ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරන බවට දෙන ලද ප්‍රතිඥාව ඉටු කිරීමට ශ්‍රී ලංකා රජය තවමත් අසමත්ව සිටින බව මානව හිමිකම් සංවිධානය කියා සිටියි.
ජිනීවා නගරය මූලස්ථානය කරගත් එම ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානය අද (29) ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වාර්තාවක් නිකුත් කරමින් මේ බව කියා සිටී. සාක්ෂි විරහිතව සිරගත කර තැබීම් ශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදය වැළක්වීමේ පනත යටතේ සිදු කෙරෙන අපචාර” යන තේමාව යටතේ හියුමන් රයිට්ස් වොච් සංවිධානය නිකුත් කර ඇති මෙම වාර්තාව පිටු 46 කින් යුක්ත වේ.
“ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ඉවත් කරන බවට ශ්‍රී ලංකා ආණ්ඩුව දුන් ප්‍රතිඥා කතාවට පමණක් සීමා වී ඇති බවත් ඒ සම්බන්ධයෙන් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නැතැයි” හියුමන් රයිට්ස් වොච් සංවිධානයේ ආසියාව භාර අධ්යක්ෂ බ්‍රැඩ් ඇඩම්ස් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් එම වාර්තාව නිකුත් කරමින් පවසයි.
ශ්‍රී ලංකා ආණ්ඩුව මානව හිමිකම් ආරක්ෂා කරනු ලැබීම සම්බන්ධයෙන් අවංක උවමනාවකින් කටයුතු කරන්නේනම්, ජාත්‍යන්තර ප්‍රමිතියට අනුකූල වෙනත් නීතියක් හඳුන්වා දෙමින් ත්රස්තවාදයට එරෙහි දැනට බල පැවැත්වෙන ඉතා දරුණු නීතිය ඉවත් කිරීමට කඩිනම් ප්‍රමුඛත්වය දිය යුතුව ඇතැයිද අධ්යක්ෂ බ්‍රැඩ් ඇඩම්ස් වැඩිදුරටත් කියා සිටියි.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත උපයෝගී කර ගනිමින් වධහිංසා සිදු කිරීම, ලිංගික අපචාර, බලහත්කාරයෙන් කට උත්තර ගැනීම සහ එම තත්ත්වය සිතාමතාම දිගින් දිගටම ප්‍රතික්ෂේප කරනු ලැබීම අතීතයේ සහ දැනටත් ශ්‍රී ලංකාවේ පවතින තත්වය බව එම වාර්තාවේ දැක්වෙයි.