හමුදා සේවයට ගොස් අතුරුදන් වූ එකම පුතා වෙනුවෙන් අසරණ වූ මවක් ඉකි බිඳියි

0
79
A relative of a missing Sri Lankan family watches as army soldiers search for victims under the debris of a house in Elangapitiya village in Aranayaka, some 72 kilometers (45 miles) north of Colombo, Sri Lanka, Thursday, May 19, 2016. Heavy rains Thursday continued to pound the central Sri Lankan region where at least three villages have already been swallowed by mountains of mud, forcing army soldiers and police to suspend rescue work. (AP Photo/Eranga Jayawardena)

හේවාහැට – සරත් උළුවිටිකේ

සිය එකම පුතණුවන් යුද හමුදා සේවයට ගොස් 1997 දෙසැම්බරයේ සිට අතුරුදන්ව ඇති නමුත් මෙතෙක් ඔහු වෙනුවෙන් කිසිදු දීමනාවක් තමන්ට ලැබෙන්නේ නැතැයි අසරණභාවයට පත් තලාතුඔය, නුගලියද්ද කන්දේගම පදිංචි ආර්. එම්. කුඩාමැණිකේ මහත්මිය පවසයි. ඇය තම වයස කීමටවත් නොදනී. පාසල් ගොස් නැති ඇයට ලිවීමේ හෝ කියවීමේ හැකියාවක්ද නැත. මේ වනවිට ඇයගේ නිවෙස කඩා වැටෙන්නට ආසන්නව පවතී. අසල්වැසි ඥාතීන්ගෙන් යැපෙන ඇය දිවි රැකගන්නේ මාසිකව ලැබෙන රුපියල් දෙසිය පනහක් වූ පින් පඩියෙනි.

ඇය තම පුතණුවන් ගැන මෙසේ කියන්නීය.
පුතාගේ නම ආර්. එම්. රණසිංහ බණ්ඩා, ඉගෙනගත්තේ නුගලියද්ද ස්කෝලේ. අප්පච්චිත් නැතිව මම බොහොම අමාරුවෙන් ඒ දරුවා හැදුවේ. ඊට පස්සේ හමුදාවට බැඳුණා. අපිට හොඳ කාලයක් ලැබේවි කියලා තමා හමුදාවට ගියේ. හමුදාවට බැඳුණු දිනය මට මතක නෑ. හමුදාවේ ඉඳලා මට ලියුම් එව්වා. අහල පහළ අය ඒවා මට කියවනවා. අන්තිමට ලියුමක් එව්වේ 1997 දී. ඒ ලියුම තියෙනවා. කිලිනොච්චියේ ඉඳලා තමා ඒ ලියුම එවා තිබුණේ. ඊට පස්සේ පුතා අතුරුදන්.

අද වනතුරු කිසිම තොරතුරක් නෑ. මේ පිළිබඳව ගමේ ඥාතීන් හැමතැනටම ලියුම් යැව්වා. ඒ කාලේ අගමැතිතුමාටත් යැව්වා. හමුදාවටත් යැව්වා. පුතා සේවයට ආවේ නැහැ කියලා හමුදාවෙන් කියා තිබුණා. මම හිතන්නේ පුතාට හමුදා සේවයේදී අනතුරක් වුණා කියලයි. අද වනතුරු ගෙදර ආවේ නෑ. දැන් හිතෙන්නේ මැරුණා කියලා. මට වෙන කිසිවෙක් නෑ. ගමේ උදවිය තමා මාව බලාගන්නේ. (ඇය ඉකිබිඳ හඬයි.)

පුතා වෙනුවෙන් ලැබිය යුතු දෙයක් තිබේ නම් මට ලබා දෙන්න. අද හෙට මමත් මැරිලා යයි. මගේ දරුවා වෙනුවෙන් මට දානයක්වත් දෙන්න ඕන මම මැරෙන්න කලින්. මේ ගැන සොයා බලා මගේ දරුවට සාධාරණයක් ඉෂ්ට කරන්න. රට වෙනුවෙන් යුද්ධයට ගියේ. මම අසරණ ගෑනියක්. (ඇය නොකඩවා කඳුළු වගුරුවයි. ඇඳ සිටි රෙදි කඩමාල්ලෙන් දෙනෙත් වසා ගනී.)
ඇය සතුව ඇති ලිපි ලේඛන කිහිපයක් අපි පරීක්ෂා කළෙමු. 2003.10.20 දින අග්‍රාමාත්‍ය පෞද්ගලික ලේකම් සුදත් චන්ද්‍රසේකර මහතා විසින් තිලක් මාරපන මහතා වෙත යොමුකළ ලිපියක්ද, රණවිරු සේවා අධිකාරිය මඟින් එවා ඇති ලිපියක්ද, රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය මඟින් යුද හමුදාපති වෙත යොමු කළ ලිපියක්, යුද හමුදා මූලස්ථානය මඟින් එවා ඇති ලිපියක්ද වේ.

අවසන් ලිපිය 2003 සැප්තැම්බර් 17 දින යුද හමුදාපති වෙනුවට කපිතාන් එස්. ජේ. කාරියකරවන මහතා නිකුත් කර ඇත. එහි සඳහන් වන්නේ 1997.02.22 දින සිට මොහු නිවාඩු නොමැතිව සේවයට නොපැමිණි බවත් එහෙයින් වන්දි මුදල් හෝ දීමනා ලබාදීම කළ නොහැකි බවත්ය.
එහෙත් මෙකී මව පවසන්නේ පුතා එක් වරක් හමුදා සේවය හැර ගොස් නැවත හමුදාවට එක් වූ බවත් තමාට කිලිනොච්චියේ සිට ලිපි එවූ බවත්ය. ඇය වෙත එවා ඇති අවසන් ලියුමේ පිටපතක් අපට දැකගත හැකිවිය. එහි දිනය සඳහන් වන්නේ 1997.12.21 ලෙසිනි. ලිපිනය සඳහන් වන්නේ සා.සෙ/ රණසිංහ බණ්ඩා ආර්. එම්., 8 වැනි ගජබා රෙජිමේන්තුව, අලිමංකඩ, කිලිනොච්චිය යනුවෙනි.

මේ අසරණ අම්මා තම පුතුගේ සේයාරුව පපුවට තුරුලුකරගෙන තවමත් කඳුළු වගුරන්නීය. ඇයට සාධාරණයක් ඉටු කිරීම බලධාරීන්ගේ යුතුකමය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here