තමාට පෙර රට… ඒ මගේ ආදර්ශ පාඨයයි – කොටි කොඩියට සිංහ ධජය පෙන්වා පිළිතුරු දුන් බ්‍රිගේඩියර් කියයි

0
802

මනෝඡ් අබයදීර

* රණබිමේ ඉදිරියෙන් සිටි නිලධාරියෙක්‌

* මීට පෙර වැඩ තහනම් කර තිබුණේ නෑ

* ඩෙංගු හැදිලා 11 හැවිරිදි දියණිය මියගියා

නැති යුද්ධයක්‌ වාවාගෙන කනවා යෑයි සමහරුන් කීවේ, ප්‍රභාකරන් කලපු කොනක්‌ අද්දර මැරී වැටුණාට පසු සියල්ල හමාර වු වගද කියවිනි. ඉන්න තාක්‌ කල් ප්‍රභාකරන් යුද්ධයෙන් පරාජය කරන්නට බැරියෑයි කියූ දෙමළ වර්ගවාදී නඩය, ප්‍රභාකරන් අතින් වීරයාගේ ධජය ගිලිහි ගොස්‌ යාචක පෙනුමක්‌ සහිත ඔහුගේ දේහය ලෝකය වටා ඔසවාගෙන ගියේ ‘යුද අපරාධ… යුද අපරාධ…’ යන මන්තරය කියවමිනි. නිදහසින් හැත්තෑවසක්‌ ගෙවෙනදා, ලන්ඩනයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්‌ කාර්යාලය එය උත්සවශ්‍රීයෙන් පවත්වද්දී දෙමළ ඩයස්‌පෝරාව තමන්ගේ සුපුරුදු ඊළාම් උද්ඝෝෂණයක්‌ එය ඉදිරිපිට ආරම්භ කර තිබුණි. වාර්තාවෙන අන්දමට මෙම උද්ඝෝෂණයේදී එල්ටීටීඊ ඩයස්‌පෝරාව විසින් පවසමින් හිදිනු ලැබ ඇත්තේ තමන්ගේ වීරයා ප්‍රභාකරන් බවත් තමන්ගේ දේශය ඊළාම් බවත්ය. ලන්ඩන් කොටි ඩයස්‌පෝරාව විසින් මෙවැනි විරෝධතා දැක්‌වීමේ එක්‌ අවස්‌ථාවක මහ කොමසාරිස්‌ කාර්යාලයේ පිරිස එම උද්ඝෝෂකයන් ඉදිරියට පැමිණ ඔවුන් සමග වචන කිහිපයක්‌ කතා කරමින් තත්ත්වය සමථයකට පත් කර ගන්නට උත්සාහ දරා තිබේ. ඒ සියලු ප්‍රයත්න අසාර්ථක කරමින් එල්ටීටීඊ ඩයස්‌පෝරා සාමාජිකයෝ සිය විරෝධතාවයේ දිගින් දිගටම නිරතව සිටියහ. එහිදී ඔවුන් ශ්‍රී ලංකාවට සහ ශ්‍රී ලංකා යුද හමුදාවට දිගින් දිගටම ගරහමින් ඊළාම් කොඩි වනමින් නිදහස්‌ උත්සවයට බාධා වන සේ කටයුතු කරන්නට විය.

මේ අතර වාරයේදී ලන්ඩනයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්‌ කාර්යාලයේ ආරක්‌ෂක උපදේශක ලෙස කටයුතු කරන බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතා වෙත ද උද්ඝෝෂකයන් දිගටම වාග් ප්‍රහාර එල්ල කරමින් සිටියේය. ඒ සඳහා බ්‍රිගේඩියර්වරයා පිළිතුරු දුන්නේ අභිනයෙනි. ඒ එක්‌ දසුනකින් ඔහු මුළු රටටම වීරයෙක්‌ විය. සිය නිල ඇඳුමේ පැළඳ සිටි සිංහ ධජය පෙන්වමින් ඊළාම් ධජයට සහ ඊළාම් උන්මාදයට ඔහු දුන් පිළිතුර සමග දෙමළ වර්ගවාදී උද්ඝෝෂකයෝ යළිත් කිපී කෑගසන්නට විය. ඒ සඳහා බ්‍රිගේඩියර් ප්‍රනාන්දු ගේ පිළිතුර වූයේ තවත් අභිනයකි. ඔහු තෙවතාවක්‌ම සිය ගෙල වටා ඇගිලි දෙකක්‌ යවමින් පෙන්වන ලද සංඥාවෙන් ගම්‍ය වූයේ, ඊළමක්‌ තනන්නට, උත්සාහ දරන පිරිසට මීට පෙර දී ලක්‌වූ ඉරණමය.එමෙන්ම මවුබිම වෙනුවෙන් තමන් දිවි දෙන්නට වුව සුදානම් ය යන්නය. යුද හමුදාපති ලෙස ලුතිනන් ජෙනරාල් දයා රත්නායක සේවය කරන සමයේ ඔහු විසින් පවසා සිටියේ රට බෙදන්නට සැරසෙන පිරිසගේ හිස කඳින් වෙන්වනු ඇති බවය. එය කිසි සේත්ම නොසුදුසු හෝ අසභ්‍ය ප්‍රකාශනයක්‌ නොවේ. මේ සංකේතාත්මක ප්‍රකාශයෙන් පසුව දෙමළ ඩයස්‌පෝරාව සහ එයට හිතවත් පිරිස බ්‍රිගේඩියර් ප්‍රනාන්දුට එරෙහිව සද්ද නගන්නට පටන් ගත්හ.

බ්‍රිගේඩියර් ප්‍රනාන්දු අදාළ තනතුරෙන් නෙරපා හරින ලෙස ඉල්ලමින් බ්‍රිතාන්‍ය ලේබර් පක්‌ෂයේ මන්ත්‍රීවරියන් දෙදෙනකු විසින් එරට විදේශ ලේකම්වරයා වෙත ලිපියක්‌ යවන්නේ, මේ සමඟය.

ශ්‍රී ලංකා මහ කොමසාරිස්‌ කාර්යාලයේ සේවයේ නිරත බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දුගේ රාජ්‍යතාන්ත්‍රික බලපත් ඉවත් කරමින් ඔහු නෙරපා හරින ලෙස ජොආන් රයන් සහ ෂෝආන් මැක්‌ඩොනග් යන මන්ත්‍රීවරියන් බ්‍රිතාන්‍ය විදේශ ලේකම්වරයාගෙන් මෙම ලිපිය යවමින් ඉල්ලීමක්‌ කර තිබුණි. පෙබරවාරි හතර වැනිදා ශ්‍රී ලංකා මහ කොමසාරිස්‌ කාර්යාලය ඉදිරිපිට පිරිසක්‌ උද්ඝෝෂණයක යෙදෙන අතරේදී අදාළ නිලධාරියා ‘යමෙකුගේ ගෙල සිඳින බව කියා පෑමේ සංඥාවක්‌’ කිරීම එහි සිටි දෙමළ පුද්ගලයන් බිය ගැන්වීමක්‌ බව ලේබර් පක්‌ෂ මන්ත්‍රීවරියන් විසින් යොමු කරන ලද ලිපියෙහි සඳහන් වේ. පාර්ලිමේන්තු මන්ත්‍රීනී ජොආන් රයන් දෙමළ සර්ව පාක්‌ෂික පාර්ලිමේන්තු කණ්‌ඩායමේ උප සභාපතිනියක වන අතර ෂෝආන් මැක්‌ඩොනග් එහි ජ්‍යෙෂ්ඨ උපසභාපතිනිය ලෙස සේවය කරන ඊළාම් ගැති පිරිසකි.

මේ සඳහා පළමු ප්‍රතිචාරය ලැබෙන්නේ, බ්‍රිතාන්‍ය විදේශ අමාත්‍යංශයෙන් නොව ශ්‍රී ලංකා විදේශ අමාත්‍යාශයෙනි. එක්‌සත් රාජධානියේ ශ්‍රී ලංකා මහකොමසාරිස්‌ කාර්යාලයට අනුයුක්‌තව සිටින ආරක්‌ෂක කටයුතු පිළිබඳ අමාත්‍ය උපදේශකවරයාගේ (Minister Counsellor-Defence) සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවන මෙන් එහි සිටින මහ කොමසාරිස්‌වරියට දැනුම් දී ඇතැයි ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශය ලහි ලහියේ පවසා සිටියේය.

මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා යුද හමුදාව ඇතුළුව බලධාරීන් විසින් වහා පරීක්‌ෂණ අරඹනු ඇතැයි ද එම නිවේදනයේ සඳහන්ය.

army2අදාළ නිලධාරියා ආක්‍රමණශීලී ආකාරයකින් හැසිරුනේ යෑයි කියන සිද්ධියක්‌ සම්බන්ධයෙන් සමාජ සහ අන්තර්ජාල මාධ්‍යවල සංසරණය වෙමින් ඇති වීඩියෝ දර්ශන පිළිබඳව ශ්‍රී ලංකා බලධාරීන් සිය දැඩි අවධානය යොමු කර ඇති බව ද විදේශ අමාත්‍යාංශය නිකුත් කර තිබූ නිවේදනයේ දැක්‌වේ.

මෙම නිවේදනය සමග සමාජ මාධ්‍ය ජාල විසින් බ්‍රිගේඩියර්වරයා වෙනුවෙන් හඬ නැගෙන්නට පටන් ගත්තේ, එය රටේ උණුසුම් මාතෘකාවක්‌ වෙමිනි. ඒ සමඟ යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ සේනානායක සිය නිලධාරියා වෙනුවෙන් පෙනී සිටිමින් වීඩියෝවක තිබූ පමණින් නිලධාරියකුට එරෙහිව තමන්ට පියවර ගත නොහැකි බව සඳහන් කිරීම නිසා, මේ සිද්ධියේදී විදේශ අමාත්‍යංශය සහ ආරක්‌ෂක අමාත්‍යංශය මත දෙකක්‌ ඇති තත්ත්වයට පත් කරවන්නට විය.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා වහාම ක්‍රියාත්මක වී, බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු යළි සේවයේ පිහිටුවීය. ඔහුට එරෙහිව ආරම්භ කරන්නට තිබූ පරීක්‌ෂණය ද එම නියෝගය සමඟ නැවතී ගියේය. පරීක්‌ෂණය නවතා දමා බ්‍රිගේඩියර්වරයා යළි සේවයේ පිහිටවූ ජනාධිපතිවරයා, ඔහුට දුරකථන ඇමතුමක්‌ ලබා දෙමින් ‘ඔන්න ඔබව යළි සේවයේ පිහිටෙව්වා… කලබල කරන්න එපා… යෑයි පවසමින් අදාළ දිනයේ ඇතිවූ සිද්ධිය පිළිබඳව බ්‍රිගේඩියර් ප්‍රියංකගෙන් විමසා සිටියේය.

කවුද මේ ප්‍රියංක ප්‍රනාන්දු

1966 වසරේ උපන් ප්‍රියංක ප්‍රනාන්දු අධ්‍යාපනය ලබන ලද්දේ කොළඹ ඩි.එස්‌. සේනානායක විද්‍යාලයෙනි. ඔහු විද්‍යාලය තුළ ප්‍රකටව සිටියේ ක්‍රීඩකයෙක්‌ ලෙසය. පාසල් ක්‍රිකට්‌ කණ්‌ඩායමේ ආරම්භක පිතිකරු ලෙස කටයුතු කළ ඔහු 1986 දී දෙවැනි ලුතිනන්වරයක්‌ ලෙස ශ්‍රී ලංකා යුද හමුදාවට බැදී එහි ගැමුණු හේවා බලඇණියේ සාමාජිකයකු බවට පත්විය. ඔහු සමඟ එදා යුද හමුදාවට එක්‌ වූ තවත් පුද්ගලයකු වූයේ ලුතිනන් තුවාන් මුතාලිෆ්ය. සංග්‍රාම භුමියේ දක්‌ෂතා පෙන්වූ ඔහු අවසන් විජයග්‍රාහී සටනේ දී සිය යුතුකම් කොටස රට වෙනුවෙන් නොඅඩුව ඉටු කළේය. වන්නි මානුෂීය මෙහෙයුමේදී කොටි නායක ප්‍රභාකරන්ගේ මුලතිව් බළකොටුව හා ඒ අවට ගම් වැසියන් මුදා ගැනීම් සටනට 591 බලසේනාව යටතේ 11 වන ගැමුණු රෙජිමේන්තු අණදෙන නිලධාරී ලෙස එවකට කර්නල් ධුරය දැරූ වත්මන් බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු සුවිශාල මෙහෙවරක්‌ ඉටු කළ අයෙකි.

2010 ජනාධිපතිවරණ සමයේදී මුල්ලන්කොවිල් කඳවුරේ අණදෙන නිලධාරියා ලෙස කටයුතු කරන විට ප්‍රියංකට අකරතැබ්බයකට මුහුණ දෙන්නට සිදුවිය. හමුදා කඳවුර තුළට පැමිණි ගායක සහ උතුරු මැද පළාතේ ආණ්‌ඩුකාර කරුණාරත්න දිවුල්ගනේ විසින් දේශපාලනික කර්තව්‍යයක්‌ ඉටුකරන බව පවසමින් ප්‍රියංක ප්‍රනාන්දු ඔහුට කඳවුරෙන් පිටත යන ලෙස දැන්වීමත් සමග, පැවති ආණ්‌ඩුව විසින් ඔහුට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීම සඳහා අවතීර්ණ විය. මේ අතරේදී ප්‍රියංක සිය පුද්ගලික ජීවිතයේ තවත් බරපතළ අකරතැබ්බයකට ගොදුරු විය. සිය පණවන් එකොළොස්‌ හැවිරිදි දියණිය, ඔහුට අහිමි වූයේ ඩෙංගු රෝගය නිසාය. සිය දියණියගේ වියෝවෙන් අසරණ වූ ඔහු ඇය වෙනුවෙන් කවියක්‌ රචනා කළේය.

සීත නිහඬ රාත්‍රියේ පාළුව අඳුරට තුරුල් වෙලා
නුඹ ගැන මතකය කඳුළක්‌ වී මා හද තවමත් වෙලෙයි

ඉඟිලූදා නුඹ අප තුරුලෙන්
සිනහව නැත අප අතරේ
පුරවනු බැරි අඩුවක්‌ සිත තුළ ඉපදී
පාරයි දෙනෙත් කඳුළුවලින්
එන්න අප අතරට නැවතත් සිහිනයක්‌ වී අඩ අඳුරේ

මිලාන වී ගිය පුංචි දියණියේ
කිසිදා අත් නොහරිමි ඒ සිහිනේ…

ඔහු එවන් සංවේදී මිනිසෙකි. එදා මහ කොමසාරිස්‌ කාර්යාලය ඉදිරිපිට ඇතිවූ සිද්ධියෙන් පසු ඔහු නැවත උද්ඝෝෂකයන් අතරට ගියේ ඒ සංවේදීකම නිසාය. ඒ සමග බ්‍රිගේඩියර්වරයා සමග එල්ටීටීඊ විරෝධතාකරුවන් වාග් සංග්‍රාමයක නිරත වන්නට විය.

“ඇයි ඔයාලා උතුරේ දෙමළ මිනිස්‌සු ඉන්න තැන්වලට සිංහල මිනිස්‌සු ගිහින් දාන්නේ?

“එහෙම දෙයක්‌ වෙන්නේ නෑ. ඔයා දැක්‌කද? එන්න යන්න යාපනයට ගිහින් පෙන්වන්න. ඒ මිනිස්‌සු කොච්චර හොඳට ජීවත් වෙනවද කියලා.”

ඇයි ඔයාලා තමිල්නාඩුවේ දෙමළ ධීවරයෝ 500කට වෙඩි තිබ්බේ ?

ඔයාලා මේ කියන හැමදේම හරි දේ නෙමේ. ලංකාවේ එහෙම දෙයක්‌ වෙලා නෑ.

මේ මිනිස්‌සු කියන බොරු කතා අහලා බොරු දේවල් විශ්වාස කරන්න එපා.

මෙසේ එම අසත්‍ය චෝදනාවලට දිගටම බ්‍රිගේඩියර් ප්‍රියංක පිළිතුරු ලබා දෙද්දී පවා, හොරට නිදා උන් කොටි ඇහැරුණේ නැත. ඔවුන් දිගටම සිය අසත්‍ය මන්ත්‍රය මතුරන්නට පටන් ගත්තේය.

army3තම ජීවිතය දෙවැනි කොට රට රැක ගත් ඔහු යාපනයට යන්නට දෙමළ ඩයස්‌පෝරා ත්‍රස්‌තවාදීන්ට කතා කළේ එම පළාත් වල දෙමළ වැසියන්ට තමන් සහ යුද හමුදාව කළ සේවය ඔහු හොඳින්ම දන්නා නිසාය. මුලතිව් මුලංකාවිල් ඇතුළු ද්‍රවිඩ ගම්මානවල වැසියන්ට හා ළමුන්ට විදේශ රටවල සිටින තම මිතුරන් මාර්ගයෙන් කෑම බීම, පොත්පත්, සපත්තු ඇතුළු අත්‍යවශ්‍ය භාණ්‌ඩ බෙදා දීම නිසාම මුලංකාවිල් ද්‍රවිඩ ජනතාවට ඔහු වීරයකු විය. ජාති භේදයකින් තොරව තම කඳවුරට එන සෑම අයකුටම කෑම බීම පවා දීමටත් කඳවුරට එන ඕනෑම දෙමළ ජාතිකයකු හිස්‌ අතින් නොයෑවූ අයෙකු ලෙසත් ඔහු ප්‍රකටය. එදා දවස පිළිබඳව බ්‍රිගේඩියර් ප්‍රනාන්දු මාධ්‍යයට පවසා තිබුණේ මෙසේය.

වීරයා පහළ වන්නේ සටන උපදින මොහොතේය. ඔහුගේ ක්‍රියාවේ දේශපාලනය සහ රාජ්‍යතාන්ත්‍රිකත්වය කිරා මැන බලන සියලූදෙනා, අතට ගෙන සිටින්නේ, ඔහුට එරෙහිව හඬ නැගූ, රටට එරෙහිව හඬනගනා ඊළාම් ඩයස්‌පෝරාවේ ධජයය.

මේ චෝදනාව එල්ල කරන ලද්දේ, ඇමති හරින් ප්‍රනාන්දු විසින් 2018 පෙබරවාරි 7 දා බදුල්ලේ සිය පක්‌ෂ කාර්යාලයේදී මාධ්‍ය අමතමින්ය. මෙම ප්‍රකාශය සම්පූර්ණ අසත්‍යයක්‌ සහ එය සිය දේශපාලන අභිප්‍රායක්‌ සපුරා ගැනීම සඳහා භාවිතා කරන ලද්දක්‌ බව පෙනී යන්නේ මෙම මූලාශ්‍ර ඇසුරු කරගෙන යන අතරේය.

ගැමුණු හේවා බලඇණිය වෙබ් අඩවියේ දැක්‌වෙන පරිදි ප්‍රියංක ප්‍රනාන්දු 2010.03.01 සිට 2013.04.11 දක්‌වා කර්නල් ධුරය මෙන්ම රෙජිමේන්තු මධ්‍යස්‌ථාන සේනාවිධායක ධුරය ද හොබවා ඇත. එසේ නම් වැඩ තහනම් කරන ලද කතාව එතැනින්ම බිඳ වැටේ.

හමුදා උසස්‌වීම් අනුමත කරන්නේ ආරක්‌ෂක ලේකම්වරයාගේ නිර්දේශ පරිදි විධායක ජනාධිපතිවරයා විසින් ය. අමාත්‍ය හරින් ප්‍රනාන්දු සඳහන් කරන පරිදි ප්‍රියංක ප්‍රනාන්දුගේ වැඩ තහනම් කර තිබුණේ නම් ඔහුට ගැමුණු හේවා බලඇණියේ සේනාවිධායක ධුරයට උසස්‌ වීමක්‌ නොලැබෙන්නේය. ඉන් අනතුරුව ප්‍රියංක ප්‍රනාන්දු වෙත බ්‍රිගේඩියර් ධුරයට උසස්‌වීම් ලැබෙන්නේ ද එම ආණ්‌ඩු සමයේය.

සිය දේශපාලන අභිප්‍රාය සපුරා ගැනීම සඳහා ප්‍රියංක ප්‍රනාන්දුගේ වීරත්වය එහාට මෙහාට නැමීම පසුගිය දින කිහිපයේ ජයට කරගෙන ගිය පිරිස සිද්ධිය පිළිබඳ ඔහුගේ කතාවට සවන් දුන්නේ නැත. ලන්ඩන් නුවර සිට ඔහු මාධ්‍යයට එම සිද්ධිය විස්‌තර කර තිබුණේ මෙසේය.

“බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්‌ කාර්යාලයේ ආරාධනාව මත නිදහස්‌ සැමරුම් උළෙලට සිංහල, දෙමළ, මුස්‌ලිම් දෙසිය පනහක්‌ විතර සහභාගි වෙලා හිටියා. මම කල්තියාම බුද්ධි තොරතුරුවලින් දැනුම් දුන්නා එල්ටීටීඊ හිතවාදීන් විරෝධතාවකට සූදානම් වනවා කියලා. ඒ අනුව තානාපති පොලිසිය ආරක්‍ෂාව සපයා තිබුණා.

army4අපි නිදහස්‌ උත්සවේ ඉවර වුණාට පස්‌සේ උද්ඝෝෂකයෝ ඉන්න නිසා ඇතුළේ හිටපු ද්‍රවිඩ ජාතිකයන්ගේ ආරක්‍ෂාව ගැන වැඩි අවධානයක්‌ යොමු කළා. ඒ අය ආරක්‍ෂාව ගැන බලාගන්න කියලා මගෙන් ඉල්ලුවා. එළියට යන්න බයෙන් ඉද්දී මම එයාලාට පසුපස දොරෙන් එළියට යන්න සැලැස්‌සුවා. සිංහල කොල්ලෝ මුන්ට බය වෙන්නේ මොකටද කියලා ඉස්‌සරහා ගේට්‌ටුවෙන් එළියට ගියා. මෙතැන ජාතිවාදයක්‌ නැහැ. ශ්‍රී ලංකාවේ නිදහස සමරන්නේ කියලා මම උද්ඝෝෂකයන්ට කියලා ජනාධිපතිතුමා දෙමළ භාෂාවෙන් එවූ නිදහස්‌ දින පණිවුඩය උද්ඝෝෂකයන්ට දුන්නා. උද්ඝෝෂකයන් අතරේ හිටපු නායකයෙක්‌ ඒවා උදුරලා ගිනි තියද්දී බ්‍රිතාන්‍ය තානාපති පොලිසිය ගිනිතියපු කෙනාව අත්අඩංගුවට ගත්තා. ඒ සමඟ කලබල වුණු උද්ඝෝෂකයන් මහ කොමසාරිස්‌ කාර්යාලය ළඟටම දුවගෙන ආවා.

උත්සවයට ආපු සියලුම ශ්‍රී ලාංකිකයන්ගේ ආරක්‍ෂාව මගේ අතේ තිබුණේ. නිල ඇඳුමක්‌ ඇඳගෙන මට ඒ අයට බාධාවක්‌ වෙන්න දෙන්න බැහැ. ප්‍රභාකරන් අවර් හීරෝ කියලා කෑගහන කොටි හිතවාදීන්ට සියල්ල අවසානයි කියලා තමයි මම හැඟෙව්වේ.

තමිල් ඊළාම් අවර් ලෑන්ඩ් කියලා කෑගහද්දී දිස්‌ ඉස්‌ යුවර් ලෑන්ඩ් කියලා සියලු දෙනාටම පේන්න තමයි මම ශ්‍රී ලංකා ධජය පෙන්නුවේ.

මම ඇඟිල්ලෙන් එකපාරක්‌ පෙන්නපු ඉඟිය කිහිප වතාවක්‌ පෙන්වමින් වීඩියෝවක්‌ හදලා ජාත්‍යන්තරයට මුදාහැර තිබුණේ එල්ටීටීඊ හිතවාදී දෙමළ මාධ්‍ය ආයතනය විසින්.

නමුත් උතුරේත්, වන්නියේත් වගේම බ්‍රිතාන්‍යයේත් දෙමළ ජනතාව මම එයාලට කොතරම් සේවයක්‌ කළාද කියලා දන්නවා.

මම නිල ඇඳුම මාරුකර උද්ඝෝෂකයන් ළඟට ගිහිල්ලත් කිව්වේ ඔබලා ශ්‍රී ලංකාවට යන්නේවත් නැතිව එකිනෙකා කියන දේවල් ගැන චෝදනා කරන්න එපා. ඔබලා ලංකාවට ගිහින් සහජීවනයට ගෙනයන වැඩපිළිවෙළ බලන්න කියලා කිව්වා. මම ඒ මොහොතේ ශ්‍රී ලාංකිකයකු ලෙස කටයුතු කළ ආකාරය ගැන මම ආඩම්බර වෙනවා.

‘තමාට පෙර රට’ කියලා මම ඉගෙන ගත්ත ඩී. එස්‌. සේනානායක විද්‍යාලයෙන් ලබාගත් ආදර්ශය මතයි මම හැමදාමත් කටයුතු කරන්නේ.” යෑයි ද බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු අභිමානයෙන් යුතුව කියා තිබිණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here