වසර විසිපහකට පෙර රටට අහිමි වූ ජාතියේ සුජාත පුත්‍රයෝ…

0
401

 

 

 

 

 

*ලුතිනන් ජෙනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව රණවිරුවාගේ
25 වැනි ගුණසමරුව නිමිත්තෙනි.
බෙංගමුවේ නාලක හිමි(2017/08/08 දින දිවයින පුවත්පතෙන් උපුටා ගන්නා ලදී)

ලුතිනන් ජෙනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව විරුවාණන් ඇතුළු රණවිරුවන් දස දෙනෙක්‌ මීට වසර විසිපහකට පෙර එනම් 1992 අගෝස්‌තු 08 වැනිදා දැයෙන් සමුගත්හ. එවකට ත්‍රස්‌තවාදය මැඩලීමේ ක්‍රියාදාමයේ පුරෝගාමි චරිතයක්‌ වූයේ ඩෙන්සිල් කොබ්බෑකඩුව මහතාය. අගෝස්‌තු 06 වැනිදා උතුරට යැමට පෙර අනුරාධපුර හමුදා මූලස්‌ථානයේ දී දේශප්‍රේමි භික්‌ෂු පෙරමුණේ සභාපති තුරුවිල විමලධම්ම නාහිමි, භාණ්‌ඩාගාරික වලවේ සෝරත හිමි හා මා ද එතුමන් හමුවී සාකච්ඡාවක්‌ කළෙමු. එහි දී අප ඉල්ලා සිටියේ මේ වේලාවෙදී උතුරට නොයන ලෙසයි. එහෙත් සැලසුම් කරන ලද මෙහෙයුමක්‌ සංවිධානය කිරීම සඳහා උතුරට යැමට සිදුවී ඇති බව එතුමා පැවසුවේය. ත්‍රස්‌තවාදය අවසන් කිරීම සඳහා ප්‍රේමදාස ජනාධිපතිතුමා තමන්ට සියලුම සහයෝගය ලබා දීමට එකඟ වී ඇති බවත් ඒ අනුව මූලික සැකසුම පිළිබඳව පරීක්‌ෂණ කටයුතු වෙනුවෙන් මෙම ගමන අනිවාර්යයෙන්ම යා යුතු බවත් එතුමා කියා සිටියේ ය. එහෙත් අපට නම් දැනුනේ එම ගමන නොයා යුතු බවයි.

මීට පෙර යම් යම් අවස්‌ථාවල දී කොබ්බෑකඩුව මහතා ගනු ලැබූ තීරණ අපගේ ඉල්ලීම මත වෙනස්‌ කළත් මෙවර උතුරට යන ගමන වෙනස්‌ කිරීමට එතුමා කිසිසේත්ම කැමති වූයේ නැත. කෙසේ හෝ අගෝස්‌තු 08 වැනිදා කයිට්‌ස්‌ දූපතේ දී සතුරන් විසින් අටවන ලද බෝම්බයකට හසු වී ලුතිනන් ජෙනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව, මේජර් ජෙනරාල් විජය විමලරත්න, කර්නල් පී. එල්. ආරියරත්න, කර්නල් ඒ. පලිපාන, ලුතිනන් එන්. එස්‌. ද අල්විස්‌, කොමදොaරු ඩී. ඒ. එම්. එන්. ජයමහ, ලුතිනන් ඒ. ලංකාතිලක, ලුතිනන් ඩබ්. ඩී. සී. ඩබ්. විඡේපුර, සෙබළ ඩබ්. ඡේ. වික්‍රමරත්න යන රණවිරුවන් දස දෙනා දැයෙන් සමුගත්හ. ‘ලෑන්ඩ් රෝවර්’ රථය බෝම්බයකට හසු වූ අවස්‌ථාවේ දී කොබ්බෑකඩුව මහතාගේ ජීවිතය රැකත හැකි තත්ත්වයක පැවැති බව එතුමන්ගේ ආරක්‌ෂක නිලධාරියා අප සමඟ පැවසුවේ හැඬූ කඳුළෙනි. එහෙත් ඝාතනය සැලසුම් කළ අයගේ අරමුණ වූයේ අන් අයටත් වඩා කොබ්බෑකඩුව මහතා ඝාතනය කිරීම බැවින් දොa වහාම ප්‍රතිකාර කිරීමට අනුරාධපුර රෝහලට රැගෙන නොගියා මෙන්ම එතුමන් රැගත් හෙලිකොප්ටරය පැය එකහමාරක්‌ තිස්‌සේ ගුවනෙහි තබා ගැනීමට ද කටයුතු කළ බව දැනගන්නට ලැබිණි.

අනුරාධපුර, ශ්‍රී ජයවර්ධනපුර, කලුබෝවිල, කොළඹ මහරෝහල යන සෑම රෝහලකම වෛද්‍යවරු එතුමාට ප්‍රතිකාර කිරීම සඳහා සූදානම්ව සිටියහ. පොදු ජනතාව මෙන්ම වෛද්‍යවරු සියලුම දෙනාම ද කොබ්බෑකඩුව මහතාට දැක්‌වූයේ මහත් ආදරයකි. ඒ අන් කිසිවක්‌ නිසා නොව ත්‍රස්‌තවාදය මැඬලීමේ යුදමය ක්‍රියාදාමය එතුමන් ඉතාම සාර්ථකව කරගෙන ගිය බැවිනි. එතුමන් නිතර කී කතාවක්‌ නම් මෙම ත්‍රස්‌තවාදී ප්‍රශ්නය අපේ දරුවන්ට ඉතිරි නොකර එය විස¹ලිය යුතු බවයි. ඒ වෙනුවෙන් කටයුතු කිරීමේ දී සිංහල මෙන්ම දෙමළ හා මුස්‌ලිම් ජනතාවගේ ද සිත් දිනා ගැනීමට කොබ්බෑකඩුව මහතා සමත් විය. එසේම ත්‍රස්‌තවාදය මැඩලීමේ ක්‍රියාන්විතයෙහි යෙදුණු ත්‍රිවිධ හමුදාවේ හා පොලිසියේ ද රණවිරුවන්ගේ සම්පූර්ණ සහයෝගය එතුමන්ට ලැබුණි. ත්‍රස්‌තවාදය මැඩලීම වෙනුවට එදා පැවැති ආණ්‌ඩුවට අවශ්‍ය දේ හා එන්.ජී.ඕ. කාරයන්ගේ අවශ්‍යතා ඉටු කළ අතලොස්‌සක්‌ වූ නිලධාරීන් පිරිසක්‌ එදා සිටි බව ද අපි දනිමු. කොබ්බෑකඩුව මහතා ද ඒ බව දැන සිටියේය. ඒ නිසා ඔවුන්ගෙන් ප්‍රවේශම් වී අවශ්‍ය මෙහෙයුම් කටයුතු කිරීමට එතුමා සමත් විය.

යාපනයේ විසූ සාමාන්‍ය දෙමළ ජනතාව මෙන්ම වෛද්‍යවරු, ඉන්ජිනේරුවරු ද එතුමාට ඇලුම් කළහ. එවැනි ඇතැමෙක්‌ කොටින්ගේ මර්මස්‌ථාන පිළිබඳව තොරතුරු ලබාදීමට එතුමා හමුවට පැමිණි බව අප සමඟ පවසා ඇත. ජනතාව එතුමාට කැමති වූයේ ඔහු ත්‍රස්‌තවාදයට එරෙහි සටන හරියටම කරන බව පිළිගත් නිසයි. වරක්‌ පොසොන් පෝය වෙනුවෙන් එතුමාගේ මූලිකත්වයෙන් පිංකම් මාලාවක්‌ සංවිධානය විය. එම පිංකම් ඇරඹුනේ මැදවච්චිය මන්නාරම පාරේ පුංචි මාන්කුළමෙහි මුස්‌ලිම් පල්ලියක විදුලි ආලෝකය විවෘත කිරීමෙනි. එහි දී පල්ලිය තුළට භික්‌ෂූන් වහන්සේලා වැඩම කරවා ආසන පනවා සුදු ඇතිරිලි දමා භික්‌ෂූන් වහන්සේලා වඩා හිඳුවා පිරිත් දේශනා කරද්දී පල්ලියේ සභාපති ලවා විදුලි ආලෝකය විවෘත කිරීමට යොදා තිබිණි. එහි දී අදහස්‌ දැක්‌වූ කොබ්බෑකඩුව මහතා කීවේ අපේ රටේ පවතින්නේ පොසොන් පෝය දා මෙහි වැඩම කළ මිහිඳු හාමුදුරුවන් අපට දායාද කළ සංස්‌කෘතිය බවයි. එය රැකගැනීම මෙරට වැසි හැම දෙනාගේම යුතුකම බව ද එහි දී එතුමා ප්‍රකාශ කළේය.

කොබ්බෑකඩුව මහතාගේ ආදාහන කටයුතු රාජ්‍ය ගෞරව සහිතව සිදුකිරීමට බොහෝ දෙනා උත්සාහ කළ ද එදා පැවති යූ.ඇන්.පී. ආණ්‌ඩුව ඊට ඉඩ දුන්නේම නැත. එපමණක්‌ නොව ආදාහනයට පැමිණි ජනතාවට කැරලි මර්දන හමුදාව යොදවා අවහිරතා ද ඇති කළේය. එම මර්දන වැඩපිළිවෙළ නොතැකූ පොදු ජනතාව ආදාහන සිදුකළ බොරැල්ල කනත්ත සුසාන භූමියට ලක්‌ෂ ගණනින් එක්‌ රෝක්‌ වූහ. කනත්තට ඇතුළු වීමට ඉඩ නොදුන් විට යකඩ වැට කඩාගෙන ජනතාව කනත්ත තුළට ගොස්‌ එතුමාට ගෞරව දැක්‌වූහ. එදා පැවැති රජයේ මතය වූයේ කොටින් විසින් අටවන ලද බිම් බෝම්බයකට හසුවීම නිසා කොබ්බෑකඩුව ඇතුළු රණවිරුවන් ඝාතනය වූ බවයි. එහෙත් ඇතැමුන්ගේ මතය වූයේ ‘ලෑන්ඩ් රෝවර්’ රථයේ සවිකර තිබූ අධි බැලති බෝම්බයක්‌ දුරස්‌ථ පාලන යන්ත්‍රයක්‌ මඟින් පුපුරවා හැරීමෙන් ඝාතනය සිදුකර ඇති බවයි. මේ පිළිබඳව විශේෂ පරීක්‌ෂණයක්‌ කළ එංගලන්තයෙන් පැමිණි ඡේ. ආර්. වයිට්‌ නම් පුපුරණ ද්‍රව්‍ය පිළිබඳ විශේෂඥයා පැවසුවේ ද බෝම්බය ‘ලැන්ඩ්රෝවර්’ රථයේ සවි කොට දුරස්‌ථ පාලන උපකරණයකින් පුපුරුවා ඇති බවයි. එහෙත් රජය එම මතය යටපත් කළේය.

කරුණු නුවණින් විමසා පරීක්‌ෂා කර බැලීමේ දී පෙනී යනුයේ කොබ්බෑකඩුව ඝාතනය ද විදේශ බලවේග සහයෝගය ද ඇතිව සිදුකළ කුමන්ත්‍රණයකින් සිදු වූ දෙයක්‌ බවයි. කොටින්ට විදේශ බලවේගවල සහාය ලැබුණු අතර කොටි පරාජය කිරීමට එම බලවේග කිසිසේත්ම කැමති වූයේ නැත. 2009 කොටි මර්දනය කිරීමේ යුදමය ක්‍රියාදාමයන් සාර්ථකව සිදුවෙද්දී එංගලන්තය, ජර්මනිය හා ප්‍රංශය වැනි රටවල්වලින් පැමිණි නියෝජිතයන් එම සටන නැවැත්වීමට ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතාට බලකළ බව කවුරුත් දන්නා කරුණකි.

මුළු රටම හඬවා කොබ්බෑකඩුව රණවිරුවාණන් ඇතුළු පිරිස දැයෙන් සමුගනිද්දී කඳුළු නොසැලූ එකම පිරිස එදා ආණ්‌ඩුවේ බලවතුන් හා ඝාතනයට වක්‍රාකාරයෙන් සම්බන්ධ වූ නිලධාරීන් ය. එහෙත් ඒ බොහෝ දෙනෙක්‌ අද ජීවතුන් අතර නොමැත. ඔවුන්ගේ අවසානය ද ඔවුන් කළ පාපකර්මවල විපාක වශයෙන් අවාසනාවන්ත ලෙස සිදු වූ බව ද සඳහන් කළ යුතුය. එදා කොබ්බෑකඩුව ජීවතුන් අතර සිටියා නම් වසරක්‌ ඇතුළත එනම් 1993 මැද භාගය වන විට ත්‍රස්‌තවාදය අවසන් කිරීම සිදුවන්නට ඉඩ තිබිණි. ඒ වෙනුවෙන්ම සැලසුම් කළ වැඩපිළිවෙළක්‌ පරික්‌ෂා කිරීම සඳහයි එදා කොබ්බෑකඩුව මහතා ඇතුළු රණවිරුවන් අරාලි දූපතට ගියේ. එම වැඩපිළිවෙළ මුලදීම විනාශ කර දැමීමටයි සතුරන් විසින් එම පිරිස ඝාතනය කරනු ලැබුවේ. මෙවැනි සිදුවීම් පිළිබඳව පොදු ජනතාව මෙන්ම විශේෂයෙන් රටට ආදරය කරන දැන උගත්කම් ඇති අය වටහා ගත යුතුමය. එසේ වටහා ගෙන එවැනි දේ ක්‍රියාත්මක වීමට ඉඩ නොතැබිය යුතුය. මවුබිම රැකීමට නම් මවුබිමට එරෙහිව ක්‍රියාත්මක වන අභ්‍යන්තර මෙන්ම බාහිර සතුරන් ගැන අවබෝධයක්‌ තිබිය යුතුමය.

කොබ්බෑකඩුව විරුවාණන් ඇතුළු ජාතියේ සුජාත පුත්‍රයන් දැයෙන් සමුගෙන විසිපස්‌ වසරක්‌ පිරෙන අවස්‌ථාවෙහි එතුමන්ලා සිහිකර පිං දීම හා ගරු කිරීමට ද වඩා එතුමන්ලා අපේක්‌ෂා කළ දිවි පිදූ අරමුණ වන මව්බිමේ ආරක්‌ෂාව තහවුරු කිරීමට අදිටන් කර ගැනීම වඩාත් වැදගත් වන බව එම විරුවන්ට ගෞරවයක්‌ ලෙස මෙහි සටහන් කරමු.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here