ජනපතිතුමනි,සෙන්පති කරන්නාගොඩත් සිරගත කෙරෙයිද? – සීඅයිඩීයෙන් අලුත් වාර්තාවක්‌

0
551

සම්මුතිවාදයට පණ දී සංහිඳියාව සහ සහජීවනය ගැන කියවමින් ආණ්‌ඩුව ගිය වසර තුනක අලඡ්ජී ගමන හමුවේ දියයුතු පිළිතුර දැන් මේ රටේ ජනතාව යහපාලනයට ඔලුවෙන් හිටගෙන කල්පනා කරන්නටම ලබා දී තිබේ.

2015 ජනවාරි වෙනසෙන් පසු වත්මන් සම්මුතිවාදී ආණ්‌ඩුව බිහිවූයේ එම වසරේ අගෝස්‌තු මාසයේදීය. ඒ හදිසි මහ මැතිවරණයක්‌ තුළිනි. එසේ බලයට පත්වූ යහපාලනය එතැන් පටන් සිදුකරන්නට වූයේ කුමක්‌ද?

කරපු අවැඩ බොහෝය. ඒ අතරින් මහබැංකු කොල්ලය, රාජ්‍ය සම්පත් විකිණීම ආදී කරුණු පෙසක තබා අනෙක්‌ දේ ගෙන බැලුවහොත් ආණ්‌ඩුව පැමිණි දා සිට, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව තුළින්ම ප්‍රමුඛත්වය දියයුතු යෑයි කියන මේ රටේ සිංහල බෞද්ධ පදනමට අම්බානක පහර දුන්නේය.

නේක දැ කියමින් ගරුතර ස්‌වාමීන් වහන්සේලා නම් කී නමක්‌ වැලිකඩ බෝඩිමට යෑව්වේද? පන්සලේ පෙරහැරට සිටි අලියා නායක හිමියන්ද සමඟ අත්අඩංගුවට ගෙන ගිලන්පස ටිකවත් නොමැතිව නායක හිමියන් සිරගෙදරටත් අලියා උඩවලවටත් යෑවීය.

උතුරේ පිංබිම්වල තිබූ බුදු පිළිම කුඩුපට්‌ටම් කරමින් පන්සල් වත්තට පැන්න මිනිස්‌සු යකා නටද්දී ආණ්‌ඩුවේ කටට එන දේ කියන ඇතැම් ඇමැතිවරුන් කීවේ බෞද්ධයන් නැති උතුරට පන්සල් කුමටදැයි කියාය. ඒ ආණ්‌ඩුව බලයට පැමිණි දා සිට එක්‌ පැත්තකින් රටතුළ නිර්මාණය වූ අවාසනාවකි.

තවත් පැත්තකින් පහර දුන්නේ රට බේරාගත් රණවිරුවන්ටය. එය මොනතරම් බරපතළ එකක්‌ වූවේදැයි කිවහොත් ආණ්‌ඩුව පැමිණි දා සිටි විවිධ විමර්ශන ආරම්භ කළ පොලිසිය හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාබය රාජපක්‍ෂ මහතාගේ සිට යුද සෙන්පතිවරුන් මෙන්ම ප්‍රභාකරන්ට එරෙහි සටනේදී බොහෝ කැපකිරීම් කළ ත්‍රිවිධ හමුදා බුද්ධි නිලධාරීන් බුරුතපිටින් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට කැඳවමින් ප්‍රශ්න කරන්නට විය.

මේ ප්‍රශ්න කිරීම්වලදි කිසිදු රටක සිදු නොවන අයුරින් අතිශය වැදගත් බුද්ධි මෙහෙයුම්වලට අදාළ සියලු යුද රහස්‌ හාරා අවස්‌සමින් එළියට ගන්නට විය. රහසේ ක්‍රියාත්මක වූ එකී නිලධාරීන්ගේ ඇඟිලි සලකුණු පවා ලබාගනිමින් ඔවුන්ගේ අනන්‍යතාව හෙළි කෙරෙන තැනට වැඩ සිදුවිය.

මේ අතරේ ඇතැම් බුද්ධි නිලධාරීන් මිනි මැරුම් චෝදනා යටතේ දීර්ඝ ලෙස බන්ධනාගාරගත කිරීම් සිදු කළේය. රට වෙනුවෙන් අසීමිතව කැපවූ ඔවුන්ට කොතැනකින්වත් මුක්‌තියක්‌ නොලැබිණ. ඔවුහු දුකින් දුකට පත්වූහ.

හමුදා බුද්ධි නිලධාරීන් අත්අඩංගුවට ගන්නා රහස්‌ පොලිසිය විවිධ දේ කියමින් මාධ්‍ය සංදර්ශන පවත්වද්දී එකී නිලධාරීන්ගේ දරුවකුටවත් පාරේ බැස යා නොහැකි තරමේ අසික්‌කිත කතා එම නිලධාරීන් සම්බන්ධයෙන් මාධ්‍යයෙහි පළ විය. ඔවුන්ට රැකියා අහිමි විය. එහෙත් බලන්නට සොයන්නට ආණ්‌ඩුවේ කිසිවකුත් නොවීය. සොයා බැලීම වෙනුවට ඇතැම් ඇමැතිවරුන් කළේ රණවිරුවා මිනීමරුවකු කරමින් සියල්ල දැසින් දුටුවාක්‌ මෙන් අමූලික බොරු සමාජගත කිරීමය.

එසේ රැකියා අහිමි වූ ඔවුන් සහ දරුපවුල් බොහෝ දුක්‌ වින්දාහ. මෙයට එක්‌ උදාහරණයක්‌ ලෙස ඝාතනයට ලක්‌වූ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංගගේ රියෑදුරා පැහැර ගත්තේ යෑයි කියමින් අත්අඩංගුවට ගැනීමෙන් පසු ජනමාධ්‍ය මගින් ලසන්ත ඝාතකයා ලෙස හැඳින්වූ යුද හමුදා සන්නද්ධ බුද්ධි බළකායේ බලලත් නිලධාරී ප්‍රෙමානන්ද උදලාගමට අදටත් අත්ව තිබෙන ඉරණම පෙන්වා දිය හැකිය.

රහස්‌ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගත කිරීමත් සමඟ උදලාගමට රැකියාව අහිමි විය. එහෙත් එකී චෝදනාව හමුවේ මාස කිහිපයක්‌ බන්ධනාගාරයේ දුක්‌විඳි ඔහු අද ඇපමත නිදහස්‌ව පැමිණ ඇත. එසේ වුවද මේ දක්‌වාම ඔහුට යුද හමුදාවේ රැකියාව ලැබී නැත.

මෙහි අනෙක්‌ පසින් තිබෙන ෙ€දනීයම තත්ත්වය වන්නේ ලසන්ත ඝාතනයේ සැකකරුවකු ලෙසින් ලැබුණු ප්‍රසිද්ධිය නිසාම ප්‍රේමානන්ද උදලාගම නම් වූ මෙකී රණවිරුවාට පෞද්ගලික අංශයේ හෝ රැකියාවක්‌ ලබා ගැනීමට දැන් නොහැකිව තිබීමය.

ඔහු සම්මුඛ පරීක්‍ෂණයකට ගිය කල්හි බිරාන්ත වන මිනිස්‌සු ඇබෑර්තු තිබුණද උදලාගමව ආපසු හරවා යවන්නේ එක්‌කෝ ආණ්‌ඩුවේ උදහසට ලක්‌වේයෑයි ලෙසින් ඇතිවන බිය නිසා විය හැකිය. එසේත් නැතහොත් අනවශ්‍ය ගැටලුවකට මැදිවීමට තමන්ටත් සිදුවෙතැයි සිතීමෙන් විය යුතුය.

ඇප ලබා නිදහස්‌ව වසරකට ආසන්න කාලයක්‌ ගතව තිබුණද උදලාගමට අදටත් රැකියාවක්‌ නැත. ඒ නිසා ඔහුට ආදායම් මාර්ගයක්‌ද නැත. එසේ වී තිබෙන්නේ කුමක්‌ නිසාද? ඔහු රට වෙනුවෙන් දිවි පරදුවට තබා අසීමිත කැපකිරීම් කළ රණවිරුවෙක්‌ වූ නිසාම නොවේද? මෙහිදී ඔහුට ඇතිවන හැඟීම මොනතරම් කණාගාටුදායක එකක්‌ විය හැකිද?

ඉකුත් දස වැනිදා පැවති පළාත් පාලන මැතිවරණයේදී රටේ ජනතාව තමන්ගේ කතිර අයිතිය ගෙන ආණ්‌ඩුවට අතදිගහැර අතුල් පහරක්‌ එල්ල කරනු ලැබුවේ දිගින් දිගටම සිදුවූ මෙවන් වූ තුට්‌ටු දෙකේ වැඩ නිසාය. එහෙත් අතුල් පහරක්‌ නොව, පොලු පහරක්‌ වැදුණද ආණ්‌ඩුවට ඇස්‌ ඇරෙනන බවක්‌ නම් පෙනෙන්නට නැත.

අප එසේ කියන්නේ රට බේරා ගැනීමට කැපවු නාවික හමුදා බුද්ධි නිලධාරීන් පිරිසකට එරෙහිව රහස්‌ පොලිසිය හෙවත් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව සිදු කරන තවත් එක්‌ අපූරු විමර්ශනයක්‌ මේ මොහොතේත් සක්‍රීයව පවතින නිසාය. ඒ වැල්ලවත්තේදී තරුණයන් පස්‌ දෙනකු ඇතුළු පුද්ගලයන් එකොළොස්‌ දෙනකු පැහැරගෙන ගොස්‌ ඝාතනය කළේ යෑයි කියමින් නාවික හමුදා බුද්ධි නිලධාරීන් පිරිසකට එරෙහිව ක්‍රියාත්මකව ඇත විමර්ශනය වන්නේය.

එය දැනුදු සක්‍රීය එකකැයි අප කියන්නේ මේ මොහොතේත් එම විමර්ශනයට අනුව නාවික හමුද බුද්ධි බළකායේ රාජකාරි කළ සුවිශේෂී රණවිරුවන් දෙදෙනකු වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටින බැවිනි.

මෙකී නිලධාරීන් දෙදෙනා වන්නේ නාවික හමුදා බුද්ධි බළකායේ බලනැවි කත්‍රිආරච්චිගේ ගාමීණී සහ පාලක ප්‍රධාන සුළු නිලධාරී අරුණ තුෂාර මෙන්ඩිස්‌ය. මෙම සිද්ධිය සම්බන්ධයෙන් දීර්ඝ කාලයක්‌ බන්ධනාගාරගතව සිටි හිටපු නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කමාණ්‌ඩර් ඩීකේපී දසනායක, ත්‍රිකුණාමලය නාවික බුද්ධි ප්‍රධානී කාමාණ්‌ඩර් සුමිත් රණසිංහ ඇතුළු නිලධාරීන් පිරිසකට අධිකරණය මගින් ඇප ලබාදී දින කහිපයකට පසු රහස්‌ පොලිසිය මොවුන්ව අත්අඩංගුවට ගෙන තිබිණි.

එකී අත්අඩංගුවට ගැනීමට ප්‍රධාන සාධකය වී තිබෙන්නේ කලක්‌ නාවික හමුදාවේ සෙවය කර ඔස්‌ටේ්‍රලියාවට පැන ගොස්‌ හමුදා අධිකරණයකින් දඬුවම් කිරීමෙන් පසු විශේෂ ජනාධිපති සමාවක්‌ ලැබී සිටි දැනට ඇරුම පුදුම ලෙස නාවික හමුදාවෙන් දෙවසරක නිවාඩුවක්‌ ගෙන ඔස්‌ටේ්‍රලියාවට ගොස්‌ සිටින ලුතිනන් කමාණ්‌ඩර් වෙළගෙදර නැමැති නාවික හමුදා නිලධාරියකු ලබාදුන් සාක්‍ෂිකට අනුවය.

එම සාක්‍ෂියේදී සරලව කිවහොත් ඔහු පවසා ඇත්තේ තමන් ත්‍රිකුණාමලය නාවික කඳවුරේ සේවය කරද්දී මිනීමරුමක්‌ සිදුවන බවට තොරතුරක්‌ ලැබී එහි ගොස්‌ බලද්දී දැනට බන්ධනාගාරගතව සිටින නාවික බුද්ධි නිලධාරීන් දෙදෙනා මළ සිරුරු යෑයි සිතිය හැකි දෙයක්‌ කලු පොලිතීන් උරවල ඔතා කැබ් රථයකට පටවනවා දුටුවේ යෑයි යන්නය.

මෙහිදී ලුතිනන් කමාණ්‌ඩර් වෙළගෙදර විමර්ශන නිලධාරීන්ට පවසා තිබෙන්නේ මිනී මැරුමක්‌ සිදුවන බවට ලැබුණු තොරතුරක්‌ මත තමන් එය බලන්නට ගියායෑයි යන්නය. එවන් තොරතුරක්‌ ඔහුට ලැබුණේ නම් එය ලබා දිය යුත්තේ මිනීමරුම දැසින් දුටුවකු විය යුතුය. එහෙත් මේ පරීක්‍ෂණයේදී එසේ වෙළගෙදරට තොරතුරු ලබා දුන් පුද්ගලයා කවරෙක්‌දැයි විමර්ශකයන් අනාවරණය කරගෙන තිබේද?

එය මෙහිදී ඉතාම වැදගත් සාක්‍ෂියකි. එහෙත් ඒ කවරෙක්‌දැයි මේ දක්‌වා කිසිවකුත් නොදන්නේය. එසේම මෙම සිද්ධියේ තවත් ප්‍රධාන සාක්‍ෂිකරුවකු වන හිටපු කොටි සාමාජිකයකු වූ පසුව නාවික හමුදා බුද්ධි අංශය සමඟ කටයුතු කළ විජයකාන්තන් නමැත්තකු පසුගිය දිනක අධිකරණය හමුවට පැමිණ තමන් අදාළ සාක්‍ෂි ලබා දුන්නේ ලුතිනන් කමාණ්‌ඩර් වෙළගෙදරගේ සහ පොලිස්‌ නිලධාරීන්ගේ බලපෑම මත යෑයි ප්‍රකාශයක්‌ද කළේය.

වෙළගෙදරගේ සාක්‍ෂියක්‌ මත පදනම්ව රහස්‌ පොලිසිය මෙම විමර්ශනයට අනුව බලනැවි කත්‍රිආරච්චිගේ ගාමිණී සහ පාලක ප්‍රධාන සුළු නිලධාරී අරුණ තුෂාර මෙන්ඩිස්‌ අත්අඩංගුවට ගන්නේ එවන් පසුබිමක්‌ යටතේය.

ආණ්‌ඩුව නොදැන සිටියාට මෙසේ සිදුවන අපූරු විමර්ශන දෙස පසුගිය කාලයේ රටේ ජනතාව අවබෝධයෙන් බලා සිටියහ. පෙබරවාරි 10 වැනිදා යහපාලනය හතරවරං කෙරුණු ජනතා තීන්දුව ලැබෙන්නේ එසේ වසර තුනක්‌ පුරා කෙරුණු අනෙකුත් අවැඩ සහ රණවිරුවන් දඩයම් කළ මෙවන් විමර්ශන නිසාය.

එහෙත් යථාර්ථය එසේ වෙද්දී මැතිවරණයට දින දෙකක්‌ තිබියදී ඉකුත් 8 වැනිදා මේ විමර්ශනයට අනුව කටයුතු කරන විමර්ශකයන් තවත් වාර්තාවක්‌ද අධිකරණයට ඉදිරිපත් කරනු ලැබිණි. එහි සඳහන්ව තිබුණේ වැල්වත්තේදී තරුණයන් පස්‌ දෙනකු ඇතුළු පුද්ගලයන් එකොළොස්‌ දෙනකු පැහැරගෙන යැමේ සිද්ධිය එවකට නාවික හමුදාපතිව සිටි අද්මිරාල් වසන්ත කරන්නාගොඩ දැනසිsටියේ යෑයි යන්නය.

ඔවුන් මෙසේ අධිකරණයට කරුණු වාර්තා කරමින් සඳහන් කරනු ලැබුවේ කවරෙක්‌ පිළිබඳවද. හේ අන්කිසිවකුත් නොව තිස්‌ වසරක්‌ පුරා අපටත් රටටත් ශාපයක්‌ වූ ප්‍රභාකරන්ගේ ත්‍රස්‌තවාදය වැනසීමේ සටනේදී සමස්‌ත නාවික හමුදාවටම අණදුන් සෙන්පතියාය. සීඅයිඩීයේ මෙම කරුණු වාර්තා කිරීම පසුදා මාධ්‍යයෙහිද සටහන් විය.

එම මාධ්‍ය සටහන් දකින කල්හි ප්‍රභාකරන්ගේ ම්ලේච්ඡත්වයේ බිහිසුණු බව මතක ඇති මේ රටේ ජනතාව යහපාලනය මෙසේ ඔලුවෙන් හිටවීම හැරෙන්නට අන් යමක්‌ කරනු ඇතිද? මෙම සිද්ධියේදී විත්තිය හෙවත් නාවික හමුදා බුද්ධි අංශයේ රණවිරුවන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥ අසිත සිරිවර්ධන මහතා විමර්ශන නිලධාරීන්ට බලපෑම් කරන බවට වූ වාර්තාවක්‌ද රහස්‌ පොලිසිය අධිකරණයට ඉදිරිපත් කරනු ලැබිණි.

එහෙත් මෙසේ අධිකරණයට කරුණු වාර්තා කරන විමර්ශන නිලධාරීන් මෙම විමර්ශනය ඇරඹී වසර දෙකකටත් අධික කාලයක්‌ ගතව තිබියදීත් මේ දක්‌වා එහි උදෘත කිසිවක්‌ නීතිපතිවරයා වෙත යවා නොමැති බවද එදා අධිකරණයේදී අනාවරණය විය. ඒ අනුව බලන කල අද රහස්‌ පොලිසියට තමන්ට සිතෙන සිතෙන පිරිදි මේ විමර්ශන කරගෙන යැම සඳහා උපදෙස්‌ ලැබෙන්නේ කාගෙන්දැයි යන්නද මෙහිදී මතුවන බරපතළ ගැටලුවන් නොවේද?

පොලිසියේ වැඩ එසේ වෙද්දී මෙම විමර්ශනය කරනු ලබන රහස්‌ පොලිස්‌ නිලධාරීන් පක්‍ෂග්‍රාහීව කටයුතු කරන බව සඳහන් කරමින් අදාළ විමර්ශනය ඔවුන්ගෙන් ඉවත් කර වෙනත් නිලධාරීන් පිරිසකට භාර දෙන ලෙස ඉල්ලා මේ වන විට සාධක සියයකටත් අධික ප්‍රමාණයක්‌ ඇතුළත්ව විත්තියේ පාර්ශ්වයෙන්ද අධිකරණයට වාර්තාවක්‌ ඉදිරිපත් කර ඇත.

ඒ පිළිබඳ ගරු අධිකරණයේ තීරණය ලබන 22 වැනිදාට ලැබීමට නියමිතය. මේ සම්බන්ධයෙන් අපි කිසිත් කතා නොකරන්නෙමු. මන්ද එය ගරු අධිකරණයේ කාර්යභාරයක්‌ව තිබෙන බැවිනි. එහෙත් මෙහිදී යළි යළිත් පැහැදිලිව කිවයුතු එක්‌ දෙයක්‌ නම් ඇත. ඒ යහපාලනය පැමිණ ගෙවී ගිය තෙවසරක කාලය තුළ සිදු කෙරුණු සියලු පව්වල දිට්‌ඨධම්මවේදයට අද ආණ්‌ඩුව මුහුණ දී සිටින බවඉතාම පැහැදිලියි යන්නය.

සමන් ගමගේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here