හමුදාවේ දෙවැනියාත් හිරගෙදරට දැක්‌වූ කීත් නොයාර්ගේ පැහැරගැනීම

0
245

ශ්‍රී ලංකා යුද හමුදාවේ දෙවැනියා ලෙස සේවය කර විශ්‍රාම ලැබූ, මේජර් ජෙනරාල් අමල් කරුණාසේකර පසුගිය සිකුරාදා අත්අඩංගුවට පත්වන්නේ, මාධ්‍යවේදී කීත් නොයාර්ට පැහැරගෙන ගොස්‌ පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙනි.

2008 මැයි 22 දින රාත්‍රී 10.30 ට පමණ සිය කාර්යාල කටයුතු නිමවා, නිවෙස බලා පැමිණෙමින් තිබියදී මාධ්‍යවේදී කීත් නොයාර් පැහැරගෙන යැමට ලක්‌විය. නේෂන් පුවත්පතේ නියෝජ්‍ය කර්තෘ සහ ආරක්‌ෂක තොරතුරු විශ්ලේෂක වූ කීත් නොයාර් පසුදා හමුවන්නේ, ඉතා දරුණු ලෙස පහර දීමකට ලක්‌ව තොල කට ඉදිමි, ලේ ගලන තුවාල සහිතවය.

පහර කෑමකට ලක්‌වී හෝ කීත් නොයාර් හමුවන්නේ, ඔහුගේ සහෝදර මාධ්‍ය සගයන් විසින්, එදින රාත්‍රිය මුළුල්ලේ, කරන ලද මහා මෙහෙයුමක ප්‍රතිඵලයක්‌ ලෙසය. එසේ නොවන්නට තුවාල ලද කීත් නොයාර් වෙනුවට, සමාදානයේ සැතපුණු කීත් නොයාර් දකින්නට ලැබෙන්නට හොඳටම ඉඩකඩ තිබුණි. ලියන කියන නිදහසට බර අවි ප්‍රහාර එල්ල කරන ලද පළමු අවස්‌ථාව මෙය නොවෙතත්, ඒ සෑම අවස්‌ථාවකින්ම බරපතළ තුවාල සිදු වුණේ, මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයටය. ඒ නිසා එවැනි කිසිම අවස්‌ථාවක්‌ සම්බන්ධයෙන් සැහැල්ලු ලෙස සිතීමට හෝ මීට පෙර වූ සිද්ධි සලකා, ඒවාට අනුව මේ සිද්ධිය තුවාලකරුවෙක්‌ පමණක්‌ යෑයි පහසුවෙන් සිතන තැනකට සමාජය යායුතු නැත.

රාජපක්‌ෂ ආණ්‌ඩුව මෙවැනි සිද්ධි සඳහා ගත් පියවර වූයේ, ඒවා කාලයේ වැලිතලාවට යටවනු පිණිස නිදැල්ලේ, රඳවා තැබීම පමණය. ඒ සඳහා ආණ්‌ඩුවට තිබුණු හේතුව ලෙස ගත හැක්‌කේ, මේ සිද්ධිය සඳහා හමුදාවේ ඉහළ මැදිහත්වීමක්‌ තිබීම හේතුවෙන්, එල්ටීටීඊයට එරෙහිව යුද්ධ කරනා හමුදාව, මෙවැනි පිට පොට යන වැඩ කළත් එය නොතකා, පළමු තැන යුද්ධය අවසන් කිරීම සඳහා දියයුතු බවට ආණ්‌ඩුව ගණන් හදා සිටීම විය යුතුය.

hamuda3ලසන්ත වික්‍රමතුංග ඝාතනය, කීත් නොයාර්ට පහරදීම සහ උපාලි තෙන්නකෝන් කපා කොටා පහර දීම යන සිද්ධි ත්‍රිත්වය සඳහා හවුල්කරුවා කවුදැයි ආණ්‌ඩුව විසින් සිය ගණන් හැදීම අනුව එසේ සඟවන විට, ඒ පිළිබඳව හෙළිදරව් කරන ලද්දේ විපක්‌ෂය විසින්ය. එජාපයේ සුළුපටු චරිත නොව විපක්‌ෂ නායක රනිල් වික්‍රමසිංහ ඇතුළු ඉහළ නායකයන් ඒ කාලයේ පාර්ලිමේන්තුවේදී පවසා සිටියේ, මේ සඳහා වගකිව යුත්තා එවකට හමුදාපති පදවිය දරන ලද සරත් ෆොන්සේකා බවය.

කීත් නොයාර් පැහැරගෙන ගිය බවට වන ආරංචිය ලැබීමත් සමඟ ද නේෂන් පුවත් පතේ කර්තෘ ලලිත් අලහකෝන් විසින් ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතාට වහාම දුරකථනයෙන් කතා කර ඇතත්, ඒ මොහොතේ ජනාධිපතිවරයා දුරකථනයට සම්බන්ධ කර ගැනීමට ඔහුට නොහැකිවී තිබුණි. ඒ සමගම ආරක්‌ෂක ලේකම් ගෝඨාභය රාජපක්‌ෂ මහතා වෙත දුරකථනයෙන් අමතා ඇති ලලිත් අලහකෝන්, නේෂන් පුවත්පතේ කීත් නොයාර්ව පැහැරගෙන ගොස්‌ තිබෙන බවත්, එම පැහැර ගැනීම සිදුකර ඇත්තේ යුද හමුදාවේ පිරිසක්‌ බවත් ප්‍රකාශ කර තිබේ. මේ ආරංචිය කණ වැකුණු ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතා විසින් ලලිත් අලහකෝන් මහතා අමතා, ඔහු සිටින ස්‌ථානයට කොළඹ අපරාධ කොට්‌ඨාසයේ අධ්‍යක්‌ෂක එනු ඇති බව ප්‍රකාශ කර තිබේ.

ද නේෂන් පුවත්පත අයත් වන රිවිර මීඩියාහි ප්‍රධාන විධායක ක්‍රිෂාන්ත කුරේ විසින් මේ පිළිබඳව වගකිවයුතු පාර්ශ්ව දැනුවත් කර තිබී ඇති අතර, කීත්ගේ 0773688908 දරන දුරකථනය දොම්පේ – දෙකටන ප්‍රදේශයේ ක්‍රියාත්මක වන බව ඩයලොග් ආයතනයේ ඇති සම්බන්ධතා මගින් තහවුරු කරගෙන තිබී ඇත. එවකට කොළඹ අපරාධ කොට්‌ඨාසයේ අධ්‍යක්‌ෂව සිටි ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි අනුර සේනානායක එම මොහොතේ කීත් නොයාර්ගේ නිවසට පැමිණ ලලිත් අලහකෝන්ගෙන් සිද්ධිය පිළිබඳව විස්‌තර විමසා තිබුණි. එහිදී අනුර සේනානායක පවසා ඇත්තේ කීත් පැය දෙකක්‌ තුළ ආපසු එනු ඇති බවත්, තමන් ඔහුව සෙවීම සඳහා කණ්‌ඩායමක්‌ යොදවා ඇති බවයි. මේ අතර ක්‍රිෂාන්ත කුරේ, සහකාර පොලිස්‌ අධිකාරී නුවන් වෙදසිංහ සමග දොම්පේ ප්‍රදේශය බලා පිටත්ව ගොස්‌ ඇත්තේ, කීත්ගේ දුරකථනය අනුව යම් හෝඩුවාවක්‌ සොයා ගැනීමේ අටියෙනි. මැයි 23 වැනිදා පාන්දර 4 පමණ වන විට ලේ ගලන තුවාල සහිතව කීත් නොයාර් ඔහුගේම නිවසේ සිටියේය. ඔහු දැඩි කම්පනයකින් පසු වූ බව පැහැදිලිවම පෙනෙන්නට තිබුණි. ඒ හේතුවෙන්ම ‘වෙච්ච දේ පිළිබඳව කටක්‌ හොල්ලන්නෙ නැහැ…’ යන ස්‌වයං වාරණයට ඔහු පත්වී තිබුණි. යම් හෙයකින් ඒ පිළිබඳව කට හෙල්ලූවේනම්, මෙසේ ගුටි කා බේරුණු ජීවිතය, නාඳුනන තුවක්‌කුකරුවකුගේ උණ්‌ඩයට ගොදුරු වනු ඇති බවට, ඔහු නිසැක ලෙසම තහවුරු කරගන්නට ඇත. ශ්‍රී ලංකාවේ සිය ජීවිතයට තිත තැබූ කීත් නොයාර්, ඔස්‌ටේ්‍රලියාවේ ස්‌ථිර පදිංචිය සඳහා යන ලද්දේ, යළි කිසිදිනක, කුමන හේතුවක්‌ නිසාවත් ශ්‍රී ලංකාවට පය නොතබන බව සිය හිතවතුන්ට පවසමිනි.

කීත්ගේ පැහැර ගැනීම පිළිබඳව සිදු කෙරුණු පරීක්‌ෂණයේදී අපරාධ පරීක්‌ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දුරකථන වාර්තා විශ්ලේෂණයක්‌ ඉදිරිපත් කර තිබේ. ඒ අනුව අධිකරණයේදී අනාවරණය වූයේ ලලිත් අලහකෝන් විසින් හිටපු ආරක්‌ෂක ලේකම්වරයාට දුරකථනයෙන් අමතා මේ පිළිබඳව දැනුම් දීමෙන් පසුව එවකට ආරක්‌ෂක ලේකම් ගෝඨාභය රාජපක්‌ෂ භාවිත කළ අංක 0773501626 දරන දුරකථනයෙන් එවක පොලිස්‌පති ජයන්ත වික්‍රමරත්න භාවිතා කළ 0773263650 අංක දරන දුරකථනයට රාත්‍රී 11.36 ට ඇමතුමක්‌ ලබාගෙන ඇති බවත්, ඉන් පසුව ආරක්‌ෂක ලේකම්වරයාගේ අංකයෙන් රාත්‍රී 11.39ට ජාතික බුද්ධි ප්‍රධානී ලෙස කටයුතු කළ විශ්‍රාමික මේජර් ජෙනරාල් කපිල හෙන්දාවිතාරණ භාවිත කළ 0777562873 අංක දරන දුරකථනයට ඇමතුමක්‌ ලබාගෙන ඇති බවයි.

ඒ අතර පොලිස්‌පති ජයන්ත වික්‍රමරත්න විසින් එවක ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි අනුර සේනානායකගේ නිවසේ අංක 0112867826 දරන දුරකථනයට රාත්‍රී 11.51ට අමතා තිබෙන බව අධිකරණයට වාර්තා කර ඇත. ඉන් පසුව ජාතික බුද්ධි ප්‍රධානී විසින් රාත්‍රී 11.41 ට එවකට යුද හමුදා බුද්ධි අධ්‍යක්‌ෂව සිටි එවකට බ්‍රිගේඩියර් අමල් කරුණාසේකරට යුද හමුදාව මගින් ලබා දී ඇති 0773613496 අංක දරන දුරකථනයට ඇමතුමක්‌ ලබා දී ඇත. ඉන් පසුව යුද හමුදා බුද්ධි අධ්‍යක්‌ෂ අමල් කරුණාසේකර විසින් ටි්‍රපෝලි කඳවුරේ පිහිටුවා තිබූ යුද හමුදා බුද්ධි අනුඛණ්‌ඩයට යුද හමුදාව මගින් නිකුත් කර තිබූ 0773501951 දරන දුරකථනයට රාත්‍රී 11.47 ට ඇමතුමක්‌ ලබාගෙන ඇත. ඒ වන විට අමල් කරුණාසේකරගේ දුරකථනය ජාවත්ත ප්‍රදේශයේ තිබී ඇති අතර, ටි්‍රපෝලි කඳවුරට ලබා දී තිබූ දුරකථනය මල්වාන ප්‍රදේශයේ තිබී ඇත. බුද්ධි අධ්‍යක්‌ෂ අමල් කරුණාසේකර විසින් ඔහුට ලබා දී තිබූ දුරකථනයෙන් ටි්‍රපෝලි කඳවුරේ පිහිටුවා තිබූ බුද්ධි අනුඛණ්‌ඩයේ අණදෙන නිලධාරි වශයෙන් කටයුතු කළ මේජර් බුලත්වත්ත විසින් ඔහුගේ නමින් ලබාගෙන තිබූ 0773186436 අංක දරන දුරකථනයට රාත්‍රී 11.48 ට ඇමතුමක්‌ ලබාගෙන ඇත. ඒ වනවිට මේජර් බුලත්වත්තගේ දුරකථනය තිබී ඇත්තේ මල්වාන, දෙකටන ප්‍රදේශයේය. අපරාධ පරීක්‌ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ ප්‍රකාශ කළේ නේෂන් පුවත්පතේ සෙන්පති නමින් ආරක්‌ෂක කොලම ලියූ කීත් නොයාර් පැහැරගෙන ගොස්‌ රඳවාගෙන තිබුණේ ගම්පහ මල්වානේ දෙකටන ප්‍රදේශයේ බවයි.

යහපාලනය බලයට පත්වීමත් සමග මේ සිද්ධි එකිනෙක පිළිබඳ පරීක්‌ෂණ ආරම්භ වන්නට විය. සිද්ධිය සම්බන්ධයෙන් කීත් නොයාර් මහතාගෙන්ද රහස්‌ පොලීසිය ප්‍රකාශයක්‌ ලබාගත්තේය. ඒ ඔස්‌ටේ්‍රලියාවට ගොස්‌ය. එහිදී ඔහු සඳහන් කර ඇත්තේ තමන්ට පහරදුන් පිරිස හඳුනාගත හැකි බවය. පරීක්‌ෂණයේ මුල් අවස්‌ථාවේදී මේ සිද්ධිය පිළිබඳ සැකපිට මේජර් බුලත්වත්ත ඇතුළු හමුදා පිරිසක්‌ අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් කරන ලදී.

මේ අත්අඩංගුවට ගැනීමෙන් පසු තමන්ට පහර දුන්නේ සීඅයිඩීය අත්අඩංගුවට ගත් පිරිස නොවේ යෑයි ප්‍රසිද්ධියේ විදෙස්‌ මාධ්‍යයකට කීත් නොයාර් පවසා තිබීම සහ ඒ සඳහා වන හඳුනා ගැනීමේ පෙරෙට්‌ටුව සඳහා මෙරටට ඒම ඔහු ප්‍රතික්‍ෂේප කර තිබීම නිසා, මේජර් බුලත්වත්ත ඇතුළු පිරිස පිළිබඳ තිබෙන සැකය දුරුවී ගියේය.

ගල්කිස්‌ස අධිකරණය විසින් මේජර් බුලත්වත්ත ඇතුළු පිරිසට ඇප ලබා දුන් අතර ඒ සමඟම සීඅයිඩීය කළේ ඔවුන් මාධ්‍යවේදී උපාලි තෙන්නකෝන්ට පහර දුන්නේ යෑයි කියමින් ගම්පහ අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා පියවර ගැනීමය. එහිදී හඳුනා ගැනීමේ පෙරෙට්‌ටුවට ඉදිරිපත් වූ උපාලි තෙන්නකෝන් මහතා, මේජර් බුලත්වත්ත ඇතුළු කිසිවකුත් හඳුනා නොගත්තෙන් ඔවුන්ට ඇප නියම විය. එසේ ඇප ලැබීමත් සමඟ මාධ්‍යවේදී නාමල් පෙරේරාට පහර දුන්නේත් මේ පිරිස යෑයි කියමින් ඔවුන් කොළඹ අධිකරණයට ඉදිරිපත් කළ ද එහිදීත් සියලු දෙනාට ඇප ලැබිණ. එහෙත් ඒ සමඟම සිදු වූයේ කීත් නොයාර් සිද්ධියට ගල්කිස්‌ස අධිකරණයෙන් මේජර් බුලත්වත්ත ඇතුළු පිරිසට ඇප දුන් අන්දම වැරදි යෑයි පවසමින් නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණයට කළ කරුණු දැක්‌වීමකට අනුව ඔවුන්ගේ ඇප අවලංගු වීමය.

කීත් නොයාර් මහතා පැහැර ගැනීම සහ ඔහුට එරෙහිව එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ආරක්‌ෂක ලේකම් ගෝඨාභය රාජපක්‌ෂ මහතාගෙන් සහ හිටපු හමුදාපති ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතාගෙන් ප්‍රකාශ සටහන් කර ගෙන තිබේ. ෆොන්සේකා මහතා රහස්‌ පොලීසියට ප්‍රකාශ කොට ඇත්තේ හිටපු බුද්ධි අංශ ප්‍රධානී මේජර් ජෙනරාල් කපිල හෙන්දාවිතාරණ මහතා යටතේ මෙහෙයවුණු කල්ලියක්‌ මගින් පසුගිය රජය සමයේ මාධ්‍යවේදීන්ට එරෙහි ප්‍රහාර දියත් කෙරුණු බවය.

hamuda2මිනිස්‌ ඝාතන, පැහැර ගැනීම්, පහරදීම් සඳහා තමන් යටතේ සිටි බුද්ධි අංශ කල්ලියක්‌ යෙදවූ බවට ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා නඟන චෝදනා සියල්ල ප්‍රතික්‌ෂේප කරන බව ද කපිල හෙන්දාවිතාරණ මහතා විසින් මේ පිළිබඳව අපරාධ පරීක්‌ෂණ දෙපාර්තමේන්තුව හමුවේ කරුණු දක්‌වමින් පවසා තිබුණි. මෙම අපරාධ යුද හමුදා බුද්ධි අංශ විසින් කළ බවට චෝදනා එල්ල වන්නේ නම් එවකට හමුදාපතිවරයා ලෙස කටයුතු කළ සරත් ෆොන්සේකා මහතාට එහි වගකීමෙන් මිදිය නොහැකි බව ද හෙන්දාවිතාරණ මහතා වැඩිදුරටත් එහිදී ප්‍රකාශ කර තිබුණි.

මෙම කතාවේ අලුත්ම සිද්ධිය වන්නේ මේජර් ජෙනරාල් අමල් කරුණාසේකර මහතා රිමාන්ඩ් භාරයට පත්වීමය.

1981 වර්ෂයේදී කෙඩෙට්‌ නිලධාරියකු වශයෙන් ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට එක්‌වු මේජර් ජෙනරාල් අමල් කරුණාසේකර මහතා සිය වසර 36 ක සේවා කාලය තුළදී විවිධ තනතුරු හොබවමින් අවසන් වරට යුද හමුදාවේ දෙවැනියා හෙවත් මාණ්‌ඩලික ප්‍රධානී ලෙස සේවය කළේය. පසුගිය මාර්තු දහතුන් වැනිදා හමුදා සේවයෙන් විශ්‍රාම ලැබීමෙන් පසුව ජාතික ආරක්‌ෂක විද්‍යා පිඨයේ සේනා විධායක ලෙස ද සේවය කළේය. කීත් නොයාර්ට පහරදීම සම්බන්ධව ඔහුට විලංගු දිගු වන්නේ, මෙම පැහැර ගැනීම සිදුවන සමයේදී හමුදා බුද්ධි අංශ ප්‍රධානි තනතුර දරන ලද්දේ ඔහු විසින් වීම නිසාය.

කොළඹ නාලන්ද විද්‍යාලයේ ආදි ශීෂ්‍යයකු වූ මේජර් ජෙනරාල් අමල් කරුණාසේකර, ශ්‍රී ලංකා යුද හමුදාව විසින් බිහි කරන ලද විශිෂ්ට නිලධාරියෙකි. එල්ටීටීඊයට එරෙහිව දියත් කරන ලද සංග්‍රාමයේදී යුද හමුදා බුද්ධි මෙහෙයුම් ක්‍රියාවලිය බාරව සිටින ලද්දේ, ඔහු විසිනි. ඒ නිසා ඔහුගේ නායකත්වයෙන් ත්‍රස්‌තවාදයට එරෙහිව කරන ලද සටන් පිළිබඳව ප්‍රසිද්ධියේ හෙළිකිරීමේ අපහසුතාවයක්‌ තිබේ. එසේ වුවත් දිගුදුර විහිදුම් බළකාය වැනි යුද බිමේ සුවිශේෂ මෙහෙයුම් සඳහා මේජර් ජෙනරාල් කරුණාසේකර විසින් දෙන ලද නායකත්වය දන්නෝ දනිති.

මාධ්‍යවේදී කීත් නොයාර්ට පහරදීම සම්බන්ධයෙන් කිසිදු බුරුලක්‌ දිය යුතුව නැතත්, කීත් නොයාර් විසින් පවා අමතක කර දමා ඇති, සිද්ධියක්‌ රට පෙරළන පරීක්‌ෂණයක්‌ බවට පත්කරගෙන තිබෙන්නේ ඇයි දැයි ඇසිය යුතුය. යහපාලන ආණ්‌ඩුව බලයට පත්වීමෙන් පසුව අඛණ්‌ඩව කරගෙන ගිය කාර්යයක්‌ වූයේ, එල්ටීටීඊයට එරෙහිව සටන් කරන ලද වීරයන් කුමන හෝ හේතු පෙන්වා සිර අඩස්‌සියට පත් කිරීමය. සිරගත කරන ලද එල්ටීටීඊ ත්‍රස්‌තවාදීන්ට යහපාලන ආණ්‌ඩුව අත්කර දෙන ලද්දේ, නිදහසය. සාධාරණයක්‌ ඇතැයි සිතන යමක්‌ ගෙන, ඒ සඳහා නීත්‍යානුකුල රාජ්‍ය ව්‍යqහයන් පාවිච්චි කර, අවසානයේ සිදුවී ඇත්තේ යුද ජයග්‍රහණය සඳහා කර උර දුන් පිරිස සිර ගෙදරට කොටු කිරීමය. මේජර් ජෙනරාල් අමල් කරුණාසේකර එහි නවතම ගොදුර බව දැනට කිව හැකිය.

ඔසිත අත්තනායක

ක කර දමා ඇති, සිද්ධියක්‌ රට පෙරළන පරීක්‌ෂණයක්‌ බවට පත්කරගෙන තිබෙන්නේ ඇයි දැයි ඇසිය යුතුය. යහපාලන ආණ්‌ඩුව බලයට පත්වීමෙන් පසුව අඛණ්‌ඩව කරගෙන ගිය කාර්යයක්‌ වූයේ, එල්ටීටීඊයට එරෙහිව සටන් කරන ලද වීරයන් කුමන හෝ හේතු පෙන්වා සිර අඩස්‌සියට පත් කිරීමය. සිරගත කරන ලද එල්ටීටීඊ ත්‍රස්‌තවාදීන්ට යහපාලන ආණ්‌ඩුව අත්කර දෙන ලද්දේ, නිදහසය. සාධාරණයක්‌ ඇතැයි සිතන යමක්‌ ගෙන, ඒ සඳහා නීත්‍යානුකුල රාජ්‍ය ව්‍යqහයන් පාවිච්චි කර, අවසානයේ සිදුවී ඇත්තේ යුද ජයග්‍රහණය සඳහා කර උර දුන් පිරිස සිර ගෙදරට කොටු කිරීමය. මේජර් ජෙනරාල් අමල් කරුණාසේකර එහි නවතම ගොදුර බව දැනට කිව හැකිය.

ඔසිත අත්තනායක

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here