හිටපු නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ඇතුළු 6ට ඇප

0
533
හිටපු නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කොමදෝරු ඩී.කේ.පී. දසනායක මහතා ඇතුළු නාවික හමුදා නිලධාරීන් 06 දෙනා ඇප මත මුදා හැරීමට කොළඹ මහාධිකරණය නියෝග කර තිබේ.
අදාළ නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු මනිලාල් වෛද්‍යතිලක මහතා ඉදිරියේ අද (09) විභාගයට ගත්තේය.
එහිදී එක් එක් සැකකරුවෙකු රුපියල් ලක්ෂය බැඟින් වූ මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 10 බැඟින් වු ශරීර ඇප මත මුදා හැරීමට මහාධිකරණ විනිසුරුවරයා නියෝග කර ඇත.
සියලු සැකකරුවන් සෑම සෙනසුරාදා දිනයකම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටිය යුතු බවටද විනිසුරුවරයා මෙහිදී නියෝග කර තිබේ.
එමෙන්ම පරීක්ෂණවලට බාධා එල්ල කිරීමක් හෝ සාක්ෂිකරුවන්ට බලපෑම් එල්ල කිරීමක් පිළිබඳව අධිකරණයට තොරතුරු වාර්තා වුවහොත් ඇප අවලංගු කර නඩු විභාගය අවසන් වන තුරු සැකකරුවන් රක්ෂිත බන්ධනාගාර ගත කරන බවටද මනිලාල් වෛද්‍යතිලක මහතා ප්‍රකාශ කළ බව අද දෙරණ අධිකරණ වාර්තාකරු සඳහන් කළේය.
2008 වසරේදී කොළඹ, වැල්ලවත්ත ප්‍රදේශයේදී තරුණයින් 11 දෙනෙකු පැහැර ගෙනයාමේ සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා ඇතුළු මෙම නාවික හමුදා නිලධාරීන් පිරිස අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here