ඊළාම් මිථ්‍යාවට ව්‍යවස්‌ථා රාමුවක්‌

0
679

ඊළාම් හිසරදය ලංකාවට වද දෙන තරම දැනෙන්නේ රටට දැයට ආදරේ මිනිසුන්ටය. අනෙකුත් අයට එය වීර ක්‍රියාවකි. ඔවුන් උත්සාහ කරන්නේ මිථ්‍යා ඊළමට යන ගමනට ව්‍යවස්‌ථාවෙන් දිරිගැන්වීමටයි. 1947 සිට සියලුම දේශපාලන පක්‌ෂ කළේ දෙමළ ඡන්ද බලාගෙන මෙම ප්‍රයත්නය අවුල් කිරීමය. එළාර දුටුගැමුණු සිහි කරමින් අතීතයට යැමට උත්සාහ කළා මිස ප්‍රශ්නය නිවැරදිව විග්‍රහ කර ගත්තේ නැත.

මෙතරම් බැරෑරුම් තැනකට රට තල්ලු කළ මේ ජාතිවාදී ප්‍රශ්නයේ මුල, ඉංග්‍රීසීන් බුදුදහමටත් ඉංග්‍රීසීන්ට එරෙහිව නැඟී සිටින දේශීය ජනයාටත් කුඩම්මාගේ සැලකිල්ල ලබාදීමයි. අධිරාජ්‍යවාදීන්ගේ ආගම් හා භාෂාව භාවිත කරන අයට වැඩි සැලකිලි ලබාදුනි. මේ ක්‍රියාමාර්ගය ඇරඹුවේ පළමුවෙන්ම පහත රට ප්‍රදේශවල ගම් ප්‍රධානීන්ගෙන් පාලන බලය ඉවත් කර ඉන්දියානු ඔමිල්දාර්වරුන්ට පවරා දීමෙනි. අයබදු එකතු කිරීම, අධිකරණ කටයුතු ඔවුන්ට පැවරීය. මේ නිසා 1795 දී ලංකාවට පැමිණි ඉංග්‍රීසීන්ට 1797 දීම කැරැල්ලකට මුහුණ දෙන්නට විය. එම කැරැල්ල වන්නියට හා යාපනයට ද පැතිරිණි. එමනිසා ඉංග්‍රීසීන්ගේ උත්සාහය අසාර්ථක විය. අනතුරුව පාලනය පෙර පැවති ලෙසම පැවැත්වීමට තීරණය කරන ලදී. පෙර පැවති ලෙස ගම් ප්‍රධානීන්ට බලය පවරා ඔමිල්දාර්වරු ආපසු යෑවීය. මේ ස්‌වදේශිකයන් කොන් කිරීමෙහි පළමු උත්සාහයයි.

ඉන් අනතුරු 1803 දී උඩරටට පහර දුන්න ද ටික කලකින් ඉංග්‍රීසීන්ට පසුබසින්නට සිදු විය. මේ අවස්‌ථාවේ දිවයින වටා තිබූ බලකොටු වැටලීම හෝ පහර දීමට ලක්‌විය. මේ පහරදීමේ දී යාපනය, හා මුලතිව් ද පහර දීමට ලක්‌විය. මේ කැරැල්ල නිසා වන්නිබණ්‌ඩාර හා කුමාරසේකර මුදලි මරණ දණ්‌ඩනයට ලක්‌විය. මේ වන විට රටේ ජාතිබේදයක්‌ නොතිබූ බව ඉන් අපට පැහැදිලිව තේරුම් ගත හැකිය.

ජාතිය බෙදා වෙන් කිරීමේ ක්‍රියාවලිය ඇරඹුණේ රට තුළ ඇති අධිරාජ්‍ය විරෝධී ව්‍යාපෘතිය දුර්වල කිරීමටයි. පෘතුගීසීන් හා ලන්දේසීන් මුස්‌ලිම් වෙළෙන්දන්ට හිරිහැර කළහ. ඔවුන්ට උදව් කළේ සිංහල රජුන්ය. ඉංගී්‍රසීන් ඊට වෙනස්‌ මඟක යමින් මුස්‌ලිම් මිනිසුන් තමන්ට ළංකරගෙන ඔවුන්ට විවිධ වෙළෙඳ වරප්‍රසාද ලබා දෙන ලදී. එයින් රට පුරා විසිරී සිටින මුස්‌ලිම් ජනයා මගින් රටේ අභ්‍යන්තර තොරතුරු ඉංග්‍රීසීන් වෙත ලබා ගන්නා ලදී. 1815 රදලවරු කිහිපදෙනකු නිසා ඉංග්‍රීසීන්ට උඩරට යටත් කර ගැනීමට හැකි විය. ඉන් අනතුරුව ඉංග්‍රීසීන් කල්පනා කළේ භික්‌ෂූන් හා පොදු ජනයා අතර ඇති බැඳීම විනාශ කිරීම සඳහා රට ක්‍රිස්‌තියානි කිරීමට වැඩපිළිවෙළක්‌ යෙදීමය. 1806 දී එතෙක්‌ කතෝලිකයන්ට ලන්දේසීන් පනවා තිබූ ආගමික තහනම් නියෝගය ඉවත් කර තිබුණි. එම වසරේදීම මුස්‌ලිම් අයට වෙනම නීති පනවන ලදී. ඒ සමඟම රෙපරමාදු ආගම අදහන යාපනේ සිටි මලබාර් ජාතිකයන් හා ලන්දේසීන් විසින් සකස්‌ කළ තේසවලාමේ නීතිය ද ඉංග්‍රීසීන් විසින් ද බලගැන්වීය. ඉංග්‍රීසීන් පැමිණෙන විට රාජ්‍ය සේවයේ සිටි ලන්දේසීන්ට තවදුරටත් එලෙසම සේවයේ යෙදීමට ඉඩදුනි. ඒ නිසා ලන්දේසීන් ද වරප්‍රසාද සහිත ප්‍රමුඛ ජාතියක්‌ විය. කතෝලිකයන්ට ද රජයේ

රැකියාවල ප්‍රමුඛතාවක්‌ ලබා දුනි. එතෙක්‌ පැවති රෝමානු කතෝලික හා රෙපරමාදු ආගම් දෙක හැරුණු විට තවත් යුරෝපීය ක්‍රිස්‌තියානි නිකායන් ලංකාවට ගෙන්වා ගැනීමට ඉංග්‍රීසි ආණ්‌ඩුව ලහි ලහියේ ක්‍රියා කරන ලදී. එමගින් 1815 උඩරට රාජ්‍යය යටත් කර ගත් පසු 1816 දී ඇමරිකානු මිෂනාරීන් ද ගෙන්වාගෙන ආගමික ව්‍යාපාරය උත්සන්න කරන ලදී.

මෙලෙස ලංකාවට පැමිණි විවිධ ක්‍රිස්‌තියානීන් අතර ඇමෙරිකානු මිෂනාරීන් මුල් තැන ගන්නා ලදී. ඔවුන් යාපනයට ගිය අතර අධ්‍යාපනය දියුණු කරමින් බටහිර වෛද්‍ය ශාස්‌ත්‍රය ද යාපනය තුළ ව්‍යාප්ත කරන ලදී. විදේශ විභාගවලට පෙනීසිටීමට පහසුකම් ද යාපනේ විද්‍යාලවලින් ලබා දෙන ලදී. ඒ නිසා බ්‍රිතාන්‍යයන්ට සිය පාලන කටයුතු කරගෙන යැමට ලොකු දායකත්වයක්‌ යාපනයෙන් ලැබුණි.

මෙතෙක්‌ කල් කේරළ, පාණ්‌ඩ්‍ය, පල්ලව, කාලිංග දේශ සමඟ තිබූ සම්බන්ධකම් දුර්වල වී චෝල දේශයේ මදුරාසිය මේ සම්බන්ධකමේ මුල් තැනට ඉංග්‍රීසීන් විසින් පත් කරන ලදී. 1833 කෝල්බෲක්‌ කොමිසම මගින් රට පළාත් 5 කට බෙදන ලදී. කුඩා මධ්‍යම පළාතක්‌ හා විශාල උතුරු, නැෙ`ගනහිර, බස්‌නාහිර හා දකුණ පළාත් ඇති කරන ලදී. මෙයින් උඩරට රජු යටතේ පැවති ප්‍රදේශ වෙනත්a ප්‍රදේශවලට යා කර උඩරැටියා දුර්වල කරන ලදී. එසේ වුවද 1848 මාතලේ කැරැල්ල දක්‌වාම උඩරට රාජ්‍යයේ විරෝධය සන්නද්ධ අරගල මගින් ප්‍රකාශ කෙරිණි.

කෝපි වගාව ආරම්භ කළ නිසා ඉංග්‍රීසීන් විසින් ඉන්දියානු කම්කරුවන් ලංකාවට ගෙන එන ලදී. පහතරට ප්‍රදේශවල පොල් වගාව, කෝපි වගාව, ඇරඹූ අතර ඉන් වෙළෙඳ සමාජයක්‌ බිහිවිය. සාම්ප්‍රදායික ගොවිතැන නොසලකා හැරිණි. 1818 ඌවේ විමුක්‌ති අරගලය පරාජය කළේ දශලක්‌ෂයක්‌ නිරායුධ මිනිසුන් ඝාතනය කිරීමෙනි. උඩරට ගිවිසුමේ කොන්දේසි උල්ලංඝනය කිරීම මේ අරගලයට හේතු විය. ඉංග්‍රීසීන් සිංහලයන් කොන් කිරීමට අමතරව ක්‍රිස්‌තියානින් විසින් බුදු දහමට අපහාස උපහාස කළේය. පත්‍රිකා බෙදා හැරීම, ප්‍රසිද්ධ ප්‍රකාශන නිකුත් කිරීම මගින් බුදු දහමට අභියෝගයට කළහ. මේ නිසා උගත් භික්‌ෂූන් වහන්සේලා ඉදිරිපත් වී අභියෝගය භාර ගන්නා ලදී. මෙහි ප්‍රතිඵලයක්‌ ලෙස පංච මහා වාද ඇති විය. ඉන් බෞද්ධයා ධෛර්යමත් වීමෙන් අන්‍ය ආගම් වැළඳ ගත් බොහෝ දෙනෙක්‌ ආපසු බුදු දහම වැළඳ ගන්නා ලදී. ඇත්ත වශයෙන්ම බෞද්ධයන් මෙහිදී කළේ තමන්ට කළ හිරිහැරවලට තාර්කික ප්‍රතික්‍රියාවක්‌ දැක්‌වීමයි.

1833 කෝල්බෲක්‌ කොමිසමෙන් රාජකාරී ක්‍රමය අහෝසි කිරීම නිසා ගොවිතැන් ක්‍රමය සම්පූර්ණයෙන් පිරිහී ගියහ. එයින් ගැමි ආර්ථිකය විනාශ විය. ගමේ ආර්ථික බලය බිඳවැටුණි. මෙය අලුත් පාලන ක්‍රමය සාමාන්‍ය ගැමියාට නොතේරෙන දෙයක්‌ විය. මේ අතරේ බෞද්ධ ප්‍රබෝධය නොඉවසූ ක්‍රිස්‌තියානි නිකායිකයන් අලුත් ඉතිහාසයක්‌ ලියමින් යාපනයේ නිදහස්‌ ස්‌වාධීන රාජ්‍යයක්‌ තිබුණේ යෑයි මතයක්‌ ගෙන එන ලදී. ඒ සඳහා පොත්පත් ලියමින් පාසල්වල ඉගැන්වීමට ද කටයුතු කළේය. අද ඇති ඊළාම්වාදයේ පදනම මෙම වංචනික ක්‍රියා ඉතිහාසයයි.

ඊළාම් මතවාදය ගැන ලියූ පළමු පොත්පත් මෙසේය.

යාල්පානචරිත්‍රම් – (1878 එස්‌.ජෝන්), යාල්පානවෛප මාලෙයි (1879 සී. බ්‍රිටෝ ), යාල්පානවෛපවම් (1884 වී. සදාසිවම් පිල්ලෙයි), යාල්පාන චරිත්තිරම් (1912 ඒ මුත්තු තම්බි), යාල්පාන වෛපවකෞමදි (1918 කේ. වේලුපිල්ලේ), පුරාණ යාපනය (1926 සී. රාජනායගම්)

මේ පොත් සියල්ලේම අඩංගු වන්නේ 1831 ලංකාණ්‌ඩුවේ ගැසට්‌ පත්‍රයේ පළ කළ ත්‍රිකුණාමල පිළිබ`ද කවිරාඡ් වරෝද්‍යන් නැමැති අයකු ලියූ කවිපන්තියක්‌ ඉංග්‍රීසියට පෙරළා ඉන්දියෝපිලස්‌ නැමති අයකු විසින් පළ කර තිබූ දෙයකි. එහි ත්‍රිකුණාමල පිළිබ`ද විස්‌තරය සම්පූර්ණයෙන් වීදියබණ්‌ඩාර පවුලේ කතාන්දරයයි. ඔවුන්ට යාපනේ වඩමාරච්චි, තෙන්මාරච්චි හා වලිකාමම් පවරා දුන් අතර මේ ත්‍රිභූමිය ලද නිසා ඔවුන්ට ත්‍රිඹුල් බණ්‌ඩාර යෑයි කියති. මීට අමතරව ලංකාව ජනාවාස වූ අපගේ මතකයෙන් ගිලිහී ගිය මුල් කාලයේ ලංකාවේ හින්දු ජනයා, හිටි බව, සර් විලියම් ජෝන්ස්‌ නැමති භාෂා විශේෂඥයා කියා ඇති බවද එම ගැසට්‌ පත්‍රයේ සඳහන් කර ඇත. මෙය පදනම් කරගෙන විජය රජුට පෙර ලංකාවේ සිටියේ හින්දු භක්‌තිකයන් යන්න දැන් දෙමළ ජාතියකයන් යයි ජාතිවාදී ලෙස පටලවා ඇත. (රාජ්‍ය ලේඛනාගාරයේ ඇති 1831 ගැසට්‌ පත්‍රයේ 916, 917 පිටු බලන්න.) 13 සියවසේ පැමිණි කාලිංග මාඝ යන ආක්‍රමණිකයා, නිශ්ශංක මල්ල රජුගේ මුණුබුරාය. ඉන්පසු පැමිණි චන්ද්‍රබාහු, චන්ද්‍රබානු යන ඔවුන්ගේ ඥාතීන් වන ශ්‍රී විජය රාජ්‍යයේ අයයි. 13 සියවසේ පාණ්‌ඩියන් උතුර ආක්‍රමණය කළේ සිංහල රජුගේ ආරාධනයෙනි. එතනින් ඇති වූයේ ආර්යවංශික රාජ්‍යයකි. ආර්ය චක්‍රවර්ති යනු දෙමළ නොවේ. ඒ බව කල්කටා විශ්වවිද්‍යාලයේ සිටි සම්මානනීය මහාචාර්ය ඩී.ආර්. බණ්‌ඩාර්කාර් පවසා ඇති පරිදි පාණ්‌ඩියන් පාණ්‌ඩවයන්ගෙන් පැවත එන වර්ගයකි. දෙමළ නොවේ යෑයි ඔහු පවසා ඇත. ඒ බව ඔවුන් සිංහලට ලැදි වීමෙන් තහවුරු වේ. යාපනේ අවසාන රජු සිය දියණියන් දෙදෙනා උඩරට කුමාරවරුන්ට විවාහ කර දුනි. යාල්පාන වෛපවමාලය ද යාපනයේ රාජ්‍යය උඩරට රජු යටතේ තිබූ බව පවසා ඇත. යාපනේ අද සිටින බොහෝ කුලවතුන් දුම්කොළ වෙළෝදාමෙන් ධනවත් වී මුදල් දී ලන්දේසීන්ගෙන් වංශවත්කම මිලට ගත් අයයි. (යාල්පාන වෛපව මාලය ඉංග්‍රීසී පොතේ 57 වැනි පිටුව) ශ්‍රී ලංකා භුමිය තුල කිසි කලෙකත් ඊළමක්‌ තිබී නැති බව යළිත් මෙහි සඳහන් කරන්නෙමු.

යාපනේ උගත් දෙමළ ජනයා රාජ්‍ය සේවයට ගනිමින් සිංහල බෞද්ධයා කොන් කිරීම මගින් සිංහල දෙමළ බේදය ඇති කර ඇති බව ඉතිහාසය සූක්‌ෂ්ම ලෙස අධ්‍යයනය කිරීමේ දී පෙනේ.

උතුරෙන් හමුවූ හුණු ගලෙන් නිම කළ බුදුපිළිමයත් 1931 දී පෝල් ඊ. පීරිස්‌ නමැති දිසාපතිවරයා යාපනය කච්ෙච්රි භුමියේ ඇති උද්‍යානයේ තැන්පත් කළේය. චුන්නාකම්වලින් හමුවූ චෛත්‍යයක පාදම පිළිබ`දව පෝල් ඊ. පීරිස්‌ සිය පෘතුගීසි යුගය නමැති පොතේ ලියා ඇත. මන්නාරමේ භික්‌ෂූන් වහන්සේලා පෘතුගීසි යුගයේදී බුදුදහම රැකගැනීමට ඉදිරිපත් විය. ලන්දේසි ලේඛක පෝල් ඊ. පීරිස්‌ යාපනයේ විවිධ ගම්වල පැවති පැරණි වෙහෙර විහාර පිළිබඳව සිය පොතේ ලියා දක්‌වා ඇත.

පියසිරි අමරකෝන්
ශ්‍රී ලංකා ගණකාධිකාරී සේවා සංගමයේ හිටපු සභාපති

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here