උතුරට ඩයස්‌පෝරා ක්‍රියාකාරීන් පැමිණීම

0
1577

උතුරේ සිටින හමුදාව කාණු ශුද්ධ කිරීමට යෙදවිය යුතුබව පැවසුවේ උතුරු මහ ඇමැති සී. විග්නේශ්වරන්ය. උතුරින් හමුදාව ඉවත්කරන බව කීවේ ප්‍රභාකරන්ගේ මස්‌සිනාවූ එම්. කේ. සිවාජිලිංගම්ය.

මානව හිමිකම් කොමසාරිස්‌ සෙයිද් රාද් හුසේන්ද උතුරින් හමුදාව අඩුකරන ලෙස ශ්‍රී ලංකා රජයට කියාසිටියේය. එසේම ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රී එස්‌. ශ්‍රිධරන් හමුදාව නිසා ද්‍රවිඩ කාන්තාවන්ට ලිංගික අතවර සිදුවන බවට චෝදනා නගනු ලැබීය. මේ පසුබිම මැද ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරියෙක්‌ පැවසුවේ කොටින්ට යළි නැගිටීමට ඉඩ නැති බවයි. එහෙත් දන් සිදුවන්නේ කුමක්‌ද? පසුගිය කාලය මුළුල්ලේම ඩයස්‌පෝරා ක්‍රියාකාරීන් උතුරට පැමිණියහ. කොටි චන්ද්‍රිකා රූපවාහිනී සේවාවේ ප්‍රධානියාද උතුරේ සංචාරය කළේය. ශ්‍රී ලංකාවට එරෙහිව යුද අපරාධ චෝදනා එල්ලකළ කැනඩා මන්ත්‍රී ගැරි ආනන්ද සංගරීද යාපනයට පැමිණ විවිධ පිරිස්‌ හමුවී ඇත. එවන් වාතාවරණයක්‌ මැද නිදහස්‌වූ කොටි 12000 ක උතුරේ ඇත. ඔවුන් අවිආයුධ පුහුණුව ලැබූවන්ය. මේ හැර සැඟවූ අවි රැසක්‌ උතුරේ ඇති මේ අවි මෙතෙක්‌ හමුවී නැත.

එහෙත් අපි සංහිඳියාව ගැන හඬනගන්නෙමු නීතිවිරෝධී වැලි ජාවාරම වැටලීමට ගිය වෙරළාරක්‍ෂක භටපිරිසකටද ප්‍රහාර එල්ලවිය. විශේෂ කාර්ය බළකායේ බපල් රියකටද දැඩිහානි සිදුවිය.

ඉන්පසු අණනොතකා ගිය වැලි ලොරියකට පොලිසිය වෙඩි තැබීමෙන් පසු පොලිස්‌ භටයන් දෙදෙනාද රිමාන්ඩ් ගතවිය.

කෝපායිහිදී පොලිස්‌ භටයන් දෙදෙනකුටද ප්‍රහාර එල්ලවිය. ඊට හිටපු කොටි ක්‍රියාකාරියකු සම්බන්ධ බව පොලිසිය කියාසිටියේය.

මෙයට වසර ගණනකට පෙර යාපනය පොලිස්‌ අධිකාරිව සිටි සුන්දරලිංගම් උතුරේ සිදුවන ක්‍රියාකාරකම් ගැන එවකට සිටි පොලිස්‌පතිට රහස්‌ වාර්තාවක්‌ එවූ අතර ඒ ගැන තැකීමක්‌ නොවුණි.

එහි ප්‍රතිඵලය වූයේ කොටි ත්‍රස්‌තවාදය බිහිවීමයි. එහෙත් මෙවර අවි පුහුණුවලත් හිටපු ත්‍රස්‌තයන් 12000 ක්‌ සිටිති. උතුරේ අද සිදුවන ක්‍රියාකාරකම් ගැන කොළඹ රාජ්‍ය නොවන සංවිධාන නිහඬව සිටින බව පැහැදිලිය.

යම් ලෙසකින් කෝපායිහිදී පොලිස්‌ නිලධාරීන්ගෙන් ද්‍රවිඩ තරුණයන්ට ප්‍රහාර එල්ලවූයේ නම් කොළඹ එන්. ජී. ඕ. කල්ලිය පෙත්සම් අත්සන් කරමින් නටන නාඩගම කිවයුතු නැත.

උතුරේ අද මර්මස්‌ථාන රැසක හමුදාව නැත. ඉඩම් නිදහස්‌කර ගැනීමේ මුවාවෙන් ද්‍රවිඩ සංන්ධානය ඉතා සූක්‍ෂම ලෙස හමුදා මුරපලවල් ඉවත්කර ගැනීමට සමත්වී ඇත.

මෑතකදී උතුරු මහ ඇමැති විග්නේෂ්වරන් පැවසුවේ මයිලඩ්ඩි නිදහස්‌ කරන බව හමුදාපති ප්‍රතිඥ දුන් බවයි.

දැන්a ඉරනතිව් ප්‍රදේශය නිදහස්‌ කරන ලෙස ඉල්ලා උද්ඝෝෂණයේ යෙදී සිටින පිරිසක්‌ ගැන වාර්තා වී ඇත.

එහෙත් කොටි සංවිධානය ඉඩම් අල්ලා ගනිද්දී අවතැන්වූ බව කියන පිරිස නිහඬව සිටියහ. කොටි රූකඩයවූ ද්‍රවිඩ සන්ධානයද වචනයක්‌වත් කතාකළේ නැත.

මේ පසුබිම මැද උතුරේ සෑම තැනම ඇති ඉඩම් නිදහස්‌ කරන ලෙස ඉල්ලමින් ද්‍රවිඩ සන්ධානය උද්ඝෝෂණ පවත්වන අයුරු දක්‌නට ලැබේ.

ඒ ගැන ද්‍රවිඩ සන්ධානය පවසන්නේ උතුරේ තර්ජනයක්‌ නැති නිසා හමුදාව ඉඩම් නිදහස්‌ කළ යුතු බවයි.

මේ අතර උතුරේ සිදුවන්නේ කුමක්‌ද යන්න ගැනද රජය විමර්ශනය කර නැත. හිටිහැටියේ බිහිවූ රාජ්‍ය නොවන සංවිධාන ගිනි ඇවිලීමේ ක්‍රියාදාමයේ යෙදී සිටී.

මේ රාජ්‍ය නොවන සංවිධාන ජිනීවා ගොස්‌ සාවාද්‍ය තොරතුරු ඉදිරිපත් කරති.

එහෙත් රජය නිහඬව සිටී.

පසුගිය වසරේදී අපි උතුරේ පවතින තත්ත්වය ගැන සඳහන් කළ විට එන්ජීඕ ක්‍රියාකාරීන් එය ‘ජාතිවාදය’ බවට හංවඩු ගහනු ලැබීය. එහෙත් පොලිස්‌පතිවරයා අද පවසන්නේ සීමාව ඉක්‌මවා උතුරේ ක්‍රියාකාරකම් සිදුවන බවයි. එසේම බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්‌ ඡේම්ස්‌ ඩවුරිස්‌ද ශ්‍රී ලංකා හමුදාවට කියා සිටින්නේ උතුරේ ඉඩම් නිදහස්‌ කරන ලෙසයි. එවැනි ඉල්ලීමක්‌ කිරීමට ඔහු කවුරුන්ද?

වසර ගණනාවකට පෙර යාපනය පොලිස්‌ අධිකාරි සුන්දරලිංගම් හා උතුරේ සීමාව ඉක්‌මවා අපරාධකාරී ක්‍රියාකාරකම් සිදුවන බව කීවේය.

දැන් එවැනි තත්ත්වයකට මුලපිරී ඇත.

කීර්ති වර්ණකුලසූරිය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here