රමය යටතේ මේ තත්ත්වයන් වළක්‌වන්න බෑ. ජනතාවට අයිතියක්‌ දෙන්න. ජනතාවට බලයක්‌ දෙන්න. ආණ්‌ඩුව නොවෙයි රාජ්‍යය ශක්‌තිමත් කරන්න. රටේ එක්‌සත් භාවයක්‌ ගොඩනගන්න පුළුවන් එහෙමයි.

ඔබ ඔය කියන බලය බෙදීමට මේ රටේ බහුතර ජනතාව විරුද්ධයි?

ඔබ කොහොමද එහෙම කියන්නෙ?

ජාතීන් අතර සංහිඳියාව ඇතිකිරීම සඳහා පත්කළ බලකායේ ඔබ ලේකම්වරයා හැටියට රට පුරා සිදුකළ ජනමත විමසීමෙන් එය පැහැදිලි වුණා නේද?

අප සිදුකළ මත විමසීමේදී හත්දහසකට වැඩි පිරිසක්‌ අදහස්‌ ප්‍රකාශ කළා. ඒ සියලු දෙනාගේම පාහේ මතය ජාතීන් අතර සංහිඳියාවක්‌ ඇතිකිරීම අත්‍යාවශ්‍ය බවයි.

කෝටි දෙකක්‌ ජීවත්වන රටක 7000 ක්‌ කියන්නෙ ඉතාම සුළු පිරිසක්‌. ඔවුන් දරන මතය මුළු රටේම ජනතාව නියෝජනය කරන්නෙ නෑ?

මට කියන්න පුළුවන් මිලියන හතක්‌ අදහස්‌ ප්‍රකාශ කළා කියල. මම කිව්වෙ ඇත්තටම අදහස්‌ ප්‍රකාශ කළ ගණන. ඒ අයත් සියලු දෙනා එක මතයක්‌ ප්‍රකාශ කළේ නෑ. විවිධ මත තිබ්බා. හැමදෙනාම පාහේ දැරූ පොදු මතය තමයි සංහිඳියාවක්‌ රටට අවශ්‍යයි කියන එක. ආරක්‌ෂක අංශ සාමාජිකයන් සමගත් අපි කතා කළා. ඔවුන්ගේ මතයත් ජාතීන් අතර සංහිඳියාවක්‌ රටට අවශ්‍යයි කියන එකයි.

අද තිබෙන ප්‍රශ්නය ජාතීන් අතර සංහිඳියාවක්‌ රටට අවශ්‍යද නැද්ද කියන එක නෙමෙයි. ජාතීන් සංහිඳියාව ඇතිකරගන්නෙ කොහොමද කියන එක ගැන නේද?

ඒක තමයි අද තිබෙන ප්‍රශ්නය. මගේ අත්දැකීම අනුව නම් අපේ රටේ මොකක්‌ද වුණේ කියන දේ, උතුරේ වගේම දකුණෙත් මොකක්‌ද වුණේ කියන දේ ජනතාව හරිහැටි දැනගන්නේ නැතිව ජාතීන් අතර සංහිඳියාවක්‌ ඇතිකරන්න බෑ.

ඔබ ඔය කියන කාරණයම බටහිර රටවලුත් අපට කියනවා. ඔවුන් කියන්නෙ අපේ රට මානව හිමිකම් කඩ කළ රටක්‌. එය සොයා බැලිය යුතුයි කියලයි. ඔවුන් කරන මානව හිමිකම් කඩකිරීම් ගැන කවුරුත් කතා කරන්නේ නෑ නේද?

ඇයි වෙනත් රටවල් වැරදි කරනවා කියල අපි වැරදි කරන්නෙ. අපි අතින් වැරදි සිදුවී තිබෙනවා නම් ඒවා ගැන සොයා නොබැලීමට එය හේතුවක්‌ නෙවෙයි. සිදුවූයේ කුමක්‌ද යන්න සොයා බැලීම තුළ ජනතාව සත්‍යය දැනගනීවි. ජාතීන් අතර සංහිඳියාවක්‌ ඇති කිරීමට ජනතාව සත්‍ය දැනගැනීම අත්‍යාවශ්‍යයි.

මේ ආකාරයට අපේ රටේ ජාතීන් අතර සංහිඳියාවක්‌ ඇතිකරන්න පුළුවන් කියල ඔබ හිතනවද?

අපේ රටේ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂයයි එක්‌සත් ජාතික පක්‌ෂයයි එකතුවෙලා ආණ්‌ඩුවක්‌ හදයි කියල කවුරුවත් හිතුවෙ නෑ. එහෙම ආණ්‌ඩුවක්‌ දැන් තියෙනව. ජනතාව ෆෙඩරල් ක්‍රමයකට විරුද්ධ ඒ ගැන තියෙන බය නිසයි. ආණ්‌ඩුවට දැන් තියෙන්නෙ ජනතාව තුළ තිබෙන ඒ බය නැති කරන්නයි.

සාකච්ඡා කළේ – පාලිත සේනානායක
ඡායාරූපය – ජූඩ් ඩෙන්සිල් පතිරාජ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here