දරුණුතම මානව හිමිකම් උල්ලංඝනය – අබු ග්‍රාහිබ් හිංසනය

0
19

බන්ධනාගාරයක්‌ කියන්නෙ කොහොමටවත් වාසනාවන්ත තැනක්‌ නෙවෙයි තමයි. ඒත් අබු ග්‍රාහිබ් බන්ධනාගාරය අන්තිම අවාසනාවන්ත තැනක්‌. මෑත ඉතිහාසයේ සිද්ධ වුණ දරුණුම මානව හිමිකම් කඩකිරීම වාර්තා වුණු, අති අමානුෂික හිංසනයන් සිද්ධ වුණු තැනක්‌ තමයි අබු ග්‍රාහිබ් බන්ධනාගාරය. මනුෂ්‍යත්වයට කෙරුණු දරුණුතම නිග්‍රහය සිද්ධ වුණෙත් මේ බන්ධනාගාරයේදී තමයි.

අබු ග්‍රාහිබ් බන්ධනාගාරය තියෙන්නෙ ඉරාකයෙ. අබු ග්‍රාහිබ් නගරයෙ. සදාම් හුසේන්ගේ පාලන කාලයෙදී ඉරාකයේ තිබුණු දරුණුම බන්ධනාගාර අතරින් එකක්‌ තමයි අබු ග්‍රාහිබ්. බැග්ඩෑග් නගරයෙන් කිලෝමීටර් තිස්‌ දෙකක්‌ බටහිර දිසාවට වෙන්න පිහිටලා තියෙන අබු ග්‍රාහිබ් බන්ධනාගාරය අක්‌කර 280 ක්‌ පුරා පැතිරුණ දැවැන්ත බන්ධනාගාරයක්‌. මේ දැවැන්ත බන්ධනාගාරයේ කාන්තා හා පිරිමි රැඳවියන් 50,000 ක්‌ විතර සදාම් හුසේන්ගේ කාලෙදීම රඳවලා තිබුණා කියලයි වාර්තා වෙන්නේ. ඒ තරම් සිරකරුවන් හිටියත් සිරකරුවන්ට තිබුණු පහසුකම් නම් තිබුණේ අවම මට්‌ටමක. හැබැයි සිරකරුවන්ට වධ හිංසා දීම අතින් නම් අඩු පාඩුවක්‌ තිබුණේ නැහැ. දවසකට සිය ගණනකගේ හිස ගසා දැමුණු තැනක්‌. ඒ සදාම් හුසේන්ගේ කාලෙදී මේ බන්ධනාගාරෙ තත්ත්වය.

ඊට පස්‌සෙ, සදාම් හුසේන්ගෙ පාලනය බිඳ වැටීමත් එක්‌ක මේ බන්ධනාගාරයත් කොල්ල කෑමට ලක්‌ වුණා. යන්තමින් හරි හොලවන්න පුළුවන්කම තිබුණු හැම දෙයක්‌ම වගේ එතැනින් ඉවත් කෙරුණා.

ඒත් සදාම් හුසේන් නෙරපලා ඉරාකය ආක්‍රමණය කරපු ඇමෙරිකානු හමුදාවෙන් ආයෙමත් මෙතන බන්ධනාගාරයක්‌ පිහිටෙව්වා. ඒ වතාවෙ ඒක පිහිටෙව්වේ හමුදාමය සිර කඳවුරක්‌ විදිහට.

ඇමෙරිකාවෙන් ඉරාකය ආක්‍රමණය කරපු කාලෙදී ඉරාකය පුරා ඇමෙරිකානු හමුදාවෙන් පිහිටුවපු සිර කඳවුරු අතරින් විශාලතම සිර කඳවුර තමයි අබු ග්‍රාහිබ්. ඇමෙරිකානු හමුදාවෙන් අබු ග්‍රාහිබ් සිර කඳවුරේ හිර කරපු හිරකරුවන් ගාණ 7490 ක්‌ විතර වෙනවා.

අබු ග්‍රාහිබ්වල හිර කරපු හිරකරුවන්ව ඇමෙරිකානු හමුදාවෙන් වර්ග තුනකට බෙදලා තිබුණා. එක කොටසක්‌ ‘සාමාන්‍ය අපරාධකරුවෝ’ විදිහට ඒ කියන්නෙ කැරැල්ලට නායකත්වය දුන්නා කියල සැකපිට අත්අඩංගුවට ගැනුණ අය.. තව පිරිසක්‌ ඇමෙරිකාවෙන් මෙහෙයවපු වෘත්තීමය හමුදාවට විරුද්ධව කැරලි ගැහුවා කියලා සැකපිට අත්අඩංගුවට ගත්ත අය..

නිව්යෝක්‌ යුනියන්ඩේල් වලින් ආපු 800 වැනි හමුදා පොලිස්‌ සේනාංකය තමයි මේ හිර ගෙදර පවත්වගෙන ගියේ. මේ සේනාංකයේ අණදෙන නිලධාරිනිය වුණේ බ්‍රිගේඩියර් ජෙනරල් ජැනිස්‌ කාර්පින්ස්‌කි.

ඒ අතරේ 2003 ජුනි මාසයෙදී ඇම්නෙස්‌ටි ඉන්ටර්නැෂනල් කියන රාජ්‍ය නොවන සංවිධානයෙන් වාර්තාවක්‌ ඉදිරිපත් කළා. ඉරාක රැඳවුම් කඳවුරුවල රැඳවියන්ට ඇමෙරිකානු හමුදාවෙන් කෙරෙන වධ හිංසා සහ මානව හිමිකම් කඩකිරීම් ගැන. අබු ග්‍රාහිබ් සිර කඳවුරේ රැඳවියන්ට ඇමෙරිකානු හමුදාවෙන් කෙරුණු අමානුෂික වධ හිංසා ගැනත් මේ වාර්තාවේ සඳහන් වෙලා තිබුණා.

ඔන්න ඊට පස්‌සෙ 2003 ජුනි 20 වැනිදා AI”s Middle East Program වල නියෝජ්‍ය අධ්‍යක්‌ෂක අබ්දුල් සලාම් සිදාමෙඩ් අබු ග්‍රාහිබ්වල සිරකරුවෝ තමන්ට සිද්ධ වෙන මේ හිංසනයට එරෙහිව නඟන හඬ ගැන විස්‌තර කළා.

2003 ජුනි 23 වැනිදා ඇම්නෙස්‌ටි ඉන්ටර්නැෂනල් සංවිධානය ඇමෙරිකානු හමුදාවේ මේ මානව හිමිකම් උල්ලංඝන ගැන මාධ්‍ය හමුවකින් කතා කළා. ඇමෙරිකානු හමුදාවෙන් අබු ග්‍රාහිබ් සිර කඳවුරේ රැඳවියන්ට දීල තිබුණු වධ හිංසා ගැන හරියටම ලෝකයට අනාවරණය වුණේ ඒ ඉදිරිපත් කිරීම් වලින් තමයි. ඇම්නෙස්‌ට්‌ ඉන්ටර්නැෂනල් සංවිධානයේ වාර්තාවේ සඳහන් වුණු විදිහට ඇමෙරිකානු හමුදාව මේ රැඳවියන්ව මුළුමනින්ම නිරුවත් කරලා අධික තාපයට නිරාවරණය කරලා තියෙනවා. නිරුවත් රැඳවියන්ව දඩ බල්ලන්ට කෑමට දාලාත් තියෙනවා. මේ අයට වැසිකිළි විදිහට පාවිච්චි කරන්න දීලා තියෙන්නෙ විවෘත කානු විතරයි.

මේ සිරකරුවන්ට වධ දීපු තවත් විදිහක්‌ තමයි අධික ඝෝෂාකාරී සංගීතයෙනුත්, අති දීප්තිමත් ආලෝකයෙනුත් පීඩා කරමින් සෑහෙන කාලයක්‌ තිස්‌සේ නිදාගන්න ඉඩ නොදෙන එක. සෑහෙන වෙලාවක්‌ තිස්‌සේ අසීරු ඉරියව් වලින් රඳවා තියන එකත් ඔවුන්ට වධ දුන්න තවත් ක්‍රමවේදයක්‌.

2003 නොවැම්බර් පළවැනිදා Associated Press අබු ග්‍රාහිබ් බන්ධනාගාරයේ අමානුෂික වධ හිංසා ගැන විස්‌තරාත්මක වාර්තාවක්‌ ඉදිරිපත් කළා. බන්ධනාගාරයෙන් නිදහස්‌ වුණු රැඳවියන් ඒ බන්ධනාගාරය ඇතුළත සිද්ධ වුණු හිංසනයන් ගැන කියපු කතා ඒ වාර්තාවේ සඳහන් වෙලා තිබුණා.

“ඇමරිකානු හමුදා සොල්දාදුවෝ අපිට සැලකුවේ බැටළුවන්ට වගේ. හැමදාමත් අපිට පහර දෙනවා. අපි එකිනෙකා එක්‌ක කතා කරලා අහුවුණොත් ලැබෙන දඬුවම පැය ගාණක්‌ නිරුවතින් තද අව්වේ වැතිරිලා ඉන්න සිද්ද වෙන එක. ඉවසගන්න බැරි තරමින් නින්දාවට පත් කරනවා”. බන්ධනාගාරයෙන් නිදහස්‌ වෙලා ආපු 38 හැවිරිදි සාද් නායිෆ් තමන්ගේ අත්දැකීම් ගැන විස්‌තර කරලා තිබුණේ එහෙමයි.

මේ වාර්තාවට පිළිතුරු විදිහට ඇමෙරිකානු හමුදා බ්‍රිගේඩියර් ජෙනරල් ජානිස්‌ කාර්පින්ස්‌කි ප්‍රකාශ කරලා තිබුණේ තමන්ගේ හමුදාවෙන් ඉරාක රැඳවියන්ට බොහොම සාධාරණ සහ මානුෂීයව සලකනවා කියලයි. ආක්‍රමණයේ මුල් කාලේ ඉඳන්ම මේ සිරකඳවුරු නිරීක්‌ෂණය කරන්න ජාත්‍යන්තර රතු කුරුස සංවිධානයට අවසර තිබුණා. රතු කුරුස සංවිධානයෙන් මේ රැඳවියන්ගේ තත්ත්වය පිළිබදව වාර්තාවන් ඉදිරිපත් කළා. රතු කුරුස සංවිධානයේ වාර්තාවන්ට පිළිතුරු විදිහටත් බ්‍රිගේඩියර් කාර්පින්ස්‌කි කිව්වේ මේ සිරකරුවන්ගෙන් බොහොමයක්‌ අය රහස්‌ ඔත්තු සේවාවන්ට සම්බන්ධ නිසා ජිනීවා සම්මුතියේ ආරක්‌ෂාව ලබන්න ඔවුන්ට සුදුසුකම් නැහැ කියලයි.

2004 අප්‍රේල් මාසෙදී CBS පුවත් සේවයේ 60 Minutes II පුවත් වාර්තාවෙන් මේ සිරකඳවුරේ හිංසනය ගැන වාර්තා වුණාට පස්‌සේ මේ සිදුවීම ලෝකෙ පුරා කතාබහට ලක්‌වෙන්න පටන් ගත්තා. ඇමෙරිකානු හමුදා නිලධාරීන් ඉරාක සිරකරුවන් නිරුවත් කරලා හිංසා කරන හැටි ගැන මේ වැඩසටහනින් විකාශය වුණා.

අබු ග්‍රාහිබ් බන්ධනාගාරයේ උන්නු මනාඩෙල් අල් ජමාදි කියන රැඳවියා සී. අයි. ඒ. නිලධාරියෙක්‌ සහ පෞද්ගලික කොන්ත්‍රාත්කරුවෙක්‌ විසින් වධ දෙමින් ප්‍රශ්න කරන අතරතුර මිය ගිහින් තිබුණා. මනාඩෙල් අල් ජමාදිගෙ දෑත් පිටුපසට කරලා බැඳලා අතේ මැණික්‌ කටු වලින් උඩ එල්ලලා පහර දෙමින් ප්‍රශ්න කරන අතරතුර තමයි මනාඩෙල් මියගිහින් තිබුණේ. මේක පැහැදිලිවම මිනීමැරුමක්‌ විදිහට තීන්දු වෙලා තිබුණත් මේ මිනීමැරුම කළ අයට කිසිම දඬුවමක්‌ නම් නියම කෙරුණේ නෑ.

ඇමෙරිකානු හමුදා නිලධාරීන් අතින් අබු ග්‍රාහිබ් බන්ධනාගාරයේ රැඳවියන් දූෂණය වුණු බව පෙන්වන ඡායාරූපත් එක්‌ක වාර්තාවක්‌ 2009 අවුරුද්දෙදී ඇමෙරිකානු හමුදා මේජර් කෙනෙක්‌ වුණු අන්තෝනියෝ ටගුබාත් ඉදිරිපත් කළා. ඇමෙරිකානු හමුදා නිලධාරියෙක්‌ අබු ග්‍රාහිබ් හිරගෙදර හිටපු තරුණ ලාබාල ඉරාක රැඳවියකුව වේදනාවෙන් විලාප තියද්දීම දූෂණය කරපු හැටිත්, කාන්තා හමුදා නිලධාරිනියක්‌ ඒ සිදුවීම වීඩියෝ කළ හැටිත් මේ වාර්තාවේ ලියෑවිලා තිබුණා. තවත් ඡායාරූපයක තිබුණේ ඇමෙරිකානු සොල්දාදුවන් කිහිප දෙනකුම එකතු වෙලා ඉරාක කාන්තා රැඳවිනියක්‌ව දූෂණය කරන විදිහයි. ඒ වගේම කාන්තා රැඳවිනියන්වත් පිරිමි රැඳවියන්වත් නිරුවත් කරල එක එක ඉරියව් වලින් රඳවමින් ඇමෙරිකානු සොල්දාදුවන් මේ රැඳවියන්ට අපහාස කරමින් නින්දාවට පත් කරන විදිහත් සාක්‌ෂි ඡායාරූප ඇතිවම විස්‌තර කරලා තිබුණා. බැටන් පොලු, බට, වයර් යොදා ගනිමින් මේ රැඳවියන්ට ලිංගික හිංසන සිදු කරන විදිහත් මේ ඡායාරූපවල සටහන් වෙලා තිබුණා. ඒ වගේම කාන්තා රැඳවියන්ව නිරුවත් උඩුකයින් එක එක විදිහට රඳවා තියෙන පින්තූරත් තිබුණා. ඒත් මේ පින්තූර මාධ්‍යයට නිදහස්‌ නොකරන්නට ඇමෙරිකානු ජනාධිපති ගත්ත තීරණයට මේජර් අන්තෝනියෝ ටගුබා සහාය දුන්නා.

ඉරාකයේ පිහිටුවපු ඇමෙරිකානු හිර කඳවුරු හැම එකකම වගේ උන්නු කාන්තා රැඳවියන්ව ඇමෙරිකානු හමුදා නිලධාරීන්ගෙ ලිංගික අතවර වලට ලක්‌ වුණා. අබු ග්‍රාහිබ් කඳවුරේ උන්නු රැඳවිනියන්වත් මේ විදිහට දූෂණයට ලක්‌ වුණා. මෙහෙම දූෂණයට ලක්‌ වුණු රැඳවිනියන්ගෙන් සමහර අය දූෂණය නිසාම ගැබ් ගත්තා. ගැබ් ගත්තු සමහර රැඳවිනියන්ව ඒ අයගේ පවුල්වල උදවියම ‘ගෞරව මරණ’ එහෙමත් නැතිනම් – honor killing.- විදිහට මරා දැම්මා.

අමීන් සදීක්‌ අල් ෂේක්‌, අබු ග්‍රාහිබ් බන්ධනාගාරයේ රඳවලා උන්නු තවත් රැඳවියෙක්‌. අමීන් සදීක්‌ගේ ප්‍රකාශය 2004 මැයි මාසෙදී Washington Post සඟරාවේ සටහන් වෙලා තිබුණේ මේ විදිහට.

“මරණය මීට වඩා හොඳයි කියන එක අපි උඹලට පෙන්නන්නම් කියලා ඒ ගොල්ලෝ අපිට කිව්වා. ඒ අය මාව නිරුවත් කළා. එතැනින් එක සොල්දාදුවෙක්‌ කිව්වා මම දැන් උඹව දූෂණය කරනවා කියලා. ඊට පස්‌සේ කාන්තාවකගේ පින්තූරයක්‌ මගේ පසුපසට තියාගෙන අශෝභන ඉරියව්වකින් ඉන්න කියලා ඒ අය මට බල කළා”. “උඹ අල්ලාහ්ට යාච්Æ කරනව ද” කියලා එතනින් කෙනෙක්‌ මගෙන් ඇහුවා. මම ඔව් කිව්වා. ඊට පස්‌සේ ඒ අය හිනාවෙවී අල්ලාහ් දෙවියන්ටත් මටත් අසභ්‍ය වචන වලින් කතා කළා. “උඹ මෙහෙන් යහතින් එළියට යන්නේ නෑ” කියලා මට කිව්වා. ඒ වගේම මගේ බිරිඳ මේ විදිහට මාව දකිනවාට කැමති වේවි ද කියලත් ඔවුන් ඇහුවා. මගේ බිරිඳ හිටියත් ඇයවත් මේ විදිහට දූෂණය කරන බවත් කිව්වා. අල්ලා දෙවියන්ට යාච්Æ කරනවා වෙනුවට මම පණපිටින් ඉන්න එක ගැන ඡේසුස්‌ දෙවියන්ට ස්‌තුති කරන්න කියලා ඔවුන් මට බල කළා”.

අබු ග්‍රාහිබ් රැඳවියන්ගේ මේ වගේ ප්‍රකාශ ගණනාවක්‌ Washington Post වගේම The New York Times මඟිනුත් වාර්තා කරලා තිබුණා.

මේ මාධ්‍යවලින් ලෝකයට ඉදිරිපත් කෙරුණු ඡායාරූපවල සිරකරුවන් මරලා ඔවුන්ගේ නිරුවත් මළ සිරුරු කඳු වගේ ගොඩ ගහලා ඒ ඉදිරිපිට ඉඳන් හිනා වෙවී පින්තූර ගත්තු ඇමෙරිකානු හමුදා නිලධාරීන්ගේ ඡායාරූපත් තිබුණා.

ඒ අබු ග්‍රාහිබ් බන්ධනාගාරයේ රැඳවියන් විඳපු අමානුෂික වධ හිංසා විතරයි. ඉරාකය පුරා පිහිටුවපු ඇමෙරිකානු සිර කඳවුරුවල ඉරාක වැසියන් කීදෙනෙක්‌ මරණයටත් අන්ත වධ හිංසා නින්දා අපහාස විඳින්න ඇතිද.?

නිම්මි මුදිතා හේරත්(2017/09/03 පලවූ ඉරිදා දිවයින පුවත්පතෙන් උපුටා ගන්නා ලදී)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here