නේස්‌බි න්‍යායට අනුව ජෙයරාඡ් ඝාතනයද යුද අපරාධයකි

0
93

ශමීන්ද්‍ර ෆර්ඩිනැන්ඩෝ

nesbiකොටි ත්‍රස්‌තවාදීහු ජෙයරාඡ් ප්‍රනාන්දුපුල්ලේ අමාත්‍යවරයා 2008 අප්‍රේල් මස 6 වැනි දින වැලිවේරිය ප්‍රදේශයේදී බිලිගත්හ. ඔහු ඝාතනය වන විට 55 වියේ පසු විය. හෙතෙම මියයන විට මහාමාර්ග හා මාර්ග සංවර්ධන අමාත්‍යවරයා ලෙසත් පාර්ලිමේන්තුවේ ආණ්‌ඩු පක්‌ෂයේ ප්‍රධාන සංවිධායකවරයා හා ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂයේ භාණ්‌ඩාගාරික ලෙසත් කටයුතු කළේය. පැවැති රජය වෙනුවෙන් LTTE සමඟ රහස්‌ සාකච්ඡාවලට සහභාගි වූ එතුමාගේ ඝාතනය හේතුවෙන් අප රටට එරෙහිව නැඟෙන යුද අපරාධ චෝදනා නිෂ්ප්‍රභ කිරීමට අවශ්‍ය ප්‍රධානතම සාක්‌ෂියක්‌ ලැබී ඇත. එම සාක්‌ෂිය සඳහන් වන්නේ ජෙයරාජ්ගේ ඝාතනයට වසර තුනකට පසුව සිරිල් එඩේරමුල්ල පළ කරන ලද ‘ජෙයරාඡ් · රුදුරු LTTE ය බිලිගත් ජාතික නායකත්ව ලකුණ’ ග්‍රන්ථයෙනි.

මෙම පොත පළකර ඇත්තේ රුදුරු ත්‍රස්‌තවාදය පරාජය කර වසර දෙකකට පසුය.

පිටු 537 මෙම ග්‍රන්ථය සම්පාදනය වී ඇත්තේ ජෙයරාජ් ඇසුරු කළ දේශපාලනඥයන්, මාධ්‍යවේදීන් සහ අනෙකුත් පුද්ගලයන් එතුමා සම්බන්ධයෙන් ඉදිරිපත් කළ අදහස්‌ අනුසාරයෙනි.

පැවති රාජපක්‌ෂ රජයට එරෙහිව නැඟුණ ප්‍රධානතම යුද අපරාධ චෝදනාව වන 40,000 අධික ද්‍රවිඩ සාමාන්‍ය ජනතාව ඝාතනය කළා යෑයි සඳහන් කරන කතිකාව වන විට අද බ්‍රිතාන්‍ය සාමි මණ්‌ඩලයේ ද අභියෝගයට ලක්‌වී තිබේ. වසර 50 ක්‌ පුරාවට ශ්‍රී ලංකාවත් සමඟ ඉතාම හිතවත්ව කටයුතු කළ නේස්‌බි සාමිවරයා 40,000 ක ජන සංහාරයක්‌ සිදුවූයේ නැති බවත් මියගිය මුළු සංඛ්‍යාව 7000 ත් 8000 ත් අතර විය හැකි බවත් එයිනුත් 1/4 ක්‌ කොටි සාමාජිකයන් බවත් 2017 ඔක්‌තෝබර් මස 12 දින කරන ලද ප්‍රකාශය අදටත් කිසිවකුත් අභියෝගයට ලක්‌කර නැත. මෙම ලියුම්කරු පාර්ලිමේන්තුවේ ප්‍රධාන විපක්‌ෂය වන TNA සංවිධානයේ නායක සහ විපක්‌ෂ නායක වන ආර්. සම්බන්ධන් මහතාගෙන් නේස්‌බි සාමිවරයාගේ ප්‍රකාශය සම්බන්ධව ඔහුගේ අදහස්‌ ප්‍රකාශ කරන ලෙස කළ ඉල්ලීමට අදටත් ප්‍රතිචාර නැත. ඇත්ත වශයෙන්ම ද්‍රවිඩ සමූල ඝාතනයන් ගැන කතාකළ චෝදනා කළ විදේශීය බලවේග රාජ්‍ය නොවන සංවිධාන ද්‍රවිඩ ඩයස්‌පෝරාව සහ TNA අද දුර්මුඛ වී ඇත. මෙවන් තත්ත්වයක්‌ යටතේ ජෙයරාඡ්ගේ ඝාතනය පිළිබඳව ලියෑවුණ ග්‍රන්ථය රාවය පුවත්පතේ ආරම්භක කර්තෘ වික්‌ටර් අයිවන් ලියනා ලද ‘කිළිනොච්චියේදීත් වාදකළ…’ සාකච්ඡාවට බඳුන් විය යුතුමය.

වික්‌ටර් අයිවන්ගේ කතාව මගින් නේස්‌බිගේ ප්‍රකාශය සනාථ කරන අතර සම්බන්ධන් වැනි ද්‍රවිඩ නායකයන් සැබවින්ම කුමක්‌ වෙනුවෙන් පෙනී සිටින්නේ දැයි පෙන්නුම් කරයි. වික්‌ටර් අයිවන්ගේ කතාව එතුමාගේම වචනයෙන් දැනගැනීම වඩාත් යෝග්‍ය බව මෙම ලියුම්කරුගේ හැඟීමයි.

ඊළඟට මා කියන්නට යන කතාව මට අසන්නට ලැබුණේ ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ මන්ත්‍රීවරයා ඝාතනය කිරීමෙන් මාස කීපයකට පසුවය. ඒ වන විට එල්ටීටීඊ යට එරෙහිව ආරම්භ කර තිබූ යුද්ධය අවසන් වී නොතිබුණත්, එම යුද්ධය තුළ එල්ටීටීඊ ය සිටියේ අවාසිදායකව ආරක්‌ෂාව සඳහා සටන් කරන තත්ත්වයකය.

මෙය සුහද අදහස්‌ හුවමාරුවකදී කරළියට ආ කතාවකි. මෙම අදහස්‌ හුවමාරුව සිදුකෙරුණේ ආචාර්ය කුමාර් රූපසිංහගේ නිවසේය. අදහස්‌ හුවමාරුවට සහභාගි වූ කීපදෙනා අතර දෙමළ එක්‌සත් පෙරමුණු නායක ආර්. සම්බන්ධන් එම පක්‌ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වූ සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් හා මාවෙයි සේනාධිරාජා යන අය ද ඇමැති මණ්‌ඩල සාමාජිකයකු වූ රාජිත සේනාරත්න හා සේවා ලංකා පදනමේ ප්‍රධානියා වූ හර්ෂ නවරත්න යන අය ද සිටියහ.

අදහස්‌ හුවමාරු කරගැනීම සිදුවූයේ දෙමළ ප්‍රශ්නය පිළිබඳවය. අදහස්‌ පළ කිරීම සිදුවූයේ සුහද රාමුවක්‌ තුළ වුව ද එහිදී උණුසුම් වාද විවාද ද ඇති විය. සිදුකෙරෙමින් තිබෙන යුද්ධය වර්ග නාශක යුද්ධයක්‌ ලෙස සැලකිය හැකි ද යන්න සාකච්ඡාවට ලක්‌වූ එක්‌ ප්‍රධාන කාරණයක්‌ විය. දෙමළ එක්‌සත් පෙරමුණේ නායකයා සිංහල නායකයන් පිළිබඳව චෝදනා මුඛයෙන් කතා කළ ද තමන්ට ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළ නොහැකි වුවත් එම යුද්ධය, වර්ග නාශක යුද්ධයක්‌ ලෙස සැලකිය නොහැකි බව කීවේය. යුද්ධයට යන්නට පෙර සාමකාමීව ප්‍රශ්න විසඳා ගැනීමට උත්සාහ නොකිරීම ගැන එහි සිටි දෙමළ මන්ත්‍රීවරයකු ජනාධිපතිවරයාට චෝදනා කරන ස්‌වරූපයෙන් කතා කළේය.

ජෙයරාඡ්ට සම්බන්ධ මේ කියන්න යන කතාව කරළියට ආවේ එහිදීය. කතාව කියන ලද්දේ හර්ෂය. ප්‍රභාකරන් යාපනේ ආරක්‌ෂක හමුදාවන්ට ක්‌ලේමෝ බෝම්බවලින් පහර දෙන තැනකට තල්ලුවීමෙන් පසු ජනාධිපතිවරයා තමාට දුරකථන ඇමතුමක්‌ දී තමා ජනාධිපති මන්දිරයට ගෙන්වාගෙන ලලිත් වීරතුංග සමඟ යාපනයට ගොස්‌ කොටි නායකයන් හමුවී සාකච්ඡා කොට බේරුමක්‌ ඇති කරගන්නා ලෙස ඉල්ලා සිටි බවත් ඒ අනුව ජනාධිපති ලේකම් සමඟ කිළිනොච්චියට ගොස්‌ කොටි නායකයන් සමඟ සාකච්ඡා කරනු ලැබුවත්, පහරදෙන පිළිවෙත ලිහිල් කිරීමට ඔවුන් එකඟ නොවූ නිසා, හිස්‌ අතින් ආපසු එන්නට සිදුවූ බවත් ඔහු කීවේය.

ඉන්පසු මාවිල්ආරු ප්‍රශ්නය ඇතිවූ අවස්‌ථාවේදී ජනාධිපතිවරයා නැවත තමාට කතා කොට ජෙයරාජ් සමඟ කිළිනොච්චියට ගොස්‌ කොටි නායකයන් හමුවී කතා කිරීමට ඔහුට අවස්‌ථාවක්‌ සූදානම් කරදෙන ලෙස ඉල්ලා සිටීම නිසා නැවත වරක්‌ ජෙයරාඡ් සමඟ කිළිනොච්චියට යැමට සිදුවූ බව කීවේය. එහිදී ජෙයරාඡ් සමඟ කතා කිරීමට කොටි යොදා තිබුණේ මුහුදු කොටි නායක සුසෙයිය.

සුසෙයි උද්ධච්ච ස්‌වරයකින් කතා කරන විට ජෙයරාඡ් ඊට ගැළපෙන දැඩි ස්‌වරයකින් කතා කළ බවත් ඉතාමත් උණුසුම් ස්‌වරූපයක්‌ ගනු ලැබූ ඒ කතාබහෙන් පසුව පවා ඔවුන්ගේ ස්‌ථාවරයේ වෙනසක්‌ ඇති කිරීමට නොහැකි වූ නිසා යුද්ධයක්‌ ඇතිවීම නොවැළැක්‌විය හැකි බව ආපසු එන ගමනේදී ජෙයරාඡ් ප්‍රකාශ කළ බවත් ඔහු කීවේය.

ජෙයරාඡ් ඝාතනයට සුසෙයි සමඟ කරන ලද එම සාකච්ඡාව හේතු වන්නට ඇතැයි මම සිතමි. ජෙයරාඡ් හැමදාමත් තමන් දරන අදහස්‌ නොසඟවා ප්‍රකාශ කරන වර්ගයේ දේශපාලනඥයකු විය. මේ කතාබහ සිදුකෙරුණේ කොටි රාජධානියේ වුවත් සුසෙයිගේ උද්ධච්ච ස්‌වරය ජෙයරාඡ් කෝප කිරීමට හේතුවන්නට ඇතැයි සිතිය හැකිය. එහිදී ඔහු සිය නායකයාගේ හා රටේ ගෞරවය පිණිස ඔහු කෙරෙන් පළවූ උද්ධච්චකමට බිය නොවී නිර්භීතව තමන් දරන අදහස්‌ පළ කළේය. ජෙයරාඡ්ගේ ස්‌වරය සුසෙයිගේ කෝපයට හේතු වූවා විය යුතුය. සමහර විට ඔහු මරා දමන්නට තීරණය කරන්නට ඇත්තේ එහිදීය.

ජෙයරාඡ්ගේ මරණයේදී මට සාමාන්‍ය සංවේගයක්‌ මිස ලොකු සංවේගයක්‌ ඇති නොවීය. හේතුව දේශපාලන නායකයන් ඝාතනයට ලක්‌වීම සාමාන්‍ය දෙයක්‌ බවට පත්ව තිබීම නිසාය. එහෙත්, හර්ෂ සම්බන්ධන්ට කියන ලද කතාව අසාගෙන සිටි මට ජෙයරාඡ්ගේ මරණය ගැන විශාල සංවේගයක්‌ ඇතිවිය. ඔහු අප සියලු දෙනා වෙනුවෙන් හා රටේ ගෞරවය වෙනුවෙන් ඝාතනයට ලක්‌වීයෑයි කිව හැකිය.

(උපුටනය අවසන් – රුදුරු LTTE ය බිලිගත් ජෙයරාජ්)

මෙම ග්‍රන්ථයේ පිටපතක්‌ එවකට රාජපක්‌ෂ රජයේ මන්ත්‍රීවරයකු වූ සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මෙම ලියුම්කරුට එවා තිබිණි. මෙහි සඳහන් යම් කරුණු දි අයිලන්ඩ් පුවත්පතේ වාර්තා කළ නමුත් සිංහල මාධ්‍යයක පළ කරන ප්‍රථම අවස්‌ථාව මෙයයි. රාජපක්‌ෂ රජය මෙහි අන්තර්ගත කරුණු අප රටට එරෙහිව කෙරෙන යුද අපරාධ චෝදනා නිෂ්ප්‍රභ කිරීමට පාවිච්චි කළ යුතුව තිබිණි. මෙම පොත නොමිලේ ලැබුණු කිසිදු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු පරිශීලනය නොකළ බව ඉතා පැහැදිලිය. අනිවාර්යයෙන්ම මෙම ග්‍රන්ථය පාර්ලිමේන්තු පුස්‌තකාලයේ තිබිය යුතුමයි. මෙය නොකියවූ පාර්ලිමේන්තු මැති ඇමැතිවරු මෙය කියවා බැලිය යුතුමයි. වික්‌ටර් අයිවන්ට බොරුවක්‌ කීමට හේතුවක්‌ නැත. ඔහු කවදත් තමන් හට කීමට අවැසි දේ නිර්භයව ප්‍රකාශ කළ ජනමාධ්‍යවේදියෙකි.

වික්‌ටර් අයිවන් පවසනා පරිදි ජෙයරාජ්ව මරාගෙන මැරෙන මිනිස්‌ බෝම්බයකින් සුන්නද්දූලී කර දැමීමට හේතුව ජෙයරාජ්ගේ ස්‌වරය එවකට මුහුදු කොටි නායක සුසෙයිගේ කෝපයට හේතුවීමය. යම් කෙනකු උච්ච ස්‌වරයෙන් හෝ නිර්භයව අදහස්‌ ප්‍රකාශ කිරීම ඔහුගේ ඝාතනයට හේතුවිය හැකි බව මෙම ලියුම්කරු මීට පෙර අසා නැත.

මෙවැනි මිනීමරු සංවිධානයක්‌ 2001 වසරේ අග භාගයේදී ද්‍රවිඩ ජනතාවගේ එකම නියෝජිතයා යෑයි සම්බන්ධන් ප්‍රමුඛ TNA සංවිධානය මෙන්ම (අද පාර්ලිමේන්තුවේ ප්‍රධාන විපක්‌ෂය ලෙස) මෛත්‍රී – වික්‍රමසිංහ රජය ද පිළිගෙන තිබේ. ජෙයරාඡ් ඝාතනය වූ 2008 වසරේ අප්‍රේල් මසදී පවා TNA සංවිධානය LTTE ය සමඟ Rජු සම්බන්ධකම් පැවැත්වීය. LTTE ය ජෙයරාජ් ඝාතනය කරන අවස්‌ථාවේදී (සම්බන්ධන් මහතා කියනා පරිදි) ද්‍රවිඩ ජනතාවගේ එකම නියෝජිතයාය. තමන් පාර්ලිමේන්තුව නියෝජනය කරමින් ඇමෙරිකාව, එංගලන්තය සහ ඉන්දියාව ඇතුළු බොහෝ රටවල් තහනම් කරන ලද මිනීමරුවන් කණ්‌ඩායමක්‌ තම ප්‍රජාවගේ එකම නියෝජිතයා ලෙස පිළිගත් ලොව කිසිදු ‘දේශපාලන’ පක්‌ෂයක්‌ නොමැති බව කිසිදු සැකයක්‌ නැත.

නේස්‌බිගේ ප්‍රකාශය ගැන සම්බන්ධන් මුනිවත රැකීම ගැන පුදුම විය යුතු නැත්තේ ඒ නිසාය.

TNA සංවිධානය LTTE ත්‍රස්‌තවාදීන්ගේ අතකොළුවක්‌ බව මෙම ලියුම්කරු බොහෝ වරක්‌ පෙන්වා දී ඇත. දි අයිලන්ඩ් පුවත්පත ගත් එම ස්‌ථාවරයට 2004 ජුනි මස ජාත්‍යන්තර පිළිගැනීමක්‌ ලැබිණි. 2004 අප්‍රේල් මස මහමැතිවරණය නිරීක්‌ෂණය කරන ලද යුරෝපීය සංගම් මැතිවරණ නිරීක්‌ෂණ කණ්‌ඩායම් ප්‍රබල වාර්තාවක්‌ ඉදිරිපත් කළේය. එහි කිසිවකු නොසිතූ පරිදි LTTE සහ TNA සංවිධානය අතර පවතිනා සහසම්බන්ධතාව පිළිබඳව චෝදනා කර තිබිණි. TNA සංවිධානය උතුරු – නැගෙනහිර මෙවන් වැඩි ආසන සංඛ්‍යාවක්‌ ලබාගැනීමට මූලික හේතුව LTTE TNA වෙනුවෙන් එම පළාත්වලට තරග කළ අනෙකුත් පක්‌ෂවලට ප්‍රහාර එල්ල කිරීමයි. මෙම වාර්තාව රාජපක්‌ෂ රජය වසර 11 ක්‌ පුරාවට නොසලකා හැරීය. කිසිදු අවස්‌ථාවක මෙම යුරෝපීය සංගමය TNA සම්බන්ධව කළ ප්‍රකාශය පිළිබඳව පාර්ලිමේන්තුවේදී හෝ පාර්ලිමේන්තුවෙන් පිටත කිසිදු දේශපාලන පක්‌ෂයක්‌ සඳහන් කළේ නැත. මේ සම්බන්ධයෙන් කළ එකම ප්‍රකාශය පාර්ලිමේන්තුව නියෝජනය නොකරනා වී. ආනන්දසංගරී (හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී) මෙම ලියුම්කරුට ලබාදුන්නේ ද්‍රවිඩ මාධ්‍ය LTTE යට අහිතකර කිසිවක්‌ පළ නොකරන බවට චෝදනා කරමිනි. අද මිනීමරුවන් කණ්‌ඩායමක්‌ වෙනුවෙන් පෙනී සිටින TNA සංවිධානය ජිනීවා නාටකයේ ප්‍රබල භූමිකාවකට පණ පොවයි. ඇත්ත වශයෙන්ම LTTE ය ද්‍රවිඩ ජනතාවගේ එකම නියෝජිතයා ලෙස 2001 අග භාගයේදී පිළිගත්තායින් පසු LTTE කරන ලද සියලු අපරාධවලට TNA සංවිධානය වගකිව යුතුව ඇත.

වික්‌ටර් අයිවන් පවසනා පරිදි ජෙයරාජ්ගේ මරණයට ඔහුට සාමාන්‍ය සංවේගයක්‌ විය. ලොකු දුකක්‌ ගෙනදුන්නේ නැත. ඔහු පවසනා පරිදි හේතුව දේශපාලන නායකයන් ඝාතනයට ලක්‌වීම සාමාන්‍ය දෙයක්‌ බවට පත්වී තිබීම නිසාය.

දේශපාලන මරණ සාමාන්‍ය දෙයක්‌ බවට පත්කළේ LTTE ය වෙනුවෙන් දැනටත් පෙනී සිටින TNA නායක නායිකාවන් සහ ජනතා විමුක්‌ති පෙරමුණයි.

වික්‌ටර් අයිවන්ගේ ලිපිය ඉංග්‍රීසි බසට පරිවර්තනය කර ජාත්‍යන්තර ප්‍රජාවට ලබාදිය යුතුව ඇත. එක්‌සත් ජාතීන්, යුරෝපීය සංගමය, ඉන්දියාව ඇතුළු සියලු ශ්‍රී ලංකාවේ සිදුවූ මිනිස්‌ ඝාතන ගැන කතාකරන සියලු විදේශීය පාර්ශ්වවලට මෙම පරිවර්තනය ලබාදිය යුතුව ඇත. විශේෂයෙන්ම වර්ගවාදී සංහාරයක්‌ සිදුකළා යෑයි හිටපු ජනපති රාජපක්‌ෂට දිගින් දිගටම චෝදනා කරන උතුරු පළාතේ මහ ඇමැති සී. වී. විග්නේෂ්වරන්ට මෙය ලබාදිය යුතුවම ඇත. එලෙසම, ආචාර්ය කුමාර් රූපසිංහගේ නිවසේදී සිදුවූ කතාබහ පිළිබඳව වික්‌ටර් අයිවන්ගේ ලිපියේ පූර්ණ ද්‍රවිඩ පරිවර්තනයක්‌ එම ජනතාවට ලබාදීම කළ යුතුව තිබුණේ රාජපක්‌ෂ රජයටය. එය දැන්වත් ඒකාබද්ධ විපක්‌ෂය කළ යුතුව ඇත. තවමත් පරක්‌කු නැත. නේස්‌බිගේ ප්‍රකාශය සම්බන්ධයෙන් තවමත් නිහඬව සිටිනා TNA නායකයා වික්‌ටර් අයිවන්ගේ හෙළිදරව්ව පිළිබඳව මොනයම් ආකාරයේ ප්‍රතිචාරයක්‌ කරාවි දැයි හිතාගැනීමට හැක. නේස්‌බිගේ ප්‍රකාශය මෙන්ම වික්‌ටර් අයිවන්ගේ ලිපිය ද මේ රටේ දේශපාලනයේ කතාබහට ලක්‌විය යුතුව ඇත. යහපාලන ආණ්‌ඩුවේ රාජ්‍ය ඇමැතිවරියක ලෙස කටයුතු කරන ප්‍රනාන්දුපුල්ලේ මැතිනියට මේ ගැන හඬක්‌ නැඟිය හැක.

nesbi1පසුගියදා ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂ මූලස්‌ථානයේදී මහින්ද අමරවීර සහ සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ සහභාගි වූ පුවත්පත් සාකච්ඡාවකදී TNA පිළිගන්නා, LTTE ය කළ දේශපාලනය ගැන සාකච්ඡා වුණි. අමරවීර නීතිය ක්‍රියාත්මක වීම ඉතා සෙමින් සිදුවුණ බවත් එමගින් මහජනතාවට පීඩාවන බවත් රජයේ බලාපොරොත්තුව එම ක්‍රියාවලිය වඩා වේගවත් සහ කාර්යක්‌ෂම කිරීම බවත් පැවසීය. නීති ක්‌ෂේත්‍රයේ පවතින දුර්වලතා නිසා ජනතාවට මුහුණදීමට ඇති අපහසුතාවලට තමා කනගාටුවට පත්වෙනවා.

ලියුම්කරු : ඔබතුමා සමඟ එකම රජයක ඇමැතිකම් දරන සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේට සාධාරණ ඉෂ්ට නොවන නීති රාමුවක්‌ තුළ ඔබ මහජනතාව මුහණදෙන අපහසුකම් ගැන අදහස්‌ පළ කිරීම නිෂ්ප්‍රභ කාර්යයක්‌. අද ත්‍රස්‌තවාදීන් දේශපාලන සිරකරුවන් කර ඝාතනයට ලක්‌වූ ජෙයරාඡ් වැනි අය අමතක කර දමා ඇත.

අමරවීර : අපිට උසාවියට බලපෑම් කළ නොහැකියි. උසාවිය පිළිබඳව ප්‍රකාශ කර නියෝජ්‍ය ඇමැති රංජන් රාමනායක මුහුණදුන් ප්‍රශ්න ඇතිකරගන්න ඕන නැහැ.

සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ නිශ්ශබ්දව සිටියාය.

රාජපක්‌ෂ රජය ශ්‍රී ලංකාවට එරෙහිව නැඟෙනා චෝදනාවලට සාර්ථක ලෙස මුහුණදීමට උත්සාහ වූයේ නැත. විශේෂයෙන්ම එම චෝදනා කරන පුද්ගලයන් ශ්‍රී ලංකාවට වාසිදායක, තමන්ගේම අවලාද නිෂ්ප්‍රභ කරන ප්‍රකාශ නිසියාකාරව යොදාගැනීමට කිසිදු උත්සාහයක්‌ කළේ නැත. එම රජයේ දුර්වලතාව හේතුවෙන් මිනීමරුවන් සමඟ එකට කටයුතු කළ TNA සංවිධානය මුළු ලොවම රවටමින් සිටී. LTTE ලක්‌ෂ 3 කට අධික සිවිල් වැසියන් මිනිස්‌ පළිහක්‌ ලෙස යොදාගන්නා විට නිශ්ශබ්දව සිටි TNA අද එම ජනතාව වෙනුවෙන් කිඹුල් කඳුළු හෙළයි.

කොළඹට පැමිණෙන සියලු බටහිර තානාපති නිලධාරීහු සම්බන්ධන් සහ යාපන දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්තිරන් අනිවාර්යයෙන්ම මුණගැසී ද්‍රවිඩ ප්‍රජාව මුහුණදෙන ගැටලු පිළිබඳ විමසීම් කරයි. මෙය අවාසනාවන්ත තත්ත්වයකි. තවත් ආකාරයකින් බලනා විට TNA පිළිබඳව පුදුම විය යුතු නැත. තම නායක අප්පාපිල්ලේ අමිර්තලිංගම් සහ වෙට්‌ටවේලු යෝගේස්‌වරන් කොළඹ අමිර්තලිංගම්ගේ නිවසේදී 1989 මරාදැමූ LTTE ය ද්‍රවිඩ ජනතාවගේ එකම නියෝජිතයා ලෙස පිළිගත් TNA නායකයන් ක්‍රියාකරන ආකාරය පැහැදිලිය. ඔවුන්ට එම උපක්‍රමශීලී ලෙස කටයුතු කිරීමේ අවස්‌ථාව ලබාදීම පිළිබඳව වගකීම සම්පූර්ණයෙන්ම පැවැති රජයේ වගකීම බව මෙම ලියුම්කරුගේ හැඟීමයි.

ප්‍රනාන්දුපුල්ලේ මැතිනිය TNA සංවිධානයේ විශ්වාසය දිනාගත් LTTE කළ මිනීමැරුම් ගැන ජෙයරාජ් ග්‍රන්ථයේ කර තිබෙන ප්‍රකාශය සඳහන් කළ යුතුව ඇත. TNA බලකිරීම මත, බටහිර නායකත්වය යටතේ ඉදිරියට ගෙනයන රට බෙදන ජිනීවා යෝජනාවලිය මත ක්‍රියාත්මක නව ව්‍යවස්‌ථාවක්‌ ගෙන ඒමේ ක්‍රියාවලිය පාර්ලිමේන්තුවේ හෙට දින (දෙසැම්බර් 11) සාකච්ඡාවට භාජනය වුණ අවස්‌ථාවේ ප්‍රනාන්දුපුල්ලේ තම ස්‌වාමියාගේ ඝාතනය සහ අනෙකුත් මිනීමැරුම් සම්බන්ධයෙන් පළ කළ අදහස්‌ ඒ ආකාරයෙන්ම දැනගත යුතුය. උපුටාගැනීම (

ඒ සියලු දෙනා ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂයේ හෝ එක්‌සත් ජාතික පක්‌ෂයේ හෝ වෙනත් දේශපාලන පක්‌ෂයක ප්‍රබලයෝ වූහ. ඇතැම් ඝාතන පිළිබඳ විවිධ සැක සංකා මතු වුව ද ඒ සියල්ල සිදුකළේ කොටි ත්‍රස්‌තවාදීන් බව මේ වන විට තහවුරු වී තිබේ. මෙලෙස කොටි ත්‍රස්‌තවාදීන් අපට අහිමි කළේ ඔවුන් රටේ ජාතික නායකයන් ලෙස ඉස්‌මතුව සිටියදී ය. නැතහොත් ඉස්‌මතු වෙමින් ජනතා ආකර්ෂණය දිනා සිටියදී ය.

මේ දේශපාලනඥයන් අහිමි වීම රටට බරපතළ පාඩුවකි. එමෙන්ම ඔවුන්ගේ දූ දරුවන්ට බරපතළ පාඩුවකි. ඒ පිළිබඳ තර්කයක්‌ නැත.

අවාසනාවන්ත තත්ත්වය වන්නේ අද අපට රට වෙනුවෙන් දිවි පිදූ මේ දේශපාලනඥයන් අමතක වෙමින් පැවැතීමය. පවුලේ ඥතීන් විසින් පවත්වනු ලබන මතක සැමරුම් හැර මේ අය වෙනුවෙන් අද ජාතික වශයෙන් සිහිපත් කිරීමක්‌ සිදුවන්නේ දැයි විමසා බැලීම වටී.

ප්‍රේමදාස හිටපු ජනාධිපතිතුමාත්, ලලිත්, ගාමිණී, කදිර්ගාමර් හා ජෙයරාජ් සිහිපත් කිරීමේ ගුණ සමරු වැඩසටහන් තවමත් පැවැත්වුණ ද ප්‍රේමචන්ද්‍ර, වීරසිංහ මල්ලිමාරච්චි, ද. මු. දසනායක වැන්නවුන් අද රටට අමතක වී ගොසින් දැයි සැක සිතේ. ප්‍රේමදාස, ලලිත්, ගාමිණී, කදිර්ගාමර් හා ජෙයරාජ් සමරු සිදුවන්නේ ද ඒ ඒ පවුල්වල ඥතීන්ගේ මැදිහත්වීමෙනි.

ද. මූ, ප්‍රේමචන්ද්‍ර වැන්නවුන් පිළිබඳව මතක සැමරුම් සිදුකෙරුණ ද ඒවා හුදෙකලා සැමරුම් බවට පත්ව තිබේ. මෙය බරපතළ අවාසනාවන්ත තත්ත්වයක්‌ ලෙස මම දකිමි.

මේ ඝාතනයට ලක්‌වූවන් තවත් වසර කීපයක්‌ යන තුරු හා ඔවුන්ගේ පවුල්වල සමීපතමයන් සිටින තුරු රට සිහිපත් කරනු ඇත. එහෙත් ඔවුන්ගේ කැප කිරීමට එය ප්‍රමාණවත් ද?

ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මැතිතුමා යුද්ධය අවසන් කළේය. රටට සාමය ගෙන ආවේය. දැන් රට නිදහස්‌ ය. මේ නිදහස වෙනුවෙන් රණවිරුවන් දිවි දුන්නා සේ ම බොහෝ ජනතාව ද දිවි දුන්හ. මේ සියලු දෙනා තවත් ටික කලකින් රටේ ජනතාවට (ඔවුන්ගේ ළඟම ඥතීන්ට හැර) අමතක නොවනු ඇතැයි කිව හැක්‌කේ කාටද?

එදා ජෙයරාජ් සමඟ සිටි බොහෝ දෙනකු අද නැත. ජෙයරාජ්ගේ උදව් උපකාර ලබාගත් බොහෝ දෙනකු අද නැත. එය ලෝක ස්‌වභාවය බව දනිමි. එහෙත් ජෙයරාජ් වැන්නවුන් රටට කළ මෙහෙවර මෙලෙස අමතක විය යුතු ද?

තව වසර කීපයක්‌ ගත වන විට මේ රටේ යුද්ධයක්‌ තිබූ බව ද බොහෝ දෙනකුට අමතක වනු ඇත. නැතහොත් (හිතාමතාම) අමතක කරනු ඇත. එවිට රට වෙනුවෙන් දිවි පිදූ රණවිරුවන් ජනතාව මෙන්ම ජෙයරාජ් වැනි ජාතික නායකයන් ද ඉතිහාසයට එක්‌වනු ඇත. මේ තත්ත්වය වෙනස්‌ කිරීමට කාලය එළැඹව ඇති බව මම දැඩිව විශ්වාස කරමි.

කොටි ත්‍රස්‌තවාදීන් අපට අහිමි කළ ජෙයරාජ් වැන්නවුන් සැමරීම සඳහා ජාතික දිනයක්‌ ප්‍රකාශයට පත්කළ යුතුව තිබේ. කුමන ආණ්‌ඩුවක්‌ බලයේ සිටිය ද මේ ජාතික දින සැමරුම නොකඩවා සිදුකරන ආකාරයට සම්ප්‍රදායක්‌ ගොඩනැඟිය යුතුව ඇත.

අපි මැයි 19 යුද ජයග්‍රහණය සමරමු. අපි පෙබරවාරි 04 ජාතික දිනය සමරමු. මාර්තු 08 කාන්තා දිනයත් ඔක්‌තෝබර් 01 වැනිදා ළමා හා වැඩිහිටි දිනයත් සමරමු. පෙබරවාරි 22 දින ජාතික වීර දිනය සමරන්නෙමු.

එමෙන්ම කොටි ත්‍රස්‌තවාදය අපට අහිමි කළ රණවිරුවන්, ජනතාව හා ජෙයරාජ් වැනි දේශපාලනඥයන් සැමරීම සඳහා ද දිනයක්‌ වෙන්කළ යුතුය. හුදෙකලා මතක සැමරුම්වලින් ඔබ්බට ගිය ජාතික සැමරුම් උළෙලක්‌ මගින් අපට අහිමි වූ අපේ ආදරණීයයන් සිහිපත් කිරීම ඔවුන් වෙනුවෙන් කරනු ලබන සැබෑ උපහාරය බව මම තරයේ විශ්වාස කරමි”.

උපුටනය ජෙයරාජ් කෘතියෙනි

ප්‍රනාන්දුපුල්ලේ මැතිනිය මොනවා පැවසුවත් යහපාලන රජය ඒකාබද්ධ හමුදා විජයග්‍රහණය සැමරීමේ දිනය පවා නතර කර දමා ඇත. උතුරේ ත්‍රස්‌තවාදීන් සැමරීම මේ වසරේ ප්‍රභාකරන්ගේ 63 උපන් දිනයට සමගාමීව ඉතාම ඉහළින් සැමරූ බව රහසක්‌ නොවේ. කැරලි දෙකකට නායකත්වය දී මිනිස්‌ ඝාතන බොහෝමයකට වගකිව යුතු ජ. වි. පෙ. තම නායකයාගේ මරණය සමරන අවස්‌ථාවක LTTE හිතවාදීන් උත්සව පැවැත්වීම වරදක්‌ ලෙස දැකිය යුතු නැති බව ලියුම්කරුගේ අදහසයි. නමුත් ජ. වි. පෙ. තම දෙවැනි පරාජයෙන් රටේ ප්‍රධාන දේශපාලන ප්‍රවාහයට එකතු වූ අතර LTTE එම අවස්‌ථාව නොසලකා හැරියේය.

TNA සම්බන්ධයෙන්ම සඳහන් කළ යුතු වැදගත් කරුණු කීපයක්‌

Ö 2001 LTTE ය ද්‍රවිඩ ජනතාවගේ එකම නියෝජිතයා ලෙස පිළිගැනීම. එම ප්‍රකාශය කිරීමට හේතු වූයේ TNA – LTTE අතර ඇතිවූ එකඟතාවයයි. එම සම්බන්ධ නෝර්වේ රාජ්‍ය 2002 පෙබරවාරි කරන ලද මැදිහත්වීම සමඟ බැඳේ.

Ö LTTE සහයෝගයෙන් 2004 අප්‍රේල් මහ මැතිවරණය උතුරු නැගෙනහිර පළාත්වල ජයග්‍රහණය කිරීම.

Ö 2005 නොවැම්බර් ජනාධිපතිවරණයේදී එවකට එක්‌සත් ජාතික පක්‌ෂ නායක වර්තමාන අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පරාජය කිරීමට කටයුතු කිරීම. TNA නායකයෝ එදා LTTE යේ නියෝගය මත ද්‍රවිඩ ජනතාවට දැනුම් දුන්නේ තම ඡන්දය කිසිවකුටත් ලබා නොදෙන ලෙසය. එම නියෝගය තීරණාත්මක ලෙස වික්‍රමසිංහ මහතාට බලපෑ අතර ඔහු ඡන්ද 209,000 අඩු ප්‍රමාණයකින් පරාජයට පත්විය.

Ö LTTE යේ යුද පරාජයෙන් පසුව 2010 ජනවාරි ජනපතිවරණයේදී ජයග්‍රාහී යුද හමුදාවේ හමුදාපති ජෙනරාල් සරත් ෆොන්සේකාට සහයෝගය පළ කිරීමෙනි. එම තීරණය යුද්ධයට දේශපාලන නායකත්වය දුන් රාජපක්‌ෂට එරෙහිවය.

Ö ඉන් පසුව, 2015 ජනවාරි මස ජනපතිවරණයේදී ප්‍රභාකරන් මරාදැමූ සතියේදී වැඩබලන ආරක්‌ෂක ඇමැති ලෙස කටයුතු කළ මෛත්‍රිපාල සිරිසේන දිනවීමට කටයුතු කළේය.

අද TNA භූමිකාව පිළිබඳව විමසීමක්‌ කළ යුතුව ඇත. TNA නායකයන් ඇඳ සිටින ප්‍රජාතන්ත්‍රවාදයේ සළුපිළි ඉරා දැමිය යුතුව ඇත. එවිට එහි සැබෑ ස්‌වරූපය ප්‍රභාකරන් ඇතිකරනා ලද ත්‍රස්‌තවාදයට නොදෙවැනි වන බව වටහා ගැනීමට අපහසු නොවනු බව මෙම ලියුම්කරුගේ විශ්වාසයයි.

ඇත්ත වශයෙන්ම TNA ක්‍රියාකාරීත්වය පිළිබඳව මැතිවරණ දෙපාර්තමේන්තුව කිසිදු ක්‍රියාමාර්ගයක්‌ ගත්තේ නැත. 19 වැනි සංශෝධනය යටතේ පිහිටුවනු ලැබූ මහින්ද දේශප්‍රියගේ නායකත්වයෙන් යුතු මැතිවරණ කොමිසම ද කිසිදු විමසීමක්‌ කර නැත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here