කොටින් පිරිසක බාරගත් බවට යුද හමුදාවේ ලේඛන නැහැ – හමුදා නිලධාරියා අධිකරණයට කියයි (2)

0
579

හමුදාවට බාරදුන් කොටි සාමාජිකයන් අතුරුදන් වූ බවට ගොනු කළ නඩුව –

යුද්ධයේ අවසන් දින කීපයේදී සාක්‌කි සහිතව යුද හමුදාව වෙත බාරදෙන ලද එල්. ටී. ටී. ඊ. සාමාජිකයන් පිරිසක්‌ අතුරුදන් වීම සම්බන්ධයෙන් මුලතිව් අධිකරණයේ ගොනු කොට ඇති හබයාස්‌ කෝපස්‌ නඩු 14 ක්‌ 04 වැනිදා මුලතිව් අධිකරණයේදී විභාගයට ගත් අවස්‌ථාවේදී එසේ බාරගත් පිරිසක්‌ පිළිබඳ යුද හමුදාව තුළ ලේඛනයක්‌ නොමැති බව සාක්‌කි දීම සඳහා පැමිණි යුද හමුදා නිලධාරියා යළිත් වරක්‌ අධිකරණය හමුවේ ප්‍රකාශ කොට තිබේ.

මෙම නඩු 14 ගොනු කොට ඇත්තේ උතුරු පළාත් සභාවේ කාන්තා කටයුතු පිළිබඳ ඇමැතිනී ආනන්දි සෂිහරන් මහත්මිය ඇතුළු පිරිසක්‌ විසිනි.

අමාත්‍යවරිය සිය හබයාස්‌ කෝපස්‌ පෙත්සම මගින් කියා සිටින්නේ තම ස්‌වාමි පුරුෂයා වූ එල්. ටී. ටී. ඊ. සංවිධානයේ නැඟෙනහිර පළාත භාර දේශපාලන අංශ නායකයා වශයෙන් සිටි එස්‌. එළිලන් නමැත්තා ද සාක්‌කි සහිතව යුද හමුදාවට භාර කිරීමෙන් පසුව අතුරුදන් වී ඇති බවයි.

අතුරුදන් වූවන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින නීතිඥ පී. රත්නවේල් මහතා අධිකරණය හමුවේ කියා සිටියේ එවකට මුලතිව් පළාත භාරව සිටි යුද හමුදාවේ මේජර් ජනරාල්වරයා අධිකරණය හමුවේ ප්‍රකාශයක්‌ කරමින් එවැනි පිරිසකගේ නාමලේඛනයක්‌ යුද හමුදාව සතුව ඇති බව මීට ඉහතදී ප්‍රකාශ කළ බවයි.

අධිකරණයේ නියෝග මත මීට ඉහත දී එම ලේඛනයේ පිටපතක්‌ උසස්‌ යුද හමුදා නිලධාරිවරයා විසින් අධිකරණය වෙත භාර දෙන ලද නමුත් එම ලේඛනයේ සඳහන් වූයේ හමුදා අත්අඩංගුවට පත්වීමෙන් පසුව රජය මගින් පුනරුත්ථාපනය කළ එල්. ටී. ටී. ඊ. සාමාජික සාමාජිකාවන් 12,000 කගේ පමණ නාම ලේඛනයක්‌ බව පැවසූ නීතිඥවරයා එම නාම ලේඛනය මෙම නඩුවට කිසි සේත්ම අදාළ නොමැති බව අධිකරණය හමුවේ කියා සිටියේය.

අදාළ යුද හමුදා නිලධාරියා අධිකරණය හමුවට කැඳවා ඒ සම්බන්ධයෙන් ප්‍රශ්න කොට සාක්‌කි ලබාගත යුතුව ඇතැයි නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටි අතර ඊට අධිකරණයෙන් අවසර ලැබී ඇති අතර මීළඟ නඩු විභාගය මාර්තු මස 19 වැනිදා තෙක්‌ කල් දමා ඇති මුලතිව් දිසා විනිසුරුවරයා එදිනට යළිත් වරක්‌ යුද හමුදාවේ සාක්‌කි ලබා ගැනීම සඳහා දින නියම කොට ඇත.

දිනසේන රතුගමගේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here