2008 දී පිළියන්දලදී බෝම්බයක්‌ පුපුරුවා 30 ක්‌ මරා 42 දෙනකුට තුවාල සිදු කළ – හිටපු එල්ටීටීඊ සාමාජිකයාට ජීවිතාන්ත සිරදඬුවම්

0
483

පිළියන්දල බස්‌ නැවතුම්පළේදී බස්‌ රථයක ඇටවූ ක්‌ලේමෝ බෝම්බයක්‌ පුපුරුවා හැර මගීන් 30 දෙනකු ඝාතනය කර තවත් 42 දෙනකුට බරපතළ තුවාල කිරීම ඇතුළු අධි චෝදනා 93 කට වරදකරු කරනු ලැබූ හිටපු එල්ටීටීඊ සාමාජිකයකු යෑයි කියන විත්තිකරුවකුට කොළඹ මහාධිකරණ විනිසුරු පියසේන රණසිංහ මහතා ඊයේ (08 දා) ජීවිතාන්තය දක්‌වා සිරදඬුවම් නියම කළේය.

විත්තිකරුට එරෙහිව පැමිණිල්ල විසින් ගොනු කර තිබූ අධිචෝදනා 94 ටම ඔහු වරදකරු බවට පැමිණිල්ල විසින් සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කොට ඇති බවට නිගමනය කළ විනිසුරුවරයා එකේ සිට 93 දක්‌වා අධිචෝදනාවලට වෙන් වෙන්ව ජීවිතාන්තය දක්‌වා සිරදඬුවම් නියම කර 94 වැනි අධිචෝදනාවට බරපතළ වැඩසහිත වසර 10 ක සිරදඬුවමක්‌ නියම කළේය.

2008 අප්‍රේල් 25 වැනිදා පිළියන්දල බස්‌ නැවතුම්පළේ නවතා තිබූ ලංගම බස්‌රථයක්‌ තවේන් නමැති එල්ටීටීඊ සාමාජිකයා ඇතුළු පැමිණිල්ල නොදත් අන් අය සමඟ ක්‌ලේමෝ බෝම්බයක්‌ අටවා පුපුරුවා හැරීම ඇතුළු අධිචෝදනාවලට වරදකරු කරනු ලැබූ සවිලානන්දන් ආනන්ද සුහාර් හෙවත් ලෝරන්ස්‌ ඩේවිඩ් රාඡ් හෙවත් වසන්තන් නමැත්තාට එලෙස දඬුවම් නියම කෙරිණි.

එම නඩුවේ දෙවන විත්තිකාර දේවේන්ද්‍රන් සින්නයියා නමැත්තා නඩු විභාගය අතරතුරදී මියගොස්‌ තිබුණි. රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ අසාද් නවාම් මහතා පැමිණිල්ල මෙහෙයවීය.

ඒ. ඡේ. ඒ. අබේනායක

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here