ජනතාවට වසන් වූ සිදුවීම්

0
72

නිල ඇඳුම උපයෝගී කරගෙන අපරාධ කළ නොහැකි බව වත්මන් හමුදාපතිවරයා ප්‍රකාශ කර මසක්‌ ගතවීමට පෙර නව නාවික හමුදාපතිවරයාද පවසා තිබුණි.

එසේ නම් නිල ඇඳුමට මුවාවී රටේ ආරක්‍ෂක හමුදාව විදේශ රටවලට පාවාදිය හැකිද?

ඊට හොඳම නිදසුන ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව වෙත ශ්‍රී ලංකා හමුදාවට එරෙහිව දිව්රුම් ප්‍රකාශයක්‌ ලබාදුන් හිටපු මේජර් ජනරාල්වරයෙකි.

මෙම ක්‍රියාව රාජෙද්‍රdaහී ක්‍රියාවකි. එසේම නාවික හමුදාවෙන් විශ්‍රාම ලැබූ තවත් නිලධාරියෙක්‌ කැනඩාවේ දේශපාලන රැකවරණ පතනු ලැබුවේ සිය පවුලේ අය සමගය. එහෙත් හමුදා නිලධාරියා සහ නාවික හමුදා නිලධාරියා පිළිබඳව කිසිදු පියවරක්‌ ගනු ලැබුවේ නැත.

ඒ වෙනුවට හිටපු හමුදා නිලධාරියාට තානාපති සේවයේ ඉහළම ධුරයක්‌ හිමිවිය.

මෙයට සමානව මාධ්‍ය පාර්ශ්වයක්‌ සාවද්‍ය ප්‍රකාශයක්‌ කරමින් කොටි හමුදා නායකයන් ඝාතනය කරන ලෙස දැක්‌වූ නියෝගය තමන්ට ඇසුනු බව පවසමින් ස්‌විස්‌ටර්ලන්තයේ දේශපාලන රැකවරණ ලබා ගත්තේය.

ඒ කිසිවකුටවත් දඬුවම් පැමිණුවේ නැත. මෙය පුදුමයක්‌ නොවේ. ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තු රහස්‌ වාර්තාවල ශ්‍රී ලංකාව සම්බන්ධව ඇමරිකානු නිලධාරීන්ට තොරතුරු හෙළිකළ පුද්ගලයන්ගේ නම් සඳහන් විය. ඇතැමුන් දේශපාලකයන්ය. තවත් සමහරු මාධ්‍ය පාර්ශ්වය. තවත් අය ආරක්‍ෂක අංශවලට සම්බන්ධ වූවන්ය.

එක්‌ දේශපාලනඥයෙක්‌ නොබැඳි සංවිධානයට එරෙහිව වෙනස්‌ සංවිධානයක්‌ පිහිටුවන ලෙස ඇමරිකාවට යෝජනා කළේය.

තවත් දේශපාලනඥයෙක්‌ පැවසුවේ ශ්‍රී ලංකා රජය ඉරානයෙන් අවි ලබා ගැනීමට සැලසුම් කරන බවයි.

එහෙත් මේ දේශපාලනඥයන් අදටත් වැජඹෙති. එසේම විද්යුත් නාලිකාවක සේවය කරන්නෙකු ශ්‍රී ලංකාවේ අතුරු හමුදා ආරම්භ කළේ හිටපු ආරක්‍ෂක ලේකම් බව ඇමරිකානු රජයට කියා සිටියේය.

ඊශ්‍රායලය, ඇමරිකාව, ඉන්දියාව ඇතුළු වෙනත් රටවලදී එම රටවල වැසියන් මෙවන් ප්‍රකාශ කළේ නම් ඔවුන් අත්අඩංගුවට ගෙන නඩුත් පවරා ඇත.

එහෙත් අපේ රටේ කිසි දිනක රාජ්‍ය රහස්‌ හෙළිකළ පාර්ශ්වයකට නඩු පැවරෙන්නේ නැත.

මේ පසුබිම මැද ආරක්‍ෂක හමුදාවල සිදුවන අබිරහස්‌ ක්‍රියා ගැන අපි විටින් විට හෙළි කළෙමු. පසුගියදා නාවික හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක්‌ දේශපාලන පළිගැනීමකට ලක්‌වූවකු නොවන බව අපි හෙළි කළෙමු. එම නිලධාරියා විදේශ තානාපති කාර්යාලයක ධුරයක්‌ සඳහා පත්වී පසුව යළිත් නාවික හමුදාවට එක්‌වූ බවත් අපි කියා සිටියෙමු.

මේ හෙළිදරව්වෙන් නාවික හමුදාවේ මහනුවර කණ්‌ඩායම තැතිගත්තා පමණක්‌ නොව ගිනිගන්නා වාතාවරණයකට ද පත්විය.

එහිදී අපගේ හෙළිදරව්වට ප්‍රතිචාර දැක්‌වීම සඳහා නාවික හමුදාවේ පාර්ශ්වයන් අඳබාල මාධ්‍ය පාර්ශ්වයන් වෙතින් සහාය පතා ඇත.

එහෙත් අතීතය වසන් කළ හැකිද? නාවික හමුදාවේ අතීතය ගැන අනාවරණය කරන්නේ නම් විවිධ කුමන්ත්‍රණ නිසා සෙබළුන් නිලධාරීන් කීප දෙනකුට නාවික හමුදා ධුරයට පැමිණීමට නොහැකි විය.

විඡේවික්‍රම – මනිල් මෙන්ඩිස්‌ සහ වීරසේකර යන එම නිලධාරීන්ගේ ගමන් මග අතරමග නතර කිරීමේ මෙහෙයුම් දියත් විය.

එය පුදුමයක්‌ නොවේ. සේවයෙන් විශ්‍රාම ගිය, නාවික හමුදා නිලධාරියකුටත් නැවත නාවික හමුදාපති වීමේ අවස්‌ථාව හිමිවිය.

එහෙත් බොහෝ තොරතුරු හෙළිවන්නේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විශ්‍රාම යැමෙන් පසුවය. නාගර්කෝවිල් ප්‍රදේශය වෙත ගිය එක්‌ හමුදාපතිවරයෙක්‌ කොටි සංවිධානය පරාජය කළ නොහැකි බව කීවේය.

හිටපු ආරක්‍ෂක ප්‍රධානියෙක්‌ ප්‍රභාකරන්ගේ උපන් දිනයට ඩෙසර්ට්‌ ඊගල් පිස්‌තෝලයක්‌ පරිත්‍යාග කළේය.

එසේම තවත් ආරක්‍ෂක නිලධාරියෙක්‌ කොටින්ට නැගෙනහිර මුහුදු කලාපයක්‌ ලබාදීමටද උත්සාහ කළේය.

මෙවන් පසුබිමක්‌ මැද උතුරේ විවිධ අබිරහස්‌ ක්‍රියාදාමයන් සිදුවේ. පසුගියදා ද්‍රවිඩ හමුදා සෙබළුන් දෙදෙනෙක්‌ද බස්‌ රථ රියෑදුරෙක්‌ද කඩුවලින් කැපීමේ ප්‍රහාරවලට ලක්‌විය.

මේ සිදුවීම් මැර ක්‍රියා නොවේ. එහෙත් මැර ක්‍රියා බවට හැඳින්වීමට විවිධ දේශපාලන පාර්ශ්ව උත්සාහ කරන බව තහවුරු වී ඇත.

මේ සියලු ක්‍රියාදාමයන් රජයට අභියෝගයක්‌ වේ. ප්‍රභාකරන්ගේ මස්‌සිනා වූ සිවාජිලිංගම් ශ්‍රී ලංකාවේ නායකයන්ද, යුද අපරාධ කළ බවට චෝදනා කරයි. ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රී එස්‌. ශ්‍රීධරන් කළු කොටි සැමරීමේ යෙදී සිටී. උතුරු පළාත් සභාවේ සභාපති සිවඥනම් තිලිපන් නමැති ත්‍රස්‌තයාගේ ස්‌මාරකය යළි ස්‌ථාපිත කරන ලෙස යාපනය නගර සභාවට කියා සිටී.

මෙයට සමගාමීව මන්නාරමේ කොටි සුසාන භූමි ශුද්ධ පවිත්‍ර කිරීමටද ක්‍රියාකර ඇත. එම තහනම් ක්‍රියාදාමයන් නතර කිරීමට පොලිසියට නොහැකි වී ඇත. ඒ පොලිසිය අසරණ තත්ත්වයට පත්වීමයි.

අපි මේ තොරතුරු හෙළිකරන විට එය ජාතිවාදය ලෙස හංවඩු ගසනු ලැබීය.

2016 දෙසැම්බර් මස කිලිනොච්චි දිස්‌ත්‍රික්‌ කමිටු රැස්‌වීමට යෝජනාවක්‌ ඉදිරිපත් විය.

එම යෝජනාවේ දැක්‌වූයේ කොටි සොහොන් භූමි පූජනීය ස්‌ථාන කරන ලෙසයි. කිලිනොච්චියේ පිහිටි මුලංකෝවිල් සහ කනකපුරම් සොහොන් භූමි මෙලෙස පූජනීය ස්‌ථාන ලෙස නම් කළයුතු බවට යෝජනා කරන ලද්දේ සිවිල් සංවිධානයි.

මේ අතර උතුරු පළාත් සභා මන්ත්‍රී එම්. කේ. සිවාජිලිංගම් රජයට තවත් තර්ජනයක්‌ කර ඇත.

ඒ දේශපාලන සිරකරුවන් (හිටපු කොටි) නිදහස්‌ නොකළහොත් දැඩි තීරණයක්‌ ගන්නා බවයි.

මේ සම්බන්ධයෙන් උතුරු පළාත් සභාවේ සියලුම මන්ත්‍රීවරුන් සමඟ සාකච්ඡා කර තීරණයක්‌ ගන්නා බව ඔහු කියා සිටියේය.

සිවාජිලිංගම් මෙලෙස නිදහස්‌ කරන ලෙස ඉල්ලා ඇත්තේ බිහිසුණු අපරාධ සිදුකළ කොටි ත්‍රස්‌තයන්ය.

මෙයට සමගාමීව ද්‍රවිඩ ජනතා ජාතික පෙරමුණ නල්ලූර්හි තිලිපන් නමැති කොටි ත්‍රස්‌තයාගේ ස්‌මාරකය පිහිටි ස්‌ථානය ශුද්ධ පවිත්‍ර කිරීම ආරම්භ කර ඇත.

තිලිපන් ස්‌මාරකය සම්බන්ධයෙන් උතුරු පළාත් සභාව යෝජනාවක්‌ද සම්මත කර තිබේ.

මේ පසුබිම මැද පේදුරුතුඩුව පොන්ගාල් මාර්ගය විවෘත කිරීමට හමුදාව එකඟවී ඇත.

මේ අතර ජිනීවා යෝජනාව ක්‍රියාත්මක කිරීම ප්‍රමාද වීම ගැන යුරෝපා සංගමය නොසතුටට පත්වී ඇති බව වාර්තා විය.

ඒ පිළිබඳව විමර්ශනය කිරීමට යුරෝපා සංගමයේ කණ්‌ඩායමක්‌ මෙරටට පැමිණීමට නියමිතය.

*  කීර්ති වර්ණකුලසූරිය

 

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here