නාවික රණවිරුවන් සිරගත කිරීමේ කතාව – ඩී. කේ. පී. දසනායකට සුමිත් රණසිංහට තවමත් ඇප නෑ…

0
64

විශ්‍රාමික රියර් අද්මිරාල් සරත් වීරසේකර පසුගිය අඟහරුවාදා (දෙසැ. 12) දැනට සිරභාරයේ පසුවන කොමදොaරු ඩී. පී. කේ. දසනායක සහ කමාන්ඩර් සුමිත් රණසිංහ මුණගැසිණි. එම බැහැ දැකීම සිදුවූයේ ඔවුන්ගේ සුවදුක්‌ විමසීමටය. අනතුරුව, හිටපු නාවික හමුදා මාණ්‌ඩලික ප්‍රධානියකු වූ වීරසේකර දැනට ශ්‍රී ලංකාවේ සංචාරයක නියුතු එක්‌සත් ජාතීන්ගේ බලහත්කාරයෙන් රඳවා ගැනීම් පිළිබඳ විමසීමේ කණ්‌ඩායමෙන් ප්‍රසිද්ධ ඉල්ලීමක්‌ කළේය. එනම් දෙසැම්බර් 4 – 14 කාලය තුළ ඔවුන් ලංකාවේ කරන සංචාරය ඇතුළත දැනට වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටින දසනායක, රණසිංහ ඇතුළු නිලධාරීන් හා සෙසු නිලයන් හමුවී වර්තමාන තත්ත්වයන් සම්බන්ධයෙන් විමසීමක්‌ කරන ලෙසය. ඔස්‌ටේ්‍රලියානු ජාතික ලෙයිහි ටූමීගේ නායකත්වයෙන් මෙරටට පැමිණි තුන් දෙනකුගේ කණ්‌ඩායම පැවැති යුද සමයේ රාජපක්‍ෂ රජයේ පාලනය යටතේ සිදුවූ බලහත්කාරයෙන් රඳවා ගැනීම් පිළිබඳව පරීක්‍ෂණයක යෙදේ. වීරසේකර මහතා පවසන්නේ එක්‌සත් ජාතීන්ගේ සංවිධානය සතුටු කිරීමට බලවත් උත්සාහයක්‌ දරනා යහපාලන රජය නිරපරාදේ දසනායක වැන්නවුන් රඳවා තබාගෙන සිටින බවය. නිසියාකාර චෝදනා ඇත්නම් එම චෝදනා වහා ගොනු කළ යුතු බවත් එක්‌සත් ජාතීන්ගේ සංවිධානය කියනා පදයට නැටීම නතර කළ යුතු බවත් ඔහු පවසයි.

පැවැති රජයේ නියෝජ්‍ය අමාත්‍ය ධුරයක්‌ දැරූ වීරසේකර පශ්චාත් යුද සමයේ කවදත් ආරක්‍ෂක හමුදාවලට එරෙහිව නැඟෙනා චෝදනාවලට ප්‍රති උත්තර දුන්නේය. නමුත් දසනායක අත්අඩංගුවට පත්වී තිබෙන 2007 -2008 වසරවලදී කළා යෑයි කියනු ලබන පැහැර ගැනීම් 11 සම්බන්ධව කරනා පරීක්‍ෂණවල ප්‍රමාදය ගැන මූලිකව ඇඟිල්ල දිගු විය යුත්තේ පැවැති රජයටයි. ඒ පිළිබඳව කිසිදු වාද විවාදයක්‌ තිබිය යුතු නැත. එදා නිසියාකාරව පරීක්‍ෂණ සිදු කළා නම් අද දසනායක වැන්නවුන් මෙම ප්‍රශ්නයට මුහුණ දෙන්නේ නැත. පසුගිය රජය ආරක්‍ෂක හමුදාවලට එල්ල වූ චෝදනා සම්බන්ධයෙන් කරනා පරීක්‍ෂණවලදී ඉතාම මන්දගාමී ආකාරයකින් කටයුතු කළේය. එම තත්ත්වය එවකට කරනා ලද සියලුම පරීක්‍ෂණවලට අදාළ බව මෙම ලියුම්කරුගේ හැඟීමයි. මෙම වැරැද්ද හේතුවෙන් ශ්‍රී ලංකාව අද විශාල වන්දියක්‌ ගෙවමින් සිටී.

කරන්නාගොඩගේ පැමිණිල්ල

මෙම සිද්ධිය සම්බන්ධව මූලික පොලිස්‌ පරීක්‍ෂණ ආරම්භ වන්නේ ජුනි මස දෙවැනි සතියේය. මෙම පරීක්‍ෂණයට හේතු සාධක වන්නේ එවකට නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ පොලිසියට 2009 මැයි 28 දින කරනා ලද පැමිණිල්ලය. මෙම පැමිණිල්ලට හේතු වූයේ ඔහුගේ ප්‍රධාන ආරක්‍ෂක නිලධාරී ලුතිනන් කමාන්ඩර් සම්පත් මුණසිංහට අයත්ව තිබූ ස්‌ථානයකින් සොයා ගන්නා ලද ජාතික හැඳුනුම්පත් විදේශ ගමන් බලපත්‍ර යම් වෙඩි උණ්‌ඩ ප්‍රමාණයක්‌ හා අනෙකුත් යම් ද්‍රව්‍යයයි.

ඊළාම් යුද්ධය අවසන්වී සති කිපයක්‌ ගත වී තිබූ එම අවස්‌ථාවේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් ක්‍රියා කිරීමට රජය උනන්දු දැක්‌වූයේ නැත. මෙම සිද්ධිය සම්බන්ධයෙන් කරන්නාගොඩගේ මැදිහත්වීම සිදුවූයේ ඡේ. ඡේ. රණසිංහ නමැති (දැනට කොතලාවල විශ්වවිද්‍යාලයේ ප්‍රධානී) නිලධාරියා ඔහුට කළ දැනුම් දීමක්‌ අනුවය. කොළඹදී සිදුවූ අතුරුදන් වීමක්‌ සම්බන්ධයෙන්a අගතියට පත්වූ පාර්ශ්වයේ ඥාතියකු රණසිංහගෙන් කළ ඉල්ලීම ඔහු කරන්නාගොඩට ඉදිරිපත් කළේය. නාවික හමුදාපතිවරයා ඒ පිළිබඳව අදාළ නිලධාරීන්ගෙන් විමසීමක්‌ කළ අතර පොලිසියට ඒ පිළිබඳ පැමිණිලි කළේය.

මෙම සිද්ධිය පිළිබඳව බොහෝ කරුණු කාරණා ඇති නමුත් නොයෙකුත් හේතූන් නිසා පොලිස්‌ පරීක්‍ෂණ මන්දගාමී ස්‌වරූපයක්‌ ගත්තේය. සිද්ධිය සම්බන්ධයෙන් කරන්නාගොඩගේ ආරක්‍ෂක නිලධාරියා අත්අඩංගුවට ගත් අතර පසුව ඔහුට ඇප ලැබිණි.

පැහැදිලිවම පරීක්‍ෂණ යට ගිය අතර එය නැවත ප්‍රධාන චෝදනාවක්‌ ලෙස කරළිsයට පැමිණෙන්නේ රාජපක්‍ෂ රජයේ පරාජයත් සමඟ ය. නාවික හමුදාවට එල්ල කළ මෙම චෝදනා පිළිබඳව නිසියාකාර පරීක්‍ෂණ නොකිරීම හේතුවෙන් අද එම චෝදනා එක්‌සත් ජාතීන්ගේ ලිපි ගොනුවලට එකතු වී ඇත. වසර 7 ක්‌ මෙම පැහැර ගැනීම් සම්බන්ධව පරීක්‍ෂණ නොකිරීම අපරාධයකි.

එක්‌සත් ජාතීන්ගේ නියෝජිතයාගේ චෝදනාව

මානව හිමිකම් සහ ත්‍රස්‌තවාදයට එරෙහිව කරන මෙහෙයුම් සම්බන්ධයෙන් කටයුතු කරන බ්‍රිතාන්‍ය ජාතික බෙන් එමර්සන් පසුගිය ජුලි 14 වැනි දින කොළඹදී මෙම පැහැර ගැනීම් සම්බන්ධයෙන් පැහැදිලි ප්‍රකාශයක්‌ කළේය. එනම් යුද සමයේ සිදුවූ පැහැර ගැනීම් 11 ක්‌ සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ නාවික හමුදා කමාන්ඩර්වරයකු රජය අත්අඩංගුවට ගෙන ඇති බවය. එමර්සන් ඒ පිළිබඳව තම සතුට ප්‍රකාශ කළ අතර ඉතා තදින් පවසා සිටියේ රජය දැනට ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව එක්‌සත් ජාතීන් සතුටු වන නමුත් එම යහපාලන රජයට තව බොහෝ දුරක්‌ යැමට ඇති බවත් ය. ඔහු දසනායකගේ නම සඳහන් නොකළ නමුත් අත්අඩංගුවට පත්වී සිටින පුද්ගලයා කවුරුන්දැයි හඳුනා ගැනීමට අපහට අපහසු නැත. රහස්‌ පොලිසිය ඔහුව අත්අඩංගුවට ගත්තේ එමර්සන් මහතාගේ පැමිණීමට දින කීපයකට ප්‍රථමය. දසනායක ඇතුළු කණ්‌ඩායම නීතිවිරෝධී ආකාරයෙන් යුද සමයේ කටයුතු කර තිබේ නම් ඒ පිළිබඳව නිත්‍යානුකූලව කටයුතු කිරීම මෙම රජයට ඇති අයිතිය පිළිගත යුතුමය. එක්‌සත් ජාතීන්ගේ සංවිධානය නොසලකා කටයුතු කිරීමට ශ්‍රී ලංකාවට ශක්‌තියක්‌ නැති බව අමුතුවෙන් කිව යුතු නොවේ. එම තත්ත්වය පැහැර ගැනීම් සම්බන්ධව කෙරෙනා පරීක්‍ෂණවලට පමණක්‌ නොව යුද අපරාධ චෝදනාවලටද අදාළය. අවාසනාවකට පැවැති රජය සතු සහ පාලන පාලකයෝ එක්‌සත් ජාතීන්ගේ භූමිකාව සම්බන්ධයෙන් දෙයාකාරයකට කටයුතු කරති.

පසුගිය රජයේ පිළිවෙත වූයේ තම පාලනය යටතේ ආරක්‍ෂක හමුදා කිසිදු වරදක්‌ නොකළ බවත් ශ්‍රී ලංකාව පිළිබඳව කටයුතු කිරීමට ජාත්‍යන්තර ප්‍රජාවට අයිතියක්‌ නොමැති බවත්ය. මෙම ස්‌ථාවරය බටහිර බලවතුන්ගේ බලවත් ප්‍රහාරවලට ලක්‌ වූ අතර 2015 ජනවාරි මස ආණ්‌ඩු පෙරළිය කිරීමට හේතු වූ ප්‍රධානතම සාධකයක්‌ විය. පසුගිය රජයේ අනුවණ ක්‍රියා පිළිවෙත නිසාවෙන් අප රටට එල්ල කළ 40,000 අධික ද්‍රවිඩ සාමාන්‍ය වැසියන් ඝාතනය කළ බව කියන බොරු චෝදනාව ලෝකය ඉදිරියේ නිෂ්ප්‍රභ කිරීමට තිබූ අවස්‌ථාව නැති විය. එම චෝදනාව ප්‍රලාපයක්‌ බව බ්‍රිතාන්‍ය සාමි මණ්‌ඩලය ඉදිරිපිට ඔප්පු විය.

ශ්‍රී ලංකාව වෙනුවෙන් නේස්‌බි සාමිවරයා ඉදිරිපත් කළ කරුණු කාරණා පසුගිය රජය විශේෂයෙන්ම ජනාධිපති ලේකම් කාර්යාලය සහ විදේශ අමාත්‍යාංශ මෙම චෝදනා සම්බන්ධයෙන් කටයුතු කර ඇත. දුර්වල ආකාරය පෙන්නුම් කරයි.

පවතින රජය ඊට හාත්පසින්ම වෙනස්‌ ආකාරයකට කටයුතු කරයි. යහපාලන රජය ඕනෑම චෝදනාවක්‌ පිළිගැනීමට සැදී පැහැදී සිටී. නාවික හමුදා සිදු කළා යෑයි පැවසෙන පැහැරගැනීම් සම්බන්ධයෙන් කරන පරීක්‍ෂණ පිළිබඳව පොලිස්‌ මූලස්‌ථානය කළ ප්‍රකාශය පිළිබඳව විමසීමක්‌ කළ යුතුව ඇත. බෙන් එමර්සන් ශ්‍රී ලංකාවෙන් පිටවූ වහාම පොලිස්‌ මූලස්‌ථානය පැවසුවේ එම පැහැරගැනීම් දසනායකගේ අධීක්‍ෂකයෝ කළ බවය. එසේ නම් තවදුරටත් චෝදනා ගොනු කිරීම ප්‍රමාද කළ යුතු නැත. දසනායක ඇතුළු කණ්‌ඩායම තමන්ගේ ලාබ ප්‍රයෝජනයට පුද්ගල පැහැර ගැනීම් සිදු කළා නම් ශ්‍රී ලංකාව එම අපරාධවලට වන්දි ගෙවිය යුතු නැත. අප රට ලෝකය ඉදිරියේ ලැඡ්ජාවට භාජනය විය යුතු නැත.

එලෙසම තමන් නොකළ වරදකට කිසිදු නිලධාරියකු අපරාධකරුවකු කළ යුතු නැති බව ලියුම්කරුගේ අදහසයි. පවතින රජයේ යුතුකම මෙම පරීක්‍ෂණය නිසියාකාරව කිරීමයි. යම්කිසි හමුදා නිලධාරියකු හෝ කණ්‌ඩායමක්‌ ත්‍රස්‌තවාදය මර්දනය කිරීමට කරනු ලබන මෙහෙයුම් අතරේ තම පෞද්ගලික අවශ්‍යතාවක්‌ මුදුන්පත් කර ගැනීමට කටයුතු කිරීම කිසිවිටෙකත් සාධාරණය කළ නොහැක. එම තත්ත්වය කොළඹ පැහැර ගැනීම් පිළිබඳව කරනු ලබන පරීක්‍ෂණ/ නඩු කටයුතු සහ අනෙකුත් මේ හා සම්බන්ධ සියලුම පරීක්‍ෂණ කටයුතුවලට අදාළ විය යුතුය.

අතීතයෙන් කථාවක්‌

navy1වසර 8 කට පෙර නාවික හමුදාව කළ වීර ක්‍රියාවක්‌ පිළිබඳව සටහනක්‌ කළ යුතුව ඇත. 2009 මැයි මස LTTE පරාජයට පත් වූ අතර 2009 අගෝස්‌තු මස මුල කුමරන් පද්මනාදන් නොහොත් කේ. පී. මැලේසියාවේදී මැලේසියානු ආරක්‍ෂක අංශවල අත්අඩංගුවට පත් විය. ඔහුව හමුදා බුද්ධි අංශය විසින් කොළඹට ගුවන් මගින් ගෙන එනු ලැබූ අතර ප්‍රශ්න කිරීම්වලදී හෙළි වූ කරුණු මත එල් ටී ටී ඊ යට අයත් ප්‍රින්සස්‌ ක්‍රිස්‌ටිනා යාත්‍රාව රඳවා ඇති වරාය පිළිබඳ සොයා ගැනිණි. මීටර 90 දිගු වූ මෙම යාත්‍රාව කොළඹට රැගෙන ඒමේ භාරදූර කර්තව්‍ය එවකට කපිතාන් ධුරය දැරූ දැනට සිරභාරයේ පසුවන දසනායකට පැවරිණි. නිලධාරීන් 4 දෙනකු සහ සෙසු නිලයන් දෙදෙනකු සමන්විත වූ එම කණ්‌ඩායමට නායකත්වය ලබා දුන්නේ දසනායකය.

එම කණ්‌ඩායම සහ යුද හමුදා බුද්ධි අංශය මෙම නැව උපක්‍රමශීලීව ඉන්දුනීසියාවේ වරායකින් රහසිගතව ගෙන ඒමේ මෙහෙයුමට සහභාගී විය. 2009 දෙසැම්බර් මස 21 දින කොළඹ වරායට සේන්දු වූ එම නැව පිළිගැනීමට එවකට නාවික හමුදාපති වයිස්‌ අද්මිරාල් තිසර සමරසිංහ ඇතුළු ප්‍රධාන නිලධාරීන් පැමිණ සිටියේ මහත් ආඩම්බර හැඟීමකින්ය. එම අවස්‌ථාවේ ප්‍රින්සස්‌ ක්‍රිස්‌ටිනා යාත්‍රාවට ගොඩවීමේ අවස්‌ථාව මෙම ලියුම්කරුට හිමි විය. සමරසිංහ පැවසුවේ එම නැව අවසන් සටනේදී කොටි නායක ප්‍රභාකරන් ඇතුළු ඔහුගේ පවුල බේරා ගැනීමට යෙදවීමට LTTE සංවිධානයේ අදහසක්‌ තිබූ බවයි. හෙළිකොප්ටරයක්‌ පවා ගොඩබෑමට සුදුසු ලෙස සකස්‌ කර තිබූ එම නැව යොදා ගැනීමේ අවස්‌ථාව ත්‍රස්‌තවාදීන්ට අහිමි විය. ගොඩබිමින් බේරී පලායැමට අවස්‌ථාවක්‌ නොමැති ත්‍රස්‌තවාදීන් මුහුදු මාර්ගය යොදා ගැනීම වැළැක්‌වීමට නාවික ආරක්‍ෂක වළලු කීපයක්‌ 2009 මුල් කාලයේ පිහිටු වූ අතර කරන්නාගොඩගේ විශේෂ නියෝගයක්‌ පරිදි දසනායක එහි යවනු ලැබීය. ප්‍රභාකරන් යුද හමුදාව අතින් 2009 මැයි මස 19 වැනි දින මිය යන තුරුම දසනායක එම රාජකාරියේ නියුතු විය.

දසනායක 2015 ජුලි මස යුද සමයේ අතුරුදන්වීම් සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්වන්නේ විදේශීය පාඨමාලාවකට සහභාගී වී සිට අතරමගදී නාවික හමුදා මූලස්‌ථාන යෙන් කරනු ලබන කැඳවීමකට නැවත මෙරටට පැමිණ සිටින අවස්‌ථාවකය. පොලිසිය අධිකරණය ඉදිරියේ ගොනු කරන විරෝධතා මත දසනායකට නැවත රට යැමේ අවස්‌ථාව අහිමි වන අතර අද ඔහු අත්අඩංගුවට පත්වී ඇත. යුද සමයේ අතුරුදන් කිරීම් සම්බන්ධයෙන් ප්‍රබල චෝදනා පසුගිය රජයට එල්ල විය. අතුරුදන් වූවා යෑයි කියනු ලබන සෑහෙන ද්‍රවිඩ පුද්ගලයන් සංඛ්‍යාවක්‌ ඉන්දියාවේ සහ බටහිර රටවල ජීවත් වන බව රහසක්‌ නොවේ. එලෙසම බලහත්කාරයෙන් අතුරුදන් කළේ යෑයි කියන තවත් සමහරක්‌ ගොඩබිම සහ මුහුදු සටන්වලදී මියගිය බව සනාථ වී ඇත. නමුත් මේ කිසිවක්‌ පිළිනොගන්නා යම් බටහිර රාජ්‍යයන්, දෙමළ ඩයස්‌පෝරාව, TNA සංවිධානය හා රාජ්‍ය නොවන ප්‍රජාව පුද්ගල අතුරුදන් කිරීම පිළිබඳ රජයට චෝදනා කරයි. මෙවැනි චෝදනා රාජපක්‍ෂ පාලනයට පමණක්‌ නොව මෛත්‍රි – වික්‍රමසිංහ රජයටද එල්ල කර ඇත. මෑතකදී විදේශීය ප්‍රවෘත්ති සේවා පුදුම සහගත ප්‍රවෘත්තියක්‌ වාර්තා කළේය. යුරෝපයේ වෙසෙන දේශපාලන රැකවරණය බලාපොරොත්තු වන ද්‍රවිඩ පිරිමින් 52 කු සම්මුඛ සාකච්ඡාවකට භාජනය කර එම ප්‍රවෘත්ති සේවා චෝදනා කළේ එම 2016 සිට 2017 ජුලි දක්‌වා ද්‍රවිඩ පිරිමින් යුද හමුදාව හා රහස්‌ පොලිසිය දූෂණය කරන බවකි. දේශපාලන රැකවරණ ලබා ගැනීමට ද්‍රවිඩයන් ඕනෑම චෝදනාවක්‌ කරනු ඇත. රාජපක්‍ෂ රජයේ පරාජයත් සමඟ එම චෝදනා වර්තමාන රජයට එල්ල කරනු ඇත.

අදටත් මෙම චෝදනා මෙම රජය ප්‍රතික්‍ෂේප කර නැත. ඒ වෙනුවට විදේශ අමාත්‍යාංශය මීට පෙර කාලවලදී සිදුවූ වැරදි සම්බන්ධයෙන් මෙම රජය කටයුතු කර ඇති ආකාරය පිළිබඳ විස්‌තරයක්‌ අදාළ මාධ්‍ය ආයතනවලට යවා ඇත. මෙය ඉතා කනගාටුදායක තත්ත්වයකි.

බටහිර රාජ්‍යයන් සහ අප රටට එරෙහි නොයෙකුත් බලවේග දේශපාලන හේතු මත මොන අසත්‍ය චෝදනා ගොනු කළත්, හමුදා ක්‍රියාකාරකම් හේතුවෙන් අගතියට, අසාධාරණයට පත්වූ සැලකිය යුතු ද්‍රවිඩ කතා කරන පවුල් සංඛ්‍යාවක්‌ ඇත. එම තත්ත්වය අප පිළිගත යුතුය. ජවිපෙ මර්දනය කළ කාල පරිච්ඡේදයේදී සිංහල බෞද්ධයන් මුහුණ දුන් දුක්‌ ගැහැට අප අමතක කළ යුතු නොවේ. නාවික හමුදාව සිදු කළ පැහැර ගැනීම් පිළිබඳව රජය වගකිව යුතුය. වැරදිකරුවන් පිළිබඳව නිසියාකාරව පරීක්‍ෂණ කළ යුතුය. වැරදිකරුවන් හට තරාතිරම නොබලා දඬුවම් දිය යුතුය. වසර ගණනාවක්‌ නිසියාකාරව පරීක්‍ෂණ නොකිරීම පිළිබඳව සොයා බැලිය යුතුය. එය ජාතික යුතුකමකි. රජයේ වගකීම් දේශපාලන අවශ්‍යතාවයන්ට යටත් විය යුතු නැත. වගකීම් දේශපාලන හේතු සාධක මත අමතක කර දැමීම හේතුවෙන් අප රට අද මුහුණ දෙන අවාසනාවන්ත තත්ත්වය පිළිබඳව අමුතුවෙන් කිව යුතු නැත.

ශමින්ද්‍ර ෆර්ඩිනැන්ඩෝ විසිනි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here