යාපනයේ ස්‌වාධීන රාජ්‍ය මිත්‍යාව -11 ඊළාම්වාදයට කිඹුල් කඳුළු සලන බ්‍රිතාන්‍යයන් ශ්‍රී ලංකාවේ කළ යුද අපරාධ

0
1125

 

* වයස අවුරුදු 18 ට වැඩි සියලුම පිරිමින් මරා දැමිය යුතුයි.
* සියලුම නිවාස කඩා බිඳ දමා ගිනි තැබිය යුතුයි.
* මිනිස්‌ අහරට ගත හැකි පලදරන සියලුම ගස්‌ කපා හෙළිය යුතුයි.
* සියලුම ධාන්‍ය වර්ග විනාශ කිරීම හෝ අත්පත් කර ගත යුතුය.
* සියලුම වාරි වැව් හා ඇළවල් කඩා බිඳ දැමිය යුතුයි.(2017/08/06 දින ඉරිදා දිවයින පුවත් පතේ පලවන මාසික ලිපියකින් උපුටා ගන්නා ලදී)

සුදු එජන්තයන් රික්‌ෂෝවල නැගී.
යුධ අපරාධ මේ දිනවල අප සවනට වැටෙන අලුත්ම ප්‍රවෘත්තියකි. වර්තමාන රජය බලයට පත් වූ පසු අපගේ සොල්දාදුවන් වියරු හා බියකරු කොටි ත්‍රස්‌තවාදය මෙල්ල කිරීමේදී ඔවුන් විසින් යුද අපරාධ කළේ දැයි සොයා බැලීම සඳහා විවිධ ක්‍රියාමාර්ග ගනිමින් සිටී. එය තහවුරු කිරීම සඳහා චැනල් 4 නාලිකාවද විවිධ වීඩියෝ පට ප්‍රදර්ශනය කරමින් සිටී. මේ සෑම දේකම අරමුණ ලංකාවේ දක්‍ෂ යුද සෙන්පතියන් නැවත යුද්ධයකට සහභාගී වීමට නොහැකි වන අන්දමින් අකර්මණ්‍ය කිරීම බව පෙනේ. ලංකාවේ කිසියම් අයුරකින් යුද අපරාධයක්‌ සිදු වී ඇත්නම් ඊට වගකිව යුත්තේ ජාතීන් කෙටවූ බ්‍රිතාන්‍යයෝය. ඊළාම්වාදය හැදුණේත් ජාතිවාදී කෝලාහල ඇතිවූයේත් ඉංග්‍රීසීන්ගේ බෙදා පාලනය කිරීමේ ක්‍රමයේ ප්‍රතිඵලයක්‌ වශයෙනි. ඊළාම්වාදයට පොත පත ලියා න්‍යාය ගොඩනැංවූයේ ඉංග්‍රීසීන්ගේ ආරාධනයෙන් ලංකාවට පැමිණි ඇමරිකානු මිෂනාරිවරුය. එතනට වෛපමාලය ලියමින් රිංගා ගත් ඇන්ග්ලිකන් ආගමේ සී. බ්‍රිටෝ නමැති පෙරකදෝරුවා ඇමරිකානු මිෂනාරිවරුන්ගේ විවේචනයට ද ලක්‌විය. මේ නිසා ඊළාම් මතවාදය ඇමරිකානු පල්ලියේ නිෂ්පාදනයක්‌ බව අපට පැහැදිලිව පෙනේ. 

ඇමරිකානු මිෂනාරිවරු 1816 දී ලංකාවට පැමිණි අතර යාපනයට ගොස්‌ එහි අධ්‍යාපනය ගොඩනංවමින් විශාල මෙහෙවරක්‌ කළහ. ඒ පිළිබඳව සතුටු වීම සාධාරණය. ඒත් වරද ඇත්තේ ඉන් ඔබ්බට යමින් රට බෙදීමට පිඹුරුපත් සැකසීමය. ඒ කටයුත්ත කළේ 1878 න් පසුවය. ඒ වන විට ඉංග්‍රීසි ආණ්‌ඩුවද ලංකාව ක්‍රිස්‌තියානි කිරීමේ ප්‍රයත්නය අසාර්ථක වූ බව දැන කපන්න බැරි අත සිඹින්නාසේ රුවන්වැලි සෑය හැදීමට ද ආධාර උපකාර කළහ. දළදා මාළිගාවට විශාල පහනක්‌ ද පූජා කළහ. ඉංග්‍රීසි ආණ්‌ඩුව එසේ වෙනස්‌ වුවද මිෂනාරීන් තම ප්‍රයත්නය නතර කළේ නැත. එය කරළියට පැමිණියේ 50 ට 50 ඉල්ලීමෙනි. ඊළාම්වාදය තමිල් අරසු කච්චි (දෙමළ රාජ්‍ය පක්‍ෂය) මගින් 1949 දී ප්‍රකාශයට පත් කෙරිණි. සියලු ගැටුම් වල ආරම්භය එතැනය. මා මෙතෙක්‌ ලියූ ලිපි වලින් පෙන්නුම් කළේ පෘතුගීසීන් පැමිණීමට පෙර හෝ පෘතුගීසි පැමිණෙන විට හෝ, පෘතුගීසීන් යාපනය යටත් කර ගන්නා විට හෝ ලන්දේසි පාලන යුගයේදී හෝ ඉංග්‍රීසි පාලන යුගයේ උඩරට යටත් කර ගන්නා තෙක්‌ හෝ ඊළාමයක සේයාවක්‌වත් ලංකා ඉතිහාසයේ දක්‌නට තිබී නැති බවයි. ඒ නිසා සමහර මහාචාර්යවරු විජය රජුට පෙර ලංකාවේ දෙමළ ජනවර්ගයක්‌ සිටියේ යෑයි සොයන්නට තැත් කරති. අනවශ්‍ය ලෙස අතීතයට ගෙනයමින් ප්‍රශ්නය ව්‍යාකූල කිරීමට ඔවුන් උත්සාහ දරති. මේවායේ ප්‍රතිඵලය දෙමළ සිංහල ගැටුම් නිර්මාණය වීමයි. 

මේ ලිපියෙන් අපි සලකා බලන්නේ බ්‍රිතාන්‍යයෝ ලංකාවේ කළ යුද අපරාධ පිළිබඳවයි. මෙම යුද අපරාධ නිවැරදිව තේරුම් ගැනීමට නම් පෘතුගීසීන් හා ඉංග්‍රීසීන් විටින් විට ලංකාව පිළිබඳව සඳහන් කර ඇති දේ මෙහි පළමුව උපුටා දක්‌වමි. ජෝන් ඩේවි නමැති ඉංග්‍රීසි යුද හමුදාවේ වෛද්‍යවරයා ලියූ පොතක සිංහල පරිවර්තනය. ඩේවි දුටු ලංකාව. නමින් එච්. එල්. සෝමරත්න මහතා විසින් ලියා ඇත. එහි කොටසක්‌ මෙසේ උපුටා දක්‌වමි. ඌව මැදින් ගිය මේ ගමන නිසා මා ඉතා සතුටට පත් වීමි. මා දුටු තරමින් ඊට ලංකාවේ උයන යෑයි කීම සුදුසුය, යන්න මගේ හැ`ඟීමයි. නිෂ්පාදන ද්‍රව්‍ය හා දර්ශනය අතින් බදුල්ලේ සිට කතරගම එක්‌වූ පෙදෙස බදුල්ලට වයඹ දෙසින් උමා ඔයට හුරුව පිහිටි පෙදෙස වඩා බොහෝ උස්‌ය. බදුල්ලේ සිට පස්‌සර හරහා ගම්වලට වැටී ඇති සැතපුම් 19 ක්‌ දුර පාර දුෂ්කරය. එය කඳු සහිත ශෝභන රටක්‌ මැදින් වැටී තිබේ. මේ උපුටා ගැනීම කියවන ඔබට ඌව පළාතේ එදා පැවති තත්ත්වය වටහා ගත හැක. එදා උයනක්‌ බඳු ඌව අද ලංකාවේ නොදියුණුම පළාත බවට පත්වී ඇත

මුලාදැනිවරු සමඟ සුදු එජන්තවරයෙක්‌
මේ සංසන්දනය සඳහා යාපනය පිළිබඳ ක්‌වේරොස්‌ නමැති පෘතුගීසී ඉතිහාසඥයන් ලියා ඇති දෙයක්‌ පෝල් ඒ. පීරිස්‌ මහතා ලියූ පෘතුගීසී යුගය නැමැති පොතට ගෙන ඇති අතර එය මෙහි උපුටා දක්‌වමි. පෘතුගීසීන් යටත් කර ගන්නා විට යාපනයේ ජනගහනය කාන්තාවන් හා දරුවන් හැරුණු විට පිරිමින් සංඛ්‍යාව 20,000 ක්‌ පමණ විය. ඔවුන් අන්ත දුගී තත්ත්වයෙන් පසුවිය. යුද්ධයේ අදක්‌ෂ බෙලහීනභාවය නිසා රජුන් සිය ආරක්‌ෂාව සඳහා යොදා ගන්නා ලද්දේ වෙරළබඩ මලවර්වරුය. ඔවුන්ගේ ආහාර වේල පිරිමසා ගන්නා ප්‍රධාන මාර්ගය තල් ගසේ ගෙඩි හෝ තල් මොටයියන් ය. කුඹුරු ඉතා සීමිත වන අතර ජල හිඟය නිසා වගා කිරීමද අති දුෂ්කරය. දැන් ඔබට පෘතුගීසීන් යටත් කර ගන්නා විට යාපනයේ සැබෑ තත්ත්වය වැටහෙනු ඇත. 

මේ උපුටා ගැනීම් දෙකෙන් ඔබට සසඳා තේරුම්ගත හැක්‌කේ ඌව වෙල්ලස්‌ස සැප සම්පත් වලින් ආඪ්‍ය ප්‍රදේශයක්‌ව පැවති බවයි. යාපනයට දුගී බවත් අසරණ බවත් උරුම වී තිබූ බව පෙනේ. පෘතුගීසීන්, ලන්දේසීන් විසින් යාපනයට දුම්කොළ වගාව හඳුන්වා දුන් අතර ඒ සඳහා දකුණු ඉන්දියාවෙන් වහලුන් ගෙන්වා ගන්නා ලදී. දුම්කොළ වගාව සරුවට කෙරුණු අතර එහි ප්‍රතිඵලයක්‌ ලෙස දුම්කොළ වෙළෙඳාම ද දියුණු විය. මේ සමඟ යාපනයේ ජනගහනය වැඩි වූ අතර අලුත් ධනවත් වෙළෙඳ පන්තියක්‌ ද බිහිවිය. ඉංග්‍රීසීන් පැමිණි පසු ඇමරිකානු මිෂනාරීන් ගෙන්වා යාපනයට යෑවූ අතර ඔවුන්ගේ අධ්‍යාපන වැඩසටහන්වල ප්‍රතිඵලයක්‌ වශයෙන් ධනවත් මෙන්ම උගත්කමින් යුක්‌ත පන්තියක්‌ බිහි විය. ඒ ඓශ්චර්ය දරා ගැනීම සඳහා දෙමළ ජනයාට අභිමානවත් ඉතිහාසයක්‌ ලියා දුනි. ඊළාම්වාදයේ නිර්මාණය එතැනයි. 

ඉංග්‍රීසීන්ගේ යුගයේදී ලංකාවේ කළ යුද අපරාධ පිළිබඳව විමසා බලමු. එය අපට වැදගත් වන්නේ වර්තමාන හමුදාව යුද අපරාධ කර ඇත්නම් ඒවා සොයා දඬුවම් පැමිණවීමෙන් හමුදාව පිරිසිදුව නම්බුකාර බවට පත්වෙන්නේ යෑයි මංගල සමරවීර මහතා කියූ නිසාය. එසේ නම් ඉංගී්‍රසීන් ලංකාවේ කළ යුද අපරාධ හෙළි කළ විට ඔවුන්ට ද තම අතීතය නිවැරදි කර ලංකාවට වන්දි ගෙවා තම පාරිශුද්ධභාවය සනාථ කළ හැක. එවිට ඔවුන්ට ද ලෝකයෙන් තම නම්බුව හා චර්යාව පිළිබඳව හොඳ සහතිකයක්‌ ලැබෙනු ඇත. ඒ ටික කළ හැක්‌කේ අපේ විදේශ ඇමැතිවරයාට ය. සැබෑ වශයෙන් කිවතොත් බ්‍රිතාන්‍යයන් ලංකාවේ කළ යුද අපරාධ පිළිබඳව බැලූ විට බ්‍රිතාන්‍යයන්ට විරුද්ධව අදත් ජාත්‍යන්තර අධිකරණයට යැමට අපට හැකියාව තිබේ. යුද අපරාධ පිළිබඳ වූ කෲරතර නියෝගය ඔබගේ අවධානයට මෙහි පහත සඳහන් කරමි. ඉංග්‍රීසි ආණ්‌ඩුකාර රොබට්‌ බ්‍රවුන්රිග් විසින් මහනුවර දිසාව භාරව සිටි අණදෙන නිලධාරී මැක්‌ඩොනල් වෙත කරන ලද නියෝගයේ කොටස්‌ මෙහි දක්‌වමි.

1. වයස අවුරුදු 18 ට වැඩි සියලුම පිරිමින් මරා දැමිය යුතුයි.

2. සියලුම නිවාස කඩා බිඳ දමා ගිනි තැබිය යුතුයි.

3. මිනිස්‌ අහරට ගත හැකි පලදරන සියලුම ගස්‌ කපා හෙළිය යුතුයි.

4. සියලුම ධාන්‍ය වර්ග විනාශ කිරීම හෝ අත්පත් කර ගත යුතුය.

5. සියලුම වාරි වැව් හා ඇළවල් කඩා බිඳ දැමිය යුතුයි

. 

6. මිනිසුන්ට අයිති ගවයන්ගෙන් හමුදාවේ අවශ්‍යතාවට අතිරික්‌තව වන සියලුම ගවයන් අප්‍රමාදව විනාශ කළ යුතුය.

සය වැදෑරුම් මෙම නියෝගය කියවන ඔබට එහි ප්‍රතිඵලය කොතරම් දරුණු වන්නට ඇත්දැයි සිතා ගත හැකි වනු ඇත. මෙයින් මරා දමා ඇති සම්පූර්ණ ජනගහනය ලක්‍ෂ 10 ක්‌ පමණ වේ යෑයි ඉතිහාසඥයන් ඇස්‌තමේන්තු කර ඇත. කන්ද උඩරට ඌව පළාතේ ජනයා කඳුකරයේ ගිරිශිඛරවල සැඟවී ගනිමින් නිරාහාරව සිටිමින් සිය ජීවිතය රැක ගත් අතර ඉන් පැවතෙන ස්‌වල්ප දෙනාගෙන් මා ද එක්‌ අයෙකි. ඒ නිසා මේ පිළිබඳව ලිවීමේ දී දොස්‌තර ඩේවි ලංකාවේ උයන යෑයි ඌව ගැන සඳහන් කළත් ලෙයින් තෙත් කළ ඌව පිළිබඳව දොස්‌තර ඩේවි සිය පොතේ දක්‌වා ඇති දෙයක්‌ මෙහි පහත දක්‌වමි.

මෙහි සඳහන් කර ඇත්තේ බලංගොඩ අලුත් නුවර දේවාලය අසලදී ජෝන් ඩේවි දුටු දෙයකි. ඒ අවස්‌ථාවේ පැමිණි නිලමේවරයකු හා අසරණ වූ ස්‌ත්‍රියක්‌ පිළිබඳව විස්‌තරයක්‌ මෙසේ දක්‌වා ඇත. සවස්‌ වරුවේ නිලමේවරයෙක්‌ මා බැලීමට ආවේය. ඔහු වයසින් අවුරුදු 70 ක්‌ නමුදු කදිම සුදු වටා පත් රැවුල හා සුදු හිසකෙස්‌ නිසා නොවේ නම් අවුරුදු 60 ක කෙනකු= මෙන් ගිනිය හැකිය. ඒ තෙමේ ශෝභන ස්‌ථුල හා නිරෝගී විය. හෙතෙමේ සබරගමුවේ උඩ කොටස පිළිබඳව අසතුටුදායක විස්‌තරයක්‌ කළේය. ඒ පෙදෙසට පැතිරුණු කැරැල්ලේ ප්‍රතිඵලයක්‌ වශයෙන් ඒ පෙදෙස දුර්භික්‍ෂයෙන් පෙළේ යෑයි ද වැසියන් බොහෝ දෙනකුට ආහාර සොයා පහත පෙදෙස්‌වලට පැමිණීමට සිදුවී යෑයි ද ඉතිරිව සිටින්නන් වන පැළෑටි හා තාල වර්ගයේ විවිධ ගස්‌වල බඩයෙන් තනන සව් වර්ගයක්‌ අනුභව කොට යෑපෙතැයි ද හේ පැවසීය. ඔහු කතාකරමින් සිටින විට ඔහුගේ වචන ස්‌ථිර කිරීමට මෙන් අසරණ දීන ස්‌ත්‍රියක්‌ එහි පැමිණියාය. ඔහු සාගතයේ මූර්තියකි. ඔසවා ගත් දෑතින් හා බැගෑපත් මුහුණින් යුතුව ඕ පුරා දින 3 ක්‌ කුසට අහර බිඳකුදු නොලැබිණැයි කියා ආහාර ස්‌වල්පයක්‌ ඉල්ලා සිටියාය., 

මේ උධෘතය කියවන විට ඌවේ මිනිසුන් විඳි දුක්‌ගැහැට ඔබට වැටහෙනු ඇත. මීටම සාක්‍ෂි වශයෙන් මා අසා ඇති දෙයක්‌ද සඳහන් කරමි. අත දරුවන් ඇකයේ රඳවාගෙන ගිරිශිඛරවල සැඟවී සිටින නිරාහාර මවුවරුන්ගේ දෙතනට කිරි නොඑරෙන නිසා හඬන දරුවන් සැනසීමට මවුවරුන් ළපටි පේර ගැට ඇඳිවතේ ගැටගසා ශරීරයේ ඌෂ්ණයෙන් තැම්බුණු විට ඒවා මිරිකා දරුවන්ගේ මුඛයට දමා ඔවුන්ගේ සාගින්දර නිවූ බව වැඩිහිටියෙක්‌ මා කුඩා කල මට විස්‌තර කර ඇත. මේවා යුද අපරාධවල ප්‍රතිඵල මිස අන් දෙයක්‌ නොවේ. අපගේ පැරැන්නන් සිය පරපුර රැක ගැනීමට කොතරම් පරිත්‍යාගයක්‌ කර ඇත්දැයි මේ දුක්‌ අඳෝනා කියවද්දී අපේ කල්පනාවට වැටෙනු ඇත. එහෙත් එබඳු වූ කෲර පාලක ඉංග්‍රීසීන් කත් ඇද තම පරපුර විනාශ කළ සමහර නායකයන් අද විකෘති, පණ්‌ඩිතයන් වී ඇත්තේ එදා කළ පව්වල ප්‍රතිඵලයක්‌ ලෙසිනි. ඔවුන්ට දාව අනාගත පරපුරක්‌ බිහිවන්නේ නැත. එහෙත් රටට ද ඒ ප්‍රතිඵල අත්කර දිය යුතු ද? බ්‍රිතාන්‍ය මහ රැජන මේස්‌ ගලවා තමන්ට අතට අත දුන්නේ යෑයි පම්පෝරිය දොඩන අයට ඇයගේ අතේ අපේ ඉතිහාසයේ ලේ තැවරී තිබුණේ දැයි සිතට නොනැගුණේ මන්දැයි මට සිතේ. 

දොස්‌තර ඩේවිඩ් බලංගොඩ, අලුත්නුවර සිට ඉඹුල්පේ හරහා බෙලිහුල්ඔය පසුකරමින් කළුපහනට පැමිණ ඇත. එහිදී ඔහු මඟදී දුටු දේ පිළිබඳව දක්‌වා ඇති විස්‌තරයෙන් කොටසක්‌ මෙහි දක්‌වමු.


එකල ශ්‍රී ලංකා සිතියම
මුළු මඟ දිගටම මිනිසුන් වසන එකම ගෙයක්‌ හෝ අලුත් වගාවක්‌ පිළිබඳ යම්කිසි ලකුණක්‌ හෝ එකම ස්‌වදේශිකයෙක්‌ හෝ අපට මුණනොගැසුණි. තැන් තැන්වල දිරා පත්වෙමින් තිබූ ගෙවල් ද නොසලකා හරින ලද කුඹුරු ද තවමත් මාරක කඹය එල්ලෙමින් තිබූ ගසක්‌ යට පාර අයිනේ දක්‌නට ලැබුණු මිනිස්‌ හිස්‌ කබල ද අප දුටු දෑ පිළිබඳ ඉතිහාසය කාටත් තේරෙන භාෂාවෙන් කියා පෑයේය. අවට රටේ පෙනුමේ ලක්‍ෂණ කළුපහන හොඳ හැටි පළ කළේය. අප එදා රෑ නවාතැන් ගත්තේ මිටි කන්දක්‌ මතය. කැරැල්ල සමයේ යුද මුරපොළක්‌ වශයෙන් පැවති මෙය දැනට මිනිසුන් කිහිපදෙනකු පිරිවර කොට ඇති කන්ද පල්ල කෝරළේ දිසාවගේ නවාතැන විය. හෙතෙම පහතරට සිට ඌවට බිත්තර වී යෑවීම ඉක්‌මන් කරමින් සිටියේය. බිත්තර වී ඇටයකුදු ඌවේ නොවීය. තෙත් සිසිල් වාතයෙන් ආරක්‍ෂා වනු පිණිස බ්ලැන්කේට්‌ටුවක්‌ ඔතාගෙන සිටි හේ එවැනි පළාතක මිස සාමාන්‍යයෙන් දක්‌නට ලැබෙන දිසාවේ කෙනකු මෙන් නොපෙනුණි. රට පිළිබඳ ඔහුගේ විස්‌තරය පාළු පෙනුමට ගැළපුණි. කැරැල්ලට පෙර මේ පෙදෙසේ සෑහෙන ජනගහනයකින් යුක්‌ත වුවද දැන් මුළුමනින්ම ජන ශුන්‍ය යෑයි හේ තෙමේ පැවසීය. 

මේ කොටස කියවන විට ජන සංහාරයක්‌ පිළිබඳ අප ලබා ඇති අත්දැකීම බ්‍රිතාන්‍යයෝ අපට ලබා දුන්නකි. ජනසංහාරයක්‌ ගැන කතා කරන සිවාජිලිංගම්ලා මෙවැනි අත්දැකීමක්‌ ගැන අසා ඇත්දැයි මම නොදනිමි. එම සිවාජිලිංගම්ලාගේ මතයට අනුබල දෙන බ්‍රිතාන්‍යයෝ මානව හිමිකම් පිළිබඳව ලංකාවේ තබා ඇති වාර්තාව සමකල හැක්‌කේ කාම්බෝජයේ පොල්පොට්‌ මිනීමරු කණ්‌ඩායමේ ක්‍රියාකලාපයටය. “රණමඟ ඔස්‌සේ නන්දිකඩාල් කලපුව” නම් පොත කියවන විට අප කොතරම් ප්‍රවේශමෙන් උතුරේ යුද මෙහෙයුම් කළා දැයි අපට තේරුම් ගත හැක. යුද්ධය කලක්‌ ඇදී ගියේ ද මේ මානුෂික මෙහෙයුමේ ඇති මානුෂිකභාවය නිසාමය. 

දැන් අපට සාමය උදා කර දීමට අලුත් විසඳුම් සොයද්දී ජනතාව අතර පැනනඟින සිදුවීම් අතරින් අපට යමක්‌ ඉගෙන ගැනීමට සිදුව ඇත. තම ආරක්‍ෂක සාජන්වරයා වෙඩි පහරින් මියගිය විට මහාධිකරණ විනිශ්චයකාරවරයා හඬා වැළපෙමින් ඔහුගේ බිරිඳ ඉදිරියේ වැඳ වැටුණි. මේවා ජාතිවාදයට එරෙහිව මිනිස්‌ හදවතේ තිබෙන අවංක හැඟීම් හෙළිදරව් වන අවස්‌ථාවන්ය. උතුරේ නීතීඥයන් වැඩ වර්ජිතව උද්ඝෝෂණය කරමින් ඉල්ලා සිටියේ විනිශ්චයකාරවරුන්ගේ ආරක්‍ෂාව තර කරන ලෙසයි. එයින් හැඟෙන්නේ කිසියම් අවදානම් තත්ත්වයක්‌ උතුරේ පැතිරී ඇති බවයි. එම මියගිය පොලිස්‌ නිලධාරියාගේ නිවසට පැමිණි උතුරේ මහ ඇමැති විග්නේශ්වරම් මහතා ප්‍රකාශ කළේ තමාට ද ආරක්‍ෂාව සලසන්නේ සිංහල පොලිස්‌ භටයන් වන අතර ඔවුන් කෙරෙහි තමා තුළ තදබල විශ්වාසයක්‌ ඇති බවය. මෙයින් පෙනෙන්නේ සිංහලයන් කෙරෙහි ඔවුන් තුළ සැඟවී තිබෙන සැබෑ හැඟීමයි. එහෙත් ඇත්ත වශයෙන්ම ඔවුන් ප්‍රකාශ කරන්නේ ඊට ප්‍රතිවිරුද්ධ දෙයකි. එය දේශපාලන ව්‍යාපාරයක වංචා සහගත භාවයයි. මේ නිසා රටේ සාමය ගොඩනැඟිය හැක්‌කේ අවංක ජනතා හැඟීම් තේරුම් ගැනීමෙන් මිස ඉංග්‍රීසීන් හෝ මිෂනාරීන්ගේ දුෂ්ට ක්‍රියාවලින් බැහැරව අපම විසඳුමක්‌ සොයා ගැනීමෙනි. සිංහල ජාතිය දෙකට බෙදා දෙමළ හෝ මුස්‌ලිම් ඡන්ද ලබා ගනිමින් බහුතරය පෙන්වීමට අපේක්‍ෂාවෙන් ගොඩනංවන සාමය හා විසඳුම් ඉතා අවදානම්ය. 

නාවක්‌කුලි පන්සලේ දාගැබ ඉදිකිරීමට එරෙහිව උසාවියට ගිය ප්‍රාදේශීය සභාවට චන්ද්‍රසේකරම් විනිශ්චයකාරතුමිය ඉතා පැහැදිලිව ප්‍රකාශ කර ඇත්තේ බුද්ධාගමට ප්‍රමුඛතාව ඇති රටක විහාරයක්‌ ඉදිකිරීමට නාවක්‌කුලි ප්‍රාදේශීය සභාව බාධා කිරීම වැරදි බවයි. ඈ ගෙන හැර පෑ ආදර්ශවත් ක්‍රියාකලාපය ජාතියේ ගෞරවයට පාත්‍ර විය. මේ අවස්‌ථාවේ ඔබට තේරුම් යන්නේ යුද අපරාධ පිළිබඳ ප්‍රචාරය අතරට ශ්‍රී ලංකාවේ දී බ්‍රිතාන්‍යයන් කළ යුද අපරාධ ඇතුළත් කිරීම හා ඒවා ජාත්‍යන්තරයට ගෙන යැම රජයේ යුතුකමකි. 


පියසිරි අමරකෝන්
ගණකාධිකාරි සේවා සංගමයේ හිටපු සභාපති

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here