කොටි 50ක්‌ මුදාහරිද්දී හිටපු හමුදාපතිට යුද අපරාධ චෝදනා

0
5

 

කොටි 50ක්‌ මුදාහරිද්දී  හිටපු හමුදාපතිට යුද අපරාධ චෝදනා

ඉන්ටර්පෝල් යනුවෙන් හඳුන්වන්නේ පැරිසියේ පිහිටි ජාත්‍යන්තර පොලිස්‌ මූලස්‌ථානයයි. මේ ආයතනයේ ප්‍රධාන කාර්යභාර වන්නේ ත්‍රස්‌තවාදී ක්‍රියාවලට සහ වෙනත් බිහිසුණු අපරාධවලට සම්බන්ධ පුද්ගලයන් අල්ලා ගැනීම සඳහා රතු වරෙන්තු නිවේදන ප්‍රකාශයට පත්කිරීමයි.

එහෙත් ඉන්ටර්පෝල් පොලිසිය රතු වරෙන්තු ප්‍රකාශයට පත්කර දුටු තැන අල්ලනු යනුවෙන් දක්‌වා ඇති එකම කොටි ත්‍රස්‌තවාදියෙක්‌වත් අල්ලාගැනීමට හැකිවූයේ නැත

ඊට මූලික හේතුව වූයේ කැනඩාව – බ්‍රිතාන්‍යය – නෝර්වේ – ප්‍රංශය – ජර්මනිය සහ ස්‌විස්‌ටර්ලන්තය වැනි රටවල් ඉන්ටර්පෝල් රතු වරෙන්තුව ගැන තැකීමක්‌ නොකිරීමයි.

ඉන්ටර්පෝල් ආයතනය 2017 මුල්භාගය දක්‌වාම ශ්‍රී ලංකාවේ පොලිසියට අවශ්‍ය කරන කොටි ත්‍රස්‌තවාදින්ගේ සහ විවිධ අපරාධකරුවන්ගේ ලැයිස්‌තුවක්‌ අන්තර්ජාලය තුළ ප්‍රකාශයට පත්කරනු ලැබීය.

එහෙත් නම් 150 කට අධික සංඛ්‍යාවක්‌ තිබූ එම නාමලේඛනය මෑතකදී ඉන්ටර්පෝල් වෙබ් අඩවියෙන් අතුරුදන්විය.

මේ බව ඉරිදා දිවයින පසුගිය ඉරිදා විශේෂයෙන් (exclusive) හෙලිදරව් කරනු ලැබීය.

කොටි ත්‍රස්‌තයන්ගේ නම් ඇතුළු වෙනත් අපරාධවලට සම්බන්ධවූවන් මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ නම් ඇතුලත් නාමලේඛනය හිටිහැටියේම ඕනෑකරන පුද්ගලයන්ගේ නාමලේඛනයෙන් අතුරුදන්වූයේ කෙසේ දැයි අපි විද්යුත් ලිපියක්‌ මගින් ඉන්ටර්පෝල් ආයතනයේ විමසනු ලැබුවත් අද වනතුරු ඊට ප්‍රතිචාරයක්‌ නොලැබුනි.

මේ නාමලේඛනය ඉවත්කර ඒ වෙනුවට ශ්‍රී ලංකා පොලිසියට අවශ්‍ය බව කියන දෙදෙනකුගේ නම් පමණක්‌ ඕනෑකරන පුද්ගලයන් ලෙස ප්‍රකාශයට පත්කිරීමට ඉන්ටර්පෝල් ආයතන ක්‍රියාකළේය. එය ශ්‍රී ලංකා පොලිසියේ ඉන්ටර්පෝල් අංශය විසින් පැරිසියේ ඉන්ටර්පෝල් ආයතනයට යවන ලද්දකි.

මේ දෙදෙනාගෙන් එක්‌ අයෙක්‌ ඇන්තනි එමිල් ලක්‍ෂ්මි කාන්තන්ය. ඔහුට එල්ල වී ඇති චෝදනාව වන්නේ විශ්වාසය කඩකිරීමයි. අනිත් තැනැත්තා මුනිසාම් තර්මසිලන්ය.

අත්බෝම්බ දෙකක්‌ සහ ජීව උණ්‌ඩ 206 ක්‌ සන්තකයේ තබාගැනීම යන චෝදනාව ඔහුට එල්ලවී ඇත. මේ බරපතල චෝදනා නොවේ.

මේ පසුබිම මැද ඉන්ටර්පෝල් ලැයිස්‌තුවේ සඳහන්වූ අනිකුත් කොටි ත්‍රස්‌තයන්ට සිදුවූයේ කුමක්‌ද? එය අබිරහසකි.

මෙරට ජනතාවගේ අවධානය පිණිස ඉන්ටර්පෝල් ලැයිස්‌තුවෙන් හැටිහැටියේ අතුරුදන් කොටි ක්‍රියාකාරීන් මෙලෙස හෙලිකරන්නෙමු.

1. සිවඥණම් රාමචන්ද්‍රන් ඒබ්‍රහම්

2. වසන්ත කුමාර මුතුරුසා ජෙගනාදන්

3. ජෙයසිලන් නවනේසන් රූපනායගම්

4. ශ්‍රී ගනේස්‌ කන්දයියා

5. කාන්තිලිංගම් ප්‍රේම්රාඡ් හෙවත් රෙජි

06. මරකන්දු සිවරාසන්

7. ඇන්තනි කලෙයිසන්

8. සින්නයියා ගුණසේකරන්,

9. රාජා වයිටේල්

10. තමෝදරපිල්ලේ සුදර්ශන්

11. වේලුපිල්ලේ රේවතන්

12. සන්කුලරාජා ශබාස්‌

13. සෙල්ලයියා රාමචන්ද්‍රන්

14. විනයගමුර්ති සේතරපිල්ලෙයි

15. රවි ශංකර් කනගරාජා

16. අන්තලිංගම් නන්දිපන්

17. තනික්‌ක සලාම් ශ්‍රී ශංකර්

18. විමලනාදන් පොන්නුකෝන්

19. ජෙගනාදන් පොන්නුකෝන්

20. විවේකානන්දන් සුබ්‍රමනියම්

21. නවරාසා ශබ්ස්‌වරන්

22. සෙබස්‌තියන් පිල්ලෙයි කන්දිපන්

23. නඩරාජා සත්‍යසිලන්

24. විවේකානන්දන් නවතිලන්

25. ටෝනි ජිහාස්‌ මුරුගපිල්ලෙයි

26. කර්තිපන් මානින්තවාසගර්

27. ශන්මුගසුන්දරම් දොරේසාමි සෙල්වකුමාර්

28. කමලනාදන් සතිස්‌කුමාර්

29. ජෙගවිනෝදන් රාජමුර්ති කරුනාකුලරත්නම්

30. නවනීදන් රාසනායගම්

31. වසන්ත කුමාර් මුතුරාසා

32. ජෙයරත්නම් රුද්රකුමාර්

33. ජෙයනාදන් ධර්මලිංගම්

34. කුමාරස්‌වාමි ෂර්මකුමාර් ඇන්තනි රා-නාස්‌

38. තම්බිරාජා යෝගරාජා 36. ජෙගන් මහාලිංගම්

37. ශිවසංකර් කන්දමාතට්‌

38. සිවසුබ්‍රමනියම් හරිරාම්

39. අමල්ද්‍රdස්‌ ඡේසුරාසා

40. වෙල්ලයියා කපාලන්

41. අරුල්සුගාසම් බර්නාඩ් කාස්‌

42. නවවරත්නම් ජෙතිමනෝහරන්

43. සිවසාන් පෙරිම්බනායගම්

44. නිකපිල්ලෙයි එමිල්කාන්තන්

45. අච්චුදන්

මෙම කොටි ත්‍රස්‌තවාදීන් අතරින් ධර්මලිංගම් ජෙගනාදන් පොලිස්‌ වාර්තාවක්‌ ලබාගැනීමට ප්‍රංශ පොලිසියට පැමිණි අවස්‌ථාවේ හඳුනාගනු ලැබීය. ඒ වනවිට ඔහුට ප්‍රංශ රජය දේශපාලන රැකවරණ ලබාදී තිබුණි. මේ නිසා ප්‍රංශ පොලිසිය ඔහුව ඉන්ටපෝල් පොලිසියට බාරදුන්නේ නැත.

වේලුපිල්ලේ රේවතන් සිංහල රාජ්‍ය නොවන සංවිධානයක නියෝජ්‍ය සභාපතිවරයෙකි. මොහු හිටපු ආරක්‍ෂක ලේකම් ඝාතනය කිරීම සඳහා ඇපලෝ රෝහල අවට ඔත්තු බැලූවෙකි.

මොහු බත්තරමුල්ලේ නිවසක පදිංචිව සිටියේය. එහෙත් රේවතන් පිළිබඳව බුද්ධි අංශවලට හෙලිවීමෙන් ඔහු ඉන්දියාවට පැන ගියේය.

රේවතන් දැඩිලෙස සබඳකම් පැවැත්වූයේ රජයේ ප්‍රවාත්ති දෙපාර්තමේන්තුවේ සේවය කළ ප්‍රධානියකු සමඟය. එම ප්‍රධානියා දැන් වත්මන් රජයට එකතුවී සිටියි.

එසේම ත්‍රස්‌තවාදී ක්‍රියාසම්බන්ධයෙන් අවශ්‍ය කළ කොටි ප්‍රධානියකු ලෙස සිවපාරන් පෙරින්පනායගම් හඳුන්වා තිබුණි. පෙරින්පනායගම්ද නෝර්වේ රාජ්‍යයේ දේශපාලන රැකවරණ ලබා ඇති බව වාර්තා විය. එහෙත් නෝර්වේ පොලිසිය ඉන්ටර්පෝල් වරෙන්තුව ක්‍රියාත්මක කළේ නැත.

එම තොරතුරු හෙලිවීමට පෙර නෝර්වේහි ආප්ටන් පෝස්‌ටන් පුවත්පත හෙලිකළේ කොළඹ නෝර්වේ තානාපති කාර්යාලය කොටි කීපදෙනෙක්‌ තානාපති වරප්‍රසාද මත ඔස්‌ලෝ නුවරට ගෙන ආ බවයි.

මේ නිසා ඉන්ටර්පෝල් පොලිසියේ රතු වරෙන්තු විහිළුවක්‌ බවට පත්විය.

එසේම ඉන්ටර්පෝල් පොලිසියේ ශ්‍රී ලාංකික ත්‍රස්‌තවාදීන්ගේ ලැයිස්‌තුවේ සඳහන් ප්‍රධානතම කොටි ත්‍රස්‌තවාදීන් අතර ප්‍රධාන කොටියෙක්‌ වූයේ විවිධ නම්වලින් පෙනීසිටි සංකිලි නැමැත්තාය. 2014 ජුනි 24 දා වව්නියා මහාධිකරණය සංකිලි හෙවත් කනගරාජා රවි ශංකර්ට වසර 30 ක සිරදඬුවමක්‌ නියම කර තිබුණි.

කොටි සංවිධානයට අවි ආයුධ සහ පුපුරණ ද්‍රව්‍ය සැපයීමේ නිරතව සිටි කනගරාජා තායිලන්තයේ බැංකොක්‌ සිට ක්‍රියාත්මක වූ කොටි ආයුධ ප්‍රවාහන ජාලයේ ප්‍රධානි අයියන්නාගේ දෙවැනියා ලෙස කටයුතු කළේය.

කනගරාජා කොටින්ට අයත් ශෝවා වාරු නැවේ කපිතන් ලෙසද ක්‍රියාකළේය. මොහුගේ වගතුග මෙරට බුද්ධි අංශවලට හෙලිවූයේ මුලතිව්හි පිහිටි කොටි ජාත්‍යන්තර ජාලයේ ප්‍රධානි මනිවන්තන් හෙවත් කස්‌ත්‍රොaගේ බංකරයේ තිබී අසුවූ රහස්‌ ලියවිලි වලිනි.

වන්නි මෙහෙයුම අවසන්වීමත් සමඟම කොටි ත්‍රස්‌තයන් රැසක්‌ කොටි නැව් දෙකකින් කැනඩාවට ගෙනඒමටද සංකිලි ක්‍රියාකළේය.

ඔවුන් අතර ඉන්ටර්පෝල් පොලිසියට අවශ්‍ය මානික්‌කවාසගර් කර්තිපන්ද විය.

කර්තිපන් පිළිබඳ අනාවරණය වූයේ 2008 සැප්තැම්බර් 5 දා කටුනායක ගුවන් තොටුපලේදී අත්අඩංගුවට ගත් ටෝනි ජෙයරාඡ් පියනම ගෙනි.

මෙම පියනම අත්අඩංගුවට ගනු ලැබූ අවස්‌ථාවේ ජී. පී. එස්‌ උපාංග 40 ක්‌ සහ මෝට්‌රෝලා දුරකථන 30 ක්‌ හමුවිය.

ටෝනි ජෙයරාඡ් පියනම අසුවීමත් සමඟ කර්තිපන් මෙරටින් පැනගියේය. ඒ වනවිට 2008 සැප්තැම්බර් 19 දා මීගමුව අධිකරණය ඔහුව අත්අඩංගුවට ගැනීමට වරෙන්තුවක්‌ ප්‍රකාශ කර තිබුණි.

කැනඩාවට පැනගොස්‌ සිටි කර්තිපන් අත්අඩංගුවට ගැනීමට කැනඩා රජයද ක්‍රියාකළේ නැත.

එසේම මුලතිව්හි කස්‌ත්‍රොaගේ බංකරයේ තිබී සංකිලි සහ ප්‍රභාකරන් සිටින ඡායාරූපයක්‌ද බුද්ධි අංශවලට හමුවී තිබුණි.

එහි මුහුදු කොටි නායක සුසෙයිද විය. එහෙත් කැනඩා රජය සංකිලි සහ කර්තිපන් ඉන්ටර්පෝල් පොලිසිය හරහා ශ්‍රී ලංකාවට බාරදීමට ක්‍රියාකළේ නැත. ඒ වෙනුවට කැනඩා රජය ඔවුන්ට දේශපාලන රැකවරණ ලබාදුන්නේය.

මෙලෙස බිහිසුණු කොටි මිනීමරුවන්ට දේශපාලන රැකවරණ දුන් කැනඩාව ශ්‍රී ලංකාවේ හමුදාවට එරෙහිව ජිනීවා යෝජනාවට දායක විය.

මේ හැර විනයාගම් නමින් යුරෝපයේ සිට ක්‍රියාත්මක වන කොටි නව නායකයා යයි කියන විනයගමුර්ති සේකරපිල්ලේට එරෙහිවද බුද්ධි අංශ නිලධාරීන් 2010 නොවැම්බර් 24 දා කොළඹ අධිකරණයෙන් වරෙන්තුවක්‌ ලබාගෙන තිබුණි.

ඒ අනුව විනයාගම්ව දුටුතැන අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවක්‌ ඉන්ටර්පෝල් පොලිසිය ප්‍රකාශයට පත්කළේය.

2001 ජුලි 12 දා කටුනායක ගුවන්තොටුපලට ප්‍රහාර එල්ල කිරීමේ සැලසුමටත් විනයාගම් සම්බන්ධ බවට තොරතුරු රැසක්‌ අනාවරණය වී තිබූ බව බුද්ධි අංශ විසින් ආරක්‍ෂක බලධාරීන්ට වාර්තා කර තිබුණි.

එහෙත් අද සිදුවී ඇත්තේ කුමක්‌ද? මෙම කොටි ත්‍රස්‌තයන්ට අමතරව ප්‍රසන්න ජානක ප්‍රනාන්දු, ඡේසු ජෝන් තිsයෝපොමිස්‌ – පුවාන් පීරිස්‌ සහ ජෝශප් ශ්‍රී පාලන් පීරිස්‌ නැමැති මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධවූවන්ද ඉන්ටර්පෝල් ලැයිස්‌තුවෙන් ඉවත්වී ඇත.

ඉන්ටර්පෝල් පොලිසියට සම්බන්ධව සිටි හිටපු පොලිස්‌ නිලධාරියකු හෙලිකළේ මෙම නම් ලැයිස්‌තුව ඉන්ටර්පෝල් පොලිසියෙන් ඉවත්කර ඇත්තේ එම පොලිසියේ ඉල්ලීමක්‌ මත නොව ශ්‍රී ලංකාවේ ඉල්ලීමක්‌ මත විය හැකි බවයි.

එසේ නම් සංහිඳියා ක්‍රියාමාර්ගය මත කොටි ත්‍රස්‌තයන්ගේ සහ වෙනත් අපරාධකරුවන්ගේ නම් ඉවත්වූයේද?

මෙයට පෙර හිටපු විදේශ ඇමැතිවරයා තහනමට ලක්‌ව තිබූ කොටි හිතවාදී සංවිධාන කීපයක තහනම ඉවත්කරනු ලැබීය. මේ කොටි හිතවාදී සංවිධානවල ලැයිස්‌තුව මුල්ලිවයික්‌කාල් බංකරයක තිබී හමුවිය.

ඉන්ටර්පෝල් පොලිසියේ දුටු තැන අල්ලනු නාමලේඛනයෙන් මෙරට මහා පරිමාණ බැංකු වංචාවකට සම්බන්ධ හිටපු බැංකු ප්‍රධානියකු පමණක්‌ නොව ව්‍යාජ ඉඩම් ඔප්පු වංචාවකට වගකිවයුතු නීතිවේදියකුද ගැලවී ඇත.

මෙලෙස ත්‍රස්‌තවාදී ක්‍රියාවලට සම්බන්ධ කොටි ත්‍රස්‌තයන්ගේ නම් ඉන්ටර්පෝල් ලැයිස්‌තුවෙන් අන්තර්ධාන වන අවස්‌ථාවේ මහාපරිමාණ වංචාවලට ඕනෑකරන පිරිසටද ඉමහත් වාසියක්‌ සැලසුනි.

දොaන චාමනි කුමාරසිංහ නැමැත්තිය වංචාක්‍රියා සම්බන්ධවද රාජා සුලෝචන කන්දසාමි හොර ගමන් බලපත්‍ර 17 ක්‌ සන්තකයේ තබාගැනීම ගැනද ක්‍රිෂ්ණාවේනි රාමක්‍රිෂ්ණා සොරකමක්‌ පිළිබඳවද දුලානි හේවාවසම් වංචනික ක්‍රියාවක්‌ පිළිබඳවද එච්. බාස්‌තරන් මිනීමැරුමක්‌ ගැනද අවශ්‍ය කර සිටි අයවළුන්ය.

ඔවුන්ට අමතරව මිතිර්කුමාරසාමි ලේකම්ආරච්චිගේ – චන්ද්‍රවතී කෝරලගේ තුෂාරි ක්‍රිස්‌ටින් දිල්හානි යන කාන්තාවන් සාපරාධි ලෙස විශ්වාසය කඩකිරීම ගැනද දිල්රුක්‍ෂි වික්‍රමතිලක නැමැත්තියගේ නම්ද ඉන්ටර්පෝල් ලැයිස්‌තුවේ සඳහන් කර තිබුණි.

මේ හැර අපරාධ සිදුකිරීම ගැන ගයාන් රූකාන්ත, ඉන්දුලිංගම් කනපතිපිල්ලේ, නවනිදන් කුමාරස්‌වාමි, මහෙන්ද්‍රන් වයිටේල්, මනෝරංජන් විනයාගම්පිල්ලේ, සංගීතන් සුන්දරලිංගම් සහ එස්‌. ඒ නිසාර් යන පිරිසගේ නම්ද දුටුතැන අල්ලනු නාමලේඛනයේ විය.

එහෙත් කොටි ත්‍රස්‌තවාදී ක්‍රියාකාරීන් සමඟ ඔවුන්ගේ නම්ද ඉන්ටර්පෝල් ලැයිස්‌තුවෙන් ඉවත්වීම තුළින් එකී පිරිසට විදේශ රටවල නිදහසේ සැරිසැරීමට මෙන්ම මෙරටට පැමිණීමද ඉඩලැබී ඇත.

ඉන්ටර්පෝල් නාමලේඛනයේ තිබූ බිහිසුණු අපරාධකරුවන්ගේ නාම ලේඛනයක්‌ මින් පෙර අහෝසි වී නැත.

එසේ නම් මේ සිදුවූයේ සංහිඳියා ක්‍රියාදාමයද?

මෙය පුදුමයක්‌ නොවේ. මේ සතියේ දිනක කිලිනොච්චියේ සම්බන්ධීකරණ කමිටු රැස්‌වීම පැවැත්වුණි. එම රැස්‌වීමෙන් පසු රජයේ නිලධාරියකුවූ කිලිනොච්චිය දිසාපති එස්‌. අරුමයිනායගම් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා වෙත ලිපියක්‌ යවමින් කිලිනොච්චියේ ඩිපෝ මංසන්ධියේ ඉදිකර ඇති රණවිරු ස්‌මාරකය ඉවත්කරන ලෙස ඉල්ලා සිටියේය.

ඊට හේතු ලෙස දිසා ලේකම් දක්‌වා ඇත්තේ එම ස්‌මාරකය සංහිදියා ක්‍රියාදාමයට නොගැලපෙන බවයි. එසේ නම් නල්ලූර්හිදී කොටි ත්‍රස්‌තයකුවූ තිලිපන් ස්‌මාරකය නැවත ස්‌ථාපිත කිරීමට සූදානම් වන්නේ එය සංහිඳියාවට අනුකූල යයි සිතාද?

මේ සම්බන්ධීකරණ රැස්‌වීමේදී ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රී එස්‌. ශ්‍රීධරන් ප්‍රශ්න කීපයක්‌ නගා ඇත. ශ්‍රීධරන් යනු යාපනයේ හිටපු කොටි හමුදා නායක තිපන්ගේ ඥතියෙකි.

ශ්‍රීධරන් එම රැස්‌වීමේදී මෙලෙස ප්‍රශ්න කර ඇත.

ඩිපෝ හන්දියේ හමුදා ස්‌මාරකය ඉදිකර ඇත්තේ කවුරුන් උදෙසාද? මේ ස්‌මාරකය වටා ගඩොල් තාප්පය ඉදිකළේ කවදාද? ඒ සඳහා ගඩොල් ලැබුනේ කෙසේද? නාගරික සංවර්ධන අධිකාරිය හමුදාවට උදව් කරන්නේද?

එසේම හමුදාව සහ නාගරික සංවර්ධන අධිකාරිය එක්‌ව කිලිනොච්චියේ සංවර්ධන වැඩපිලිවෙලට අකුල්හෙලන බවටද ශ්‍රීධරන් චෝදනා කර ඇත.

මේ සම්බන්ධීකරණ රැස්‌වීමේදී රණවිරු ස්‌මාරකය ඉවත්කල යුතු බවට තීරණයක්‌ද ගෙන තිබේ.

ද්‍රවිඩ සන්ධානය උතුරෙන් හමුදාව සහ රණවිරු ස්‌මාරක ඉවත් කිරීමට සූක්‍ෂම වැඩපිලිවෙළක්‌ දියත්කර ඇති බව අපි මෙයට පෙර අනතුරු ඇඟවූවෙමු.

දැන් එහි උච්චතම අවස්‌ථාව පැමිණ ඇත. රණවිරු ස්‌මාරකයක්‌ ඉවත් කරන ලෙස රජයේ දිසා ලේකම් රජයෙන් ඉල්ලන තත්ත්වයක්‌ අද මතුවී ඇත.

මේ අතර පසුගිය 28 දා කොළඹ දී ආරක්‍ෂක සමුළුවක්‌ ආරම්භ විය.. මෙම සමුළුවේ දෙවැනි සැසිවාරයට ඇරයුම්කර සිටි පිරිස අතර ශ්‍රී ලංකා හමුදාවට එරෙහිව කටයුතු කළ කාන්තාවක්‌ද විය. යාපනය මුදාගැනීමේ රිවිරැස මෙහෙයුම ආරම්භ කිරීමට නියමිතව තිබියදී එම මෙහෙයුමින් නල්ලුර් කෝවිල විනාශවනු ඇතැයි ඇය කියා සිටියාය. වන්නි මෙහෙයුමින් පසු, උතුරේ ආඥපතිවරයා ඊශ්‍රායල් හමුදාව පුහුණුකළ අයෙකු බවත් උතුරින් හමුදාව ඉවත්කළ යුතු බවත් එම කාන්තාව ප්‍රකාශ කර තිබුණි. මේ සැසිවාරයට ටැමිල්නෙට්‌ කොටි වෙබ් අඩවිය මෙහෙයවූ සිවරාම් හෙවත් තාරකී නැමැති හිටපු ත්‍රස්‌තයාගේ සමීප සගයකුටත් ඇරයුම් කර තිබුණි.

මෙවන් පසුබිමක්‌ මැද උතුරේදී ද්‍රවිඩ හමුදා සෙබළුන් දෙදෙනකුට කඩුවලින් කපා බරපතල තුවාල සිදුකිරීම පිළිබඳව නෝර්වේ සිට ක්‍රියාත්මක වන කොටි වෙබ් අඩවියක්‌ මෙලෙස සඳහන් කර තිබුණි.

උතුර අල්ලාගෙන සිටින සිංහල හමුදාව බඳවාගෙන ඇති අපරාධකාරි ද්‍රවිඩයන් දෙදෙනකුට නාඳුනන ප්‍රහාරකයන් විසින් කටු පහර එල්ල කර ඇත. සිංහල හමුදාවට බඳවාගෙන ඇති මොවුන් මැරයන් වන අතර කළුතර අධිකරණවලට සම්බන්ධවූවන් වේ. 2014 වසරේදී මොවුන් හමුදාවට බැදී ඇත. හමුදාවට බඳවාගෙන ඇති මේ සෙබළුන් අතුරු හමුදා කණ්‌ඩායම් ලෙස කටයුතු කරන අතර ඔවුන් පැහැරගෙන යැම් සහ ඊලම් ද්‍රවිඩයන්ට එරෙහිව සාහසික ක්‍රියා සිදුකිරීමට යොදවා ඇත.

කොටි වෙබ් අඩවියේ මේ ප්‍රකාශයෙන් උතුරේ ක්‍රියාත්මක වන කඩු ප්‍රහාරකයන් හඳුනාගැනීම අපහසු නැත.

මේ අතර හිටපු හමුදාපතිවරයකු මෙන්ම ලතින් ඇමරිකානු රටවල් 5 ක ශ්‍රී ලංකා තානාපති ලෙස කටයුතු කළ ජෙනරාල් ජගත් ජයසූරිය එරෙහිව එක්‌සත් ජාතීන්ගේ හිටපු නිලධාරිනියක්‌වූ යස්‌මිත් සුකා විසින් බුස්‌ලියා – මොගෝවා සහ ලිමා යන නගර වල අධිකරණ හමුවේ නඩුගොනු කර ඇත.

යස්‌මින් සුකා යනු කොටි ඩයස්‌පෝරාවේ කොන්ත්‍රාත්කාරියකි. ඇය මෙයට පෙර වන්නි මෙහෙයුමට සම්බන්ධ සියලුම හමුදා නිලධාරීන්ට එරෙහිව යුද අපරාධ චෝදනා ඉදිරිපත් කර තිබුණි.

යස්‌මින් සුකා සමඟ ලතින් ඇමරිකානු රටවල් පහක රාජ්‍ය නොවන සංවිධාන ජෙනරල් ජගත් ජයසූරියට එරෙහි යුද අපරාධ චෝදනා නඩුවල පැමිණිලිකරුවන් වී ඇත.

මේ සාවද්‍ය යුද අපරාධ චෝදනා නඩු ගොනුකර ඇත්තේ ස්‌පාඤ්ඤ එන්.ජී.ඕ නීතිවේදියකුවූ කාර්ලොස්‌ කස්‌ත්‍රෙසානා නැමැත්තායි.

එසේම මේ නඩුවල සාක්‍ෂිකරුවන් ලෙස දක්‌වා ඇත්තේ යුරෝපයේ සිටින හිටපු කොටි ත්‍රස්‌තවාදීන් පිරිසකි. මේ කොටි බිහිසුණු අපරාධවලට සම්බන්ධ වූවන්වේ.

වන්නියේ රෝහල්වලට බෝම්බ දැමීම සහ වව්නියා ජෝශප් හමුදා කඳවුරේ වධකාගාරයක්‌ මෙහෙයවීම යන සාවද්‍ය චෝදනා ජෙනරාල් ජයසූරියට එල්ලකර තිබේ. මේ නඩු ගොනු කිරීමට මුල්වූ යස්‌මින් සුකා ශ්‍රී ලංකාවට එරෙහි දරුස්‌මාන් විමර්ශන මණ්‌ඩලයේ සාමාජිකාවක්‌ ලෙස ක්‍රියාකළාය.

ඇය කොටි අරමුදල් මත දකුණු අප්‍රිකාවේ සිට සත්‍ය හා යුක්‌තිය නමින් සංවිධානයක්‌ පිහිටුවා ගෙන ඇත.

ඇගේ සංවිධානයට මෙරට හිටපු කැරලිකරුවකුද සම්බන්ධවී තිබේ. මෙලෙස රටවල් පහකදී සුකා විසින් ජෙනරාල් ජගත් ජයසූරියට නඩු පවරා ඇතත් එම රටවල්ද යුද අපරාධ රැසක්‌ සිදුකර තිබේ. මෙයට පෙර ස්‌විස්‌ සංවිධානයක්‌ද මේජර් ජනරාල් ජගත් ජයසූරියට එරෙහිව යුරෝපා අධිකරණය හමුවේ නඩුවක්‌ පවරා තිබුණි.(2017/09/03 පලවූ ඉරිදා දිවයින පුවත්පතෙන් උපුටා ගන්නා ලදී)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here